අනූව දශකයේ මැද භාගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පෙර නොවූ විරූ ආකාරයේ ඉරියව්වක් ඇති අපූරු දඟ පන්දු යවන්නකු බිහි විය. ඔහු පෝල් ඇඩම්ස් ය. දකුණු අප්‍රිකාවෙන් බිහි වූ ළාබාලතම ක්‍රීඩකයා ලෙසත් ඔහු වාර්තා පොතට එක්විය. එවකට 18 හැවිරිදි වියෙහි පසු වූ මේ පන්දු යවන්නා ක්‍රිකට් විචාරකයන් හඳුන්වනු ලැබුවේ වමත් wrist spin පන්දු යවන්නකු හැටියටය. සිය වමතේ මැණික් කටුව කරකවා පන්දුව දඟ කැවීමට සැලැස්වීමේ හැකියාව ඇති එවැනි පන්දු යවන්නෝ එවකට නැති තරම් ය. ඇරත් පිතිකරුවා වෙත පන්දුව සියතින් මුදා හැරීමේදී ඔහුගේ හිස පහතට හැරවී තිබීමත් දුර්ලභ අංග චලනයත් නිසා ක්‍රිකට්ලෝලීන්ගේ අවධානය ඔහු කෙරෙහි යොමු වූවා පමණක් නොව එය පිතිකරුවා අන්දමන්ද කිරීමට ද හේතු විය.
ඔහුගේ අතින් පන්දුව මුදා හැරෙන මොහොත විනිශ්චය කර ගැනීමට අපහසු වීමත් තමා වෙත එල්ල වන පන්දුවට වඩා පන්දු යවන්නාගේ ඉරියව්ව කෙරෙහි නොදැනුවත්වම අවධානය යොමු වීමත් නිසා පෝල් ඇඩම්ස්ගේ පන්දු හමුවේ දණ නැමූ පිතිකරුවෝ එවකට බොහෝ වූහ. පසුකාලීනව මේ විස්මයජනක පන්දු යැවීමේ ඉරියව් සහිත දකුණු අප්‍රිකානුවා අනුකරණය කළ ක්‍රීඩකයන් ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට බිහිවූවත් ඔවුන්ගේ ක්‍රිකට් ජීවිතය එතරම් සාර්ථක වූයේ නැත.
ඒ මතකය ක්‍රිකට් පිටියට නැවත අලුත් කර දුන්නේ රත්ගම දේවපතිරාජයේ 15 හැවිරිදි ශෂිනි ගිම්හානි ය. සැබෑව නම් මීට දශක දෙකකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කාගෙත් අවධානය දිනාගත් පෝල් ඇඩම්ස් ගැන ඇය මෙලෝ හසරක් නොදැන සිටීමය. ඇය උපන්නේ පෝල් ඇඩම්ස් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන වසර හතරකටත් පමණ පසුවය. මේ වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ පන්දු යැවීමේ තුරුම්පුවක් බවට පත්වී සිටින මේ ළාබාල ක්‍රීඩිකාව ගැන ලොවම කතා කරන්නට වූයේ පසුගිය අප්‍රේල් මස හම්බන්තොට පැවැති ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා හා එංගලන්ත අවුරුදු 19න් පහළ විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අතරතුරදීය. ශ්‍රී ලංකා පිල ලකුණු 7කින් එංගලන්තය පරාජය කළ තරගාවලියේ පළමු තරගය අතරතුරදීය. එම මාසයේදීම අගභාගයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වූ අයිසීසී විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පළමුවරට ශ්‍රී ලංකා ජාතික කාන්තා පිල නියෝජනය කිරිමට අඩු වයසින්ම ඇයට වාසනාව ගෙන දුන්නේ මේ විස්මිත පන්දු යැවීමය. මේ වන විට දඹුල්ලේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 තරගාවලියේදිත් ජාතික පිල නියෝජනය කිරීමේ වාසනාව අත්කරගෙන සිටින ශෂිනි ගිම්හානි ගැන ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ වැඩි අවධානයක් යොමු වූයේ මැලේසියාවට එරෙහිව පැවැති තරගයේදී ඇය සිය ඕවර 4දී ලකුණු 9ක් පමණක් ලබා දී කඩුලු 3ක් දවාලීමත් සමඟ ය. එම කඩුලු තුනම ඇය විසින් දවාලනු ලැබුවේ කෙළින්ම කඩුල්ලට එල්ල කිරීමෙනි.
වමතින් පමණක් නොව දකුණතින් ද පන්දුව දඟ කැවීමේ අපූරු හැකියාවකින් සමන්විත මේ විස්මිත ක්‍රීඩිකාව ජාතික පිලට සේන්දු වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 කාන්තා ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළ ළාබාලතම ක්‍රීඩිකාවගේ වාර්තාව ද සතු කර ගනිමිනි. පසුගිය මැයි මස 1 වැනිදා උගන්ඩාවට එරෙහිව අබුඩාබි නුවරදී සිය මංගල ජාත්‍යන්තර විස්සයි20 තරගයට ක්‍රීඩා කළ ඇය විසින් බිඳ දමනු ලැබුවේ සිය කණ්ඩායමේ ම යොවුන් පිතිකාරිනිය විශ්මි ගුණරත්න තැබූ වාර්තාවය. වසර 2022 දී එවකට වයස අවුරුදු 16කුත් දින 149ක් සම්පූර්ණ කර සිටි විශ්මි ගුණරත්න විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්ව සිටියාය. ගිම්හානි එම වාර්තාව අයිති කරගන්නා විට ඇගේ වයස අවුරුදු 15කුත් දින 124කි.
ශෂිනි ගිම්හානි වසර 2008 දෙසැම්බරයේ 9 වැනිදා දකුණු පළාතේ ප්‍රධානතම ධීවර නගරයක් වන රත්ගමදී උපන්නේ ක්‍රීඩාවට හිමිකම් කියන පවුලක වැඩිමල් දියණිය ලෙසටය. ඇගේ පියා නදීෂ් ක්‍රිෂාන්ත විජේරත්න දේවපතිරාජයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. මව තුෂාරි ලක්ෂිකා එල්ලේ, නෙට්බෝල් සහ වොලිබෝල් ක්‍රීඩාවෙන් දේවපතිරාජයේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක වූවාය. පවුලේ වැඩිමලා 19 හැවිරිදි ජනිඳු ගිම්හාන දේවපතිරාජයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් රග්බි ක්‍රීඩාවට යොමු වූ අතර, මේ වන විට කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ පළමුපෙළ රග්බි කණ්ඩායමේ විශිෂ්ට ක්‍රීඩකයකු බවට පත්වී සිටි. සිය වැඩිමල් සොහොයුරියගේ අඩිපාරේ යන පවුලේ තුන්වැන්නිය 13 හැවිරිදි අනුකි ඉමන්දි සිය පාසල් කණ්ඩායමට ඇතුළත් වීමේ අරමුණින් ක්‍රිකට් පුහුණුව ලබමින් සිටින අතර, පවුලේ බාලයා 8 හැවිරිදි යෙනුකි දහම්සා ද නුදුරු අනාගතයේදී ක්‍රිකට් පිත්තට සහ පන්දුවට හුරුවනු සහතිකය.
“පොඩි කාලේ ඉඳලම මමයි, මහත්තයයි දෙන්නම ක්‍රීඩා කළා. ඒ ආභාසය වෙන්නැති දරුවන්ටත් එන්න ඇත්තේ” එසේ කියමින් ‘සිළුමිණ‘ සමඟ සිය දියණිය ගැන කතාබහ කිරීමට එක් වුයේ ගිම්හානිගේ මව ලක්ෂිකා ය.
“දුව සිරිසුමන විදුහලටයි මුලින්ම ගියේ. දේවපතිරාජයට ඇතුළත් වුණේ 6 වසරටයි. දවසක් ඇවිත් අපෙන් ඇහුවා ක්‍රිකට්වලට ගැහැනු ළමයි තෝරා ගන්නවා මමත් යන්නද කියලා. මම කිව්වා පුතේ ඔයාට කැමැත්තක් තියෙනවා නම් යන්න කියලා. හැබැයි පොඩි කාලේ නම් දුව ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයි කියලා අපිට තේරුණේ නෑ. අනික පිට්ටනියට ගියාම අනිත් ළමයි එක්ක නම් හරි හරියට කතා කළාට එයා ගෙදරදී හරි නිහඬ දරුවෙක්. හරිම ලජ්ජාශීලි ළමයෙක්. කා එක්කවත් ලෙහෙසියෙන් කතාබහ කරන්නෙත් නෑ.” ඇය සඳහන් කළාය. ශෂිනි ගිම්හානි මෙතරම් අඩු වයසකදී ජාතික කණ්ඩායමට සේන්දු වනු ඇතැයි සිහිනෙන්වත් නොසිතූ බව ද ලක්ෂිකා කීවාය.
ඇය මුලින්ම අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමට ඇතුළත් කර ඇතැයි ලක්ෂිකාලා දැනගත්තේ ද සිය දියණියගෙනි.
“එයාම තමයි අපිට කිව්වේ අම්මේ මම තේරිලා කියලා කියනවා කොහොමද දන්නේ නෑ කියලා. එහෙම තමයි අපිත් දැනගත්තේ. ඔස්ට්‍රේලියා, එංගලන්ත ටීම් ලංකාවට ආපු වෙලාවේ. ඒ තරගවලදි තමයි හැමෝම එයා ගැන කතා කරන්න පටන් ගත්තේ. අපිටත් හිතාගන්න බැරිවුණා.”ගිම්හානිගේ මව සිනාසෙමින් එසේ කීවාය.
දියණියන් දෙදෙනාම පාසලේ ක්‍රිකට් පුහුණුවීම්වලට කැටුව යන්නේ ලක්ෂිකා ය. දියණිය ක්‍රීඩා කරන සෑම තරගයක්ම නැරැඹීමට පවුලේ අය සමඟ ක්‍රීඩාංගණයට යන බවත් ඇය කීවාය.
“දුවගේ හැම මැච් එකකටම අපි යනවා. කිසිම මැච් එකක් අත්හරින්නේ නෑ. එදා දඹුල්ලේදී එයා විකට් 3ක් ගත්තු මැච් එකත් බලන්න ගියා වාහනයක් හයර් කරගෙන. ඊට කලින් අපි පුතා සෙල්ලම් කරනවා බලන්න කොළඹත් ගියා. ඉසිපතන විදුහලත් එක්ක තිබුණු මැච් එක බලන්න.” ඔවුන්ගේ පුත්‍රයා ජනිඳු ගිම්හාන මේ දිනවල පැවැත්වෙන අන්තර් පාසල් අවුරුදු 19න් පහළ ලීග් රග්බි තරගාවලියේදී ඩී.එස්. සේනානායක විදුහල් පිල නියෝජනය කරන අතර, ඔහු ඩී.එස්.සේනානායක විදුහලට ඇතුළත් වූයේ පසුගිය වසරේදීය.
“පුතා මුල් කාලේ දේවපතිරාජයේ හොඳටම ක්‍රිකට් ගැහුවා. එක වතාවක් එයා 15න් පහළ පුහුණු තරගවලදී ශතක 5ක්ම ගැහුවා. පස්සේ ක්‍රිකට් ගහන්න බෑ කියලා රග්බි ක්‍රීඩාවට ගියා.” ගිම්හානිගේ පියා නදීෂ් ක්රිෂාන්තත් කතාබහට එක් වූයේ එසේ කියමිනි.
දේවපතිරාජයේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩකයකු වූ ගිම්හානිගේ පියාගේ වෘත්තිය ධීවර රැකියාවය. එහෙත් ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම දරුවන්ගේ ක්‍රීඩා දස්කම් දැක බලා ගැනීමට කාලය වෙන් කරගන්නා බව ඔහු කීවේය.
” ඩී.එස් එකට පුතාව ගත්තේ රග්බි ක්‍රීඩාව හොඳටම කරන නිසයි. කොළඹ ඉස්කෝල 5කින් විතර ඇවිත් පුතා ඉල්ලුවා. දැන් රග්බි ක්‍රීඩා සමාජවලිනුත් පුතාට සෙල්ලම් කරන්න එන්න කියලයි තියෙන්නේ. අපේ ආසාව පුතාත් කවදාහරි දවසක ජාතික රග්බි කණ්ඩායමට සෙල්ලම් කරනවා දකින්නයි. “නදීෂ් ක්‍රිෂාන්ත එසේ පැවැසීය.
“පුතා හරි ආදරෙයි නංගිලාට. ගිම්හානිට ‘සුදු‘ කියලා නම දැම්මේ පුතා. නංගි කළු වුණාට මට නම් සුදුයි කියලා තමයි ඒ නම දැම්මේ. ” පියා සිනාසෙමින් එසේ කීවේය.
ශෂිනි ගිම්හානි දස්කම් දක්වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොවන අතර, ඇය එල්ලේ ක්‍රීඩාවෙන් ද කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩිකාවකි. පසුගිය වසරේ ජාතික පාසල් මහා ක්‍රීඩා උලෙළේදී අවුරුදු 19න් පහළ බාලිකා එල්ලේ ශූරතාව දිනා ගනු ලැබුවේ දේවපතිරාජ විදුහලේ ක්‍රීඩිකාවෝ විසිනි. ගිම්හානි සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූවා පමණක් නොව එල්ලේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවගේ සම්මානය ද දිනා ගත්තාය.
“එයා බෝලෙට හයියෙන් ගහනවා. එයාට හොඳට බැටිනුත් පුළුවන්. අපි ඉතින් ඒකත් දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉස්කෝලේ ටීම් එකේ නම් එයාට බැට් කරන්න චාන්ස් එක හම්බ වෙනවා. ගොඩාක් වෙලාවට ආරම්භක පිතිකාරිනිය විදිහට තමයි යන්නේ.”ගිම්හානිගේ පියා සඳහන් කළේය. ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමේ සිහිනය දකින බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ජීවිතයේ සිහින සැබෑ කරගැනීමට වීරයකු සිටියද ගිම්හානිට එවැනි ක්‍රිකට් වීරයකු නැති බව ඇගේ මව කීවාය.
ගිම්හානි මේ වසරේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අතර, ඇගේ සොහොයුරා මේ වසරේදී උසස් පෙළට මුහුණදීමට නියමිතය. දෙදෙනාම ක්‍රීඩාව වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීම නිසා විභාගයට කෙසේ මුහුණ දෙන්නේ දැයි සිතාගත නොහැකි බව මව කීවාය.
“දුවට මේ පාර දේවපතිරාජ- වාද්දුව සෙන්ට්‍රල් බිග් මැච් එකටත් සෙල්ලම් කරන්න බැරි වුණා. ඒ දවස්වල එයා හිටියේ ජාතික කණ්ඩායම එක්ක අබුඩාබිවල. මේ වෙද්දී එයා අබුඩාබි වගේම බංග්ලාදේශයෙත් ක්‍රිකට් සංචාරවලට ගිහින් තියෙනවා. එයාට රට වෙනුවෙන් සෙල්ලම් කරන්න අවස්ථාව ලැබීම ගැන මුලින්ම ස්තුති කරන්න ඕන එයාගේ ක්‍රිකට් පුහුණුකරු මහේෂ් සර්ට. ශ්‍රී ලංකා ටීම් එකේ නායිකාව චමරි අතපත්තුටත් ස්තූති කරන්න ඕනා. එයා තමයි දුව එතැනට අරන් ගියේ. ඒ වගේම දේවපතිරාජයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් ස්තූති කරන්න ඕනා.ගිම්හානිගේ පියා කීවේය.
කණ්ඩායමේ නායිකාව ලෙස චමරි අතපත්තු කටයුතු කරන කාලසීමාවේදීම ගිම්හානිට කණ්ඩායමට සේන්දු වීමේ අවස්ථාව ලැබීම කැපී පෙනේ. චමරි අතපත්තු මුලින්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරද්දී ගිම්හානි මාස 6ක බිලිඳියකි.
දේවපතිරාජයේ ගිම්හානිලාට ජාතික කණ්ඩායමට සේන්දු වීමට වැඩිම කාර්යභාරයක් ඉටු කරනු ලැබුවේ පුහුණුකරු මහේෂ් සඳරුවන් ය. ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ගිම්හානි පමණක් නොව තවත් ක්‍රීඩිකාවන් කිහිපදෙනකුටම ජාතික කණ්ඩායමේ සහ අවුරුදු 19න් පහළ සංචිතයේ දොරටු විවර වී තිබේ.
“අපි 2013දී තමයි කාන්තා ක්‍රිකට් පටන් ගත්තේ. මේ වෙද්දී ජාතික කණ්ඩායමේ සෙල්ලම් කරන කවීෂා දිල්හාරි, කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා, ශෂිනි ගිම්හානි සේරම මගේ යටතේ පුහුණුව ලබපු දරුවෝ. මේ වෙද්දී අපි ජාතික තලයේ ක්‍රීඩිකාවන් 7 දෙනෙක් බිහි කරලා තියෙනවා. මේ හතර දෙනාට අමතරව උමාෂා තිමේෂණී, සත්‍යා සංදීපනි, ඉමේෂා දුලානිත් ඒ අතර ඉන්නවා. එයාලගෙන් පස් දෙනෙක්ම නැෂනල් ගැහුවේ පාසලට සෙල්ලම් කරන ගමන්මයි. ඒ ගැන මට හරි සතුටුයි. ඒ වගේම අපේ පාසලෙන් තමයි අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් සංචිතයට වැඩිම ක්‍රීඩිකාවන් දෙන්නේ. අවුරුදු 19න් පහළ කාන්තා සංචිතයේ අපේ දරුවෝ 7 දෙනෙක්ම ඉන්නවා.”එසේ කීවේ පුහුණුකරු මහේෂ් සඳරුවන්ය.
“ගිම්හානි දේවපතිරාජයට ආවේ 6 වැනි වසරටයි. ක්‍රිකට් පුහුණුවිම්වලට ආවට පස්සේ එයාගේ හැකියාව ගැන මට තේරුණා. එයා වමතින් බෝල් කරනවා දකුණතින් ත්‍රෝ කරනවා. එකෙන් තමයි අත් දෙකින්ම හුරුව තියෙනවා කියලා මම දැනගත්තේ. ඊට පස්සේ තමයි අත්දෙකින්ම බෝල් කරන්න පුහුණු කෙරෙව්වේ. අත්දෙකින්ම එකම ඇක්ෂන් එකෙන් තමයි බෝල් කරන්නේ. ඇත්තටම ගිම්හානි ක්‍රිකට් පටන් ගත්තේ පිතිකාරිනියක් විදිහටයි. පස්සේ තමයි බෝලින් හදාගත්තේ. මීට කලින් එයා තමයි ටීම් එකේ ආරම්භක පිතිකාරිනිය වුණේ. දැන් බැටින් ඕඩර් එක හදාගන්න ඕන නිසා නොම්මර 3න් හරි 4න් හරි තමයි යවන්නේ. තාම අවුරුදු 15යි නේ. ඒ නිසා ජාතික කණ්ඩායමේ මුල්පෙළ පිතිකාරිනියක් හැටියට සෙල්ලම් කරන්න එයාට තව කල් තියෙනවා. ඒත් තව අවුරුදු 4ක් විතර යද්දී එයා බෝලින් වගේම බැටින්වලිනුත් සෑහෙන්න උඩට ඒවි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. 19න් පහළ සංචිතයෙත් එයාට තවම බැට් කරන්න අවස්ථාව ලැබිලා නෑ. ඒකේ පුහුණුකරුවන් තවම ගිම්හානිගේ පිතිහරඹ හැකියාව දැකලා නෑ මං හිතන්නේ. ගිම්හානිගේ තියෙන විශේෂත්වය තමයි ක්‍රීඩාවට පුදුම කැපවීමක් කිරීම. වැහි හතක් වැස්සත් එයා කවදාවත් පුහුණුවීම් මඟ හරින දරුවෙක් නෙවෙයි. ඒක අනිත් දරුවන්ටත් ආදර්ශයක්. දරුවාට ජාතික මට්ටමට යන්න ඒවාත් සෑහෙන්න උදව් වුණා. “පුහුණුකරු මහේෂ් සඳරුවන් පැවැසීය.
මහේෂ් සඳරුවන් දේවපතිරාජයේම ආදි සිසුවෙකි. උසස් පෙළ සඳහා ගාල්ල රිච්මන්ඩ් විදුහලට ඇතුළත් වූවද ඔහු පුහුණුකරුවකු ලෙස සිය විදුහලට සේවය කරමින් සිටින්නේ දැඩි කැපවීමකින් යුතුවය. ඔවුන්ට දකුණු පළාත් ක්‍රිකට් පුහුණුකරු ජයතු රණවීර සහ ගාල්ල දිස්ත්‍රික් පුහුණුකරු චරිත් පල්ලියගේගෙන් ද විශාල සහයෝගයක් ලැබී තිබේ.
ෆවුස් මොහොමඩ්