ප්‍රංශ මහා ලේඛක ගී ද මෝපසාංගේ Moonlight කෙටි කතාවේ පරිවර්තනයකි.
පරිවර්තනය – සාලිය ගුණවර්ධන
ස්විට්සර්ලන්තයේ සංචාරයක යෙදී ආපසු පැමිණ සිටින තම වැඩිමහලු සොහොයුරිය හෙන්රියට් ලෙටෝර් ආර්යාව තමා හමුවීමට එන තුරු ජුලී රෝබියර් ආර්යාව මඟ බලමින් සිටියාය. ලෙටෝර් පවුලේ අය පිටත්ව ගොස් සති පහකට ආසන්න කාලයක් ගෙවී ගොස් ය. කිසියම් අත්‍යවශ්‍ය ව්‍යාපාරික කටයුත්තක් සඳහා තම සැමියා කැල්වඩෝස්හි ඔවුන්ගේ වත්තට පිටත්ව යද්දී හෙන්රියට් ආර්යාව පැරිසියෙහි වෙසෙන තම බාල සොහොයුරිය සමඟ දින කිහිපයක් ගත කිරීම සඳහා එන බව දන්වා ඇත.
නිහැඬියාවේ ගැලුණු සාලය සැඳෑ අඳුරේ සෙවණැලිවලින් අඳුරු වී තිබිණ. රෝබියර් ආර්යාව උදාසීන ඉරියව්වකින් පොතක් කියවමින් සිටි අතර කිසියම් ශබ්දයක් ඇසෙන වාරයක් පාසා දෙනෙත් ඉහළ නඟා බැලුවාය.
අවසානයේ දොර සීනුව නාද වූ අතර ඒ සමඟම චාරිකා උඩු කබායකින් ආවරණය වු සොහොයුරිය ඇය ඉදිරියෙහි පෙනී සිටියා ය. වහාම යම් විධිමත් පිළිගැනීමකින් තොරව එකිනෙකා වැලඳ ගනිමින් සිට මොහොතකට ඉන් වැළකුණ ඔවුහු යළි සිප වැලඳ ගැනීම් ඇරඹූහ. ඉන් පසු ඔවුන් එකිනෙකාගෙන් සුව දුක් පිළිබඳවත් පවුල්වල තොරතුරු හා තවත් දහසක් කරුණු පිළිබඳවත් ප්‍රශ්න නඟමින් ඕපාදූප දොඩමින් කඩිසර ලෙස සිරුරු චලනය කරමින් බිඳුණු වැකිවලින් කතාබහ කළ අතර හෙන්රියට් කලබලයෙන් තම හිස්වැසුම සහ මුහුණු ආවරණය ඉවත් කිරීමේ යෙදුණාය.
මේ වන විට අඳුර දැඩි විය. රෝබියර් ආර්යාව ලාම්පුවක් ගෙන්වා ගැනීමට සීනුව හැඬැ වූ අතර එය ගෙන ආ විගස ඇය නැවතත් වැලඳ ගැනීමේ අදහසින් තම සොහොයුරියගේ මුහුණ දෙස විමසිල්ලෙන් බැලුවාය. එහෙත් සොහොයුරියගේ පෙනුමෙන් බියට හා විමතියට පත් වූ ඇය මඳක් පසුබෑවාය. ලෙටෝර් ආර්යාවගේ නළල දෙපස දිගු කෙස් රොදවල් කිහිපයක් සුදු පැහැයට හැරී තිබිණ. සෙසු මුළු කේශ කලාපයම ඔප් නැඟුණු කාල වර්ණයෙන් වර්ණවත් වුව ද ඇගේ හිස දෙපස හුදෙකලා කෙස් රොද රිදී දිය දහරා දෙකක් සේ පහළට යොමු වී ගොස් සෙසු කෙස් අතර සැඟවී ගියේය. එසේ වුව ද ඇගේ වයස අවුරුදු විසි හතරක් පමණක් වූ අතර මෙම හදිසි විපර්යාසය සිදුවී ඇත්තේ ඇය ස්විට්සර්ලන්තයට ගිය පසුවය.
රෝබියර් ආර්යාව නොසෙල්වී තම විමතියෙහිම ගැලී කුහුලින් බලා සිටියදී ඇගේ දෙනෙත්වල කඳුළු පිරී ගියේය. තම සොහොයුරිය කිසියම් සැඟවුණු, භයානක ව්‍යසනයකට ගොදුරු වී ඇතැයි ඇය අනුමාන කළාය.
“ඔයාට මොකද වුණේ හෙන්රියට් ?” යි ඇය විමසුවාය.
දිරි සිඳී ගිය අයෙකුගේ ශෝකී මඳහසින් යුතුව වැඩිමහලු සොහොයුරිය පිළිතුරු දුන්නාය.
“ඇයි ? මොකුත් නැහැ මම සහතික වෙනවා. ඔයා මගේ සුදු වෙච්ච කෙස් රොදවල් දිහා ඕනෑකමින් බලා හිටියා නේද?”
එහෙත් රෝබියර් ආර්යාව ක්ෂණිකව ඇගේ උරහිසින් අල්වා ගනිමින් ඇය දෙස දියුණු බැල්මක් හෙළා යළිත් සිය පැනය ප්රතිරාව කළාය.
“ඔයාට මොකද වුණේ ? මට කියන්න, ඔයාට මොනවා හරි කරදරයක් වුණා ද?” ඔයා මට බොරු කරන්න හැදුවොත් මම ඒක හොයා ගන්නවා කොහොම හරි.”
ඔවුන් මුහුණට මුහුණලා සිටි අතර සුදුමැලි වූ හෙන්රියට් ආර්යාවගේ තඩිස්සි වු දෑස කෙළවර මුතු ඇට වැනි කඳුළු බිංදු දෙකක් රැඳිණ.
ඇගේ සොහොයුරිය දිගින් දිගටම ප්‍රශ්න කළා ය.
“මොකද වුණේ ඔයාට. ඔයාට කරදරයක් වුණා ද? උත්තර දෙන්න මට.”
එවිට වැඩිමහලු සොහොයුරිය මැඬ ගත් කට හඬකින් මිමිණුවාය.
“ම.. මට.. මට ආදරවන්තයෙක්.. ඉන්නවා.”
ඒ සමඟම තම නළල බාල සොහොයුරියගේ උරහිස මත සඟවා ගත් ඇය ඉකි බිඳින්නට වූවාය.
සුසුමකින් ළය සැහැල්ලු වී යද්දී මඳක් සන්සුන් වූ ඇය තම සිතෙහි සඟවාගෙන සිටි රහස හෙළි කරන්නට වුයේ තම සන්තාපය සානුකම්පිත හදවතකට දනවා තම හදවත බර සැහැල්ලු කර ගන්නට මෙනි.
ඒ සමඟම එකිනෙකා දැඩිව ග්‍රහණය කර ගනිමින් කාමරයේ අඳුරු මුල්ලක වූ සෝපාවක් වෙත දෙදෙනාම ගිය අතර බාල සොහොයුරිය තම අතක් වැඩිමහලු සොහොයුරියගේ ගෙල වටා යවා ඇය තම ළැමට සමීප කර ගනිමින් අසා සිටියා ය.
“ඔව්, මම දන්නවා කෙනෙකුට සමාවක් නැහැ; ඒ වගේ දෙයක් ගැන. මට බැහැ තවම තේරුම් ගන්න. ඒ දවසේ ඉඳලා මට පිස්සු වගේ. පරිස්සම් වෙයන් මගෙ කෙල්ලේ. ඔයා ගැනම පරිස්සම් වෙයන්. ගැහැනු අපි කොයි තරම් දුර්වලද කියලා ඔයා දන්නවා නම්… කොයි තරම් දුර්වල වෙනවද හිත මෙළෙක් වුණ මොහොතක? අපේ ආත්මයට ශෝකී බවක් රිංගා ගත්ත මොහොතක පෙම්බරයෙක් වැලඳ ගන්න ඇතිවෙන ආශාව! අපි කාට වුණත් යම් අවස්ථාවලදී එහෙම වෙනවා.”
“ඔයා දන්නවානේ මගේ මහත්තයා ගැන? ඒ එක්කම ඔයා දන්නවානේ මම එයාට මොන තරම් ආදරේ ද කියලත්? ඒත් එයා මෝරලා, එයා පරිණතයි, බුද්ධිමත්, එයාට දැනෙන්නේ නැහැ ගැහැනියකගේ හදවතේ ගැස්ම. එයා හැම විටම එකම විදිහයි. නිතරම යහපත්. නිතරම සිනාමුසුයි. කරුණාවන්තයි. පරිපූර්ණයි. අනේ! සමහර වේලාවක මට හිතෙනවා එයා ගොරහැඩි විදිහට තමන්ගේ අත් දෙකට මාව හිර කරගෙන ඉන්නවා නම්! හෙමින් වැලඳ ගෙන එකට බැඳිලා ඉන්න ඇත්නම්! නිශ්ශබ්ද විශ්වාසවන්ත බැඳීමකින්. එයා තමා ගැනම අමතක කරලා දුර්වල වෙලා ඉන්නවා නම්! එහෙනම් එයාට මාව ඕනෑ වෙයි. මාගේ ආදර පිරිමැදීම් මගේ කඳුළු එයාට ඕනෑ වෙයි. මම එහෙම හිතපු තරම්!”
“මේ ඔක්කොම හරිම මෝඩ දේවල් විදිහට පෙනේවි. ඒත් අපි, ගැහැනු මැවිලා තියෙන්නෙම එහෙම තමයි. ඉතින් ඒකට අපි මොකද කරන්නේ ?”
“ඒත් මට මාවම රවටා ගන්න හිතක්. ඒ මොහොත වෙනතුරුත් ඇති වෙලා නැහැ. අද ඒක සිද්ධ වෙලා. ආදරයක් නැතිව, හේතුවක් නැතිව කිසි දෙයක් නැතිව සරලව කියනවා නම් ලුසර් ගඟේ ජලය මත වැටුණු හඳ එළිය නිසාම.”
“මගේ මහත්තයයි. මායි එකතු වෙලා සංචාරෙක යෙදුණු මාසේ ඇතුළත එයාගේ උදාසීනකම මගේ උනන්දුව අඩපණ කළා. මගේ කාව්‍යමය ළැදියාවන් දියකර හැරියා. හිරු පායා එද්දී අපි කඳුකර පාරවල පල්ලම් බැහැගෙන යද්දී. අශ්වයන් හතරදෙනා පිම්මේ යද්දී අපි දැක්කා උදෑසන මීදුම් පටල විනිවිද පෙනෙන මිටියාවත්, වනාන්තර, දිය කඳුරු, ගම්මාන මම උතුරා යන සතුටකින් අත් පටලාගෙන එයාට කීවා මොන තරම් ලස්සන දර්ශනයක් ද “ඉතින් අනේ මාව සිපගන්නකෝ රත්තරන්’ කියලා.”
“උදාසීන, ඒත් ක්ෂණික හඬකින් කතා කරන අතර එයා හිනා වුණා. ‘ඔයා මේ භූමි දර්ශනයට කැමති වෙන එක අපි එකිනෙකා සිප වැලඳ ගන්න තරම් දෙයක් නොවෙයි’ කීවා. එච්චරයි”
“එයාගේ ඒ වචන මාව මගේම හදවතට හිර කරලා ගල් කරලා දැම්මා. මිනිස්සු එකිනෙකා ආදරය කරද්දී ඒ අය තමා ඉදිරියේ දකින සුන්දර දර්ශනවලට කවදාටත් වඩා සමීප වෙන්න ඕනෑ කියලයි මට දැනෙන්නේ.”
“ඇත්තෙන්ම එයා මගේ ඇතුළාන්තයේ බුබුළු දමන කවීත්වයේ ගලා යාම වැළැක්වුවා. මම ඒක කොහොම කියන්නද? සම්පූර්ණයෙන්ම හුමාලයෙන් පිරිච්ච උණු වතුර භාජනයක් සුළං නොවදින්න තද කරලා වැහුවා වාගේ වුණා මගේ ඇතුළාන්තය.”
“එක දවසක් හැන්දෑවේ (අපි දවස් තුන හතරක් ‘හොටෙල් ඩී ෆ්ලුලෙන්’ හෝටලයේ නතර වෙලා හිටියා) රොබට් හිසරදයක් හැදිලා රෑ කෑම ගන්න ගමන්ම නැගිටලා ඇඳට ගියා. මම තනිවම විල් ඉවුර දිගේ ඇවිදින්න ගියා. ඒක කවුරු හරි කියාපු සුරංගනා කතාවක වගේ රාත්‍රියක්, පුරා හඳ අහසේ මුදුනටම ඇවිත්. උස් කඳු හිමෙන් වැහිච්ච තමන්ගේ සිකර රිදී ඔටුනු පැලඳ ගත්තා වාගේ. හෙළවෙන පුංචි රළවලින් පොකුණ බැබළුණා. අවට වාතය හරිම ශාන්තයි. පෙරිලා එන නැවුම් ගතියෙන් සිහි මුළා කරන තරම් මෘදු ගතියක් දැනුණා. පැහැදිලි හේතුවක් දැක ගන්න බැරි ගැඹුරු බලපෑමක් ඇති කළා. මොන තරම් සංවේදී ද, මොන තරම් කම්පනීය ද ඒ මොහොතේ හදවත? හදවත මොන තරම් ඉක්මනින් උඩ පනිනවාද? චිත්තවේග මොන තරම් තියුණුද?
මම තණ පිටියේ ඉඳගෙන විශාල පොකුණ දිහා බලාගෙන හිටියා. ඒ තරම් දුක්මුසු සරාගික ගතියක් මිශ්‍ර වුණු අමුතු හැඟීමක් මා තුළට ගලා ආවා. ආදරේ ගැන අතෘප්තිකර අවශ්‍යතාවකින් මාව ඩැහැගෙන; මගේ ජීවිතයේ මලානික අන්ධකාරයට විරුද්ධ විප්ලවයක්. මේ වගේ විල් ඉවුරක, මේ වාගේ බබළන හඳ එළියක පිරිමියෙකුගේ අත් දෙකකට මැදිවෙලා ඉන්ට මගේ දෛවය මට කවදාවත් ඉඩක් දෙන්නේ නැද්ද? කවදාවත් ම? එහෙම නම් මට මගේ තොල් ගැඹුරු මිහිරිතම මෝහනීය හාදුවලින් තෙරපෙන හැටි විඳ ගන්න, ප්‍රේමවන්තයන්ගේ සරාගී වැලඳ ගැනීම්වලටම දෙවියන් වහන්සේ මවා දීපු මේ වාගේ අවස්ථා මට අහිමිද? මට කවදාවත්ම ඒ වාගේ අවස්ථාවක්, උන්මාදනීය ආදරයක්, හඳ එළියෙන් සෙවණැලි හැදූ ගිම්හාන රාත්‍රියක් නොලැබේවිද?.
“මම අඬා වැටුණා, හරියට අසාධාරණයට ලක් වෙච්ච ගැහැනියක් වාගේ. මට මගේ පිටුපසින් යම් සසල වීමක් දැනුණා. මම හැරී බැලුවා. මිනිහෙක් මා දිහා එක එල්ලේ බලාගෙන හිටියා. මම හිස හරවා බලද්දී එයා මාව අඳුනා ගත්තා. එයා කතා කළා.
“ඔයා අඬනවා නේද මැඩම්?”
“එයා තරුණ බැරිස්ටර්වරයෙක්. එයාගේ අම්මත් එක්ක සංචාරයේ යෙදෙනවා. අපව මුණ ගැහිලා තියෙනවා. හුඟාක් වෙලාවලදී. එයාගේ ඇස් වරින්වර මා දිහාවට හැරෙන හැටි මම දැකලා තියෙනවා.”
“ඉතින්, මම මොන විදිහේ උත්තරයක් දෙන්නද එයාට? මගේ හිත අන්ද මන්ද වුණා. මම කීවා මට ටිකක් අසනීපයි කියලා”.
“එයා මා ළඟින් ස්වාභාවික විනීත ආකාරයකින් ඇවිද ගියා. ඒ අතරේ චාරිකාවේදී දැකපු දේවල් ගැන කතා කරන්න පටන් ගත්තා.”
මගේ හිතට ආපු හැම දෙයක්ම එයා වචනවලට පරිවර්තනය කළා. මම ඉතාම සතුටට ප්රහර්ෂයට පත් කරවූ හැම දෙයක්ම එයා සම්පූර්ණයෙන්ම තේරුම් ගත්තා. මටත් වැඩියෙන් එක පාරටම එයා ඇල්ෆ්‍රඩ් මුසේ කවි කීපයක් ගායනා කළා. මට මගේ හුස්ම හිරවුණා වගේ දැනුණා. වචනයෙන් විස්තර කරන්න බැරි ආවේගයකින් මාව ග්‍රහණය වුණා වගේ දැනුණා. කඳු වැටි, විල, හඳ එළිය මට කියා ගන්න බැරි දේ ගායනා කරමින් හිටියා වගේ දැනුණා.”
“ඒක එහෙම වුණා. මම දන්නේ නැහැ. කොහොමද ඇයි එහෙම වුණේ කියලා. ඒක මායාවක් වගේ.”
“අපි පිටත් වෙලා යන කල්ම ආයෙත් මුණ ගැහුණේ නැහැ. එයා මට ලිපින කාඩ්පතක් දුන්නා. තම සහෝදරියගේ අත් දෙකට මැදිවෙත්ම ලෙටෝර් ආර්යාව කෑ ගසන තරමේ කෙඳිරියක් නැඟුවා ය.
ඉන් පසු රෝබියර් ආර්යාව ආත්ම සංයමයකින් හා බැරෑරුම් ස්වභාවයකින් යුතුව ඉතාම මෘදු ලෙස මෙසේ කීවාය.
“මේ අහන්න අක්කේ, අපි ආදරේ කරන්නේ අවස්ථාවටයි. පුද්ගලයෙකුට නොවෙයි. ආදරේටමයි. එහෙම නම් ඔයාගේ නියම ආදරවන්තයා වුණේ වෙන කවුරුවත් නොවෙයි. හඳ පායපු ඒ රාත්‍රියයි. හඳ එළියයි”.