Home » හමුදා බුද්ධි ඔත්තුවෙන් පත්තු වුණු හොර විස්කි ජාවාරම

හමුදා බුද්ධි ඔත්තුවෙන් පත්තු වුණු හොර විස්කි ජාවාරම

by thanushika
September 7, 2024 12:30 am 0 comment
අමිල මලවිසූරිය

අනීතික ලෙස මත්පැන් නිෂ්පාදනය සපුරා තහනම්ය. එහෙත් නීති විරෝධී මත්පැන් ලෙස ගැනෙන කසිප්පු නිෂ්පාදනය මෙරට බහුලව සිදු කෙරේ. විශේෂයෙන් කොරෝනා සමයේ බලපත්‍රලාභී මත්පැන් අලෙවිසල් වසා තැබීම නිසා නීති විරෝධී කසිප්පු ජාවාරම බොහෝ සේ ඉහළ ගිය ආකාරයක් දිස් වූයේ සුරාබදු දෙපාර්තමේන්තුව සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සිදුකළ විශාල වැටලීම් සංඛ්‍යාව අනුවය. වර්තමානය වන විට යුක්තිය මෙහෙයුම ඇතුළු ආරක්ෂක අංශ සහ සුරාබදු ඒකක සිදු කරන වැටලීම් ඔස්සේ නීති විරෝධී කසිප්පු නිෂ්පාදන බොහෝ සේ අඩුවී ඇති බවක් දිස් වුවත් තැන තැන කසිප්පු නිෂ්පාදනය ද සිදු වේ.

නීති විරෝධී කසිප්පු ජාවාරම මැඬලීමට එලෙස සුරාබදු දෙපාර්තමේන්තුව සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙද්දී ඉකුත් අගෝස්තු 27 වැනිදා සුරාබදු දෙපාර්තමේන්තුවේ දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුම් ඒකකය සුවිශේෂී මෙහෙයුමක් සිදු කළේය. ඒ නීති විරෝධී සහ ව්‍යාජ ලෙස විස්කි නිෂ්පාදනය කළ ස්ථානයක් වැටලීමයි. විදෙස් රටවල නිෂ්පාදිත විස්කි සේ ව්‍යාජ ලේබල සහ බෝතල් යොදාගෙන එම ව්‍යාජ විස්කි නිෂ්පාදන ජාවාරම සිදුකර තිබුණේ කඩවත, මහර ප්‍රදේශයේ සුඛෝපභෝගී නි‍ෙවසක පාළුවට ගිය කාමරයක් තුළය. සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් සිදුකළ එම වැටලීමෙන් හොර විස්කි ලීටර් 198ක් සොයා ගැනීමට හැකි වන්නේ සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගනිමිනි.

ඩ්‍රැගන් (DRAGON) ලේබලයෙන් යුතුව ලොව තිබෙන ඉහළම ගණයේ විස්කි වන ස්කොච් (scotch) විස්කි වර්ගයට අයත් යැයි පෙනෙන ලෙස ලේබල්ද සහිතව එම ව්‍යාජ විස්කි නිෂ්පාදනය සිදුකළ ස්ථානය වැටලූ මෙහෙයුම පෙළ ගැසෙන්නේ මෙලෙසිනි.

ඉකුත් අගෝස්තු 27 වැනිදා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු විසින් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරියකු දැනුම්වත් කළේ බුද්ධි තොරතුරක් ගැන පවසමිනි.

“මීගමුවේ තැනක විස්කි බෝතල් 30ක් විකුණන්න තියෙනවා… ඒවා හොර බඩු… මිනිහා සෙට් කරගත්තොත් බඩු එක්කම ඇරස්ට් කරන්න පුළුවන්…“ යැයි එම බුද්ධි නිලධාරියා සුරාබදු නිලධාරින් එලෙස දැනුම්වත් කළේය.

අනතුරුව එම බුද්ධි තොරතුර පිළිබඳව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි දැනුම්වත් කිරීමත් සමඟ ප්‍රධාන සුරාබදු පරීක්ෂකවරයා ඒ පිළිබඳව ජ්‍යෙෂ්ඨ සුරාබදු නිලධාරින් ද දැනුම්වත්කොට ලද උපදෙස් ඔස්සේ වැටලීමකට සූදානම් විය.

එහිදී සුරාබදු නිලධාරීන් එම බුද්ධි තොරතුර පිළිබඳව වැඩිදුර විමර්ශනයේදී ෆේස්බුක් ඇතුළු අන්තර්ජාලයේද එම ‘ව්‍යාජ විස්කි‘ විකිණීම සඳහා තොරතුරු පළකර ඇති ආකාරය අනාවරණය කරගන්නා ලදි. යුද හමුදා බුද්ධි තොරතුරට එසැණින් ක්‍රියාත්මක වූ සුරාබදු නිලධාරීන් එම පුද්ගලයාගෙන් ව්‍යාජ විස්කි මිලදී ගන්නා ගනුදෙනුකරුවකු ආකාරයෙන් සුරාබදු නිලධාරියකු උපාය දූත වෙස් ගන්වන ලදි. අනතුරුව සුරාබදු උපාය දූතයා එම පුද්ගලයා සමඟ සම්බන්ධ වෙමින් මීගමුව ප්‍රදේශයේදී ඔහු මුණගැසී විස්කි බෝතල් 30ක් ලබා ගැනීමට කතිකා කරගන්නා ලදි.

ඒ සමඟම ක්‍රියාත්මක වූ සුරාබදු නිලධාරි කණ්ඩායම උපාය දූතයා හට එම විස්කි බෝතල් 30 ලබා දීමට පැමිණ සිටි එම පුද්ගලයා අත්අඩංගුවට ගැනිණි. ඒ සමඟම එම පුද්ගලයා ව්‍යාජ විස්කි ජාවාරම සිදු කරන මීගමුව, කුරණ ඔහු පදිංචි නි‍ෙවස ද සුරාබදු නිලධරයන්ගේ පරීක්ෂාවට ලක්විය. එම නි‍ෙවසේ ඒ මොහොතේ ඔහුගේ බිරිය ද සිටියාය. නි‍ෙවස පරීක්ෂා කළ සුරාබදු නිලධාරීන්ට කිසිවක් හමු නොවීය. එලෙස නීතිවිරෝධී ලෙස රජයට විශාල ආදායමක් අහිමි කරමින් ව්‍යාජ විස්කි විකිණීම සිදු කළේ 35 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් ලීටරයේ බෝතල්වලින් යුත් එම විස්කි බෝතල් සුරාබදු නිලධරයන්ගේ පරීක්ෂාවට ලක්විය. එහිදී එම විස්කි බෝතල් ඩ්‍රැගන් (DRAGON) ලේබලයෙන් යුතුව ලොව තිබෙන හොඳම විස්කි ලෙස සැලකෙන ස්කොච් විස්කි බව ලේබල්වලින් සඳහන් වුවත් සුරාබදු නිලධාරින්ගේ හසළ දැනුම ඔස්සේ එම විස්කි ව්‍යාජ විස්කි බව නිලධාරීන්ට වැටහෙන්නට ගතවූයේ නිමේෂයකි. අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කෙරෙන්නේ ඉන් අනතුරුවය.

“තමුන්ට කොහෙන්ද මේවා ලැබෙන්නේ…?“ යැයි සුරාබදු නිලධාරියෙක් ප්‍රශ්න කළේය.

“සර්… මට මේවා හම්බ වෙන්නේ කඩවත තැනකින්…“ යැයි එම පුද්ගලයා පැවසීය.

ඉන් පසුව සුරාබදු නිලධරයෝ ඔහු සමඟ ක්ෂණයෙන් කඩවත අදාළ නි‍ෙවස සොයා ගියහ. එහෙත් සැකකරු නිසි ලෙස එම ස්ථානයේ පිහිටීම පැවසීමට මැළිකමක් දක්වන ආකාරයක් නිලධාරින්ට දිස් විය. අනතුරුව පැය ගණනාවක් ගතකොට දැඩි පරිශ්‍රමයක් දරා සුරාබදු නිලධරයෝ කඩවත, මහර පිහිටි සුඛෝපභෝගී නි‍ෙවසකට ගියහ. එම නි‍ෙවසේ පුද්ගලයෙක් විය. ඊට අමතරව සුනඛයෝ දෙදෙනෙක් ද වූහ.

නි‍ෙවසේ කාමර පරීක්ෂාවේදී පාළුවට ගිය එක් කාමරයක විස්කි නිෂ්පාදනය කරන ආකාරය දුටු සුරාබදු නිලධාරීන් තුෂ්ණීම්භූත විය. එම කාමරය තුළ විස්කි නිෂ්පාදනයට යොදා ගන්නා ස්ප්‍රිතු, කලරින්, ජලය ඇතුළු අවශ්‍ය දෑ බහා කලවම් කරන විශේෂ ටැංකියක් ද විය. එම ටැංකියට ස්ප්‍රිතු සහ වතුර දමා 40% සැර මට්ටමට සකසා කලරින් යොදා ව්‍යාජ විස්කි නිෂ්පාදනය සිදුකර තිබිණි. එහිදී 40% සැර මට්ටම සකසා ගැනීමට අවශ්‍ය සුරාබදු නිලධාරින් සතුව පවතින හයිඩෝ මීටරයක්ද එම කාමරය තුළ විය.

අනතුරුව එම ව්‍යාජ විස්කි ‘ඩ්‍රැගන්‘ ලේබලයෙන් යුතු බෝතල්වලට පුරවා මුඩි ‘සීල්‘ කරන උපකරණයකින් සීල් තබන අයුරු සුරාබදු නිලධාරින්ට දැනගැනීමට හැකි විය. ඊට අමතරව විස්කි ඇතුළු බොහෝ මත්පැන් බෝතල්වල තිබෙන මූඩිය සීල් කරන ඉටි ආවරණය ද සකසන උපකරණයක් ද එහි විය. ඒ සියලු උපකරණ යොදාගෙන නිපද වූ විස්කි බෝතල් 6 බැගින් පෙට්ටිවලට අසුරා බෙදාහැරීම සිදුකර තිබුණේ මාස එකහමාරක පමණ කාලයක සිට බව සුරාබදු නිලධාරීන් අනාවරණය කරගත්තේය.

“මේ ජාවාරමෙන් රජයට ලැබෙන්න තිබූ විශාල ආදායමක් අහිමි වෙනවා… ඒ වගේම මේ විස්කි නිපදවන්න යොදාගත් ස්ප්‍රිතු මොනතරම් පානයට සුදුසු ද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ… ඒ නිසා මෙවැනි නීතිවිරෝධී ව්‍යාජ මත්පැන් පානය ඉතාම අවදානම් බව…“ යැයි වැටලීම සිදුකළ උසස් සුරාබදු නිලධාරියෙක් අපට පැවසීය.

මහර පිහිටි අදාළ නි‍ෙවසේදී ඇසුරුම් කරන ලද ලීටරයේ ව්‍යාජ විස්කි බෝතල් 54ක් තිබිණි. ඊට අමතරව බහාලුම් ටැංකිය තුළ වර්ණ යෙදූ විස්කි ලීටර් 114ක් විය. තවද නි‍ෙවසේ තිබී අධි සැර ස්ප්‍රීතු ලීටර් 76ක් ද සොයා ගැනිණි. නි‍ෙවසේ සිට අත්අඩංගුවට ගත් පුද්ගලයා 54 හැවිරිදි අයෙකි. ඔහු මීරිගම පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් ප්‍රශ්න කෙරිණි.

“සර්… මං මේ මුකුත් දන්නේ නෑ… මං ඉන්නේ ගෙදර බල්ලොන්ට කන්න දාන්න විතරයි… කවුරුහරි ආවම ගේට්ටුව අරින්නයි විතරයි…“ යැයි පවසමින් ඔහු බොරු බේගලයක් ඇද බෑවේය. එහෙත් සුරාබදු නිලධාරින් පසුව සියල්ල අනාවරණය කරගත්තේ එම නි‍ෙවස මීට මාස දෙකකට පමණ පෙරදී කුලියට ගෙන මේ ජාවාරමට අත ගසා ඇති බවය. මෙහි ප්‍රධානියා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බවත් ඔහු සොයා මේ වන විට විමර්ශන සිදු කෙරේ.

නි‍ෙවසේ සිට අත්අඩංගුවට ගත් පුද්ගලයා මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී එම පුද්ගලයාට මාස හයක සිරදඬුවමක් පැනවීය.

සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි සහ සුරාබදු කොමසාරිස් තිස්ස රාජපක්ෂගේ උපදෙස් මත සුරාබදු අධිකාරි සුනිල් පී. ආරච්චිගේ අධීක්ෂණයෙන් දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩිගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක ඉන්දික ප්‍රියශාන්ත, සුරාබදු කෝප්‍රල්වරුන් වන අතුල (663), සම්පත් (722), නිශාන්ත (743), සුරාබදු නියාමක බුද්ධික (1188) සහ සුරාබදු රියදුරු චින්තක යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division