Home » මියන්මාරය ප්‍රජාතන්ත්‍රවාදයේ දොරගුළු විවර නොවන රාජ්‍යයක් ද?

මියන්මාරය ප්‍රජාතන්ත්‍රවාදයේ දොරගුළු විවර නොවන රාජ්‍යයක් ද?

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

අධිරාජ්‍යවාදයේ හා යටත්විජිතවාදයේ දඬුඅඬුවට හසු වී සිටි ආසියානු – අප්‍රිකානු කලාපීය රාජ්‍යයන් වූ කලී පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට යුහුසුලුව පිවිසීමට මහත් වූ ප්‍රයත්නයක් දැරූ රටවල්ය. මෙම වපසරිය තුළ යටත්විජිතවාදයට නතුව සියවස් ගණනාවක් මර්දනයට හසු වූ අග්නිදිග ආසියානු රාජ්‍යයන් (South East Asian Countries) වෙතින් පළ වූ අභාග්‍යසම්පන්න ලක්ෂණය වූයේ මෙම කලාපීය රටවල් යටත්විජිතහරණ ක්‍රියාවලියෙන් පසු ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ද තවදුරටත් හමුදා පාලනයන්හි (Military Rule) දැඩි මර්දනාකාරී පාලන රටාවන්හි ගොදුරු බවට පත්වීමයි. ප්‍රජාතන්ත්‍රවාදී අත්දැකීම් ඔස්සේ නිදහස්, නිවහල් රාජ්‍යයන් ලෙස ගෝලීය ප්‍රජාව අතර ශක්තිමත් රාජ්‍යයන් (Robust Nations) ලෙස නැඟී සිටීමට ඔවුන්ට තිබූ අවස්ථාව ඇහිරී යාමයි. මේ අර්ථයෙන් ගත් කළ අග්නිදිග ආසියානු කලාපීය රාජ්‍යයන් දෙකක් වන මියන්මාරය (බුරුමය) හා තායිලන්තය ඉතා දැඩි ධාරිතාවකින් හෙබි හමුදා පාලනයකට නතු වූ රාජ්‍යයන්ය. මේ අතරිනුත් “මියන්මාරය” වූ කලී ඉතිහාසයේ දීර්ඝතම කාලවකවානුවක් හමුදා කුමන්ත්‍රණ (Military Coup) ඔස්සේ වරින්වර බිහි වූ අමිහිරි හමුදා පාලන තන්ත්‍රයක මර්දනකාරී පාලනයෙන් අදට ද ඉතාම දැඩි පීඩාවක් විඳින රාජ්‍යයකි.

මේ වන විට අග්නිදිග ආසියානු රටවල් අතරින් පූර්ණ නිදහස් (Full independence) රාජ්‍යයක් ලෙස අග්නිදිග ආසියානු රටවල් අතර ලෝක පර්යායේ ශක්තිමත්ව නැඟී සිටින එකම රාජ්‍යය වන්නේ “නැගෙනහිර ටිමෝරයයි” (East Timor).වසර 500ක පමණ පෘතුගීසි පාලනයට ද අවු 29ක් පමණ ඉන්දුනීසියානු අක්‍රමණයට ද නතු වූ නැ‍ෙඟනහිර ටිමෝරියන් ඉතාම දුෂ්කර නිදහස් අරගලයකින් පසු මේ වන විට ඉතා සාර්ථක අභ්‍යන්තරික රාජ්‍ය පාලනයක් මෙන්ම අන්තර්ජාතික සබඳතා වපසරියේ ද සාර්ථක රාජ්‍යයකි.

2021 පෙබරවාරි 1 දා මියන්මාරයේ ඇති වූ හමුදා කුමන්ත්‍රණය, දශක ගණනාවක හමුදා පාලනයෙන් අතිමහත් පීඩාවට පත්ව සිටි මියන්මාර වැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ යම් අස්වැසිල්ලක් ලැබීමට අවකාශ සැලසුණු මොහොතක එල්ල වූ ඉතාම අමිහිරි හා බලාපොරොත්තු සුන් වූ මොහොතක් විය. මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකාව වූ ද නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවා වූ ද අවුංග්සාං සුකී මහත්මියගේ නායකත්වයෙන් ඒ වන විට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ඔස්සේ පාලනය ගෙන යාමට පසුබිම නිර්මාණය වූ අවස්ථාවකි. 2021 පෙබරවාරි 1 දා මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය ගෝලීය ප්‍රජාව ලොව අ. එ. ජනපදය ප්‍රමුඛ ලෝක බලවතුන්, කලාපීය රාජ්‍යයක් කිසිසේත් පිළි නොගත් තත්ත්වයක් විය. මියන්මාර ජනතාවට සිවිල් පරිපාලනයක සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක අත්දැකීම් ලබා ගැනීමට තිබූ ඒ දුර්ලභ අවස්ථාව ගිලිහී යන අයුරින් මියන්මාර හමුදාව එල්ල කරනු ලැබූ ප්‍රචණ්ඩත්වය රාජ්‍යතාන්ත්‍රික පිරිස් අන්තර්ජාතික මානුෂීය අයිතීන් පිළිබඳ පිළිකුලින් හෙළා දකිනු ලැබීය.

මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුංග් සාං සුකීගේ ගමන් මඟ

මියන්මාරය, බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් නිදහස් වූයේ ඉතා සුළුපටු අරගලයකින් නොවේ. මේ සඳහා නායකත්වය දෙනු ලැබුවේ අන් කවරෙක් නොව මියන්මාරයේ වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී නායිකාව වන අවුංග් සං සුකී මැතිනියගේ පියා වූ (ජනරාල්) අවුං සාක්ය. ඔහු බ්‍රිතාන්‍ය බුරුමයේ (British Burma) එවකට මියන්මාරය හැඳින්වූ රාජ්‍යයේ අගමැති ධුරය ඉසිලුවෙකි. 1915 පෙබරවාරි 13 දා උපත ලැබූ ජනරාල් අවුංග් සාන් මියන්මාර රාජ්‍යයේ නිර්මාතෘ වේ. බුරුම වැසියන් ස්වකීය නිදහස් අරගලය උදෙසා මෙහෙය වූ ඔහු බුරුම රාජ්‍යය ඒකීය රාජ්‍යයක තත්ත්වයට ගෙන ඒමට මහත් පරිශ්‍රමයක් දැරූවෙකි. ජනරාල් අවුංග් සාන් (Aung San) ජාතික වීරවරයෙක් වන අතර, මොහු ඉතා සුප්‍රසිද්ධව හඳුන්වාලූ තවත් නාමයක් නම්, නවීන බුරුමයේ ගෘහ නිර්මාණ ශිල්පියා වශයෙනි.

බ්‍රිතාන්‍ය බුරුමයේ 5 වන අගමැති ලෙස කටයුතු කළ ජනරාල් ස්වකීය දේශපාලන පක්ෂය වූ පැසිස්ට් විරෝධි මහජන ස්වාධීනතා ලීගයට නායකත්වය දෙනු ලැබීය.ආසියානු රටවල් ස්වකීය නිදහස් අරගල ඔස්සේ මේ රාජ්‍යයන් ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ගෙන ඒමේ දී මුහුණ පෑ අතිශය දුෂ්කර පරිසරය මෙමඟින් මනාව පිළිබිඹු වේ. ජනරාල් අවුංග් සාං නම් ඒ යුග පුරුෂයාගේ දියණිය වූ මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා, නොබෙල් සාම ත්‍යාගලාභිනිය අද පසුවන්නේ නිවාස අඩස්සියේ ය.

ප්‍රචණ්ඩ නොවන මාවතක් ඔස්සේ මියන්මාරය ප්‍රජාතන්ත්‍රවාදී මාවතක් කරා රැගෙන ආ තැනැත්තිය වේ. ඇය ජාත්‍යන්තර ප්‍රජාව අතර බෙහෙවින්ම ප්‍රකට වූයේ, 1988 අගෝස්තු 8, (8888) නැගීම සමඟිනි. මේ ඔස්සේ ඇය මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදි ජාතික ලීගයේ (NLD) මහලේකම් ලෙස තේරී පත්විය. මියන්මාර හමුදා පාලනය තුළ පැවති අසාධාරණය හා මර්දනය නිරතුරුව ම විවේචනය කළ ඇය දශක ගණනාවක හමුදා පාලනයෙන් මියන්මාර වැසියන් මුදා ගැනීමට අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමෙන් කටයුතු කළ තැනැත්තියකි.

2015 දී ඇයගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ ජාතික ලීගය (National League for Democracy) විවෘතව මියන්මාර මැතිවරණය උදෙසා තරග කළ අතර, එය මියන්මාර ඉතිහාසයේ අවු. 25කට පමණ පසු පැවැත්වූ ප්‍රථම විවෘත මැතිවරණය විය.

මියන්මාර ආතතිමය දේශපාලනයට රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම

2021 පෙබරවාරි 1 දා මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුංග් සාන් සුකීගේ දේශපාලන පක්ෂය නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබිය දී සිදු වූ ඉතා දරුණු හමුදා කුමන්ත්‍රණය ගෝලීය ප්‍රජාව, ලෝක දේශපාලන විද්වතුන් රාජ්‍යතාන්ත්‍රික පිරිස් ඉතා දැඩි අප්‍රසාදය පළකළ අමිහිරි සිදුවීමක් විය. 1948 පටන් දශක ගණනාවක් හමුදා පාලනයක් පැවති මියන්මාරයේ, සිවිල් පරිපාලනය පිළිබඳ කිසිදු සේයාවක් හෝ නොදැක තිබූ තත්ත්වයක සිදු වූ මේ මහා ඛේදජනක තත්ත්වයට ලෝක නායකයින් පවා සෘජුවම සම්බන්ධ වී ක්‍රියාකරනු ලැබීය. එවකට අ. එ. ජනපද ජනාධිපතිව සිටි බැරැක් ඔබාමා පරිපාලනය මියන්මාර හමුදා කුමන්ත්‍රණය පිළිබඳ ඉතා දැඩි කනස්සල්ල පළ කළ අතර, එතුමා මියන්මාර ප්‍රජාතන්ත්‍රවාද නායිකා අවුංග් සාං සුකි මහත්මිය හමු වී මේ පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පවත්වා මියන්මාර තත්ත්වය සුබවාදී ආකාරයකට ගෙන ඒමට, ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් වර්ධනය කිරීමට ඉතා විශාල පරිශ්‍රමයක් දැරූ නායකයෙක් විය.

එතුමා එවකට සිය “ට්විටර්” ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කොට ඇත්තේ, දශක ගණනාවක පටන් මහත් ප්‍රයත්නයක් දරමින් ස්වාධීනත්වය උදෙසා ඉතා පැහැදිලි මාවතකට පිවිස ඇති අවස්ථාවක එය වළකමින් හමුදාවන්ගේ නීති විරෝධි හා ම්ලේච්ඡ වධ හිංසා සමස්ත ලෝකයම පිළිනොගන්නා බවයි.

ජනාධිපති බැරැක් ඔබාමා මියන්මාර අනාගත ප්‍රජාතන්ත්‍රවාදය නිරතුරුව ම අගය කළ හා බලාපොරොත්තු වූ රාජ්‍ය නායකයෙකි. එමෙන්ම ජෝ බයිඩ්න් පරිපාලනය ද මියන්මාර 2021 හමුදා කුමන්ත්‍රණය අභිමුඛ පවසා ඇත්තේ, ලෝකයේ සෙසු රටවල් ද මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට තමන් සමඟ එකතු විය යුතු බවයි. මියන්මාරය අයත් කලාපීය සංවිධානය වන ASEAN (Association for South East Asian Nations) මේ සම්බන්ධව එම සංවිධානයේ රාජ්‍යයන්ගේ විදේශ අමාත්‍යවරුන්ගේ එකතුවෙන් රැස්වීමක් පවත්වනු ලැබූ අතර, අවුරුදු දෙකකට පසු ඒ සඳහා මියන්මාර නියෝජිතයන් සහභාගිත්වය ලබා දුනි. ලාඕසයේ දී පැවති මෙම සාකච්ඡාවන්ට ලාඕස් විශේෂ නියෝජිත Alounkeo Kittikhoun ද සහභාගි වූ අතර ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන්ගේ අවධානය ඔස්සේ මෙය සුබවාදී ආකාරයෙන් සමථයකය පත් කර ගැනීම පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යන ලදි.

මියන්මාර ආර්ථිකයේ කොතරම් පසුබැස්මක් ඇතිවී ද යත් දළ දේශීය නිෂ්පාදිතය (Gross Domestic Production) 12%ට වඩා අඩු වී ඇති අතර, එය 0.5 අනුපාතිකව පවතී.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට අනුව මියන්මාර ජනතාවගෙන් ආසන්න වශයෙන් 75%ක් පමණ එනම්, මිලියන 42ක් පමණ ජනතාව දශක ගණනාවක් පටන් පවතින මියන්මාරයේ මෙම ගැටුම හේතුවෙන් ඉතාම ඉහළ දරිද්‍රතාවයෙන් පෙළෙන බවයි. ඒ අතුරින් මිලියන 13.3ක ජනතාව ආහාර හිඟකමින් පෙළෙන අතර, මියන්මාර අධ්‍යාපනය, සෞඛ්‍යය යන සේවා අංශය ද පිරිහීමට ලක් වී ඇත.

එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තා අනුව මියන්මාරයේ ගත වූ අවුරුදු 3ක කාලය තුළ පවතින දැඩි ආතතිමය තත්ත්වය හමුවේ ජනතාව මිලියන 3කටත් වැඩි ප්‍රමාණයක් ස්වකීය වාසභූමි හැරදමා ගොස් ඇත. නිකොලස් Koumjian (Nicholas Koumjian) නම් මියන්මාරය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ස්වාධීන පරීක්ෂාකාරී යන්ත්‍රණයේ ප්‍රධානී (UN Independent Investigative Mechanism for Myanmar (IIMM)) ප්‍රකාශ කොට ඇත්තේ අප මියන්මාරයේ මේ වන විට පවතින සාපරාධී හා ම්ලේච්ඡ ක්‍රියා ලෝකය හමුවේ ප්‍රදර්ශනයට අවශ්‍ය සියලු වැදගත් සාක්ෂීන් එක්රැස්ව ඇති බවයි.

රෝහින්ග්‍යා සමූල ඝාතන ප්‍රයත්නය:

රෝහින්ග්‍යා (Rohingiya) යනු 1970 ගණන්වල සිට මියන්මාරයට සංක්‍රමණය වූ මුස්ලිම් සුළුතර ජන කොටසකි. මියන්මාරය වාර්ෂික විවිධත්වය ඇති රටක් වන අතර ඉතා මර්ධදනකාරි මියන්මාර හමුදාව රෝහින්ග්‍යා ජනවර්ගයට එරෙහිව දිගින් දිගටම මර්දනකාරි පිළිවෙතක් අනුගමනය කළ අතර, 2017 දී මෙම තත්ත්වය “සමූල ඝාතක” ක්‍රියාමාර්ගයක් බවට පරිවර්තනය වූ අතර එය ජාත්‍යන්තර යුද අධිකරණයේ (International court of Justice ICJ) හි විෂය පථයට ගැනුණි. මේ වන විට බටහිර මියන්මාරයේ Rakhinපළාතේ සිදුවන මියන්මාර හමුදාව හා Arakan හමුදාව අතර දරුණු ගැටුම් හේතුවෙන් රෝහින්ග්‍යවරු අසල්වැසි බංග්ලාදේශයට සරණාගතයින් (refugees) ලෙස පැමිණෙමින් සිටිති.

2021 මියන්මාර තේරීපත් වූ ප්‍රජාතන්ත්‍රවාදී රජයට, මියන්මාරයේ පාලනය භාර නොදී මඟ අහුරනු ලැබූ මියන්මාර හමුදාව මේ වන විට යුද අපරාධ, වපසරිය තුළ තවදුරටත් ස්වකීය නිර්වද්‍යතාව ඔප්පු කිරීමට සාක්ෂීන් සෙවීම නිෂ්ඵල බව ඔප්පු වී හමාරය. ජාත්‍යන්තර ප්‍රජාව මියන්මාරය තුළ නැවත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පිහිටුවීමට අවශ්‍ය කලාපීය හා ගෝලීය සහාය අත්‍යවශ­්‍යයෙන්ම ඔවුනට ලබාදිය යුතුමය.

මේ වන විට ජාතික ආරක්ෂාව හා ආරක්ෂක කවුන්සිලය මඟින් මියන්මාර රාජ්‍යයේ, 2021 පෙබරවාරි පටන් පැනවූ “හදිසි” තත්ත්වය තවත් මාස 6කින් දීර්ඝ කොට ඇත. ඒ මියන්මාරයේ පැන නැඟී ඇති දරුණුතම හමුදා පාලන තත්ත්වයට එරෙහිව මියන්මාර ප්‍රාන්තවලින් (states)නැඟී ඇති විරෝධතා හේතුවෙනි. ෂාන්, රක්හීන් හා උතුරු Mandlay මේ අතර ප්‍රමුඛ වේ.මියන්මාර සාමාන්‍ය ජන ජීවිතය මුළුමනින්ම අඩාළ වී ඇත. යැංගුන්, මැන්ඩෙල් ආදී ප්‍රධාන නගර 55ක මාෂල් නීතිය ක්‍රියාත්මක වන අතර, මියන්මාර හමුදා පාලනයට මෙවර රට අභ්‍යන්තරයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ද එල්ල වී ඇති විරෝධය හමුවේ අවු. 62ක හමුදා පාලනය මුළුමනින්ම ප්‍රතික්ෂේප වී ඇත.

පී. ආර්. දුෂාන්ති සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division