Home » ලස්සන වෙන්න ගාන ක්‍රීම් හොරට හදා විකිණෙන හැටි

ලස්සන වෙන්න ගාන ක්‍රීම් හොරට හදා විකිණෙන හැටි

by sachintha
September 14, 2024 12:39 am 0 comment

ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පිනියක් ඉන්දියාවෙන් ආනයනය කරන රූපලාවණ්‍ය උපකරණත් තවත් අයෙක් හොරට නිෂ්පාදනය කර විකුණලා

පිළියන්දල, ජාලියගොඩ සුපිරි වෙළඳසලකින් රුපියල් ලක්ෂ 3ක හොර ‘ෆේස් වොෂ්’ අල්ලයි

රූපලාවණ්‍ය උපකරණ, ක්‍රීම් ඇතුළු භාණ්ඩවලට මුළු ලෝකයේම ඇත්තේ ඉතා විශාල ඉල්ලුමකි. ඇතැම් විට ආහාරපානවලටත් වඩා වැඩියි. මෙරට තත්ත්වය ද ඒ වගේමයි. රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට බොහෝ දෙනෙකු එක්වන්නේ, පුහුණුව ලබන්නේ ද එහි රැකියා අවස්ථා බහුල නිසාය. මේ ක්ෂේත්‍රයේ අවස්ථා වැඩිපුර ඇත්තේ කාන්තාවන් වෙනුවෙන් වීමද සුවිශේෂිය.

රූපලාවණ්‍ය උපකරණ, ක්‍රීම් වර්ග ඇතුළු භාණ්ඩවලට තිබෙන මේ සා විශාල ඉල්ලුම නිසාම ව්‍යාජ රූපලාවණ්‍ය උපකරණ ආලේපන ඇතුළු භාණ්ඩවලට ද ඇත්තේ ලොකු ඉල්ලුමකි. විශේෂයෙන් පිටකොටුව තොග වෙළෙඳපොළේ මේ ව්‍යාජ රූපලාවණ්‍ය ආලේපන ඇතුළු භාණ්ඩ වර්ග දිනපතා අලෙවි වන්නේ රුපියල් කෝටි ගණනිනි.

මේ හේතුව නිසාම මේ වෘත්තිය වෙනුවෙන්ම සැදී පැහැදුණු ජාවාරම්කරුවෝ පෙළගැසී සිටින්නේ මේ ව්‍යාජ රූපලාවණ්‍ය ආලේපන උපකරණ ජාවාරම කිසිම කරදරයකින් තොරව රටපුරා සිදුකර ගැනීම සඳහාය.

මීට වසර දෙක තුනකට කලින් සිට ඉතා බහුලව රටපුරා සිදුවන ව්‍යාජ රූපලාවණ්‍ය ආලේපන සහ උපකරණ අලෙවි කිරීමේ ජාවාරම් කොතෙක් දුරට උත්සන්න වුවද කියතොත් එහි බලපෑම ඒවා භාවිතයෙන් රෝගී වූ පිරිසේ සංඛ්‍යාව අනුව සිතාගත හැකිය. මේ ව්‍යාජ රූපලාවණ්‍ය උපකරණ භාවිතය නිසා මරණය පවා ළඟා විය හැකි බව වෛද්‍යවරුන්ට ප්‍රකාශ කිරීමට සිදු වූ තරමටම මෙහි බලපෑම වැඩි විය.

පොලිසිය සහ සෞඛ්‍ය අංශ මේ ව්‍යාජ රූපලාවණ්‍ය ජාවාරම ගැන සෙවීමට විශේෂ විමර්ශන ආරම්භ කරන්නේ ද එහි නීතිමය පැත්ත ගැන දැඩි අවධානය යොමු කරන්නේ ද ඉන් අනතුරුවය.

පාණදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් පිටකොටුවේ ව්‍යාජ රූපලාවණ්‍ය ජාවාරම්කරුවන් සොයා විමර්ශන ආරම්භ කරන්නේ ද ඔය අතරය. රුපියල් ලක්ෂ ගණනක් වටිනා ව්‍යාජ රූපලාවණ්‍ය ආලේපන උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් පිටකොටුවේ දී සොයා ගැනීමට පාණදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට හැකි වන්නේ ද සිදු කරන ලද එම වැටලීම්වලදීය.

යුක්තිය මෙහෙයුමේ නිරත පොලිස් නිලධාරීන් විසින් ද ව්‍යාජ රූපලාවණ්‍ය උපකරණ අලෙවි කරන ස්ථාන ගණනාවක් වටලා තිබුණි. ඒ ලැබුණු තොරතුරුවලට අනුවය. පිළියන්දල පොලිසියද එවැනි වැටලීමකට අත ගසන්නේ පසුගියදා ය. ඒ ලැබුණු තොරතුරක් මතය.

ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පිනියක් ඉන්දියාවෙන් මෙරටට ආනයනය කර නීත්‍යනුකූලව මෙරට දී බෙදාහරින රූපලාවණ්‍ය ආලේපනවලට සමානව ව්‍යාජව සකස් කරන ලද රූපලාවණ්‍ය ආලේපන වර්ගයක් ජාලියගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලක අලෙවි කරන බවට පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් ලැබෙන්නේ පසුගිය දිනකය.

අදාල රූපලාවණ්‍ය ශිල්පිණිය විසින් පවත්වාගෙන යන ආයතනයක නීති නිලධාරියෙක් මේ පැමිණිල්ල සිදුකර තිබුණි. එම නිලධාරියා පැමිණිලි කළේ තම ආයතනය බලපත්‍ර සහිතව ආනයනය කරන ලද රූපලාවණ්‍ය ආලේපනවල නම අවභාවිත කර නිෂ්පාදනය කරන ලද රූපලාවණ්‍ය ආලේපන පිළියන්දල, ජාලියගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක අලෙවියට තබා ඇති බවයි.

එම පැමිණිල්ල පොලිස් පොතේ සටහන් කිරීමෙන් අනතුරුව එහි විමර්ශන පැවරෙන්නේ පිළියන්දල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර ඇතුළු කණ්ඩායමකටය.

ඒ අනුව මේ විමර්ශන සැලසුම් කරන පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර මුල් අදියර විදිහට සිදු කරන්නේ මේ ගැන කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර සෝදිසි වරෙන්තුවක් ලබා ගැනීමයි.

ඉන් අනතුරුව පිළියන්දල පොලිසියේ කොස්තාපල්වරියක් පාරිභෝගික කතක් ලෙස වෙස් ගන්වා අදාළ සුපිරි වෙළෙඳසැලට යවන්නේ ව්‍යාජ රූපලාවණ්‍ය ආලේපනයක් මිලදී ගැනීම සඳහාය.

පාරිභෝගික කතක ලෙස වෙස් ගැන්වු පොලිස් කොස්තාපල්වරිය අදාළ සුපිරි වෙළෙඳසැලට ගොස් රුපියල් 1350ක් ගෙවා මුහුණ සේදීමේ දියර අඩංගු ව්‍යාජ ඇසුරුමක් මිලදී ගත්තාය. ඉන් අනතුරුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර ඇතුළු කණ්ඩායම වැටලීම සිදු කරන ලදි.

එහිදී අදාළ වෙළෙඳසැලේ අලෙවියට තිබුණු රුපියල් තුන් ලක්ෂයක් පමණ වටිනා ව්‍යාජ රූපලාවණ්‍ය ආලේපන දියර සහ ක්‍රීම් වර්ග තොගයක් පොලිස් භාරයට ගනු ලැබිණි. අදාළ සුපිරි වෙළෙඳසැලේ අයිතිකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ එම රූපලාවණ්‍ය ක්‍රීම් සහ උපකරණ පිටකොටුව ප්‍රදේශයෙන් මිලදී ගත් බවකි.

සැකකරුට විරුද්ධව බුද්ධිමය දේපළ පනත යටතේ නඩු පැවරීමට පොලිසිය කටයුතු කරන්නේ ඉන් අනතුරුවය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රහ්මණගේ, සහකාර පොලිස් අධිකාරී එල්. වික්‍රමසිංහ යන නිලධරයන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගමගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර, සැරයන් (7935) වික්‍රමසිංහ, කොස්තාපල්වරුන් වන (90068) රත්නායක, (103153) මධුරංග, (97329) වීරසිංහ, (103696) ඒකනායක කාන්තා පොලිස් කොස්තාපල් (8625) යන නිලධාරීන් නිලධාරිනියන් මේ වැටලීම සිදු කරන ලදි.

දීපාල් සමරසේකර

ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division