Home » සෙල්ලමක් නෙමෙයි… රටට අවශ්‍ය ආර්ථික අර්බුදය ජයගත හැකි අයෙක්…

සෙල්ලමක් නෙමෙයි… රටට අවශ්‍ය ආර්ථික අර්බුදය ජයගත හැකි අයෙක්…

සබරගමුව විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය එම්. සුනිල් ශාන්ත

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

මේ රට නිදහස ලබා වසර 76ක් ගත වූ තැන අපි ජාතියක් ලෙස අත්කරගෙන ඇති ප්‍රගතීන් සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් අවශ්‍යව ඇත. ගතවූ මේ කාලය පිළිබඳව සවිඥානිකව බැලූ කළ සමාජීය ආර්ථික සහ දේශපාලනික අත්දැකීම් රැසක් පිළිබඳව සාධාරණ පැහැදිලි කිරීමක් කළ යුතුයි.

පෘතුගිසි, ලන්දේසී සහ ඉංග්‍රීසින්ගේ පාලනයෙන් නිදහස් වන තෙක් එනම් 1947 දක්වා මෙරට වතු ආර්ථිකයක් පැවැතිණි. ඊට පෙර මේ රට දියුණු කෘෂිකාර්මික ජාත්‍යන්තර වෙළෙඳාම අතින් ආසියාවේ ප්‍රසිද්ධියක් ඉසිලීය. එකල පෙරදිග ධාන්‍යාගාරය ලෙස ද විරුදාවලිය ලද රටකි. කෘෂිකාර්මික අතින් ලෝකයේ රටවල් ගණනාවක් සමඟ ගනුදෙනු කරන ලද රටක් ලෙස ශ්‍රී ලංකාව ඓතිහාසික වාර්තා සාක්ෂි දරයි. නිදහස ලබන අවස්ථාවේදී මෙරට වැවිලි කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිතව අපනයන ආර්ථිකයක් ප්‍රවර්ධනය වී පැවැතිණි.

එවකට ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 88ක මට්ටමක පැවැතිණි. ජපානයේ ඒ වන විට ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 90කට ආසන්නව පැවැතිණි. යම් කාලයක් ගතවන විට විදෙස් විනිමය ක්‍රමයෙන් පහළට යන ලදී. එයට හේතුව ලංකාව ගත වූ කාලය තුළ ක්‍රමානුකූලව පැවැති සම්පත්, යටිතල පහසුකම් වැනි දේ සඳහා යොදවන ලදී. අපි නිදහස ලබන විට වසර 5කට පමණ සරිලන විදෙස් විනිමයක් රට තුළ තිබුණි. අනතුරුව මෙරට විදෙස් විනිමය ප්‍රමාණය අඩුවීමට පළමු හේතුව නම් ලංකාවේ පැවැති සුබසාධනවාදි ක්‍රියා පිළිවෙතයි.

කෙසේ වුවත් ඩී. එස්. සේනානායක 1948 දී ලංකාවේ පළමුව තේරී පත්වූ අගමැතිවරයාය. ඔහු කෘෂිකර්මාන්තය දියුණු කිරීමට වල් බිහි වී ගිය වැව් අමුණු පිළිසකර කිරීමට ද, වී ගොවිතැන නඟා සිටුවීමට ද කටයුතු කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ නිදහස ලබන විට පැවැති 36%ක් වූ නිෂ්පාදනය ක්‍රමානුකූලව වැඩි කරගැනීමට හැකි විය. එහිදි ඩී. එස්. සේනානායකයන්ගේ වැඩ නිසා ක්‍රමානුකූලව 1950 ගණන් වනවිට කෘෂිකාර්මය වැඩි දියුණු විය.

අනතුරුව එස්. ඩබ්. ආර්.ඩී. බණ්ඩාරනායක 1956 අගමැතිවරයා බවට පත් වූ පසු රටේ දේශපාලන පරිවර්තනයක් ඇති විය. අනතුරුව පෞද්ගලික අංශය වෙනුවට රාජ්‍ය අංශයේ ආර්ථික ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන ලදී. මහජන සුබසාධන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී. පෞද්ගලික අංශය කර්මාන්ත අංශය වෙනුවට සුබ සාධනවාදී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන ලදී. ඉන්පසුව 1956 -1965 වැනි කාලය තුළ නැවත ආර්ථිකයමය වශයෙන් දේශීය නිෂ්පාදන කෙරෙහි විශේෂ උනන්දුවක් පැවැතිණි. ඉන් අනතුරුව සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරියගේ කාලයේදී මේ රට දේශීය කෘෂිකර්මය සහ අනෙකුත් සියලු දේශීය නිෂ්පාදන කෙරෙහි වඩා වැඩි නැඹුරුවක් දක්නට ලැබිණි.

විශේෂයෙන් ආනයන ආදේශන ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදි . කර්මාන්ත අංශය ප්‍රවර්ධනය කිරීම සිදුකරන ලදී. එහිදී වානේ තුනි ලෑලි, පිඟන්, රෙදිපිළි කර්මාන්ත, සිමෙන්ති සහ සීනි වැනි කර්මාන්ත රාශියක් ඇති කරන ලදී. විදේශ ආධාර අනුග්‍රහයන් යටතේ ඒවා යම් මට්ටමක අපට පැවැති විනිමය ප්‍රශ්න විසඳා ගැනීම සඳහා යම් පිළියමක් විය. පසුකාලීනව මේ කර්මාන්තශාලා බිඳවැටීමට හේතු වන්නේ දේශපාලන මැදිහත් වීම, මෙන්ම වැඩවර්ජන දියත් වීමයි. අනතුරුව මේවා පාඩු ලබන ආයතන බවට පත්වීමට හේතු විය.

සේවක නොසන්සුන්තාවයන්, නිශ්පාදන අලාභ තත්ත්යන්ට පත්වීම, අකාර්යක්ෂමතාවය, කළමනාකාරීත්ව අකාර්යක්ෂමතාවය, තාක්ෂණික අකාර්යක්ෂමතාවය එම නිෂ්පාදන එවක අපනයන කරන මට්ටමක නොපැවැතීම වැනි ගැටලු උත්ගත විය.

1965 සහ 1970 අතර ගත්විට ඩඩ්ලි සේනානායකයන්ගේ කාලයේ ආහාර හිඟයක් ඇතිවී නොමිලේ ආහාර දීමට කටයුතු කරන ලදි. කෑමට සහල් සේරුවක් ලබා දීම නිසා බත් දුන් පියා නමින් එතුමා හැඳින්වීමට තරම් එවක සහල් ගැටලුව විශාල සමාජ ප්‍රශ්නයක්ව පැවැතිණි. ඒ කාලයේ සහල් පොත දේශපාලන වේදිකාවේ ප්‍රධානම මාතෘකාවයි. අද දේශපාලන වේදිකාවේ කතා කරන මාතෘකා නොවදා මිනිසුන්ගේ බරපතළම ගැටලුව සහල් හිඟයයි. කෙසේවුවත් නිදහස ලැබෙන විට 36%ව තිබුණ සහල් නිෂ්පාදනය 1965න් පසු 50% ප්‍රමාණයක් දක්වා වැඩි විය. සහල් ගැටලුවේ ප්‍රබලත්වය කෙසේද යත් සහල් ලබා ගැනීමට අමු රබර් ජපානයට අපනයනය කර චීනයත් සමඟ රබර් සහල් ගිවිසුමක් අත්සන් කරමින් ලංකාවේ සහල් අවශ්‍යතාවයට පිළියම් සොයන ලදී. රබර් සහල් ගිවිසුම මඟින් ලංකාවේ මිනිසුන්ට 50%ක ප්‍රමාණයක් සහල් සම්පාදනය කිරීමට හැකියාව ලැබිණි. එය 1990 ගණන් දක්වාම ක්‍රියාත්මක විය.

එවක ලංකා ආර්ථිකයේ තිබුණ විශාලතම ගැටලුව ආහාර සම්පාදනයේ පැවැති ගැටලුවයි. මේ ගැටලුව විසඳීමට 76 වසරක් තුළ මේ රට පාලනය කළ පාලකයන් විසින් විශාල සම්පත් ප්‍රමාණයක් යෙදවීය.

කෙසේ නමුත් 1965 කාලය වන විටද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ පැවැති කර්මාන්ත අඛණ්ඩව පවත්වා ගනිමින් ආයතන ආදේශන ප්‍රවර්ධන ආර්ථික ප්‍රතිපත්තියත් එකට සම්බන්ධීකරණය කර ගනිමින්, රටේ ආර්ථිකය පවත්වාගෙන යන ලදි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1970 දි තුනෙන් දෙකක ඡන්දයකින් බලයට පත්වීමෙන් අනතුරුව ද කෘෂිකර්මාන්ත සහ දේශීය කර්මාන්ත ආනයන ආදේශන ක්‍රියාවලියම අඛණ්ඩව පවත්වාගෙන යන ලදී.

නමුත් අපිට 1977 වනවිට විරැකියා අනුපාතය 28% දක්වා පැවැතිණි. එමෙන්ම ණය සේවා අනුපාතිකයේ මෙන්ම විදෙස් විනිමය හිඟතාවයක් පවතින ලදී. මේ අර්බුදය නිසා 1977 ජුලි මස 21වැනිදා පැවැති ඡන්දයෙන් විශාල දේශපාලන පෙරළියක් සිදු විය.

හයෙන් පහක බලයක් සහිතව වෙනස් ආකාරයේ ආර්ථික ප්‍රතිපත්තියක් වන විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් ජේ. ආර්. ජයවර්ධන මහතා බලයට පත් විය. එතුමාද නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කරමින්, ජලසම්පාදනය සඳහා අතිදැවැන්ත බහුකාර්ය ව්‍යපෘතිය ඇති කරන ලදී. නව නගර සැලසුම් ජනාවාසකරණය, මහවැලිය වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා ලෝකයේ රටවල් ගණනවකින් ආධාර ලැබිණි. වික්ටෝරියා ජලාශයට කෝටි අටසියයක් ලැබිණි. මෙහි ජලය වසර තුන හතරකින් රජ රට නැගෙනහිර ඌව පළාතට මහවැලි එච්. සී. බී. කලාපවල අස්වැද්දු අතර, කුඹුරුවලට ජලය සහ නව කෘෂී බිම් හෙක්ටයාර් ලක්ෂ දෙකක් පමණ අලුතින් වගාවට යොමු කරන ලදී; ඒ අනුව කුඹුරු ඉඩම් ප්‍රමාණය ලක්ෂ දෙකහාමාරක තුනක ප්‍රමාණයක් අස්වැද්දීමට හැකියාවක් ලැබිණි. මේ නිසා 1993 පමණ වනවිට ලංකාවේ දේශීය වශයෙන් සහල් නිෂ්පාදනය 100% සම්පුර්ණ කර ගැනීමට අවකාශය උදා විය. එපමණක් නොව නිදහස ලබන විට විදුලිය පරිභෝජනය කරන ලද්දේ 4% පමණ ප්‍රමාණයකි. එසේම ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ සුළු කෘෂි බෝගවලට අපනයන කෘෂිකර්මාන්තයට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේදී කුඩා තේ ඉඩම් හිමියන් ප්‍රවර්ධනය කරන ලදී. අද වනවිට මේ රටේ ප්‍රධාන දායකත්වයක් ලබා දෙන්නේ කුඩා තේ වතු හිමියන් විසින් ය. පහතරට තෙත් කලාපයේ සබරගමුවේ මහනුවර, බදුල්ල, මාතලේ වැනි දිස්ත්‍රික්කවල කුඩා තේවතු හිමියන් ද, රබර් වගා කළ හැකි ප්‍රදේශවල කුඩා රබර් වතු හිමියන්ද, කුරුඳු නිෂ්පාදනය කරන පිරිසට විශාල දායකත්වයක් ලබා දෙන ලදී. ඒ අනුව කුඩා වතු හිමි පන්තියක් මේ රටේ නිර්මාණය කරන ලදී. සුළු සත්ත්ව නිෂ්පාදනද ප්‍රවර්ධනය කරන ලදි.

අලුත් බලාගාර රාශියක් ඇති කළ නිසා විදුලි බලය අද ගම් නියම් ගම් දක්වා විහිද තිබෙයි. කොත්මලේ, කුකුළේ ගඟ, රන්ටැඹේ වික්ටෝරියා, රන්දෙණිගල, මාදුරු ඔය, ඉහළ කොත්මලේ වැනි බලාගාර ද චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ද ඉන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේදී මොරගහකන්ද වැනි ව්‍යාපෘතිද ගොඩනඟන ලදී.

ලංකාවේ මහ වාරි කෘෂි කර්මානත්තය සඳහා ලබා දෙන විශාල ජල ව්‍යාපෘති රැසක් ගොඩ නඟන ලද්දේ ඒ අනුවයි. මේ මඟින් ලංකාවේ කෘෂි කර්මාන්තය ලැබූ දායකත්වය අතිවිශාල වෙයි. කෘෂිබිම්වල සිටින මිනිසුන් සඳහා විශාල සහනයක් හිමි විය. ගොවින්ට ජලය හිඟයෙන් පසුව උද්ගත වූ සුවිශාල ගැටලුවක් නම් පොහොර සඳහා වන පිරිවැයයි. මේ පොහොර හිඟයට පිළියමක් ලෙස නොමිලයේ පොහොර ලබා දීම සහ සහන මිලට පොහොර ලබාදීමේ ප්‍රතිපත්තියක් බොහෝ ආණ්ඩු අනුගමනය කරන ලදී. සහල් කිලෝවක් යම් සහන මිලකට ලබා ගැනීමට එමඟින් අවකාශ හිමි විය. මෙරට පැවැති බොහෝ ආණ්ඩු යටතේ ලංකාවේ කෘෂිකාර්මාන්තයට විශාල දායකත්වයක් ලැබුණ බව අවිවාදිත ය.

තවද 1978 මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටුවීම වැදගත් වෙයි. බියගම නිදහස් වෙළෙඳ කලාපය කොග්ගල නිදහස් වෙළෙඳ කලාපය එමඟින් ලක්ෂ ගණනකින් රැකියා අවස්ථා හිමි විය. විදෙස් විනිමය අරමුණු කර ගනිමින් අපනයන අභිමුඛාර්ථිකයක් ගොඩනඟන ලදී. ලංකාවේ කාර්මික නිෂ්පාදන තුන්සියයක් පමණ අපනයනය අරමුණු කර ගනිමින් නිෂ්පාදනය වීම සිදු විය. තවද ලුහුකාර්මික නිෂ්පාදනයක් ඇති කරන ලදී.

2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහයන්ගේ කාලයේ ලංකාවේ කෘෂිකාර්මික වශයෙන් දියුණු කිරීමට කටයුතු කරන ලදී. අර්බුදයන් රැසක් අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සිදුවිය. යම් සැලකිය යුතු මට්ටමින් සියලු රජයන් යටතේ රට සංවර්ධන කිරීමේ ප්‍රවර්ධනයන් සිදු කරන ලදී.

1983 ඇතිවූ ජූලි කලබලය සහ අඛණ්ඩව වසර තිහක යුද්ධයත් සමඟ විශාල විනිමයක් යොදවන්න සිදු විය. යුධෝපකරණ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු ය. එමෙන්ම විශාල ශ්‍රම බලකායක් යෙදවීමට සිදු විය. එයින් අපේ ආර්ථිකයකට විශාල පහරක් එල්ල විය.

කෙසේ වෙතත් 1988 -89 කාලවකවානුවේ ලංකාවේ දකුණේ ඇති වූ සිවිල් අරගල නිසා රටේ විශාල සම්පත් ප්‍රමාණයක් විනාශ විය. විශේෂයෙන් ම බස් රථ සහ විදුලි ට්‍රාස්ෆෝමර් විශාල ලෙස විනාශ කරන ලදී. දෙපාර්ශ්වයක තරුණ පිරිස්වල ජීවිත විශාල ගණනාවක් ද අහිමි විය. මේ ගැටුම වසර තුනක් පමණ සිදු කරන ලදී. එහිදී විශාල මිනිස් සංහාරයක් මෙන්ම දේපොළ විනාශයක් සිදු විය. ජනාධිපතිවරයාගේ කාලයේදී විදෙස් විනිමය උත්පාදනය කිරීම වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදුකරන ලදි.

එහෙත් රටේ නිදහසින් පසු ආර්ථික දේශපාලන සාමාජීය අංශයේ යම් ප්‍රගතීන් අත්කර ගෙන ඇත. සුබසාධනය, ආහාර සම්පාදනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, සහල් නිෂ්පාදනය, කෘෂිකාර්මික, කාර්මික අංශයෙන් බලයට පත් වූ සෑම රජයක් ම විශාල වෙහෙසක් දරමින් ප්‍රවර්ධනය කර ඇත. නිදහස ලබන විට ආයු අපේක්ෂණය 40%ක් පමණ වූ අතර, එය අද වසර 78ක් වැඩි වී ඇත. නිවාස හිඟය 5%ක් අඩු වී ඇත. 1960 ගණන් වන විට මානව සම්පත් සංවර්ධනයට විශාල සුබසාධන වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි.

නිදහසින් පසුව අපේ සාක්ෂරතාවය පැවැතියේ 50%ක් පමණය. නමුත් අපි මේ වනවිට සාක්ෂරතාවය සියයට 92% මට්ටමක ඇත. එහිදී අපේ සහල් ස්වයංපෝෂිත භාවය 100% දක්වා පැමිණ ඇත. කෙසේ වුවත් 1994 බලයට පත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියගේ කාලයේ පළමු ගුවන් පාලම ඉදි කරන ලද අතර ඇය යටතේද ආර්ථික සංවර්ධන වැඩසටහන් කිහිපයක් ඇති විය. එසේම 2005 වසරේ බලයට පත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදි වරාය ගුවන්තොටුපොළ අධිවේගී මාර්ග කිහිපයක් සහ තිස්වසරක යුද්ධය අවසන් විය. යුද්ධය සඳහා වැය වූ අති දැවැන්ත පිරිවැය ඉන් අනතුරුව සංවර්ධන කාර්ය සඳහා යෙදවීමට එතුමාට හැකි විය.

එසේම මුල්කාලීනව අපේ ආර්ථික වර්ධන වේගය අඩු වැඩි වෙමින් පැවැති අතර යම් ස්ථාවරත්වයකට පැමිණෙන විට මෙරටට පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරකයන් ගේ පැමිණීමේ අඩුවක් ඇති විය. එහිදී ජාතික සමඟිය පිළිබඳව ගැටලු මතු විය. එසේම 2019 දී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවක් බිහි වූ අතර එහි දී කොවිඩ් හමුවේ සිදු වූ ආර්ථික කඩාවැටීමත් සමඟ ජාත්‍යන්තර වශයෙන් ඇති ගැටලු නිසා ආර්ථික වර්ධන වේගය අඩු විය. ලංකාව ආර්ථික වශයෙන් පහතට වැටීම ඇරැඹිණි. ඒ අනුව අපේ තෙල්, ගෑස්, ආහාර සහ පොහොර හිඟයක් ඇති විය. අති විශාල අර්බුදයකට පත්වී පෝලිම් යුගයක් ඇති විය. මේ වසර 76ක් තුළ ලංකා ආර්ථිකයේ ඇති වූ ප්‍රබල අවස්ථාව විය. එය මේ වනවිට යථාතත්ත්වයට පැමිණෙමින් ඇත. මේ අවස්ථාව අපි මැතිවරණයකට මුහුණදීමට සූදානමින් සිටිමු.

රට කඩා වැටීමකින් අනතුරුව මේ මැතිවරණය පවත්වනු ලබයි. මේ අර්බුදය සමහන් කර ගනිමින් ඉදිරියට යාමේ වගකීමක් සියලු දෙනාටම පවතී. තිරසර ආර්ථික වැඩපිළිවෙළක් තුළින් ආර්ථිකය ශක්තිමත් කළ යුතුය. ඒ මඟින් යහපත් ජීවන මට්ටමක් උදාකර ගත යුතුයි. මේ රටේ ඒකපුද්ගල ආදායම පහළ දිළිඳු රේඛාවේ සිට පහළ මැදි ආදායම් රටකට පැමිණ ඉන්පසුව ඉහළ මැදි ආදායම් රටක තත්ත්වයකට පැමිණ ඇත. අපට ඉදිරියේදි ඉහළම ආදායම් ලබන රටක් බවට පත් විය හැකිය. පොහොසත් රටක් බවට පත්වීමට නම් ඒක පුද්ගල ආදායම අඩු වශයෙන් ඇ.ඩො.10000ක මට්ටමින් ඉහළට ගෙන යායුතුයි. ඒ සඳහා ජාත්‍යන්තර වෙළෙදාම ජාත්‍යන්තර දැනුම ඇති පිරිසක් මේ රට ඉදිරියට පවත්වා ගෙන යායුතුයි.

රට ආර්ථික අර්බුදය ජයග්‍රහණය කළ හැකි අයෙක් පත් කළ යුතු වෙයි. එසේ නොවෙන්නට මේ රට මීට වඩා අර්බුදයකට පත්විය හැකියි. අප මේ වනවිට IMF සමඟ ගිවිසුම් ගත වී ඇත. එය ණය දෙන ආයතනයක් නොවන අතර ජාත්‍යන්තර වෙළෙඳාමේ ගෙවුම් ශේෂ හිඟය පියවීමට උදව් කිරීමට මැදිහත්කරුවෙකු වෙයි. මේ පවතින වැඩපිළිවෙළ අනුව ඉදිරියට යා යුතුය. 1960 නොබෙල් සාම ත්‍යාගය දිනාගත් අමාර්ත්‍ය සෙන් ආර්ථික විද්‍යාඥයා පවසන ලද්දේ ගස නොසිටුවා පල බුදින රට ශ්‍රී ලංකාවයි යනුවෙනි. මෙතරම් අති දැවැන්ත මානව සංවර්ධනයක් ඇති ආසියාවේ බැබළෙන රට ශ්‍රී ලංකාවයි. ඒ නිසා විශාල රාජ්‍ය සේවයක් සහ නොමිලේ අධ්‍යාපනය ලබාදීම ආදියෙන් ආසියාවේ තියෙන දියුණු රටක් ලෙස මේ රට ඉදිරියට ගෙනයාමට අපි කටයුතු කළ යුතුයි. සියලු දෙනාම ඒ සම්බන්ධයෙන් පෙළ ගැසිය යුතුයි.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division