රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ට රට ගොඩනැඟිය හැකි බව ඔප්පු කළ නායකයෙක්. පසුගියදා එතුමාගේ ‘පුළුවන් ශ්‍රි ලංකා’ ප්‍රතිපත්ති ප්රකාශනය හරහා රටට අලුත් බලාපොරොත්තුවක් ලබා දුන්නා…?
එතුමාට ප්‍රතිපත්ති ප්රකාශනයක් ඉදිරිපත් කිරීමට අයිතිවාසිකමක් තියෙනවා. මේ වසර දෙක තුළ එතුමා රටට ලබා දුන් ප්රතිලාභ, ආරක්ෂාව දෙස බැලූ විට එතුමා නිසි පදනමකින් යුතුවයි ඉදිරි වසර 5 ගැන කතා කරන්නේ. අනිත් අය මේ පදනම හදාගන්න උත්සහ කළේ නැහැ. බයේ පැනලා දුවලා දැන් සිහින මාලිගා ගැන කතා කරනවා. මේ වසර දෙකේ එතුමා අලුත් දෙයක් ගැන කතා කරන්න පුළුවන් පදනම දැම්මා. ඒ පදනමේ සිටයි අනාගතය ගොඩනැඟීම ගැන එතුමා කතා කරන්නේ.
එතුමා සිය ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කරන්නේ තමන්ට ‘පුළුවන්’ කියන සංකල්පයේ සිටයි. මේ දක්වා තමන්ට පුළුවන් කියලා එතුමා පෙන්නුවා. ඉදිරියට ඒ කාර්යය කෙසේ වෙයිද?
තනි මන්ත්‍රීවරයෙක් පුළුවන් කියලා භාර ගත්තේ දැවැන්ත අභියෝගයක්. මේ දැවැන්ත අභියෝගය භාර ගත්තේ නැත්තේ විපක්ෂ නායකවරයායි. ඔහු ආණ්ඩුවක් හදන්න ඉන්න කෙනා. ආර්ථික විද්‍යාඥයෝ ඕන තරම් ඉන්නවා. නමුත් ඔහුට ඒ අභියෝගය භාර ගන්න පුළුවන් වුණේ නැහැ. එයින් තේරෙන්නේ පුළුවන් නෙමේ නොහැකි බවයි. ඔහු පටන් ගන්නේම නොහැකියි කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා පුළුවන් කියලා කිව්වා. අද එතුමාට පිරිසක් ඉන්නවා. ඔහු ජාතියට ආරාධනා කරන්නේ පුළුවන් කියන ප්‍රතිපත්තිය හරහා ඉදිරියට යාමට තමන්ට සහයෝගය ලබා දෙන ලෙසයි. එය ඉතා සාධාරණ ඉල්ලීමක්. එයට විරුද්ධව කෙනෙක් කතා කරනවා නම් කිසිදු සාධාරණයක් නැහැ. එතුමා පුළුවන් කියලා මේ දේ ලස්සනට කරලා පෙන්නුවා.
එතුමාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ පස් අවුරුදු සැලැස්ම යටතේ ඇති වන වෙනස කුමක්ද?
එහි සමස්තයම ප්‍රතිලාභයක්. මේ රටේ දෙකෝටි විසි ලක්ෂය, විවිධ වෘත්තකයින් මෙන්ම තරුණ පරම්පරාවට ගැළපෙන රටක්, ඉන්න හිතෙන රටක් ඇති කරන්නට අවශ්‍ය ප්‍රධානම කාරණා තමයි මෙහිදී සාකච්ඡා කර තියෙන්නේ. මෙරට තරුණ පරම්පරාව පිළිබඳ කළ සමීක්ෂණයකදී සියයට 80 ක් පවසලා තියෙනවා තමන්ගේ බලාපොරොත්තුව රට හැර යාමයි කියලා. තරුණයන් එතරම් ඉච්ඡාභංගත්වයට පත්වුණේ රට වැටුණු නිසයි. ඒ තරුණ පිරිසට ඉන්න හිතෙන රටක් නිර්මාණය කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් මේ පුළුවන් වැඩසටහන තුළ මම දකිනවා.
පස් අවුරුදු සැලැස්ම තුළ ඉන්න හිතෙන රටක් නිර්මාණය කිරීමට එතුමාට හැකිවේවිද?
අවුරුදු දෙකක් තුළ එතුමා ආවේ අතිදුෂ්කර ගමනක්. වැල් පාලමේ එගොඩහ පෙනෙන මානයට එතුමා අපිව ගෙන ගියා. එතුමා අතිදුෂ්කර ගමනක් ගියේ. සාම්ප්‍රදායික විපක්ෂයක් හමු වුණේ. මේ අය කටයුතු කළේ ජන මනස අවුල් කරන්න. වෙනත් රටක නම් ලැබෙන්නේ සහයෝගයක්. මෙවන් තත්ත්වයකදී තනි මිනිහෙක් මේ ආ ගමනත් සමඟ ඉතිරි වසර 5 ජනාධිපති වුණොත් අපිට ලොකු බලාපොරොත්තු තබාගත හැකි වෙනවා. මේ ගමන යාමට අවශ්‍ය අඩිතාලම එතුමා දමා අවසන්. එසේම මූල්‍ය විනය හැදීමට අවශ්‍ය නීති සියල්ල එතුමා ඇති කර තියෙනවා.
සමගි ජන සන්ධානයේ ‘සැමට ජයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා රට ලස්සන කරන වගන්ති ඇතුළත්. ඔවුන්ට එවැනි ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරන්නට හැකිවුණෙත් ජනාධිපතිවරයා රට මේ තැනට ගෙන ආ නිසා නේද?
ඔවුන් හරිම වීරයෝ. රනිල් වික්‍රමසිංහ මහතා එදා රට භාර නොගත්තා නම් ප්‍රතිපත්ති නෙමෙයි පාර්ලිමේන්තුවත් ලැබෙන්නේ නැහැ. අහසේ සිහින මාලිගා තමයි තනන්න වෙන්නේ. මෙවැනි අසාධාරණ විපක්ෂයක් සමඟ කටයුතු කරන්නටයි මේ රාජ්‍ය නායකයාට සිදු වුණේ. සජබ ප්‍රතිපත්ති ජනාධිපතිතුමාගේ කරුණුවල කාබන් කොපියක්. ජනාධිපතිතුමා රට භාර ගන්නා විට රාජ්‍ය සේවක වැටුප් පවා ගෙවාගන්න බැහැ. නමුත් පසුව 10,000 කින් වැටුප වැඩි කළා. නමුත් ඒ ප්‍රමාණය මදි කියලා එතුමා දන්නවා. ලබන වසරේ සිට මේ දීමනා රුපියල් 25000 දීමනාවක් බවට පත් කිරීමට, සෑම කෙනෙකුටම මූලික වැටුප 24% කින් ජනවාරි සිට වැඩි කිරීමට හා අවම වැටුප රුපියල් 55,000 ක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණා. අපි රුපියල් 55,000 ක් දෙනව කිව්වහම ඔවුන් රුපියල් 57,000 ක් දෙනවා කියලා කියනවා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කාබන් කොපියක්.
මාලිමාවේ ප්‍රතිපත්ති ප්රකාශනයද ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ වක්‍රාකාරයෙන් අගය කිරීමක් බව බොහෝ දෙනා පවසනවා…?
බොහෝ දෙනා කියන්නේ වෙනත් ආර්ථිකයක් හදනවා කියලනේ. නමුත් ඒවා සියල්ල අපි කරන දේවල්මයි. බදු එකතු කිරීම් ගැන කියන්නෙත් අපි කරන දේමයි. සමහරක් දේ මේ වන විටත් කරලා තියෙනවා. වැට් බදු නිදහස අපි කරලා තියෙනවා. ඔවුන්ගේ සමහර කාරණා අපි ඇතිකරගත් මූල්‍ය විනය සම්පූර්ණයෙන්ම බිඳවට්ටලා තියෙනවා. උදාහරණයයක් ලෙස ඔවුන් අහිමි කරගන්නට යන බදු ආදායම රුපියල් බිලියන 200 ඉක්මවා යනවා. ඔවුන් අලුතින් කරන්න යන වියදම තවත් බිලියන 700ක් පමණ වැඩි වෙනවා. නමුත් මේ මුදල සොයන්නේ කොහේද කියා කිසිදු තැනක සඳහන් වන්නේ නැහැ. ඔවුන් අභියෝග කරන්නේ අපි ඇති කරගත් මූල්‍ය විනයටයි. අපි මේ වන විට මූල්‍ය විනයෙන් කරගෙන යන්නේ ආදායමට සරිලන වියදමක්. IMF වැඩපිළිවෙළ හා මේ ශක්තිමක් ආර්ථික ගමන තඹේකට මායිම් නොකරයි මේ ජනප්‍රිය කතා කියන්නේ.
අභියෝග රැසක් මැද ඉතිහාසයේ විශාල රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට ජනාධිපතිතුමා පසුගියදා කැබිනට් අනුමැතිය ලබාගත්තා. මේ ගැන සඳහන් කළොත්?
අතිදුෂ්කර අවස්ථාවේ රට භාරගෙන රාජ්‍ය සේවකයා පිළිබඳ ජනාධිපතිතුමා නිරන්තරයෙන් කල්පනා කළා. රාජ්‍ය සේවක වැටුප් කපාහැරීම පිළිබඳව විවිධ යෝජනා ආවත්, ඒවා ඔහු තරයේ ප්‍රතික්ෂේප කළා. එතුමා තේරුම් ගෙන තිබුණා, මේ ආර්ථික අර්බුදය හමුවේ වඩාත්ම පීඩාවට පත්වූ කණ්ඩායම රාජ්‍ය සේවකයන් බව. ඔවුන්ගේ ඇත්තේ නිශ්චිත ආදායමක් බව ඔහු පෙන්වා දුන්නා. උද්ධමනයත් සමඟ ඔවුන්ගේ වියදම් ඉතා වැඩි වුණා. එසේම තමන්ගේ ජීවන රටාව ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට සිදුවුණා. රාජ්‍ය සේවයකයා සමාජය තුළ ජීවත් වීමට ඇතිකරගත් බැඳීම හරහා මොවුන් පීඩාවට පත්වී ඇති බව අවබෝධ කරගෙන 2023 අය වැය හදද්දි කිහිප වතාවක් විමසා සිටියා, කීයක් හෝ රාජ්‍ය සේවකයාට වැඩි කරන්න බැරිද කියා. මේ නිසා එතුමා 2024 රුපියල් 10,000කින් වැටුප් වැඩි කළා. එයින් නොනැවතී තවදුරටත් රාජ්‍ය සේවකයාට උදවු කළ යුතුය යන මතයේ සිට මේ පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කළා. මේ කමිටුවේ අයවැය අධ්යක්ෂ ජනරාල්වරයා, පරිපාලන ලේකම් මෙන්ම පෞද්ගලික අංශයේ ඇතුළු පිරිසක් මේ පිළිබඳ පුළුල් අධ්‍යයනයක නිරත වී කමිටු වාර්තාවක් දෙන තුරු අතුරු වාර්තාවක් නිකුත් කළා. කැබිනට් මණ්ඩලයට දමා අනුමත කර ගත්තේ මේ අතුරු වාර්තාවයි. මේ අනුව රාජ්‍ය සේවයේ ඉහළම වැඩුප් වැඩිවීම අනුමත වුණා. මෙම කමිටුව විසින් ලබා දුන් අතුරු වාර්තාවේ නිර්දේශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී නිර්දේශ 18ක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා. රාජ්‍ය සේවයට සෘජුව බලපාන වැදගත් නිර්දේශ රැසක් ඊට ඇතුළත් වුණා.
ඒ අනුව 2025 පාදක වර්ෂය ලෙස සලකා රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාව රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීම, අවම ආරම්භක මාසික වැටුප 24% සිට 50% දක්වා වැඩි කිරීමත්, ඒ මත ඔවුන්ගේ අවම වැටුප රුපියල් පනස් පන්දහස දක්වා වැඩි කිරීමත් මෙහි ප්‍රධාන නිර්දේශ වුණා. ඒ වගේම මෙම වැඩි වීම ව්‍යාපාරික රාජ්‍ය සමාගම් සහ බැංකු හැර අන් සියලු රාජ්‍ය ආයතන සඳහා ක්‍රියාත්මක කිරීමද, රාජ්‍ය අංශයේ සියලු සේවකයන් හා විශ්‍රාමිකයන් ඇතුළත්ව මාසිකව රුපියල් දහසක මාසික දායකත්වයක් සහිත පූර්ණ වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටද නිර්දේශ කර තිබුණා. එසේම 2020 වසරට පෙර විශ්‍රාම ලැබූ රාජ්‍ය නිලධාරීන්හට හිමිකම් ලැබූ වැටුප් වර්ධක ලබා දී විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීමද නිර්දේශවල ඇතුළත් වෙනවා. මේ සියලු නිර්දේශ 2025 වර්ෂයේ අයවැය ලේඛනයට ඇතුළත් වෙනවා. මෙය රජය සහතික වූ වැඩපිළිවෙළක් මිස නිකම් ලියවිල්ලක් නොවෙයි. මෙම ප්රතිලාභ ලැබීමට නම් තවත් තිබෙන්නේ 2025 වසරේ ජනවාරි 01 වෙනිදා වීම පමණයි.
නමුත් විපක්ෂය චෝදනා කරන්නේ හදිසියේම වැටුප් වැඩි කිරීමට තීරණය කළේ මැතිවරණය ඉලක්ක කරගෙන බවටයි…
2023 දීත් එතුමා රාජ්‍ය සේවකයන්ට කීයකින් හෝ වැටුප් වැඩි කිරීමට තීරණය කළේ මැතිවරණයක් තිබිලා නෙමෙයි. ඔහු රාජ්‍ය සේවකයන් විඳි අපහසුව හොඳින්ම විශ්ලේෂණය කළ නායකයෙක්. භාණ්ඩ මිල දැවැන්තව වැඩි වෙද්දි ස්ථීර වැටුපක් හිමි තැනැත්තා මුහුණ දෙන අභියෝග පිළිබඳව ඔහුට හොඳ වැටහීමක් තිබුණා. කවුරු හෝ කියනවා නම් මේවා මැතිවරණ ඉලක්ක කරගෙන ගත් ඒවා කියා එසේනම් ජනාධිපතිතුමා පැමිණිදා සිට ගත් සියලු සාධනීය පියවර මැතිවරණ ඉලක්ක කරගෙන ගත් ඒවා විය යුතුයි. නමුත් මේවා ක්‍රමානුකූලව පැමිණි ජනතා සහන.
වෙනත් අපේක්ෂකයෙක් ජනාධිපති බවට පත් වුවහොත් මේ වැටුප් වැඩි වීම මේ ආකාරයෙන් කරගත හැකිවේ යැයි විස්වාස කරනවාද?
මට කිසිසේත් විශ්වාස කළ නොහැකියි. මන්ද මේ සඳහා හොඳ මූල්‍ය කළමනාකරණයක් තිබිය යුතුයි. වැටුප් වැඩි කරන්නට අපි සතුව හොඳ ආදායමක් තිබිය යුතුයි. එය නොමැති නම් කොහොමද කරන්නේ? මුදල් අච්චු ගහන්න බැහැ, ණයට ගන්න බැහැ. මූලික ආදායම වියදමට වඩා වැඩියෙන් පවත්වාගෙන යාමට අපි බැඳී සිටිනවා. හොඳ මූල්‍ය කළමනාකරණයක් නොතිබුණු නිසා තමයි රට හිරවුණේ. ඒ සඳහා හොඳ කළමනාකරුවකු හා කණ්ඩායමක් සිටි නිසයි අද මේ තත්ත්වයට පැමිණියේ. ජනාධිපතිතුමා පවා පවසා සිටියේ මේ ගමන් යන්න හොඳ දක්ෂයන් පිරිසක් එතුමා සමඟ සිටින බවයි. කවුරු හරි මේ පිරිස අවශ්‍ය නැහැ කියලා තීරණයක් ගත්තොත් බලාපොරොත්තු තියා ගන්න බැහැ.
නමුත් සජබය කියන්නේ හොඳ ආර්ථික විශේෂඥයන් පිරිසක් එතුමා වටා සිටින බවත් මේ කාර්යය ඔවුන්ට හොඳින් කරන්නට හැකි බවත්…
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා පැරණි කියමනක් තියෙනවානේ. එදා අසාධ්‍යයි කියා ලෙඩා මැරෙන්න පැත්තකට විසි කළ අය දැන් මොනවා කියනවද මන්දා. තනි මනුස්සයෙක් ඇවිත් රට ගැන හිතන පිරිසක් එක්ක මේ රට ගොඩ දැම්මා. දැන් අසාධ්‍ය ලෙඩා වැට්ටුවට ඇවිත් ඇවිදින්න ලෑස්තියි.
විපක්ෂයත් පවසනවා; ඔවුන් පැමිණියොත් විශාල වශයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන බවට. ඔවුන්ට මෙය කරගන්න ලැබෙයිද?
මූල්‍ය කළමනාකරණයක් නැතිව කිසිවක් කරන්න බැහැනේ. මූල්‍ය කළමනාකරණයක් ඔවුන්ට කළ හැකිව තිබුණා නම් එදා ඔවුන් මෙය භාර ගන්නවා. ඔවුන් එයට බයයි. ඒ නිසා ජනතාවට ඔවුන් ගැන විශ්වාසයක් තබා ගන්නට පුළුවන්ද? එය සාමාන්‍ය දේශපාලනික කතාවක් බව කිව හැකියි. ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව නැතත් මාස 6කට වරක් ජීවන වියදම අනුව ජීවන වියදම් දීමනාව වැඩි කරන බව කිහිප තැනකම ප්‍රකාශ කරනවා දැක්කා. ඒ අනුව සෑම මාස 6කට වරක්ම ඔවුන් අයවැයක් ඉදිරිපත් කළ යුතු වෙනවා. එසේත් නැත්නම් විසර්ජන පනත වෙනස් කළ යුතුයි. නමුත් වැදගත්ම දේ අපි රුපියල් 10,000 ක් වැඩි කරන විට ඔවුන් කිව්වා රුපියල් 20,000ක් ලබා දෙනවා කියලා. ඒ ගැන දැන් කිසිම කතාවක් නැහැ.
සජබ ආචාර්ය හර්ෂද සිල්වා පවසන්නේ මාලිමාවට ඡන්දය දීම යනු IMF වැඩපිළිවෙළ ඇනහිටීමක් පමණක් වන බව. ඔහු එසේ පැවැසුවත් අද මාලිමාව මෙන්ම සජබයද පවසන්නේ තමන්ගේ රජයක් යටතේ යළිත් IMF කොන්දේසි සාකච්ඡා කරන බවයි. මෙය රට ආපස්සට හැරවීමක් නේද?
මූල්‍ය විනය බිඳවැටුණා කියන්නේ IMF ගිවිසුම අහවර වීමයි. නමුත් හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ කෑ ගහලා කිව්වා ඔවුන් ආ පසු මෙය වෙනස් කරන බව. මෙවැනි දෙයක් වෙනස් කළ හැකිද, වෙනස් වුණොත් වාරිකය ලබාගත හැකිද යන්න සිතිය යුතුයි. ජනාධිපතිවරයා හැදූ මූල්‍ය ස්ථාවරත්වය පරදුවට තබා මේ අය කටයුතු කරන බව ජනතාව තේරුම් ගත යුතුයි.
2028 ණය ගෙවීම ආරම්භ වූ පසු තවත් අසීරු කාලයක් උදාවන බවට බොරු බිල්ලෙක් මවනවා. විපක්ෂයේ මේ මතයට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?
එයට තමයි අපිට ගෙවිය හැකි පරිදි ණය ප්‍රතිව්‍යුහගතකරණය කළේ. නමුත් අපේ ඉලක්කය වන්නේ 30% ගණනකින් ගෙවිය හැකි වාරික 13% කට ගෙනෙන්න. එනම් අපිට ගෙවිය හැකි පරිදි ණය කළමනාකරණය කිරීමයි. එයින් අලුත් බරක් ඇති වන්නේ නැහැ. අපි ගෙවීම් කල් දමා ඇත්තේ පෞද්ගලික අංශයේ ණය පමණයි. අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන්. බහු පාර්ශ්වීය විදේශ ණය ගෙව්වා. පසුගිය කාලයේ රුපියල් බිලියන 5 ක් ණය ගෙවලා තියෙනවා. ලොකු බිල්ලෙක් මැව්වට දේශීය හා බහු පාර්ශ්වීය විදේශ ණය ගෙවා තියෙනවා. ඉතුරු ණය අපිට ගෙවා ගත හැකි පරිදි ප්‍රතිව්‍යුහගතකරණය කරලා තියෙනවා. ඒ නිසා කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන පරිදි කළමනාකරණය කර තියෙනවා.
රනිල් සජිත් එකතු වීමක් ගැන කතා කරනවා..
එය හොඳ යෝජනාවක්. මේ අවස්ථවේ සියලු දෙනා එකතු විය යුතුව තිබුණේ 2022 මේ රට වැටුණු වේලාවේ. දේශපාලනඥයන්ට ජනතාවට කළ හැකිව තිබූ එකම යුතුකම වන්නේ එදා එකතු වීමයි. එදා එකතු වූවා නම් අද මේ ගමන දෙගුණයකින් අපි වේගවත්ව ගිහින්. නමුත් එදා සිට සිදු වූයේ විවේචනය පමණයි. නමුත් අද දවසත් පරක්කු නැහැ, රට වෙනුවෙන් කැපකිරීමක් කර සියලු දෙනාගේ ශක්තිය එක තැනකට ගන්න. තනිව මේ නායකයා ආ ගමන නිවැරදි බව ඔවුන්ට පෙනෙන නිසයි, මෙසේ එකතු වන්නට උත්සාහ කරන්නේ. එසේම ඔවුන්ට මේ ගමන තනිවම යා නොහැකි බව දන්නවා. අවංකවම හැමෝම දන්නවා රට මේ තත්ත්වයට පත්වුණේ රනිල් වික්‍රමසිංහ නායකත්වය යටතේ බව. එතුමා ගිනි කන්දක් උඩ සිට රටේ ගින්න නිව්වා…
ජනාධිපතිවරණයෙන් පසුව රට තුළ සිදු කළ යුතු විශාල කාර්යභාරයක් පවතිනවා. අනිකුත් ප්‍රධාන අපේක්ෂකයන්ට මේ කාර්යයට මුල පුරන්නට හැකි වේද?
අපි සාපේක්ෂව බැලිය යුත්තේ වඩාත් හොඳ කෙනා කවුරුද යන්නයි. පළපුරුද්ද, තීන්දු ගැනීමේ හැකියාව, ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේ හැකියාව මෙන්ම පිළිගැනීම හා මෙවැනි අර්බුදයකදි දුන් නායකත්වය වැදගත්. නායකත්වයේදී ඔවුන් පලා ගියා. ජනවාරි 21 වැනිදා තමන් කාටද ඡන්දය භාවිත කරන්නේ යන දර්ශකයක් ගොඩනඟා ගැනීමට ඡන්ද දායකයන්ට අපහසු වන්නේ නැහැ.
ජනාධිපතිතුමා පසුගිය කාලයේ ගොඩනඟාගත් ජාත්‍යන්තර සහයෝගය වෙනත් අපේක්ෂකයකුට ගොඩනඟාගත හැකිවෙයිද?
අංක එකට ඇති ප්රශ්නය මෙයයි. රනිල් වික්‍රමසිංහ චරිතය ගොඩනැඟුණේ දශක ගණනාවක් අගමැති ඇමැතිකම් දරලයි. එතුමාගේ දර්ශනය ගැන ලෝකයා දැන ගැනීමෙන් පසුවයි ඔහු මේ තත්ත්වයට ආවේ. ඔහුගේ හැසිරීම, උගත්කම, පළපුරුද්ද මෙන්ම ජාතිවාදි නොවන දේශපාලන දර්ශනය හරහායි ලොව පිළිගැනෙන චරිතයක් බවට පත්වූයේ. මම අනිකුත් අය පහතට දාලා කතා කරන්නේ නැහැ. නමුත් ඔවුන්ට මේ තත්ත්වයට පත්වීමට තව බොහෝ කාලයක් ගතවේවි. ඒ වන විට මේ ප්රශ්නය විසඳා ගැනීමට ඇති කාලයත් ඉකුත් වෙලා.
මෙවර ඡන්දය ලබාදිය යුත්තේ පුද්ගලයා ගැන සිතා නොව රට ගැන සිතා බව බොහෝ දෙනා පවසනවා. ඡන්ද දායකයන්ගේ වගකීම කුමක්ද?
ජනාධිපතිවරයා මෙවර ඉල්ලන්නේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසයි. මේ අවස්ථාවේ ඡන්ද දායකයා හැසිරිය යුත්තේ රටේ අනාගතය ගැන කල්පනා කරලයි. තමන් කුමන පක්ෂයක හිටියත් කුමන ජාතියක සිටියත් තමන් කුමකටද ඡන්දය භාවිතා කළ යුත්තේ යන්න ඡන්දදායකයන්ට ඉතා පැහැදිලියි. රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් හා තමන් වෙනුවෙන් ගත යුතු තීරණය ඉතා පැහැදිලියි.
ජනතාව සිය වගකීම පැහැර හැරියහොත් කුමක්ද වන්නේ?
අපි සිතාගත නොහැකි අර්බුදයකට ගමන් කරාවි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කිය තිබුණා අපි බොහෝම වේගයෙන් ඉදිරියට යන රටක් බව. යම් හෙයකින් අපි මේ ප්‍රතිපත්ති වෙනස් කළොත් අපි යන අර්බුදයේ ගැඹුර පවා සොයාගන්න බැරිවේවි. ඔවුන් එදා කියූ මතය ජනතාව තේරුම්ගත යුතුයි.
මෙවර ප්‍රධාන අපේක්ෂකයන් කිහිප දෙනෙක් අතර වන සටනේ අවසානය කෙසේ තීන්දු වෙයිද?
මේ රටේ හඬක් නැති අහිංසක ජනතාව ගැන විශාල විස්වාසයක් තියෙනවා. අපේ ගම්වල මිනිසුන් කියන්නේ රනිල් මහතා මේක භාර ගත්තේ නැතිනම් අපි මැරුණු තැන්වල දැන් ගසුත් පැළ වෙලා කියලයි. ඒ නිසා අපි යුතුකම ඉටු කරනවා කියලා. සමස්ත ඡන්දදායකයන්ගෙන් බහුතරය හඬක් නැති අහිංසක ජනතාව. ලංකාව අවාසනාවන්ත නැහැ. අනිකුත් රටවලට සාපේක්ෂව අපිට කොහෙන් හෝ විසඳුමක් තියෙනවා. එය ස්ථාවර කර ගැනීමයි 21 වැනිදා සිදු කළ යුත්තේ. එවිට ශ්‍රී ලංකාව වාසනාවන්ත වේවි.
සුභාෂිණි ජයරත්න