Home » ගොවි ණය කපා හැරේ

ගොවි ණය කපා හැරේ

යෝජනාව කැබිනට් මණ්ඩලයට

by Mahesh Lakehouse
September 7, 2024 12:40 am 0 comment

ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ගොවි බැංකු හරහා මෙන්ම ගොවි සංගම් හරහා ගොවීන් වෙත ලබා දී ඇති කෘෂි ණය, චක්‍රීය ණය, ගොවි විශ්‍රාම රක්ෂණ ණය අතුරින් මෙම වසරේ සැප්තැම්බර් 03 දිනට අයවිය යුතු සම්පූර්ණ ණය මුදල වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 03 දා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එසේ කපා හරිනු ලබන ණය මුදල් පියවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය වෙතින් ගොවිජන දෙපාර්තමේන්තුව හරහා ගොවි බැංකු සහ ගොවි සංගම් වෙත 2025 වසර තුළදී නිදහස් කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2025 අයවැය යෝජනා සඳහා ඇතුළත් කිරීමටත් ජනාධිපතිවරයා යෝජනා කර තිබේ.

ජනාධිපතිවරයාගේ මෙම යෝජනාව සඳහා ඉදිරි සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමි වනු ඇතැයි මහා භාණ්ඩාගාරයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට ගොවීන් 46,933 දෙනෙකුගෙන් රුපියල් 1,654,675,093ක හිඟ ණය මුදලක් ගොවි බැංකුව සහ ගොවි සංගම් වෙත අයවීමට ඇත.

ගොවි සංගම් සහ ගොවි ජනතාව විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට සහ ප්‍රතිචාර දක්වමින්, ගොවි ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් ගොවි ණය කපා දැමීමට රජය තීරණය කර ඇත.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව රසායනික පොහොර ආනයනය නැවැත්වීමට ගත් තීරණය නිසා ගොවීන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් යම් සාධාරණයක් ඉටු කිරීමද රජයේ අරමුණ වී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division