සඳ වික්කා ඊයේ රෑ දුටුවද සාවි
තරු රෑනම අරාබියට අඳ කුලියට දී
හිරුට තාම අහවර නෑ ගණන් හිලව් කී
පිපුණු කැකුළු මැලවෙනවා කොළොම්පුරේදී
ලන්දේ කකා උන්නු එවුන් කන්ද දුටුව දා
දත නියවයි අත මිණි බැඳ පය මිණි බැඳලා
ලක් අම්මගෙ හැඹිලිය හොරු අරන් ගිහිල්ලා
අත්තාපල් මුත්තාපල් උන් හොයපල්ලා
කණ කොක් රැල කවි කියද්දි වැරදි සිංහලෙන්
වැට තරකර මොටද නියර ගොයං කාලා නං
මහත්වරුනි පනින්න පෙර සිතා බලාපන්
පනින රිළව් ළඟ තැබුවේ කුමටද ඉනිමං
ගායනය – තරංග සම්පත්
පද රචනය – පද්මා ජයසිංහ
තනු නිර්මාණය – සේනානායක වේරලියැද්ද
දවසින් දවස අලුත් ගීත බිහිවෙන … ඒ ගීත අතරින් ඇතැම් ගී බෙහෙවින් ජනප්‍රිය වන යුගයක සතියක් ඇතුළතදී ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලැබූ ගීතයක් පසුගියදා අසන්නට දකින්නට ලැබුණා. ඒ ගීතයේ වචන මෙන්ම සංගීතයත් එක්තැන්ව ගායන ශිල්පියාගේ හඬත් සමඟ ඔහු ගීතය ඉදිරිපත් කරන ආකාරයෙත් පැහැදිලි වෙනසක් දකින්නට පුළුවන්. මුහුණු පොතේ බොහෝ ප්‍රතිචාර ලැබු “සඳ වික්කා ඊයේ රෑ දුටුවද සාවි“ ගීතය මෙවර ගීයක අරුම වෙනුවෙන් තෝරා ගන්නට අදහස් කළා.
“සඳ වික්කා ඊයේ රෑ“ ගීතය ලියන්නේ කැකිරාව විදාතා සම්පත් මධ්‍යස්ථානයේ සේවය කරන පද්මා ජයසිංහ. යොවුන් වියේ සිටම ගුවන් විදුලියට කවි රචනා ලියූ ඇය පසුකාලීනව දිවයිනේ ප්‍රසිද්ධ ගායන ශිල්පීන්ට ගීත ලියන්නීය. ඒ හැම ගීතයක්ම පරයමින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලබමින් අද දවසේ කවුරුත් වාගේ අහන “සඳ වික්කා ඊයේ රෑ“ ගීතය ගැන ඇය කියන්නේ මෙහෙම අදහසක්.
“මම මේ ගීතය ලිව්වේ වේරලියැද්ද මහත්මයාට. නමුත් දැන් ගීතය ගයන්නේ තරංග. ගීතය ලියලා අවුරුදු දොළහක් විතර වෙනවා. මෙහෙම එක පාරටම ගීතය මෙතරම් ප්‍රසිද්ධ වීම මට සතුටක්. මට කියන්න ඕන වෙලා තිබුණේ අද අපේ සමාජයේ මිනිසුන් අතර තියෙන පරිහානිය ගැන. අපි දන්නෙම නැතිව අපේ සම්පත් පිටරටට විකිණිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගැහැනු ළමයිනුත් විකිණෙනවා. නමුත් කිසිම කෙනෙක්ට මේ වෙනුවෙන් රට කඩා වැටීම වෙනුවෙන්, රටේ ගුණ ධර්ම මිනිසුන් අතර එකමුතුකම, සහයෝගය නැතිවීම වෙනුවෙන් මුකුත්ම කරන්න බැරිව ගියා. මෙන්න මේ හැම දෙයක් ගැනම හිතලා තමයි මම මේ පද ටික ලිව්වේ. නමුත් ගීතය දැන් තමයි බොහෝ ජනප්‍රිය වෙන්නේ. මේ ගීතය ජනප්‍රිය වෙන්න වේරලියැද්ද මහත්මයාගේ සංගීත නිර්මාණය වගේම ගීතය ගයන තරංග සම්පත්ගේ කටහඬත් ඔහුගේ රූප රාමුත් ගොඩක්ම බලපානවා කියලා මම විශ්වාස කරනවා.“
අනුරාධපුර නගරයේ වීදි අස්සේ කුණු කානු අස්සේ රූගත කෙරුණ සඳ වික්කා ගීතයේ රූප රාමු ගීතයට ගෙන එන්නේ අපූරුබවකි. ඒ පසුබිම් කතාව අපට කිව්වේ ගායන ශිල්පී තරංග සම්පත්ය.
“මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තේ. පාසල් කාලේ ඉඳලම මට තිබුණේ සංගීතයට උනන්දුව. 2009 වසරේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගයට මම සහභාගි වුණා. ඒ තරගයේ අවසන් වටය දක්ෙවා මම ආවා. ඒ කාලේ තමයි මම ඈත සිතිජයේ ගීතය කරන්නේ. ඉන් කාලෙකට පස්සේ තමයි සඳ වික්කා ගීතය කරන්නේ . මේ ගීතය වේරලියැද්ද මාමාගෙන් තමයි මට මේ ගීතය ලැබෙන්නේ. ඔහු මගේ තාත්තාගේ හොඳම යාළුවෙක්. සින්දුවට ට්‍රැක් ගහලා මුකුත් තිබුණේ නැහැ. ඔහු මට දුරකතනයෙන් සින්දුවේ වචන ටික තාලයට කිව්වා. කඳාන ස්ටුඩියෝ එකකදි තමයි ගීතය පටිගත කළේ. එදා එතැනට වේරලියැද්ද මාමාමත් ආවා. ප්‍රියන්ත නාවලගේ, ජානක ෆොන්සේකා යන අයත් එදා එතැන හිටියා. නමුත් ඒ ගැයූ කාලයේ මේ ගීතය ජනප්‍රිය වුණේ නැහැ. ඉන් පස්සෙත් මම ගීත කිහිපයක්ම කළා. නමුත් කාලෙකට පස්සේ මට හිතුණා මේ ගීතය නැවත ගයන්න ඕන කියලා. මහ පොළොවේ යථාර්තීය මැවෙන අයුරින් මේ ගීතය අලුත් විදිහට කරන්න හිතුවා. එක රූප රාමුවක මම ඉන්නේ කුණු කානුවක් ළඟ.
අපිත් එක්ක එතැන හිටපු කෙනෙක් අහනවා “තරංග අයියේ ලැජ්ජා නැද්ද බන් ඔහොම වාඩි වෙලා කියන්න“කියලා.
මම කිව්වා “යමං බං කියමු“ කියලා
අනිත් අය කිව්වා “උඹ ගැම්මෙන් වැඩේ කරපන්“ කියලා
එහෙම තමයි ගීතයට රූප රචනාව සිද්ධ වුණේ.
සමහරුම දැක්කා කමෙන්ට් කරලා තියෙනවා කොහොමද මෙච්චර ව්‍යසනයක් ගැන හිනා වෙලා කියන්නේ කියලා. ඒ වීඩියෝ එකේ මගේ දත්ටික සුදට නොපෙනුණා නම් මගේ කළු මුහුණ නිසා වීඩියෝ එක මූසල වෙනවා. මට හිතුණේ එහෙමයි. ඒත් අවුරුදු දහතුනකට පස්සේ මගේ ගීතය ගැන මං ගැන ප්‍රේක්ෂකයෝ කතා වෙනවා. මගේ වීඩියෝ එකට කමෙන්ට් කරනවා. ඒ ගැන මට මාර සතුටුයි. මම අනුරාධපුර කුමාර මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා විදිහට සේවය කරනවා. මේ වීඩියෝ එක කරන්න සම්බන්ධ වුණ ඔමරෙක්ස් වීඩියෝ ටීම් එක තමයි වැඩේ කළේ. එහිදි විකුම් කාවින්දයි, කවිදු මධුසංක සොයුරන් වගේම සංගීත සංයෝජනය කළ සඳරු රාජසිංහ සොයුරාවත් ආදරයෙන් මතක් කරනවා. මගේ මේ සංගීත ගමනෙදි මට සහාය වන අම්මා ආර්. ඩිංගිරි මැණිකේ වගේම තාත්තා එම්. කිරිබණ්ඩාගෙන් මට ලැබුණ සහාය කිසි දවසක අමතක කරන්න බැහැ. ඒ වගේම මගේ දරු දෙන්නා, බිරිඳ සමාල ඒකනායකගෙන් ලැබෙන සහාය කිසිදා අමතක කරන්න බැහැ.
වේරලියැද්ද මාමා මට මේ සින්දුව දුන්නේ “ගොඩ පලයං පුතේ“ කියලා. කවදාවත් ම ඒ දිරි ගැන්විම අමතක වෙන්නේ නෑ. මගෙ තාත්තාට හොඳ ගායන හැකියාවක් තියෙනවා. මං හිතනවා ඒක තමයි මටත් ගයන්න හැකියාව තියෙන්නේ කියලා. මේ ආව ගමනෙදි රට පුරා ලොව පුරා විසිරි සිටින ලාංකික සහෘදයන්ගෙන් ලැබෙන මේ දිරි ගැන්වීම කිසිදා අමතක වෙන්නේ නෑ.
ඉනෝකා සමරවික්‍රම