Home » කතන්දරය රසවත් පුදුමයක් බෙදා හරින කලාවක්

කතන්දරය රසවත් පුදුමයක් බෙදා හරින කලාවක්

ප්‍රවීණ ලේඛක පරාක්‍රම කොඩිතුවක්කු

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

– හිතන්න හැකියාවක් නැති මිනිස්සු ලොකු පුටුවල සිටීම වරදක් නොවෙයි පාපයක්
– මම සුබවාදියෙක්. බලාපොරොත්තු සහගතයි. බටහිර නවකතාවට නොදෙවෙනි නවකතා, කෙටිකතා සාහිත්‍යයක් අපිට තිබෙනවා

පරාක්‍රම කොඩිතුවක්කු මෙරට සිටින ප්‍රවීණ කවියකු, කෙටිකතාකරුවකු, විචාරකයකු ඇතුළු නිර්මාණ ක්ෂේත්‍රයේ බහුවිධ භූමිකා රැසක නිරත ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවෙකි. ඔහු විසින් විරචිත කාව්‍ය සංග්‍රහ සංඛ්‍යාව දොළහ ඉක්මවයි. ‘පොඩි මල්ලියේ‘ කාව්‍ය සංග්‍රහයෙන් ගත් ඒ ආරම්භය ‘මම වහිනවා‘ තෙක් පුළුල් කාව්‍ය නිර්මාණ වපසරියකින් සංගෘහිතය. රාජ්‍ය සම්මාන, විද්‍යෝදය සම්මාන සහ ගොඩගේ ඇතුළු සාහිත්‍ය සම්මාන දිනූ කෘති රැසක හිමිකරු ඔහුය. කවියෙන් ඔබ්බට ගිය ඔහු අතින් නවකතාව, කෙටිකතාව මෙන්ම පරිවර්තන සාහිත්‍යය, අපදාන වැනි සාහිත්‍යය ප්‍රවර්ග ද සුරු ව බිහි විණි. විවිධ අත්හදාබැලීම්, නව මඟක සොයා යෑම් ආදියෙන් නිරන්තර යාවත්කාලීන වෙමින් නව පරපුර දෙස සාධනීය බැල්මක් හෙළමින් හේ තවමත් නිර්මාණ ලොව එකලු කරමින් සිටියි. සකල සිරින් පිරි කවි කොළේ වැනි පර්යේෂණාත්මක කෘතියකින් මෙරට කාව්‍ය කලාවේ ජනශ්‍රැතික මූල ස්පර්ශ කළ ඔහු, ‘යැංසි කාව්‍ය නදී ඔස්සේ සරමින්්‘ චීන නව කවිය මෙරට පාඨකයන්ට ළං කළේය. ජෝති රශ්මි, ක්ලැරා වැනි වෙනස් ගණයේ අපදාන ද ඔබ සමග, රිදී තිරයක කතාවක් වැනි නවකතා ඔස්සේ ද පරාක්‍රම නම් ප්‍රබන්ධකරුවාගේ මැදිහත් වීම නිර්මාණකරණයට නව මං විවර කළේය. මේ පරාක්‍රම කොඩිතුවක්කු නිර්මාණකරුවා සමඟ ඔහුගේ නවතම කෘතිය වන ‘රිදී තිරයක කතාවක්‘ පිළිබඳව සහ සාහිත්‍ය කලාව පිළිබඳ කළ සංලාපයෙකි.

මා කියැවූ වපසරිය ඇතුළේ සිනමාත්මක නවකතාවක් ප්‍රථමවරට කියැවූයේ ඔබේ රිදී තිරයක කතාවෙන්. ඔබ මේ නිර්මාණය කළේ යම් පර්යේෂණ අවශ්‍යතාවකට ද?

මම පර්යේෂණ මඟක් ගත්තේ නැහැ. නිර්මාණකරුවකුගේ ක්‍රමය පර්යේෂණ මාර්ගයක් නොවෙයි. ඔහුගේ මාර්ගය වන්නේ නිරීක්‍ෂණයයි. ගවේෂණයයි. ‘දිවමන් ගජමන්‘ කෘතියේදී මා කළේ ගජමන් නෝනාගේ මැකී ගිය දිවි තතු සොයා යෑමයි. එනම් ඇය ලියූ කවි සියල්ල ආශ්‍රයෙන් ඇයගේ කවි බස හා වචන ලෝකය කියැවීමයි. ඒ හැම කවක්ම ලීවේ ඇගේම වචන මාලාවෙන්.

‘කැලැරා‘ සංගීතමය නවකතාව ලියූයේ ක්ලැරන්ස් විජේවර්ධන නම් තරුණ සංගීතවේදියා මෙරට සංගීත කලාව ඇතුළත කළ නිහඬ විප්ලවය විනිවිඳීමෙන්. නවකතාවෙන් සිතුවම් කළේ ඔහුගේ අසිරිමත් ගීතාත්මයයි. ඔබ සමඟ නවකතාව ප්‍රබන්ධ කළේ ‘මං පොළොවට අර්ත් වෙලා ඉන්න මිනිහෙක්‘ කියන කම්කරුවකුගේ ජීවිත රඟමඬල මවා පෑමටයි. රිදී තිරයක කතාවක් රචනා කළේ නව සිනමාව පදනම් හා තේමා කරගෙනයි. කතාවේ එන සියලු චරිත නළු නිළියන්. කතාවේ පිටු අතරින් ගලා යන්නේ සිනමාවේ නව සංවාද හා ප්‍රවාද. ලියා ඇත්තේ ද පාඨකයා නරඹන්නකු බවට පත් කරන කැමරා රූප බසකින්. රංගනවේදියා මනුෂ්‍ය ස්වභාව මවා පෙන්වමින් සමාජය මානුෂීය කරන්නේ තරු ශක්තියකින්. ඔහුට පමණක් ඇති ඒ තරු බලය නිසා රසික සමාජය ඔවුන්ට අපරිමිතව ආදරය කරනවා. ජීවිතය, සමාජය පිළිබිඹු කරන කැඩපත අතැතිව දිවි කැප කොට මෙම තරු මිනිසුන් කරන මෙහෙවර මේ නවකතාවෙන් වර්ණවත්ව සාහිත්‍ය තිරයට නැඟෙන නිසයි එය සිනමාත්මක නවකතාවක් වන්නේ.

ඔබ කවියෙන් නවකතාවට, නවකතාවෙන් සංගීතයට, සිනමාවට යන මාර්ග ජාලයක ද සිටින්නේ?

මම තනිව කවියක් ලියාගෙන සිටින කෙනෙක් නොවෙයි. කවිය, නවකතාව, කෙටිකතාව, සිනමාව, නිර්මාණාත්මක විචාරය, සංගීතය හා නැටුම් කලාව යන සමස්තයක මං ඉන්නේ. එක් එක් විෂය පද්ධති අතර අභිරහස්‍ය සම්බන්ධයක මම ජීවත් වෙනවා වගේ හැඟෙනවා. එක් පද්ධතියක සිට වෙනත් පද්ධතියකට ගණිත රේඛාවක් සම්බන්ධ කළ විට සිදු වන්නේ විස්මිත පිපිරීමක්. ‘පුංචි මලක විශ්වයේ සියලු නියාම ගැබ් වෙනවා‘ යැයි අයින්ස්ටයින් කියනවා. එක් ජන කතාවක කියනවා මහරහතෙක් උස්ගිරි මුඳුනක හිඳගෙන අත් විහිදූ විට සඳත් අනිත් කඳු පෙළෙත් අත ගෑවුණා කියලා. එක් දැනුම් පද්ධතියක ඉහළකට ගියාම අනෙක් දැනුම් මණ්ඩල සියල්ල ස්පර්ශ වෙනවා. ඒක හරිම ත්‍රාසජනකයි. අද ලොව නව ඥාන ධාරා පැන නඟින්නේ මේ මහා සමස්තය සම්බන්ධයෙන්. දර්ශනයේ මාර්ගය මෙය මිස අන් දෙයක් නොවෙයි නේද?

මුල මැද අග සහිත නවකතාව තවදුරටත් නිර්මාණකරණයේදී වලංගු වෙනවාද?

එය සාහිත්‍ය ලෝකයේ සදාකාලයටම වලංගු වෙනවා. මුල මැද අග සහිත කතන්දරය මිනිස් ඉතිහාසයේ වඩාත්ම බලගතු සන්නිවේදන මාර්ගයක්. කතා හැඩය (Story Line) නවකතාවේත් සිනමාවේත් හුස්ම ලෙසටයි නූතන විචාරයේදී කියැවෙන්නේ.

කතන්දරය සැමදා සැම තැන මිනිසුන්ගේ ජීවිත කොටසක්. බත්- පාන් වගේ. මෙතන මුල මැද අග අමුතුවෙන් පිහිටුවන්න ඕනෑ දෙයක් නොවෙයි. ජීවන ප්‍රවාහයේම තියෙන්නෙ මුල මැද අගක්. දාර්ශනිකව කියනවා නම් එය සමීකරණය කරන්න ඕනෑ මුල- මැද- අග- මුල යනුවෙනුයි. මන්ද අග ආසන්න වන මොහොතේම ආයෙමත් මුල ආරම්භ වන නිසයි. මේ සත්තාව අපේ රටේ බෞද්ධ ප්‍රකාශනවලදී විකෘති වී ඇති බව මගේ අදහසයි. උත්පාද- ස්ථිති – භංග යනුවෙන් විග්‍රහ කිරීමෙන් බුදු දහම අනිත්‍යවාදයක් බවට පත් වෙනවා. ධර්මතාව අනුව නම් එය උත්පාද -ස්ථිති – භංග -උත්පාද යනුවෙන් සමීකරණය වෙන්න ඕනෑ. ඒ, නැසී යෑමත් සමඟම සංසාර පැවැත්මක් – නිර්වාණ පැවැත්මක් යළි උත්පාදනය වන නිසා. නවකතාකරුවකුට සිනමාකරුවකුට අපගේ ජීවන ප්‍රවාහයේ මුල, මැද, අග පෙදෙස් රිසිසේ පෙළ ගස්වා පෙන්නන්න පුළුවන්. එහෙත් අග නැවතත් තව මුලකට එනවා.

අපි හිතමු නැති වී සිටි සහෝදරයෙක් අවුරුදු ගණනාවකට පසු හමුවීමේ සිද්ධියකින් කතාවක් අවසන් වී ‘නිමි‘ හෙවත් අවසානයක් දකිනවාද? ඒ ප්‍රීතිමත් හමුවීමෙන් පසු ජීවිත ගල් වන්නේ නැහැ. සියල්ල අමතක වී යන ඇල්සයිමර් රෝගයට ගොදුරු වන්නේ නැහැ. ඉන්පසු තවත් ආරම්භයක් එනු ඇති. ඒ නිසයි නවකතාවක ‘මතු සම්බන්ධයි‘ නමින් වචනයක් යෙදෙන්නේ. නැතිනම් දෙක- තුන යනුවෙන් ඉතිරි කොටස් පෙන්වන්නේ. මෙයින් පෙනී යන්නේ ජීවිතේ ගැලීමේ කොතනින් ගත්තත් මුල, මැද, අගක් එනවා. කතන්දරේ කෙමිස්ට්‍රිය එහෙමයි.

හොලිවුඩ් සිනමාවේ ඇද වැටීමට ප්‍රධාන හේතුවක් වන්නේ කතාව නැතිවී යෑම යැයි අද බටහිර විචාරකයන් කියනවා. චෙකොව් පවසන්නේ කෙටිකතාවක නම් මුල, මැද, අග ප්‍රදේශවලින් වැදගත්ම වන්නේ මැද හරිය බවයි. නවකතාවක නම් මුල, මැද, අග මුළු පරිපථය දිගටම කරගෙන යන කැණීමක්. ඉංග්‍රීසි නවකතාව බබළන්න පටන් ගත්තේ ඔලිවර් ට්ව්ස්ට්, ඇනා කැරනිනා, ජේන් අයර්, ගලිවර්ස් ට්‍රැවල්, ටේල් ඔෆ් ටූ සිටීස් ආදී රසාලිප්ත, කතන්දර ආකාර නවකතාවලින්. ඒ සියල්ල පසුව මහා සිනමා කතා බවට පත්වුණා. අපේ සිනමාවේත්, නවකතාවේත් වැටීමට ප්‍රධාන හේතුවක් වූයේ ජීවිතය, සමාජය මේ යැයි මවා පෙන්නන ඒ කැඩපත, ඒ කතාව නැති වී යෑමයි. කලාත්මක හෝ සම්භාව්‍ය නාමයෙන් ඒ වෙනුවට ආවේ රසිකයාට ප්‍රීති සිතින්, තැතිගත් සිතින් විඳිය නොහැකි හිස් බරවයක්. නවකතාවක කතා ගතිය උඩයි සියල්ල රඳා පවතින්නේ. කතන්දරය කල්පිතයක් වගේම සත්‍යයක්. හොඳ කතාවක උඩුමහලකුත් බිම් මහලකුත් තිබෙනවා. කතන්දර මොඩලය ඉවරයි කියලා ඇතැම් නූතන පශ්චාත්වාදීන් කළ ආත්ම ප්‍රකාශනවලින් සාහිත්‍ය රෝගාතුර වූ බව බටහිර විචාරකයන් පෙන්වා දෙනවා. කතන්දරය රසවත් පුදුමයක් බෙදා හරින කලාවක්.

නිර්මාණකරණයේදී අත්හදා බැලීම් යන්න කෙතරම් වැදගත් ද?

මම නම් හිතන්නේ නිර්මාණකරුවා අත්හදා බලන්නෙක් නොවේ. අත්හදා බැලීම නිර්මාණකාරියේ අවස්ථාවක් නොවෙයි. සිත් හදා බැලීමෙන් තමයි නිර්මාණයක් බිහි වෙන්නේ. නවකතාව සිතීමේ කලාවක් කියලයි අද විග්‍රහ වෙන්නේ. ඔහු අලුත් දැක්මකට යා යුතු වෙනවා. ලොව දිවිය විනිවිඳින පරිකල්පන ශක්තියකිනුයි නිර්මාණයට විහිදුම් බලයක් ලැබෙන්නේ. හොඳ නවකතාවක පරාවර්තන ජනේල තිබෙනවා. මනුෂ්‍යත්වයේත් සමාජයේත් නොපෙනෙන පෙදෙස් රසික මනසට දකින්නට ලැබෙන්නේ ඒ සිත් දැකුම්වලින්. අත්දැකීම් නිර්මාණයට අමුද්‍රව්‍ය විතරයි. ඒවා නව රසායනයකට නැඟීමෙනුයි පරිකල්පනය බිහිවෙන්නේ. ඒ වැනි රසායනාගාරයකට යන්නට නම් නවකතාකරු වෙනස් මිනිහෙක්, නිදහස් මිනිහෙක් විය යුතු වෙනවා. නවකතාව නිදහස උදෙසා මෙහෙයුමක් විදියටයි නූතන චින්තකයන් කතා කරන්නේ. එය එක විදිහක මානුෂික මැදිහත්වීමක්. ඉහළ නිර්මාණකරු කරන්නේ සමාජ ආක්‍රමණයක යෙදීමයි. එය දුෂ්කර ක්‍රියාවක්. වත්මන් ලෝකයේ ‘නව සමානාත්මතාව‘ නම් එහි වියවුලයි. ඒ නිසා අද කලාව නම් වියවුල පිළිබඳ කලාවක්. සංකීර්ණ මිනිසා පිළබඳ කතාවක්.

සිංහල නවකතාවේ ඉදිරි ගමන ගැන ඔබේ බලාපොරොත්තු මොන වගේද ?

මම සුබවාදියෙක්. බලාපොරොත්තු සහගතයි. බටහිර නවකතාවට නොදෙවෙනි නවකතා, කෙටිකතා සාහිත්‍යයක් අපිට තිබෙනවා. ජයතිලක කම්මැල්ලවීර, ලියනගේ අමරකීර්ති, කීර්ති වැලිසරගේ, සුනිල් ගුණවර්ධන,බුද්ධදාස ගලප්පත්ති ඇතුළු පිරිසක් වෙනස් කෙටිකතා ලිවීමක ආශ්චර්යය ජයගෙන තිබෙනවා. මෙය ඉතා නිසැකව කළ හැකි විනිශ්චයක්. ගම්පෙරලිය, විරාගය, හෙවනැල්ල, චරිත තුනක්, වප්මඟුල, සඳුන් ගිර ගිනි ගනී, දැල බිඳුම, දඟර තරප්පුව ඉහළ තලයකට ගිය නවකතා. මේවා සාහිත්‍ය විචාරයට වඩා උස් තැනක තිබෙන්නේ. විචාරයත් නිර්මාණ කලාවක්. මෙරට තවමත් ඒ වැනි පරිණත සශ්‍රීක විචාරවේදයක් ගොඩනැඟී නැහැ. 90-2000 දශකවල පශ්චාත් නූතන විචාර නමින් ව්‍යාප්ත වුණේ සිතන්නට බැරි පිරිසකගේ අනුකාරක විචාර ක්‍රමයක්. ඔවුන් කතා කළේ තමන්ගේ කටහඬින් නොවේ.

අනුන්ගේ සපත්තු ඇඳුම්වලින් සැරසුණු ඔවුන්ට තමාගේ අත්සනක් තිබුණේ නැහැ. අසූවේදී බටහිරින් විසි වුණු මතවාද හිසින් ගත් ඔවුන්ගේ අවිචාර විචාර සතිඅන්ත පුවත්පත් සාහිත අතිරේකවල විලාසිතාවක් වුණා. මට මතකයි එක්තරා විචාරකයෙක් පත්‍රයක පළ කළ එක් විචාර ලිපියක ‘යථ‘ යන පදය 49 වාරයක් යෙදී තිබුණා! අද මෙටා පශ්චාත් නූතන විචාරවේදය‘ මේ අන්තවලින් නිදහස් මඟක ගමන් කරන්නේ. ‘මෙටා‘ යන ශබ්ද මූලයෙන් අදහස් වන්නේ අතර මැද (Inbitween) යන අර්ථයයි. අර විචාර වාදවලින් ගිලිහී ගිය ආචාර ධර්ම, ආගම, පවුල, ප්‍රේමයේ ඉතිහාසය, සම්ප්‍රදාය ආදී සංකල්පයන්ගෙන් සරු අරුත් සොයා යන අතරමැදි ගමනක් ඒක. නූතන සාහිත්‍ය කියැවීමට අසීරු වන්නේ, එපා වන්නේ ඒවා රෝගාතුර නිසා යැයි ද, ලිංගික කසළ එපා, මනෝ විකාර එපා, සැමට වැදගත් කලාවක් උවමනා යැයි එෆ්. ආර්. ලීවිස් සහ ස්පිල්බර්ග් කියා සිටියා. මිනිසුන්ගේ සිතිවිලි ආකාර හැඩ ගැස්විය හැක්කේ, එමඟින් සමාජයට බලපෑමක් කළ හැක්කේ සදාචාර හැඟීමක්, දැක්මක් ඇති පරිණත ලේඛකයාට පමණයි. ‘මට වෙනත් අරමුණක් නැත… මගේ අරමුණ කෘතියමය’ කියන නිර්මාණකරුවන්ගේ කෘති ද අයාලේ යන කලාවක්. සමාජ සිත තවත් අවුලට පත් කරන කලාව නිස්සාර මෙන්ම විස සහිත යැයි ප්ලේටෝ කියා සිටියේ ඒ වැනි හේතු නිසා.

මේ සාහිත්‍ය මාසය. අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයත් 27 දා ආරම්භ වෙනවා. සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවත් සිදු කෙරෙමින් පවතිනවා. මේවායෙන් සාහිත්‍ය කලාවේ උත්තේජනයක්, ප්‍රගමනයක් සිදු වෙතැයි කියා ඔබ සිතනවද?

පොත් උත්සවයට විශාල ජනකායක් සහභාගී වීම ම මේ සමාජ තත්ත්වය ඇතුළත විස්මිත සංසිද්ධියක් විදියටයි මගේ දෑසට පෙනෙන්නේ. එය පොත් ප්‍රකාශකයන්ගේත් ජයග්‍රහණයක්. සම්මාන ප්‍රදාන ගැන කියන්නට ඇත්තේ ඒවා සාහිත්‍ය මාර්ගයෙන් පිටතට වැටී ඇති බවයි. මේ වෙළෙඳ බලපෑම් ඔස්කාර් සම්මානයේ සිට බුකර් සම්මාන ප්‍රදාන දක්වා පවතින බව නොරහසක්. බටහිර විචාරකයන් කියන්නේ මේ සම්මාන සෙල්ලම නිසා සම්මාන සංස්කෘතියක් බිහි වී ඇති බවයි.

අප රටේ ද මේ පිපාසයෙන් යන්තර මෙන් ලියන ලේඛක පිරිසක් ඇති වෙලා. හිතන්න හැකියාවක් නැති මිනිස්සු ලොකු පුටුවල සිටීම වරදක් නොවෙයි පාපයක්. ඡායාරූප කලාව, වාර්තා චිත්‍රපට කලාව, චිත්‍ර මූර්ති කලාව, ගෘහ නිර්මාණ කලාව ආදී නව ලොව ප්‍රබලතම කලාංග ගැන එකම අරුත්බර වැඩසටහනක් අපේ ප්‍රධාන ධාරාවේ දක්නට ලැබෙනවාද? සංගීත සාකච්ඡා කෙතරම් බහුල වුණත් ඒවා පවතින්නේත් ඉතාම ප්‍රාථමික තත්ත්වයක. නිදහස් වෙළෙඳපොළේත් සමාජවාදයේත් මේ කණ්ඩායම් වාදය පවතින බව පෙන්වා දෙමින් අර්වින් ලෙස්ලෝ නම් බටහිර මහලු දාර්ශනිකයා පවසන්නේ එකම විසඳුම සියලු දෙනා වෙත ප්‍රේමය ප්‍රකාශ කිරීම බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division