දෙවියන් යැදීමට අප පෙලඹෙන්නේ භෞතිකව අපට ඉටුකර ගත නොහැකි දේ කිසියම් හාස්කමකින් හෝ ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙනි. මක්නිසාද යත් ජීවත් වීම සැමගේ අපේක්ෂාව වන නිසාය. මෙකී අපේක්ෂාවන් ඉටු කර ගනු වස් දුප්පත් පොහොසත් උගත් නූගත් සියලු දෙනාම පාහේ දෙවියන් යැදීම අප සමාජයේ ද සෙසු රටවලද අනාදිමත් කාලයක සිට සිදුවන්නකි. එහෙත් මේ කියන්නට යන්නේ ඒ අදෘෂ්‍යමාන දෙවියන්ගේ නාමයෙන් සැබෑ ලෙසම නිමැවුණු රෝහල් සංකීර්ණයක් පිළිබඳවය.
හුස්ම ව්‍යාපෘතිය හරහා කතරගම දෙවියන්ට පින් පිණිස රුහුණු මහා කතරගම දේවාලයේ බැතිමතුන්ගේ පුද පඬුරු ආධාර හා පරිත්‍යාගශීලීන් විසින් ලබා දුන් ආධාර මත මිලියන 156ක වියදමින් ළමුන් 75 දෙනකුට ප්‍රතිකාර ලබා ගත හැකි අයුරින් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පසුබිම සකසමින් ඉදිකෙරුණු මෙම වාට්ටු සංකීර්ණය ඉකුත් 03 වැනිදා පෙරවරුවේ සුබ මොහොතින් විවෘත කෙරුණේ අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් අතිනි. එම චාම් උත්සවය පැය භාගයකට පමණ සීමා වූ අතර විවෘත කිරීමේ උත්සවය සඳහා කිසිදු දේශපාලනඥයකු සහභාගි කර නොගැනීම විශේෂත්වයක් විය. මේ අවස්ථාවේදී අපේක්ෂා රෝහලේ දැරියක පමණක් සභාව ඇමතීම ද විශේෂ විය.
අපේක්ෂා රෝහලේ ළමා පිළිකා රෝගීන්ගේ ජීවිත අපේක්ෂාවන් මල්ඵල ගැන්වූ මේ සද් කාර්ය ආරම්භ වූ ආකාරය ගැන අපේක්ෂා රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය බුද්ධික කුරුකුලසූරිය සිළුමිණට මෙසේ පැවසීය. “ළමා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය වසන්ත රත්නායක හමුවෙන්න කතරගම මහා දේවාලයේ දියවඩන නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා වරක් අපේක්ෂා රෝහලට පැමිණියා. ඔහු විශේෂඥ වෛද්‍ය වසන්ත රත්නායකගෙ හොඳ හිතවතෙක්. නිලමේතුමාට මේ දරුවන් දැක්කම යමක් කරන්න ඕන කියන අදහස ඇති වී තිබුණා. අපේ වෛද්‍යතුමා රෝහලේ තිබෙන තත්ත්වය පැහැදිලි කරලා ඒ සඳහා උපකාරයක් කරන්න පුළුවන් නම් එය වඩා යහපත් බව පවසා තිබුණා.
අපේ රෝහල තුළ ළමා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනකුගේ වාට්ටු හතරක් ස්ථාපිත කර තිබෙනවා. ඇඳන් 120ක් පමණ මේ වාට්ටු හතරේ තියෙනවා. නමුත් ගැටලුව වුණේ මෙහි ඉඩ ඉතාම සීමිත වීමයි. සාමාන්‍යයෙන් දරුවකු නේවාසිකව ප්‍රතිකාර ලබන විට මව හෝ පියා හෝ භාරකරු ඔහු සමඟ මෙහි නවතිනවා. අපට තිබුණු ලොකුම ගැටලුව වුණේ මේ භාරකරුට ඉන්න පුළුවන් පරිසරයක් මේ තුළ නොවීමයි. ඔවුන් දීර්ඝ කාලයක් ඉතාම දුෂ්කර කාලයක් මේ දරුවන් එක්ක ගෙවන්න ඕන. ඔවුන් පවා ඇතැම් අවස්ථාවල අසනීපයට පත්වෙනවා. ඔවුන්ට හරි හමන් නින්දක් නැහැ; හරියට වැසිකිළි කැසිකිළි පහසුකම් නැහැ. ඇඳුමක් සෝදගෙන පිරිසිදුව ඉන්න පුළුවන්කමක් නැහැ. ගේන කෑම එක තියාගෙන කන්න තැනක් නැහැ. හරියට කෑමක් නැහැ, නිදා ගන්න ඕන පුටුවක. මේ සියලු දුෂ්කරතා මධ්‍යයේ ඒවා ඉවසගෙන තමන්ගේ දරුවා වෙනුවෙන් ඔවුන් මෙහි රැඳී සිටිනවා. ඇතැම් දරුවන් මාස ගණන් රැඳී සිටිමින් ප්‍රතිකාර ලබනවා. මේ නිසා ඒ අයගේ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ ගැටලුවක් තිබුණා. ඒ අනුව තමයි පළමු පියවර හැටියට මේ මහල් හතරකින් යුත් වාට්ටු සංකීර්ණය ඉදි වුණේ. මෙහි මා පෙර සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරුන් හතරදෙනාගේ වාට්ටු හතරෙන් වාට්ටු දෙකක් මේ නව ගොඩනැඟිලි සංකීර්ණයට රැගෙන ආවා. එක වාට්ටුවක් ළමා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකරගේ. අනෙක් වාට්ටුව ළමා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ප්රභාණි මද්දුමආරච්චිගේ. මෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ භාරකාරයන්ට නිදා ගැනීමට පහසුකම් සලසා දී තිබෙනවා. ඊට අමතරව කන්ටේනර් පෙට්ටි දෙකක තාවකාලිකව ස්ථාපනය කර තිබූ ළමා රෝගීන්ගේ ඇටමිදුලු ලබා ගැනීමේ ශල්‍යාගාරය මේ ගොඩනැඟිල්ලේ බිම් මහල තුළ ස්ථාපනය කිරීමට පියවර ගත්තා. ඒ අනුව බිම් මහළේ ඇටමිදුලු ශල්‍යාගාරයත් පළමු මහලේ සහ දෙවැනි මහලේ ළමා රෝග වාට්ටු දෙකත් තෙවැනි මහලේ ළමා රෝගීන් සඳහා ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකයක් ස්ථාපනය කළා. එය කාමර හතරකින් යුත් ඒකකයක් වන නිසා වරකට හතර දෙනකුට ප්‍රතිකාර කළ හැකියි. සාමාන්‍යයෙන් එක් රෝගියෙක් මාසයක් පමණ මෙහි නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඒ අනුව වසරකට 48 දෙනකුට මෙමඟින් ප්‍රතිකාර කිරීමේ හැකියාව ලැබෙනවා.
මීට අමතරව සිව්වැනි මහලේ දරුවන්ගේ මානසික සුවය වර්ධනය සඳහා හරිත සංකල්පය අනුව සැකසුණු සෙල්ලම් නිවසක් (Play House) හා පුස්තකාලයක් ස්ථාපිත කර තිබෙනවා. මෙය සම්පූර්ණයෙන්ම රුහුණු කතරගම මහ දේවාලයේ දියවඩන නිලමේතුමාගේ මූල්‍ය දායකත්වයෙන් තමයි ඉදි කළේ. මෙහි සම්පූර්ණ ශ්‍රමදායකත්වය ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු බළකාය විසින් ලබා දුන්නා. ගොඩනැඟිල්ල ඉදි කළ පසු ධානපතියන් කිහිප දෙනකු විසින්ම එයට අවශ්‍ය ගෘහ භාණ්ඩ, ඇඳන්, වායුසමීකරණ, විදුලි පංකා, ජනෙල් රෙදි සහ විදුලි සෝපානය ආදිය පරිත්‍යාග කළා. මෙහි සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කළේ ගෘහනිර්මාණ ශිල්පී තිළිණ රත්නායක. ඔහු කිසිදු මුදලක් මේ සඳහා අය කළේ නැහැ. ඒ වගේම නොබෝ දිනකින් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත මෙහි දෙවැනි අදියරය මහල් හතකින් යුතු වාට්ටු සංකීර්ණයේ ද සැලසුම් නිර්මාණ ශිල්පියා ඔහුයි. මේ සියලුම කටයුතු අපේක්ෂා රෝහලේ අධ්යක්ෂතුමාවන වෛද්‍ය අරුණ ජයසේකරගේ මඟ පෙන්වීම යටතේ සිදුවනවා”
ජීවිතය අපේක්ෂාවෙන් සිටින දරුවන් වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ ඉදිකෙරුණ මෙම රෝහල් සංකීර්ණය ඉදිකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර සිළුමිණට පවසා සිටියේ මෙවැනි අදහසකි.
“බොහෝ බැතිමතුන් කතරගම මහා දේවාලයට ඇවිත් දෙවියන්ට පින් දෙමින් රත්රන්, මිල මුදල් ආදී නොයෙක් දේ පූජා කරමින් බාරහාර සිදු කරනවා. නමුත් ඉන් දෙවියන්ට වන පින් පැමිණවීමක් නැහැ. මොකද ඒ සියලු දේ කපු මහත්රුන් විසින් ඔවුන්ගේ සුඛ විහරණය සඳහා රැගෙන යනවා. ඒ නිසා මම කල්පනා කළා දෙවියන්ට නියමාකාරයෙන් පින් පැමිණවීමක් කරන්න නම් මේ ලැබෙන පුද පඬුරු එවැනි කාර්යයක යොදවන්න ඕන කියලා. ඒ අනුව තමයි පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ මහරගම අපේක්ෂා රෝහලේ වාට්ටු සංකීර්ණයක් නිර්මාණය කරන්න මුල් ගල තැබුවේ.
කතරගම මහා දේවාලයට එන බැතිමතුන් දැනුම්වත් කළා මේ තමයි දෙවියන්ට පින් පමුණුවන්න පුළුවන් හොඳම ක්‍රමය කියලා. බැතිමතුන් ඒක පිළිගත්තා. මේ වන විට ඒ සඳහා රුපියල් මිලියන 160ක් පමණ වැය වී තිබෙනවා. මෙම වාට්ටු සංකීර්ණය නිර්මාණය කළායින් පස්සේ ඒකට අවශ්‍ය අනෙකුත් දෑ විශේෂයෙන්ම ඇඳන්, මේස, පුටු, කබඩ් ආදිය ධානපතියන් විසින් පරිත්‍යාග කළා. පසුගිය තුන්වැනිදා නිල වශයෙන් වාට්ටු සංකීර්ණය විවෘත කළත් විදුලි සෝපානය සවි කිරීමේ කටයුතු සිදු වෙමින් තිබෙනවා.
ඒ වගේ ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකයක් මේ තුළ ස්ථාපිත කර තිබෙනවා. ලංකාවේ තවම කොහේවත් ඇටමිදුලු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කරන්නේ නැහැ. මේ තුළ ඒ සඳහා ශල්‍යාගාර ඒකක හතරක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා. වෙනත් රටක මෙවැනි ප්‍රතිකාර සිදු කිරීම සඳහා රුපියල් ලක්ෂ 200ක් පමණ වැය වනවා. නමුත් මෙහිදී මෙම ශල්‍යකර්මය සිදු කිරීම සඳහා කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. මේ තුළ එම ශල්‍යකර්මය සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි සිදු කරන්නේ. ලක්ෂ 200ක් විතර දීලා ඉන්දියාවේ ගිහින් සිදුකර ගත යුතු ශල්‍යකර්මය කෙටි කාලයක් තුළ සිදු කර ගන්න මේ තුළින් රෝගී දරුවන්ට හැකියාව ලැබෙනවා. මේ කටයුතු සම්පූර්ණයෙන් නිම කරන විට රුපියල් මිලියන 200ක් පමණ වැයවේවි. ඒ වගේම ගොඩනැඟිලි පහසුකම් නොමැති වීම නිසා තාවකාලිකව කන්ටේනර් පෙට්ටි තුළ ඉදි කළ ශල්‍යාගාරයක් මේ රෝහල් සංකීර්ණය තුළ ස්ථාපිත කෙරෙනවා.
ඒ වගේම තවත් ඇඳන් 500ක් වාට්ටු සංකීර්ණයක් අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වනවිටත් ඒ සඳහා සංවිධානය වෙමින් ඉන්නේ. ඒ වගේම අපේක්ෂා රෝහලේ මුළුතැන්ගෙය දරුවන්ට පෝෂ්‍යදායි රසවත් කෑම වේලක් ලබාදෙන්න පුළුවන් ආකාරයට නවීන පහසුකම්වලින් යුතුව ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. කතරගම පුද බිමට එන හැම බැතිමතෙක්ම මේ සඳහා පරිත්‍යාගයක් කළොත් මේ සියලු කටයුතු වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ නිම කිරීමට අපට පුළුවන්කම ලැබෙනවා. මේ තමයි දෙවියන් වෙනුවෙන් පින් පමුණුවන්න පුළුවන් හොඳම ක්‍රමය. මේකෙන් දෙවියන්ට වගේම තමන්ටත් මේ භවයෙදීම පින් රැස් කරගන්න පුළුවන්. ඒ නිසා මම බැතිමතුන්ගෙන් ඉල්ලන්නේ තමන්ට භාර හාර වෙන්න ඕන නම් පාසල් යන පොත් ඇඳුම් ගන්න බැරි දරුවන් හොයලා ඒ අයට උදව් කරන්න. කාගේ හරි නිවෙසක් හෙවිලි කර ගන්න බැරි නම් ඒ අයට උදව් කරන්න. අඩු පහසුකම් තියෙන පාසල්වලට උදව් කරන්න. ළමයෙකුට, වැඩිහිටියකුට බෙහෙත් ටිකක් ගන්න උදව් කරන්න. බොරුවට කපුවන්ට රත්රන්, සල්ලි දෙන්න යන්න එපා. ඒ අයට ජීවත් වෙන්න කීයක් හරි දෙන්න. ඒකට කමක් නැහැ. ඒත් නිස්කාරණේ මුදල් දෙන්න එපා. අඩුපාඩුකම් තියෙන රෝහල්, වැඩිහිටි නිවාස, ළමා නිවාස, මාතෘ සායන ලංකාව පුරා ඕන තරම් තියෙනවා. ඒවට ගිහින් උපකාර කරලා ඇවිත් ඒ පින් දෙවියන්ට අනුමෝදන් කරන්න. දෙවියන්ට රත්තරන් බඩුවත්, සල්ලිවත් ඕනේ නැහැ. දෙවියන්ට ඕන පින්; දෙවියෝ පින් ලැබීමෙන් සතුටට පත් වුණාම ඔබේ ප්‍රර්ථනා, අපේක්ෂා අනිවාර්යෙන්ම ඉටුවේවි” යැයි හෙතෙම වැඩිදුරටත් කීවේය.
දියවඩන නිලමේවරයා ලෙස පත් වී වසර තුනහමාරක පමණ කෙටි කාලයක් තුළ ඔහු ගත් මේ රැඩිකල් තීන්දුව කාගේත් පැසසුමට ලක්ව තිබේ. ඔහු නොපැවසුවද මේ වන විට ඔහුට විවිධ පාර්ශ්ව විසින් ජීවිත තර්ජන පවා එල්ල කරමින් පවතින බව සිළුමිණට දැනගන්නට ලැබිණි. නමුත් ඒ කිසිවකට යට නොවී පවිත්‍ර චේතනාවෙන්ම හෙතෙම කටයුතු කරයි. මීට ප්‍රථම කිරිවෙහෙරේ හිමියන්ට අත් වූ ඉරණමද අපේ මතකයට නැඟේ. මෙවැනි අය ආරක්ෂා කිරීම නිසි බලධාරීන්ගේ ද වගකීමය.
මේ වන විට අපේක්ෂා රෝහල තුළ මහල් හතරක නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදිවෙමින් පවතී. ඒ එම්ආර්අයි යන්ත්‍රය ස්ථාපනය කිරීම සඳහාය. මේ සඳහා සම්පූර්ණ මූල්‍ය දායකත්වය දානපතිනි ෆොන්සේකා මහත්මිය විසින් දරන අතර, පූර්ණ ශ්‍රම දායකත්වය ලබා දෙන්නේ යුද හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ යුද හමුදා සිවිල් ඉංජිනේරු බළකාය විසිනි.
එසේම මීවැල්ල සමූහයේ මූල්‍ය දායකත්වයෙන් ලිනැක් ගොඩනැඟිල්ලේ තවත් මහල් දෙකක් විකිරණ රෝගීන් සඳහා ඉදිකිරීම ඉකුත් 5 වැනිදා ආරම්භ කළ අතර නාවික හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු බළකාය විසින් මේ සඳහා පූර්ණ ශ්‍රම දායකත්වය ලබාදෙයි.
ඡායාරූප – වාසිත පටබැඳිගේ
රසික කොටුදුරගේ