Home » මාළු ලොරියේ ෆ්‍රිජ් එකෙන් කේරළ ගංජා කොළඹට එන්නේ මෙ‍ෙහමයි

මාළු ලොරියේ ෆ්‍රිජ් එකෙන් කේරළ ගංජා කොළඹට එන්නේ මෙ‍ෙහමයි

by thanushika
September 7, 2024 12:30 am 0 comment

හෙරොයින්, අයිස්, ඈෂ්, කුෂ් මත්ද්‍රව්‍යවලට සේම කේරළ ගංජාවලටත් මත්ලෝලීන් අතර තිබෙන ඉල්ලුම නිසා ම ජාවාරම්කාරයෝ කේරළ ගංජා ජාවාරමද සරුවට කරගෙන යන්නේ සමහර විටෙක දිවි පරදුවට ද තබාගෙනය.

සමස්තයක් වශයෙන් සොයා බලන විට කේරළ ගංජා මෙරටට ගෙන එන්නේ ඉන්දියාවෙනි. විමර්ශනවලදී හෙළිවී ඇති අන්දමට කේරළ ගංජා ජාවාරමට සම්බන්ධ සමහර ඉන්දියානුවන් ඉන්දීය ජාතික ඇතැම් ධීවරයන් සමඟ එක්කාසු වී මෙරට විශේෂයෙන් උතුරු පළාතේ ජාවාරම්වල නිරත ධීවරයන් සමඟ සම්බන්ධ වී මේ ජාවාරම සිදු කරන්නේ මහමුහුද මැදදීය.

ඉන්දිය වෙරළාරක්ෂක බළකායද මේ ජාවාරම් ගැන ඇස ගසාගෙන සිටිනවා සේම මෙරට නාවික හමුදාවද උතුරු මුහුදේ මෙහෙයුම්වල විසිහතර පැය පුරාම නිරත වන්නේ කේරළ ගංජා ජාවාරම මර්දනය කිරීම සඳහාය.

ඉන්දියාවෙන් මෙරටට ගෙන එන කහ, බීඩිකොළ සේම කේරළ ගංජා තොගද මේ ජාවාරම්වලට සම්බන්ධ ඉන්දීය ධීවර යාත්‍රාවලින් මෙරට ඇතැම් ධීවර යාත්‍රාවලට මාරු කරන්නේ මහමුහුද මැදදීය. ඉන්දීය වෙරළාරක්ෂක බළකායට හසු නොවී හොරබඩු සහ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා ඉන්දීය මුහුදු තීරය ආසන්නයටම ගෙනෙනවා සේම ඒවා මෙරට ජාවාරම්කාර සමහර ධීවර යාත්‍රාවලට මාරු කිරීමද ඒවායෙන් මෙරට වෙරළට ගෙන ඒමද දිවි පරදුවට තබා කරන ක්‍රියාවක් බව ඉතිහාසය සඳහන් කළේ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක අංශය, ත්‍රිවිධ හමුදා සහ එම ආරක්ෂක අංශවලට අයත් බුද්ධි අංශ ද මේ ජාවාරමුන් ගැන සෙවිල්ලෙන් පසුවන නිසාය.

වයඹ පළාතේ කල්පිටියේ සිට උතුරු පළාතේ යාපනය දක්වා මුහුදු වෙරළ කේරළ ගංජා ජාවාරමුන් භාවිත කරන්නේ ආරක්ෂක අංශ විසිහතර පැය පුරාම එම මුහුදු තීරයේ සෝදිසි මෙහෙයුම්වල නිරත වන අතරේ වීමද සුවිශේෂී කාරණයකි. ආරක්ෂක අංශ මෙන්ම ජාවාරම්කාරයෝද සූක්ෂ්මය. එලෙස ඉන්දියාවෙන් මෙරටට ගෙන එන කේරළ ගංජා උතුරු පළාතේදී බෙදා හැරීමට ඒ සඳහාම සූදානම් වූ ජාවාරම්කාරයෝ පෙළ ගැසී සිටින අතර ඒ සඳහා ඔවුනට ලැබෙන මුදලද අතිවිශාලය.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව සහ ත්‍රිවිධ හමුදාව බුද්ධි අංශ උතුරු පළාතේදී මෙතෙක් සොයාගෙන ඇති කේරළ ගංජා තොග ප්‍රමාණයෙන් ඉතා විශාලය. වටිනාකමෙන් රුපියල් කෝටි ගණනකි.

මන්නාරමෙන්ද මෑතකදී එවැනි ජාවාරමක සුලමුල සොයා ගැනුණු අතර මන්නාරමේදී ඇල්ලූ කේරළ ගංජා ජාවාරම්කාරයන්ගෙන් හෙළි වූ තොරතුරුවලට අනුව යාපනයේ පවත්වාගෙන යන ලද ඔවුන්ගේ මූලස්ථානයද වටලා කේරළ ගංජා කිලෝග්‍රෑම් සියයකට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිසියට හැකි විය.

උතුරු පළාතට ගෙන එන කේරළ ගංජා තොග කොළඹට ප්‍රවාහනය කිරීම ජාවාරම්කරුවන් මුහුණපාන ප්‍රධාන ප්‍රශ්නයකි. ඒ උතුරේ සිට කොළඹට පැමිණෙන ප්‍රධාන මාර්ග සියල්ලම පාහේ පොලිස් මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් සිදුවන නිසාය. සුඛෝපභෝගී වාහන සහ විශේෂයෙන් උතුරේ සිට දකුණට එන මාළු පැටවූ ශීතාගාර ලොරිවල පටවා කේරළ ගංජා තොග දකුණට එවීම ජාවාරම්කරුවන් විසින් කලක් තිස්සේ කරගෙන ගොස් තිබුණේ ආරක්ෂක අංශවලටද හසු නොවන අයුරින් සූක්ෂ්ම වෙමිනි. එසේ මාළු ගෙන එන ශීතාගාර ලොරිවල පටවා දකුණට ගෙන ආ කේරළ ගංජා විශාල තොගයක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ආශ්‍රිතව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණේ මීට කලකට පෙරදීය.

මෙලෙසම උතුරු පළාතේ සිට දකුණට කේරළ ගංජා ප්‍රවාහනය කරන ලද ශීතාගාර ලොරියක් සහ රුපියල් ලක්ෂ 32 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් අල්ලා ගැනීමට හැකි වන්නේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධරයන් කණ්ඩායමකටය. ඒ පසුගියදාය.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ශ්‍රියන්තට සිය පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් පසුගියදා ලැබෙන්නේ රහසිගත තොරතුරකි. එම තොරතුරෙන් කියැවෙන්නේ උතුරු පළාතේ සිට දකුණට මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් ශීතාගාර ලොරියක් උපයෝගී කරගෙන කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් සිදු කරගෙන යන කේරළ ගංජා ජාවාරමක් පිළිබඳවය.

අදාළ මාළු ලොරිය සහ එය පැමිණෙන දිනය, ස්ථානය පිළිබඳව තොරතුරු හෙළිකරගත් පොලිස් පරීක්ෂක නලින් ශ්‍රියන්ත ඒ ගැන සෙවිල්ලෙන් සිටියදී තොරතුරු ලැබෙන්නේ අදාළ මාළු ලොරිය කොළඹට පැමිණ ඇති බවය.

එම ලොරිය මෝදර රජමල්වත්ත මාතෘ සායනය අසල නවතා තබා ඇති බව හෙළිකරගත් පොලිස් පරීක්ෂක නලින් ශ්‍රියන්ත ඇතුළු කණ්ඩායම එහි යන්නේ ක්ෂණිකවය.

අදාළ මාළු ලොරිය තොරතුරුකරු කී ආකාරයටම නවතා තිබුණේ මෝදර මාතෘ නිවාසය අසලය. පොලිස් නිලධාරීන් දුටු හැටියේම එහි සිටි දෙදෙනා කලබල වූහ. ඔවුන් පවසන්නේ එම ලොරිය මාළු ප්‍රවාහනය සඳහා යොදාගත් බවකි. පොලිස් නිලධාරීන් අදාළ ලොරියේ පිටුපස දොරටු විවෘත කර එහි ශීතාගාරය පරීක්ෂා කරද්දී එහි අධිශීතකරණයේ මාළු සහිත රිජිෆෝම් පෙට්ටියක සඟවා තිබුණ කේරළ ගංජා කිලෝ 10 යි ග්‍රෑම් 500 ක් සොයා ගැනීමට හැකි විය. මෙලෙස සොයා ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 32 කි.

මේ ජාවාරම්කරුවන් මුලතිව් සහ මන්නාරමෙන් මේ මාළු ලොරියේ පටවාගෙන පෑලියගොඩට මාළු ගෙන එන අතරේ එම ලොරියේම ගෙන එන කේරළ ගංජා තොග මෝදරට රැගෙන එන බව හෙළි විය. මේ ජාවාරමේ ප්‍රධානියා වව්නියාවේ සිටින ‘ජන්නීර්’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයකු බවද අනාවරණය විය.

අත්අඩංගුවට ගැනුණ සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරද්දී හෙළිවන්නේ ඔවුන් මුලතිව් සහ කෝකිලායි ප්‍රදේශවල පදිංචි 23 සහ 38 වයස්වල පසුවන අය බවටය.

කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර, කොළඹ උතුරු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කුමාර රූපසිංහ, සහකාර පොලිස් අධිකාරී නලින් ජයසුන්දර යන නිලධරයන්ගේ උපදෙස් මත , සැරයන්වරුන් වන (70859) චමිල්, (11463) විජිත, කොස්තාපල්වරුන් වන (30609) ලලිත්, (77354) ලක්මාල්, (25869) සඳරුවන්, (97160) ධනංජය, (22692) නිරෝෂන්, (105024) නවුජාඩ් සහ (93269) අබේවික්‍රම යන නිලධාරීන්හු වැඩිදුර විමර්ශන සිදු කරති.

ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division