Home » ශිෂ්‍යත්ව විභාග ජය ගෙනෙන බලගතු සෙත් කවි

ශිෂ්‍යත්ව විභාග ජය ගෙනෙන බලගතු සෙත් කවි

by gayan
September 7, 2024 12:30 am 0 comment
ජ්‍යෝතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක පුවත්පත් ලේඛක, බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය ලබන ඉරිදා (සැප්තැම්බර් 15) ට යෙදී ඇත. 15 වන ඉරු දින, දින බලය සහ නැකැත් බලය සුභ දායක වන අතර එම දිනයේ පක්ෂි කාල වේලා අදාළ කරගෙන කටයුතු කිරීමෙන් වඩාත් සුබ පල උදාකර ගත හැකිය. මෙවර ශිෂ්‍යත්ව විභාගය දැයේ දුවා දරුවන්ගේ ජීවිතයේ පළමු ජාතික විභාග කඩඉම වන අතර එළබෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා දරු දැරියන් මේ වන විටත් ලහි ලහියේ සූදානම් වන බව රහසක් නොවේ.

මෙවර මම ඔබට ඉතා බලසම්පන්න සෙත්කවි මාලාවක් ඉදිරිපත් කරන අතර එය නිවැරදිව භාවිතය තුළින් දැයේ දූ දරුවනට මහඟු ප්‍රතිඵල උදාකර ගත හැකිය.

මෙම විභාගයට පෙනී සිටින සියලු දුවා දරුවන් වෙනුවෙන් ඉතාමත් නිවැරදිව ගණ පිහිටුවා බලසම්පන්න සහ සරලව විෂ්ණු, කතරගම, දෙවියන් උදෙසා රචනා කර ඇති මෙම විශේෂ සුසිද්ධ වර්ගයේ සෙත් කවිය විභාගයට පෙර දින 07 ක් 07 වර බැගින් පහත සඳහන් ආකාරයට ගායනා කිරීම තුළින් ඉතාමත්ම යහපත් ප්‍රතිඵල උදාකර ගත හැකිය.

විභාගයට පෙනී සිටින දුවා දරුවන් ඉහත සඳහන් එම දිනවල පළමුව ස්නානය කර පිරිසිදු වී සුදු ඇඳුමින් සැරසී ළඟම ඇති විහාරස්ථානයට ගොස් බෝමළුව ඇමද මල් අසුන පිරිසිදු කර ගන්න.

සුදු, කහ, රතු හා නිල් මල් සහිතව ගිලන් පස, පැන්, දැහැත්, බෙහෙත් ඖෂධ ඇතුළු පූජා ද්‍රව්‍යවලින් යුතුව බුලත් කොළ මත සාදා ගත් මල් වට්ටි 3ක් සමගින් සුවඳින් රුවින් යුත් මල් පුදා සුවඳ කූරු දල්වා, පහන් 07 ක් දල්වා තෙරුවන් නැමද බෝධි පූජා ගාථා කියා එම පූජාව තබන්න. පිරිසිදු පැන් කළ 3කින් බෝධිය නාවන්න. එම ආගමික වතාවත් කිරීමෙන් අනතුරුව තමන් කළ පින් ගණ දෙවියන්, විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන්, හා සරස්වතී මෑණියන් සහ තම ඉෂ්ට දේවතාවන්ට අනුමෝදන් කර විභාග ජය ප්‍රාර්ථනා කරන්න.

ඉන් අනතුරුව පහත සඳහන් මහා බලසම්පන්න සෙත් කවි රත්නය බෝධීන් වහන්සේ ඉදිරිපිට සිට උදෑසන හෝ සවස 3.36 ත් 06.00 ත් අතර කාලය තුළ නිවැරදිව ඉහත දක්වා ඇති දින 07 පුරා දිනකට 7 වරක් ගායානා කොට විභාග නිමා වන තුරු මතක ශක්තිය වර්ධනය, නිරෝගී භාවය සහ යන එන ගමනේ බිමනේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්න.

සෙත් කවිය ගායනා කිරීම අදාල දරුවාගේ මව, පියා හෝ විශ්වාසවන්ත දැහැමි කෙනෙකු විසින් සිදු කිරීම ඉතා සුබ දායක වේ.

මෙම දිනවල නිර්මාංශව දැහැමිව සිටිය යුතුය.

අදාළ විභාග දිනයේ විභාගයට පිටත් වීමට පෙර සුදු මල් වට්ටියක් බුදු රජාණන් වහන්සේට පූජා කර පහන් දල්වා තෙරුවන් නැමද මව්පියන් නැමද දකුණු පය පෙරට තබා පහත සඳහන් ගාථා රත්නය තෙවරක් සිහිපත් කර අදාළ දිනයේ සුබ නැකත හා දිශාව අනුව පිටත්ව යන්න.

 

ශිෂ්‍යත්ව විභාගයට පිටත් වීමට සුබ වේලාව

සැප්තැම්බර් 15 වන ඉරිදා දා උදේ 06.06 /06.33 හෝ 07.09 දකුණු දිශාව බලා සුබයි.

 

මහා බලසම්පන්න සෙත් කවි රත්නය – විෂ්ණු දෙවිඳුන්ට

ලමින දිවනෙත දහම රකිමින තිලොව සුරකින මහරු විකුමැති

පිනෙන බුදුබව පතන සිරිපති රජිදු දසබල දරණ දිවැසැති

තිබෙන දරුවගේ අපල උවදුරු ඉවතහැර දෙන දිරිබලම නිති

ලියන විභහගෙ ඉහළ ලකුණින් ජයම දෙනුමැන සහන සුව ඇති

 

මහා බලසම්පන්න කවි රත්නය – කතරගම දෙවිඳුන්ට

ලොවෙන පුදලැබ සෙතම සලසන පතන බුදු බව විකුම පතුරණ

දරණ ත්‍රිශූලවි රජිදු සුරපති මහරු බලයෙන තිලොව සනසන

පැමිණ ගහදොස අපල අණවින දරුව හැර ඉවතටම යවමින

ලියන විභහගෙ ඉහළ ලකුණින් ජයම දෙනුමැන සෙතම සදමින

 

“ජයෝ මුණින්දස්ස සුබෝධි මූලේ

අහෝසි මාරස්ස පරාජයෝහි

උද්ඝෝසයුං දේවගනා පසන්නා

ඒතේන සච්චේන ජයස්තු මය්හං”

සුදු මලක් දමන ලද පිරිසිදු වතුර වීදුරුවක් රැගෙන එන මව පෙරට හමුවන ලෙස පිටත්ව යන්න.

සියලුම දූ පුතුන්ට උපරිම ජය සමාර්ථය ලැබේවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division