අන් සතු කිසිම දෙයක් ඒ අයගේ අවසරයකින් තොරව ලබා නොගැනීමට කුඩා කල සිටම දරුවන් පුරුදු පුහුණු කිරීම මවුපියන් සහ ගුරු දෙගුරුන්ගේ වගකීමකි. අන් අයකුට අයත් කිසියම් දෙයක් අමතක වී දමා ගිය අවස්ථාවක හෝ බිම වැටී තිබියදී අහුලා ගන්නා ලද අවස්ථාවක ඒවා අයිතිකරුවන් සොයා භාර දීම හැමදෙනාගේම වගකීමකි; යුතුකමකි. දරුවන්ට කුඩා කාලයේ සිටම එම හොඳ පුරුදු පුහුණු කිරීම සෑම මවකගේම පියකුගේම යුතුකමකි.
කිසිවකුට අයත් වටිනා දෙයක් අමතක වී හෝ මහමඟ දමා ගිය අවස්ථාවක ඒවා සොයාගෙන අයිතිකරුවන් ද සොයා ඔවුන්ගේ අතටම භාර දුන් දූ පුතුන් ගැන පළවූ මාධ්‍ය වාර්තා කියවා නැති කෙනෙක් සිටින්නට නොහැකිය. ඒ එම දූ දරුවන් වැඩිහිටියන්, භාරකරුවන්, මවුපියන්, ගුරු දෙගුරුන්ගෙන් ලබා ගත් වටිනා අවවාද අනුශාසනා සහ උපදෙස් නිසාය. අන් අයකු සතු දේ කඩා වඩා ගැනීම, සොරකම් කිරීම, වංචා කිරීම, කිසි දිනෙක කිසිම ළමයකු විසින් නොකළ යුත්තක් ය යන්න ගුරු දෙගුරුන් විසින් උපදෙස් ලබා දෙන්නේ ඒ නිසාය.
එහෙත් මේ වාගේ කුමන උපදෙසක් දුන්නත් අනුන්ගේ දේ කඩාවඩා ගන්නා, සොරකමටම බර සමහර අවස්ථාවලදී ගුරු දෙගුරුන්ගේ දේ පවා සොරාගන්නා සහ තම පියාගේ, සහෝදර සහෝදරියන්ගේ දේ පවා සොරාගෙන විකුණා මුදල්වලින් විවිධ අකටයුතු කරන ළමයින් ද මේ සමාජයේ නැත්තේම නැත. එවැනි ළමයින් යහපත් අය ලෙස නැවත සමාජගත කිරීම බලධරයන්ගේ යුතුකමකි.
මේ කරුණු කාරණා කියන්නට සිදු වන්නේ හැටන් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සිසුවකු සිදු කරන ලද අනුචිත එසේම කිසිම සිසු සිසුවියක නොකළ යුතු සිද්ධියක් ගැන හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පසුගියදා හෙළිකරගත් තොරතුරු නිසාය.
මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය. හැටන් පොලිස් කොට්ඨාසයට අයත් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සතු ක්‍රෙඩිට් කාඩ්පතක් පසුගියදා අස්ථානගත විය. එහි හිමියා එය සොයා නොයෙක් ස්ථානවලට ගියත් එය සොයාගත නොහැකි විය. ක්‍රෙඩිට් කාඩ්පත තමන් අතින් කොතනක හෝ බිම වැටෙන්නට ඇත්දැයි ක්‍රෙඩිට් කාඩ් හිමියා කල්පනා කළත් ඊට වූ දේ ඔහුට ද සිතාගත නොහැකි විය.
තමන්ගේ අස්ථානගත වූ ක්‍රෙඩිට් කාඩ්පත සොයමින් සිටි එහි හිමිකරුට ‘තරු’ විසි වන්නේ කිසිවකු එය පාවිච්චි කර ලොකු මුදලක් වටිනා භාණ්ඩ ඉන් ලබා ගෙන ඇති බව හෙළිවීමත් සමඟය.
එම ක්‍රෙඩිට් කාඩ්පත ඒ වන විට සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයා හැටන් සහ මහනුවර නගරවලදී එය පාවිච්චි කර රුපියල් ලක්ෂ හතරහමාරක් පමණ වටිනා භාණ්ඩ ඒ වනවිටත් මිල දී ගෙන තිබුණි. මේ බව දැනගෙන හිස ගිනිගත් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියා ඒ බව ඉක්මණින්ම ගොස් පැමිණිලි කරන්නේ හැටන් පොලිසියටය.
හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මේ සිද්ධිය පිළිබඳ කතාව මුළුමනින්ම අසා දැනගෙන එහි විමර්ශන භාර කරන්නේ හැටන් මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුෂංකටය. පොලිස් පොතේ පැමිණිල්ල සටහන් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කෙරෙන්නේ පොලිස් පරීක්ෂක නුවන් මධුෂංක ඇතුළු කණ්ඩායමක් විසිනි. මේ සිද්ධිය පිළිබඳව හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර ද ඒ වන විට දැනුම්වත් කිරීමට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පියවර ගෙන තිබුණි.
ක්‍රෙඩිට් කාඩ්පත ඒ වන විට සන්තකයේ ඇති පුද්ගලයා එය පාවිච්චි කර භාණ්ඩ මිල දී ගත් ස්ථානවලට ගොස් ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුෂංක ඇතුළු කණ්ඩායම ඒ වනවිටත් සැලැසුම් සකස් කර තිබිණි.
මහනුවර සහ හැටන් නගරයේ වෙළෙඳසල්වලින් අදාළ ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කර භාණ්ඩ ලබාගෙන ඇති බව පොලිස් නිලධාරීන් ඒ වන විට තහවුරු කරගෙන තිබිණි.
අදාළ ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කර භාණ්ඩ ලබාගත් පුද්ගලයා එම භාණ්ඩ මිල දී ගත් එක් ස්ථානයකදි ඉතිරිකර ගිය වැදගත් හෝඩුවාවක් සොයා ගැනීමට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුෂංක ඇතුළු නිලධරයන්ට හැකි වන්නේ ඔය අතරේදීය. එම පුද්ගලයා මහනුවර අදාළ වෙළෙඳසලෙන් ජංගම දුරකතන උපාංගයක් කාඩ්පත පාවිච්චි කර ලබා ගෙන තිබුණ අතර එහි වගකීම් සහතිකයට ඔහු ලබා දී තිබුණේ තමාගේ නියම නම ගම පදිංචිය සහ ජාතික හැඳුනුම්පත් අංකයයි.
ඒ අනුව විමර්ශන සිදු කරන ලද පොලිස් කණ්ඩායම සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී හෙළිවී ඇත්තේ ඔහු 18 හැවිරිදි පාසල් සිසුවකු බවයි. සැකකරු හැටන් ප්‍රදේශයේ පාසලක 13 වසරේ ඉගෙනුම ලබන අයකු බවද හෙළිවන්නේ ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදීය. සැකකාර සිසුවාට මේ ක්‍රෙඩිට් කාඩ්පත හමුවී ඇත්තේ හැටන් නගරයේ වැටී තිබියදීය. එය අහුලාගත් සිසුවා එහි අයිතිකරු සොයා එය භාර දීම වෙනුවට ඔහු කර ඇත්තේ එම ක්‍රෙඩිට් කඩ්පත භාවිත කර රුපියල් ලක්ෂ හතරහමාරක් වටිනා භාණ්ඩ මිල දී ගැනීමයි.
සැකකාර සිසුවා මේ ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කර හැටන් වෙළෙඳසලකින් ආහාරපාන ලබාගෙන ඇති අතර සිය දුරකතනයට අවශ්‍ය රුපියල් ලක්ෂයක් පමණ වටිනා අමතර උපාංගයක් සහ මහනුවරදී කායවර්ධනය සඳහා භාවිත කරන පෝෂ්‍යදායි ආහාර සහ මිල අධික සපත්තු ලබාගෙන තිබුණ බවද හෙළි විය. සැකකාර සිසුවා සන්තකයේ තිබූ ක්‍රෙඩිට් කාඩ්පත සහ එය භාවිත කර ලබාගත් භාණ්ඩ හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සොයාගෙන තිබුණි.
මේ සිසුවා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරිණි. නඩුව නැවත ඉදිරි දිනෙක කැඳවීමට නියමිතය.
හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකරගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවාගේ අධීක්ෂණයෙන් හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේනගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුෂංක, උපපොලිස් පරීක්ෂක අරවින්ද දසනායක, සැරයන් (31110) විතානගේ, කොස්තාපල්වරුන් වන (22503) රජීපන්, (8637) ශෂිකුමාර්, (9669) ජයතුංග යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
දීපාල් සමරසේකර