ප්‍රංශය යැයි කියූ විට සුකුමල සහ මනස්කාන්ත චිත්‍රයක් හදවතේ ඇඳුණත් දේශපාලනයේදී එරට දැඩි ස්වරූපයක් උසුලන්නේය.
ප්‍රංශය ලෝකයේ විලාසිතා පාරාදීසය, ප්‍රංශ යුවතියන්ගේ මනරම් නර්තන, ප්‍රංශයේ අලංකාරම මාවත වූ ඇවනිව් දේ ෂොම් සෙලිසේ වැනි අංගවලින් මටසිලිටු වූයේ නමුදු එහි ගොඩනැඟෙන දේශපාලන පදනම ගරු ගාම්භීරය.
ප්‍රංශයේ පස්වන ජනරජය පිහිටවූ එහි දහ අටවෙනි ජනාධිපති චාල්ස් ඩී ගෝල්, නූතන ප්‍රංශය පිළිබඳව කලින්ම සිතා නව ආණ්ඩුක්‍රම සැලසුමක් සකස් කළේය.
ශක්තිමත් රාජ්‍යයක් වෙනුවෙන් ඩී ගෝල් පෙනී සිටින ලද්දේ දෙවැනි ලෝක යුද සමයේ ජාතික රාජ්‍ය වෙත ඇති අභියෝගය අවධාරණයට ගෙනය. ව්‍යවස්ථාදායක සභාවක භූමිකාව අවධාරණය කරන ලද ප්‍රංශ ජනරජ සම්ප්‍රදායෙන් වෙනස්ව, ශක්තිමත් විධායකයක් මත රාජ්‍යය ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාව ඩී ගෝල් ඉස්මතු කළේය. මේ අවශ්‍යතාව කරට ගත් දේශපාලන බළඇණිය ප්‍රංශය තුළ මතවාදී ශක්තියෙන් බලවත් විය. විධායක ජනාධිපති ක්‍රමය උපදින්නේ එතැනිනි.
නූතන ප්‍රංශ දේශපාලනයේ පදනම වන ගෝලිස්ට්වාදය ‘ශක්තිමත් ආර්ථිකයක් සහ ස්ථාවර සමාජයක්’ යන්න නළලේ කොටාගත් දේශපාලන ධාරාවක් විය. ආර්ථික වර්ධනය සඳහා වූ දිරිගැන්වීම සහ එය මෙහෙයවීම, රාජ්‍යයේ අනිවාර්ය අවශ්‍යතාවක් බව, ගෝලිස්ට්වාදයේ පිළිගැනීමය. ශක්තිමත් විධායකයක් ඒ සඳහා අවශ්‍යය. මේ මතය තුළ පිළිසිඳ ගත් ප්‍රංශය, විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කළේය.
1966 වසරේ දෙසැම්බර් 14 වෙනි දින ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ විසි දෙවැනි සැසිවාරය මුළු දුන් අවස්ථාවේ ප්‍රධාන දේශනයේ මාතෘකාව වූයේ ‘විද්‍යාව සහ දේශපාලනය’ යන්නය. ආරාධිත කථිකයා වූයේ ජේ. ආර්. ජයවර්ධනය. විද්‍යාව අනුපානයට ගෙන දේශපාලනය යහමින් තිබූ එම දේශනයේදී ජේ. ආර්. මතු කළ ප්‍රධාන ප්‍රවාදය වූයේ ‘වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය අතහැර, ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් සකසා ගත යුතුය’ යන්නය. එක්සත් ජනපදයේ සහ ප්‍රංශයේ පවතින විධායක ජනාධිපති තනතුරු විග්‍රහ කළ හෙතෙම, 1978 වන විට එය මහ පොළොවේ පැළ කළේය.
දැන් උණුසුම් වී ඇත්තේ, ප්‍රංශයේ ගෝලිස්ට්වාදයේ ආභාසය ලැබ ජේ. ආර්. ජයවර්ධන විසින් අපට දායාද කළ ජනාධිපති ක්‍රමයේ, පුටුවේ ‘ඊළඟට වාඩිවෙන්නා’ තෝරාගැනීමේ තරගයය.
බ්‍රහස්පතින්දා පෙරවරුවේ තිස් නව දෙනෙක් මේ තරගයට නාමයෝජනා දුන්හ. ඒ අතරින් තිස් තුනක්ම ගත් කල ජනතාවගේ මුදලින් ‘වෙනත් අභිලාශ සපුරා ගැනීම සඳහා ආ පිරිසක් බව පෙනී යන්නේය. ස්වාමීන් වහන්සේ දෙනමක් නාමයෝජනා ලබාදී තිබේ. නම අසා නැති, දුටුවිට මුහුණ නොදන්නා බර ගණනාවක් නාම යෝජනා භාර දුන් අය අතර වේ. මේ ආකාරයට රටේ ප්‍රධානම ඉසව්ව සැහැල්ලුවට ගැනීම, සැහැල්ලුවට ගත නොහැකි කරුණකි. මේ රටේ ජනතා මුදල් ගසාකන්නේ යැයි චෝදනා කරන, ඒවා දේශපාලකයන් අයථා පරිහරණය සඳහා යොදා ගන්නේ යැයි දොස් නඟන වාමවාදීන් කිහිපපොළක්ම, තමන්ගේ ඇපය පවා අහෝසි වෙන බව දැන දැනම නාමයෝජනා ලබා දුන්හ. මොවුන් හඳුන්වන්නේ මතවාදය වෙනුවෙන් සිටින කණ්ඩායම් ලෙසය. තමන්ට අවශ්‍ය ජයග්‍රහණය නොව දිනක මතවාදය රජ කරවීම බව පවසමින්, සිය දේශපාලන අවශ්‍යතාව උදෙසා, ඒ පිරිස ජනතා මුදල් නාස්ති කරන්නාහ.
මේ මොහොතේ අපට සිටගෙන සිටිය හැකි රටක් තිබේ. වසර දෙකකට පෙර මුනින්තලා වැටී තිබූ දේශය දැන් ‘ඉන්න හිටින්න’ හැකි පමණට සවිමත්ය.
එතැනින් එහාට මේ රාජ්‍යය ගෙනයෑමේ වගකීම සදහා වූ බලයලත් නිලධාරියා සඳහා පැවැත්වෙන නිලවරණය තීරණාත්මක කඩඉමක් වන්නේය.
ප්‍රංශය විධායක ජනාධිපතිවරයෙක් නිර්මාණය කර ගත් සියලු කාරණා මේ මොහොතේ ශ්‍රී ලංකාව සතුව ද ඇත්තේය. ශක්තිමත් රාජ්‍යයක අවශ්‍යතාව ඉස්මතු වූයේ, රටට අයිතිකාරයෙක් නොමැති තත්ත්වයක් මාස කිහිපයක් තිස්සේ පැවති පසුබිමකය. ඒ මොහොතේ තෙදවත් බලවත් විධායකයක් රටේ තිබුණි. ඔහු සන්තක තුනෙන් දෙකේ බලයක් සහිත පාර්ලිමේන්තුවක් ද තිබුණි. ඒ සියල්ල මධ්‍යයයේ රාජ්‍ය සිදුරු කරගෙන අරගලයක් මතු විය. තත්ත්වය, පාලනයෙන් කෙතරම් ගිලිහී ගියේ ද කිවහොත්, ඇඳිරිනීතිය පැනවූ කල එයට ක්‍රියාත්මක තත්ත්වයක් නොවීය. බලතල ඇත්තේ මුත් එය විශද කළ හැකි දේශපාලන නායකත්වයක් රටේ නොතිබුණු හෙයින් රාජ්‍යය යන්න වියැකී යන්නට පටන් ගත්තේය.
බංගලිදේශයේ උදාහරණය ගනිමු. සියල්ල අරගලයටම යට වූ හෙයින් රාජ්‍යය නැවත නඟාසිටුවීම තවමත් වෑයමක් පමණය. ඒ තත්ත්වයට, මේ රට ලක් නොවූයේය. ව්‍යවස්ථාදායකය සුරක්ෂිත කරමින්, ලැබුණු තැනින් රට නඟාසිටුවීමේ නායකත්වයක් රටට ලැබුණේය.
එතැන් සිට රටේ ණය අර්බුදය සමනය කිරීම සිදු විය. අඩුපාඩුකම් වෙතොත් ඒ ගැන සේම සිදු කළ සේවය පිළිබඳව ද මේ අවස්ථාවේ ජන මනසට දැනුමක් ඇත්තේය. යා යුත්තේ එතැන් සිට ඉදිරියටය. ‘ශක්තිමත් ආර්ථිකයක් සහ ස්ථාවර සමාජයක්’ යන ප්‍රංශයේ ගෝලිස්ට්වාදයේ මූල බීජය මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආදර්ශ පාඨයය.
විධායක ජනාධිපති ක්‍රමය ඇතිවූයේ මේ පදනම මත හෙයින් එය මේ මොහොතේ ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍යතාව හෙයින් ද දැන් වගකීම ඇත්තේ ජනී ජනයා සතුවය. ඉරණම කැරකෙන්නේ ගුරුත්වාකර්ෂණය හෝ උත්තර සහ දක්ෂිණ ධ්‍රැවහී චුම්බක ක්ෂේත්‍ර වටා නොවේ. එය තීරණය කරනුයේ රාහු, කේතු බුධ සහ සිකුරු ද නොවේ. ජනතා අවශ්‍යතාව විසිනි. ජන කැමත්ත මඟින් එළිදැක්වෙනු ඇත්තේ ඒ ඉරණමය.
“අනුන් කියනු ඇසීමෙන් නොපිළිගන්න. පරම්පරාවෙහි ආ හෙයින් නොපිළිගන්න. තර්කානුකූල යැයි ද නොපිළිගන්න. න්‍යායට අනුකූල යැයි ද නොපිළිගන්න…” ආදී ලෙස භාග්‍යවතුන් වහන්සේ කී පරිදි මෙතැන් සිට ජනයා ක්‍රියා කළ යුත්තේය. සියලු හණමිටි සහ මතක වට්ටි අහකට දමා රට වෙනුවෙන් නව මිනිසෙක් ලෙස ජනයා මේ මොහොතේ සිතිය යුත්තේය. ඒ අනුව මේ රටේ ඉරණම භ්‍රමණය වනවා ඇත.