බංග්ලාදේශයේ ඩකා අගනුවර, මේ වන විට යකා නැටූ පුරවරයක් බඳුය. රාජ්‍යය යන සංකල්පය වියැකී ඇත්තේය. අයිතිකාරයෙක් නොමැති වෙළඳසැලක් සහ මේ ආකාරයේ රාජ්‍යයක් අතර වෙනසක් නැත. හිතූ හිතූ ආකාරයට හැසිරෙන කණ්ඩායම් රටේ සියලු දේ ගැන තීරණය කරමින් ඇත්තේය. මාධ්‍යයේ යම් බලයක් සහිතව හමුදාව ඇත්තේය. විනාශයේ තරම කිව හැක්කේ තවත් මාස කිහිපයක් ගෙවුණු පසුවය. රතු ඉත්තෝ මාර්ගයෙන් පිට ගෙන යෑමට දැඟලුවත් ලංකාවේ ‘අරගලය’ එළිපත්ත පන්නා ගියේ නැත. බංග්ලාදේශයේ අරගලය සීමාව පැන ගියේය. මේ වෙනස පිළිබඳව කතා කළ යුත්තේ, අර්බුද ගණනාවකින් පසු අප අද සිටින ස්ථානය පිළිබඳව ජනතාව දැනගත යුතු නිසාය.
පාස්කු ප්‍රහාරය, කොවිඩ් උවදුර ආදිය සම්මිශ්‍රණය කරමින් පැන නඟින ලද ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ ‘අරගලය’ සඳහා පසුතලය සකසන විට, බංග්ලාදේශය සිටියේ අපට ණය දෙන තරමේ වත්පොහොසත්කම් සහිතවය. අගමැතිනි හසීනා යටතේ බංග්ලාදේශයේ සමස්ත චිත්‍රය වෙනස් විය. ලෝකයේ දුප්පත්ම රටවල් ලැයිස්තුවේ සිටි එම දේශය, 2009 වසරේදී ආර්ථික අතින් ගව් ගණන් දිග පිමි පැන්නේය. ලෝකයේ පස්වැනි විශාලම ආර්ථිකය හිමි ඉන්දියාව ද අභිභවා යමින් කලාපයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් ඇති රට බවට බංග්ලාදේශය පත් විය. ගෙවුණු දශකය තුළ, එහි ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් ඉහළ ගියේය. පසුගිය වසර විස්ස තුළ, මිලියන 25කට අධික ජනතාවක් දරිද්‍රතාවෙන් මුදා ගැනීමට එරට සමත් විය. මේ ආකාරයට පවත්වා ගෙන ගිය රටක්, ජනතාවගෙන් කොටසක් පාරට බැස පාලකයා එළවන තත්ත්වයක් දක්වා පැමිණියේ කෙසේද? එතැන් සිට රාජ්‍යය යන්න අතුරුදහන් වන ආස්ථානයක් කරා බංග්ලාදේශය විතැන් වීමට පටන් ගත්තේ කෙසේද? එම ඉරණමට මුහුණ දුන් ශ්‍රී ලංකාව, වර්තමාන තත්ත්වය දක්වා ස්ථාවර වූයේ කෙසේද?
මේ මාතෘකා ආචාර්ය උපාධි පර්යේෂණ සඳහා සුදුසු වන්නේ වුව ද, කෙටි පිළිතුරු කිහිපයකින්, තත්ත්වය සාරාංශ කළ හැක්කේය. ආර්ථික කළමනාකරණය සඳහා වූ අසාමාර්ථභාවය එකකි. ශ්‍රී ලංකාව බංකොලොත් මට්ටම දක්වා පැමිණෙන තෙක්, එයට පිළියම් යෙදීමේ ශක්‍යතාවක් රජයට තිබුණේ නැත. මේ හේතුවෙන් කුමන්ත්‍රණයට ‘පණ’ ආවේය. එතැනින් පටන් ගෙන, දේශපාලන ස්ථාවරත්වය ද සෝදාගෙන ආර්ථික අර්බුදය දෙගොඩ තලා ගියේය. කනප්පුවේ එක් කකුලක් වූ විධායකය කැඩුණු වහා, අරගලකරුවෝ ව්‍යවස්ථාදායක ‘කකුල’ ද කඩා දැමීම සඳහා වෙහෙස ගත්හ. ලාල්කාන්ත අද දුක් වන්නේ පාර්ලිමේන්තුව දෙසට අරගලය හරවා, ව්‍යවස්ථාදායකය අකුළා දැමීමට නොහැකි වීම පිළිබඳවය.
ලාල්ට අනුව ඒ සඳහා අරගලයේ සිටි සමහර නායකකාරකාදීන් ඊට කැමැත්ත දක්වා නැත.
රටම දන්නා කරුණ වන්නේ කැමැත්ත අකමැත්ත ආදිය නොව ඒ සඳහා ඉඩක් ලැබුණේ නැත යන්නය. අරගලය මධ්‍යයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලා යන්නේ අගමැති තනතුර සඳහා රනිල් වික්‍රමසිංහ පත් කරමිනි. රනිල්ගේ පළමු කාර්යය වූයේ කැඩී ඇති විධායකයට මුක්කු ගැසීම නොව, දැනට හයියට ඇති ව්‍යවස්ථාදායකය බේරා ගැනීමය. ඒ මොහොතේ සිටියේ ද ගෝඨාභය පලා යනු බලා, පිටත් කර හරින ලද හමුදාවකි. සන්නද්ධ සේනා විධායක, ඒ ආකාරයට පිටමං වෙනු බලා සිටි හමුදාව සඳහා අණදීම, රනිල්ගේ පළමු කාර්යය විය. එදා කැරලිකරුවන් පලවා හැර, පාර්ලිමේන්තුව බේරාගත් හෙයින්, රාජ්‍යය නම් යන්ත්‍රණය අපට ඉතිරි විය. එතැන් පටන් විධායකය ද පණ ගසා ගනිමින් මේ රට යළි ස්ථාපිත විය.
එසේ වූ පමණ රෝගය සුව වූයේ නැත. රෝග ලක්ෂණ යට ගියා පමණය. දියුණු ආර්ථිකයක් සහිත බංග්ලාදේශයේ, විදේශ විනිමය සංචිත 2021 අගෝස්තු මාසයේදී ඩොලර් බිලියන 48 ක වාර්තාගත මට්ටමට ළඟා විය. දුඹුරු විප්ලවය ආරම්භ වන කාලයේ එය ඩොලර් බිලියන 20 දක්වා පහළ ගියේය. මේ මුදල වනාහි, එරට මාස තුනක ආනයන සඳහා ප්‍රමාණවත් වූවකි. එරට විදේශ ණය ද 2016 සිට දෙගුණයකින් වැඩි විය. ඔය වැනි ආර්ථික ආපත්තින් සඳහා බංගලි පාලනයට පිළියම් හිඟ විය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෝදාපාළු වී, ශ්‍රේණිගත කිරීම් හි ‘බංකොලොත් වීමට ආසන්න’ යන ලේබලය ඇලවෙන විට, එයට දේශපාලන අස්ථාවරභාව ද එකතු විය. දේශපාලන ස්ථාවරභාවය පළමුවත්, ඊළඟ පියවරේදී ආර්ථික ගොඩ දැමීමත් යන්න සැලසුම් කළ යුතු විය. රට බංකොලොත් වී ඇති හෙයින් යා හැකි අන් ස්ථානයක් නොමැත්තේය. ලෝකයේ අවසාන ණය දෙන්නා වූ මුල්‍ය අරමුදල හැර වෙන මාවත් නැත්තේ හෙයින් ඒ සමඟ ඉදිරි වැඩපිළිවෙළ සඳහා ආණ්ඩුව යොමු විය.
මේ ඔළුව ඉස්සීම, එහි ප්‍රතිඵලයකි. ඡන්ද මලු බලාගෙන සහනාධාර දැන් ලබාදිය නොහැකිය. හිතුමතේට අය වැය පරතරය වැඩි කර ගත නොහේය. ඒ සියල්ල සඳහා සැලසුම සකස් වන්නේ මූල්‍ය අරමුදල සමඟ ඇති වෙන සාකච්ඡා අනුවය. ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගියදා පාර්ලිමේන්තුවේදී කියනුයේ එම වැඩපිළිවෙළ ‘වෙනස් කරනවාමයි’ කියාය. මේවා එක දාමයක් මිස, එහෙන් මෙහෙන් පුරුද්දා ගෙන යා හැකි මාලයක් නොවේ. මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සඳහා ඔය ආකාරයට සරදම් කරන විට චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය යන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියෝ, සසල වෙති. ගෙවිය යුතු ණය සඳහා දමා ඇති නඩු සියල්ල, පමා කරගෙන සිටින්නේ, මුල්‍ය අරමුදල සමඟ ඇති එකඟතා අකුරට අප පිළිපදින බව, ඒ රටවලට සහ පුද්ගලික ස්වෛරී බැඳුම්කර හිමියන් වෙත දන්වා ඇති බැවිනි. ඒ සඳහා අංචි අදින බව දැනගත් වහා, යළි ආර්ථිකය අවුල් වෙනවා ඇත. හර්ෂ ද සිල්වා යනු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයාය. හෙතෙම මේ ආකාරයට සැලසුම බුරුල් කරන වග කියනා විට, කඩා වැටෙන්නේ ගොඩනැඟිල්ලය.
බංග්ලා දේශයේ අර්බුදය මේ පැත්තට යළි ගෙන්වා ගැනීමට නම් ඔය කතා සුදුසුය. එහෙම ආශාවක් මේ රටේ කිසිවකුට නැත්තේ හෙයින් උඩින් ගිය කොකා කට ඇරියා සේ නොකරන ලෙස අවධාරණය කරමු.