Home » දොළ පාරේදී රේණුකාගේ දිවි දිය වුණ නැන්දම්මා – බෑනා ආරවුල

දොළ පාරේදී රේණුකාගේ දිවි දිය වුණ නැන්දම්මා – බෑනා ආරවුල

by thanushika
September 7, 2024 12:30 am 0 comment

ලෙවන්ගම, අතලව වත්තේ දේවාලයක් පවත්වාගෙන යමින් ජීවත් වූ පනස් හතර හැවිරිදි රේණුකා චන්ද්‍රකාන්ති දරුවන් පස්දෙනෙකුගේ මවකි. රේණුකාගේ දේවාලය ජනප්‍රිය වී තිබුණි. ඊට පැමිණෙන බැතිමතුන්ගෙන් ද අඩුපාඩුවක් නොවීය. එම නිසා ලැබෙන පුද පඬුරුවලින් රේණුකාගේ අතමිට ද සරු විය.

කාලය මෙසේ ගෙවෙද්දී රේණුකාගේ දියණිය වන සුබසිංහආරච්චිලාගේ දයානි ප්‍රියදර්ශනී, ලෙවන්ගම ප්‍රදේශයේම පදිංචි හතළිස් හතර හැවිරිදි රෝහණ කුමාරගේ සමඟ සබඳතාවක් පැවැත්වූවාය. රෝහණ, දයානීගේ නිවසට පැමිණ පදිංචි වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. දයානී පෙර විවාහයක් තිබූ තැනැත්තියකි.

රෝහණ ද මේ වන විට විවාහ දෙකක් කරගෙන අසාර්ථක වී සිටි අයෙකි. දයානිට පෙර විවාහයකින් දරුවෙකු ද විය. වසර 14ක් පමණ රෝහණ සහ දයානීගේ විවාහය ගෙවී යද්දී ඔවුනොවුන් අතර අඬදබරකම් ඇති විය. රෝහණ කුලී වැඩකර උපයා ගත් මුදලින් දයානී, දරුවා සහ රෝහණ එදිනෙදා ජීවිතය ගැටගසාගෙන ගියාය. එන්න එන්නම පවුලේ ආර්ථික ප්‍රශ්න වැඩිවත්ම රෝහණ සිය නැන්දම්මා වන රේණුකා චන්ද්‍රකාන්තිගෙන් වරින්වර ණයට මුදල් ඉල්ලා ගත්තේය. අවසානයේ ඔහු වරින්වර සිය නැන්දම්මාගෙන් ලබාගත් මුදල් රුපියල් ලක්ෂ ගණනකට වැඩි වී තිබුණි. වරක් දෙවරක් නැන්දම්මා බෑනාගෙන් මෙම මුදල් ඉල්ලා සිටියාය. අවසානයේ මේ කරදරයෙන් බේරීම සඳහා රෝහණ අගෝස්තු මස 20 වන දින සවස රුවන්වැල්ල ප්‍රදේශයට ගොස් නිවසේ තිබූ රත්රන් බඩු උකස් කර සවස 6ට පමණ නිවසට පැමිණියේය. නැන්දම්මා ජීවත් වුණේ බෑනාගේ නිවසට නුදුරින් නිවසේය. එදින සවස නැන්දම්මා තම නිවසට ණයට ගත් මුදල් සොයා පැමිණෙන්නට ඇතැයි සිතූ බෑනාගේ සිතට කෝපයක් ඇතිව අවසානයේ කේන්තියෙන් කෑගසුවේ ‘අවුරුදු දාහතරක් මම තොපිට කන්න දුන්නා. මේ සල්ලි තොපිට යා දෙන්නේ නෑ‘ යැයි කියමිනි.

ඉන් අනතුරුව නැන්දම්මා හා බෑනා අතර බහින්බස් වීමක් ඇති වන්නට විය. අවසානයේ රෝහණගේ බිරිය වන දයානී සහ ඇගේ 14 හැවිරිදි දියණිය රෝහණගේ ගුටි පහරවල් කාගෙන අසල පාරට දිවගොස් පණ බේරා ගත්හ. කෝපාවිෂ්ට වූ රෝහණ මේ වන විට නැන්දම්මාට පහර දුන් අතර අවසානයේ ඇය අසල්වාසි නිවසකට ගොස් ඇතත් එම නිවසට ද ගිය රෝහණ ඇයට පහර දෙන්නට විය. අවසානයේ රේණුකා එම නිවසින් පලා ගියාය. ඇය ඇළ දෙසට දිව්වාය. එහි දී ඇළ ආසන්නයේදී රේණුකා බිම වැටී ඇති අතර එවිට බෑනා වන රෝහණ අසල තිබුණ තිරිවාණා ගලකින් ඇගේ මුහුණට පහර දුන්නේය. පහර දුන් බෑනා වන රෝහණ ජයන්ත එම ස්ථානයෙන් පලා ගියේය.

රේණුකාගේ පුතෙකු වන සම්පත් විසින් පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය වෙත දුරකතන ඇමතුමක් දෙන්නේ අනතුරුවය. මව ලේ පෙරාගෙන වැටී සිටින බවට ඔහු පොලිසියට දැනුම් දුන්නේය. ඒ සමඟම ගලපිටමඩ පොලිස් ස්ථානයට එම පණිවිඩය ලැබීමත් සමඟ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශ්‍රීනාත් ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇති අතර එම අවස්ථාවේදී රේණුකා ත්‍රිරෝද රථයකින් කරවනැල්ල රෝහල වෙත යැවීමට කටයුතු කරන ලදි. එහි යන අතරතුර රේණුකා මොලොව හැර ගියාය.

ඉන් අනතුරුව පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමු වන්නේ සිද්ධියට සැක කෙරෙන බෑනා වන රෝහණ සොයා ගැනීමයි. එදින රාත්‍රියේ සැකකරු සොයා ගැනීමට නොහැකි විය. 21 වන දින මේ ඝාතනය පිළිබඳව රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ද පොලිසිය විසින් කරුණු වාර්තා කරනු ලැබීය. ගලපිටමඩ පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකාර රෝහණ 21 වන දින සවස 3ට පමණ නිවස ආසන්නයේ වෙනත් නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය. මේ වන විට සැකකරු රෝහණගේ අත්වලට ද බරපතළ ලෙස තුවාල සිදු වී සිටි නිසා ඔහු කරවනැල්ල රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඉකුත් 22 වන දින රුවන්වැල්ල මහේස්ත්‍රාත් කාංචනා පෙරේරා කරවනැල්ල රෝහල වෙත ගොස් සැකකරු බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. සැකකරුගේ තුවාල හේතුවෙන් ඔහු මහනුවර මහ රෝහල වෙත 22 දින පස්වරුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවල් මත ප්‍රතිකාර සඳහා පිටත් කරනු ලැබීය.

මේ අතර මියගිය රේණුකා චන්ද්‍රකාන්තිගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එන්. ඒ. එස්. පී. විජේරත්න විසින් 22 වන දින සිදු කරන ලද අතර එහිදී මොට ආයුධයකින් පහර දීමෙන් හිසට සහ මුහුණට සිදු වූ බරපතළ තුවාල නිසා රේණුකාගේ මරණය සිදු වී ඇති බවට නිගමනය කරනු ලැබීය.

ගලපිටමඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් කුමාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශ්‍රීනාත්, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, සැරයන්වරුන් වන (36488) ජයකොඩි, (4454) ජයන්ත, (48771) නිශ්ශංක, කොස්තාපල්වරුන් වන (100091) කුමාර, (100085) ගමගේ සහ රියැදුරු (89998) සිතුරුවන් යන නිලධරයෝ සහභාගී වූහ.

බුලත්කොහුපිටිය - ඩබ්ලිව්. රෝහණ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division