Home » පොලිස්පතිගේ වැඩ අත්හිටවූ නියෝගය බල රහිත කරන්න

පොලිස්පතිගේ වැඩ අත්හිටවූ නියෝගය බල රහිත කරන්න

කථානායකගෙන් හා පාර්ලිමේන්තුවෙන් අගමැති ඉල්ලයි

by Mahesh Lakehouse
July 27, 2024 12:30 am 0 comment

ස්ථාදායක සභාව ගත් තීරණ ආපස්සට හැරවීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නොහැකි බවත් පොලිස්පතිවරයකු කනෙන් අල්ලා එළියට දැමීමට කිසිදු හැකියාවක් නොමැති බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (26දා) අවධාරණය කළේය.

පොලිස්පති ධුරය පුරප්පාඩු වී නැති හෙයින් වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමට ජනපතිවරයාට බලයක් නොමැති බව ද අගමැතිවරයා සඳහන් කළේය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ පොලිස්පති ධුරයේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

මෙම අවස්ථාව ඉතාම තීරණාත්මක මොහොතක්. පාර්ලිමේන්තුවට වාගේම රටේ ජනතාවට, පාලන තන්ත්‍රයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද එලෙසමයි. ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා පොලිස්පති ධුරය දරමින් ආරක්ෂාව හා ඊට අදාළ කටයුතු හා ජනාධිපතිවරණය පිළිබඳ පූර්ණ බලය ඇති මැතිවරණ කොමිසමට සහාය වෙමින් කටයුතු කරමින් සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණය ජූලි මස 25 වැනිදා පොලිස්පතිවරයාගේ වැඩ තහනම් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ පිළිබඳ යළි අහන්නට නොවැම්බර් මස එකොළොස් වැනිදා නියම කර තිබෙනවා. මුළු රටම දන්නවා නොවැම්බර් මාස එකොළොස් වැනිදා වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පවත්වා හමාරයි. නව ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවට පැමිණෙන විට රටේ ආරක්ෂාව පිළිබඳ පොලිස්පතිවරයාට පැවරී ඇති බරපතළ කටයුතු අත්හිටුවීමට නිගමනය කිරීමෙන් විශාල ආන්දෝලනයකට රට පරිවර්තනය කර තිබෙනවා.

රටේ විශාල ආන්දෝලනයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු ගණනාවක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර වැනි වගන්තිය අනුව ඡන්ද බලය ජනතා පරමාධිපත්‍යයේ අංගයක්. එබැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමේ අරමුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103(2) වගන්තිය මඟින් දක්වා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පෙත්සම පිළිබඳ අවසන් තීන්දුව ලබාදෙන තෙක් ක්‍රියාත්මක වන වාරණ නියෝග ලබාදීමේදී එම වාරණ නියෝගය පළමු වරට මෙම නඩු විභාගයට ගැනෙන 2024 නොවැම්බර් 11 වැනිදා සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමට දැනට තිබෙන තත්ත්වය අනුව අර්ථ නිරූපණය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මේ කරන නිවේදනය. එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ අදහස් ලබාගෙන නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(ඇ)II වගන්තිය යටතේ ජනාධිපතිවරයාගේ නිර්දේශයක් මත ව්‍යවස්ථාදායක සභාව විසින් එවැනි වැඩබලන පත් කිරීමක් අනුමත කර ඇත්නම් මිස දින 14කට නොවැඩි කාලයක් අඛණ්ඩව පොලිස්පති ධුරයේ කටයුතු කිරීමට කිසිදු තැනැත්තෙක් පත් කළ නොහැකියි.

මෙවැනි තත්ත්වයක් ඇතුළත ඉදිරි ජනාධිපතිවරණයේ වත්මන් ජනාධිපතිවරයා ද අපේක්ෂකයෙකු බවට පත්වන විට, වැඩබලන පොලිස්පතිවරයා අවදානම්සහගත තත්ත්වයකට පත්වෙනවා. මැතිවරණ කොමිසම අද(26දා) උදෑසන ජනාධිපතිවරණය නාමයෝජනා කැඳවන දිනය, ඡන්දය පවත්වන දිනය සැප්තැම්බර් මාසය දක්වා ඉතා පැහැදිලිව ප්‍රකාශයට පත්කර තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුක්‍රම සභාවේ අනුමැතියක් ලැබීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(ඇ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා පත් කරනු ලැබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයගේ සහයෝගය ලබා ගනිමින් ධුරයේ සිටින පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමයි නීත්‍යනුකූල ඉවත් කිරීමේ බලය තියෙන්නේ.

පොලිස් ආඥා පනතේ විධිවිධාන

වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීම සඳහා ජනාධිපතිවරයාට පවතින නීතිය තුළ ප්‍රතිපාදන නොමැති බැවින් ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස වෙනත් අයකු පත්කරනු ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට අපේක්ෂා කළ නොහැකියි. කියවා බලන්න, පොලිස් ආඥා පනත මුල සිට අගට. පොලිස්පතිවරයෙක් එහෙම හදිස්සියේ කනෙන් අල්ලලා දොට්ට දාන්න බෑ. එහෙම හිතන් ඉන්න අය ඇති. නමුත් එහෙම දොට්ට දාන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණය අනුගමනය කළ යුත්තේ පවතින නීතියයි. ඒ නිසා පොලිස් ආඥා පනත මඟින් එකී පොලිස් ආඥා පනතේ විධිවිධාන පරිපාලන කිරීම පොලිස්පතිවරයා වෙත පවරා තිබෙනවා. පොලිස්පතිවරයාට තම ධූරයේ රාජකාරී කිරීම තහනම් කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන නෑ. එබැවින් පොලිස්පතිවරයා විසින් සිය ධුරයෙහි සිදු කරනු ලබන රාජකාරී කටයුතු වැළැක්වීමට ජනාධිපතිවරයාට මෙලෙස වැඩ බලන පත්වීමක් ද කළ නොහැක. තවමත් පොලිස්පති ධුරය දරන්නේ හිටපු පොලිස්පති. ධුරය හිස් වෙලා නෑ.

නොයෙක් නොයෙක් දේවල් අර්ථ නිරූපණය කරනවා. ඒ වගේම පොලිස්පතිවරයා පත්කරනු ලැබූ ව්‍යවස්ථාදායක සභාව එම තීරණය කළ ආකාරය ගැන නොයෙක් වාදයන් කරුණු ඉදිරිපත් කරනවා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තියෙන්නෙ පාර්ලිමේන්තුව යටතේ. පාර්ලිමේන්තුවට සමගාමීව තිබෙන ව්‍යවස්ථාදායකයක් පාර්ලිමේන්තුවේ දිගුවක් වන අතර පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු වන ආකාරයේ යටත් ආකාරයේ හැසිරීමකට මුළු මහත් පාර්ලිමේන්තුවම එසේ නම් මැදිහත් විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඕනෑම තීරණයක් ව්‍යවස්ථාදායකයේ තීරණයක් බවට පත්වෙන්නේ ඒ නිසයි. එය පාර්ලිමේන්තුවේ කැමැත්ත ප්‍රකාශ කිරීමක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ පාර්ලිමේන්තු පාලනයට පමණක් යටත් වෙනවා. පාර්ලිමේන්තුව හැර වෙනත් කිසිම ආයතනයකට ආණ්ඩුක්‍රම සභාවේ ක්‍රියාදාමයන් හා තීරණ සම්බන්ධයෙන් කිසි ආකාරයක හෝ ප්‍රශ්න කළ නොහැකියි. ව්‍යවස්ථාදායක සභාවේ අභ්‍යන්තර තීරණයන් එලෙස බාහිරව නොකරන බවටත් අපි එහි සභිකයන් හැටියටත් පැහැදිලි තීරණයක හිටියා. විපක්ෂ නායකතුමත් හිටියා. මමත් හිටියා. කථානායකතුමා තමයි නිල බලයෙන් එහි සභාපති. අපේ අනෙක් සභිකයන් නම් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ නිසා ඒ ගත්තා වූ තීරණය වෙනස් ආකාරයකට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනෙක්, විශේෂඥයන් තුන්දෙනෙකු සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තුව විසින් මෙම තහවුරු කිරීමේ බලය පවරා දී තිබෙනවා.

ව්‍යවස්ථා සභාවේ බලතල

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සතු අනුමත කිරීමේ බලය ව්‍යවස්ථාදායක කාර්යයක් වන බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු අධිකරණය විමසා බැලීම කළ නොහැකියි. පාර්ලිමේන්තුව උත්තරීතරයි. ව්‍යවස්ථාදායක සභාවේ බලය යළිත් මා ප්‍රකාශ කරනවා අධිකරණයකින් විමසා බැලිය නොහැකියි. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු සම්බන්ධ සොයා බැලීමට හෝ නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැහැ. එබැවින් වාරණ නියෝගය නීතියෙන් වලංගු නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යළිත් සඳහන් කරන්නට කැමැතියි 4(ඇ) වගන්තිය යටතේ පාර්ලිමේන්තුවට අයත් වරප්‍රසාද, බලතල, භුක්තිය පිළිබඳ තියෙන බලය හැරුණු කොට පාර්ලිමේන්තුව විසින් අධිකරණ බලය අධිකරණය හරහා ක්‍රියාත්මක කරනු ලබන අතර, එහිදී ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් සකස් කර නීතිය අනුව ක්‍රියාත්මක කළ හැකියි. එබැවින් පාර්ලිමේන්තුවේ නිර්මාණයක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතලවලට අධිකරණ බලයක් නොමැතියි. එබැවින් වත්මන් පොලිස්පතිවරයාගේ පත්කිරීමට ලබාදුන් අනුමැතිය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ආපසු හැරවිය නොහැකි අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සභාවේ තීරණය ක්‍රියාත්මක විය යුතු යැයි කථානායකතුමාට යළිත් මේ ප්‍රකාශයේදී සඳහන් කරන්න කැමතියි. එසේ නොවන්නට ව්‍යවස්ථාදායක සභාවේ බලය උපරිම පාවිච්චි කිරීමේ පාර්ලිමේන්තුවට යටත් වී තිබෙන ව්‍යවස්ථාදායක සභාව බල ශූන්‍ය ආයතනයක් බවට අප විසින්ම පත් කරනු ඇති. ජනාධිපතිතුමාට නිර්දේශ කරන්නේ ව්‍යවස්ථාදායක සභාව වන අපයි. කථානායකතුමනි, ඔබතුමා එහි ප්‍රධානත්වය දරන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා නිසයි. ඒ නිර්දේශයන් තෝරාගැනීම ගැන ජනාධිපතිතුමාගේ විමසීම් පිළිබඳ තෝරාගැනීම් නිර්දේශ කරන්නෙ ව්‍යවස්ථාදායක සභාවයි. ඒ ගන්නා තීරණය ජනාධිපතිතුමා වෙත දැන්වීම ගරු කථානායකතුමාගේ බලයයි. වගකීමයි. එපමණයි ඔබතුමා කර තිබෙන්නේ. ඒ ගැන විවිධ අර්ථ නිරූපණය දෙමින් පාර්ලිමේන්තුවත් ව්‍යවස්ථාදායක සභාවත් අපේ රාජ්‍යයේ ප්‍රධාන නිලතලත් හෑල්ලුවට ලක් කිරීමේ භයානක උත්සාහයක සමහර දේශපාලනඥයන් යෙදී සිටිනවා.

පාර්ලිමේන්තුව උත්තරීතර බව ප්‍රකාශයට පත් වූ අවස්ථා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උත්තරීතර නියෝගයන් ලබා දී තිබෙන කථානායකවරුන් අතර, දිවංගත අනුර බණ්ඩාරනායක මැතිතුමා පාර්ලිමේන්තුව අධිකරණයේ ඇඟිලි ගැසීම්වලට තර්ජනයට ලක්වන අවස්ථාවන්වලදී ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුව උත්තරීතර බව ප්‍රකාශයට පත් කළ අවස්ථාව ඔබතුමාටත් මටත් සිහිපත් වෙනවා. මේ වගේම අපේ චමල් රාජපක්ෂ මැතිතුමා ඒ තීන්දුව යළිත් ගෙන තව වාරයක් ප්‍රකාශයට පත් කරල තිබුණා. ඒ නිසා අපි උත්තරීතර පාර්ලිමේන්තුවක් හැටියට ඉටු කළ යුතු කාර්යය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.

ඒ වගේම කථානායකතුමනි 4(ආ) ව්‍යවස්ථාව යටතේ රටේ ආරක්ෂාව පිළිබඳ වගකීම ජනාධිපතිතුමා සතු වෙනවා. පොලිස්පතිවරයා පොලිසිය, ත්‍රිවිධ හාමුදා බලඇණිවලට සමාන හමුදා ඒ කියන්නේ විශේෂ කාර්ය බලකාය හා බුද්ධි අංශවල අණදෙන නිලධාරී ද වනවා. මෙම අතුරු තහනම් නියෝගය මඟින් ජනාධිපතිතුමා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය මඟින් පැවරී ඇති රාජකාරී ඉටුකිරීමට බාධා පමුණුවනවා. එය අපි ගැඹුරින් තේරුම් ගත යුතුයි. එම වාරණ නියෝගයේ කිසිදු නෛතික පදනමක් දක්වා නොමැති අතර, එබැවින් කිසිදු නීතිමය පදනමකින් තොරව හුදෙක්ම නීති විරෝධී යැයි පෙනෙන එවැනි වාරණ නියෝගයන් පිළිගැනීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) වගන්තිය යටතේ අපිට තිබෙන බලය අපි ආරක්ෂා කර ගැනීම සඳහා මුළු ආණ්ඩුවම වගේම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂයම කටයුතු කළ යුතුයි. පාර්ලිමේන්තුව ඛේදවාචකයකට පත් කිරීමේ තාවකාලික සන්තුෂ්ටිය, ගිනිදැල් අවුස්සා තාවකාලික සන්තුෂ්ටිය ලබන්නට බලාපොරොත්තු වන්නන් ඉටු කරන බරපතළ අනතුරුදායක ක්‍රියාවලිය මා ඔබට යළිත් සිහිපත් කරනවා.

කඩිනම් මැදිහත් වීමක් අවශ්‍යයි

කථානායකතුමා හැටියට ඔබතුමා පොලිස්පතිවරයා පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවට දුන් තීරණය හාස්‍යයට ලක් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුවේ එක ප්‍රධාන කොටසක්. එය ඇති කළේත් එය පත් කළේත් ඒ සඳහා බලතල පැවරුවෙත් මේ පාර්ලිමේන්තුවයි. ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන ව්‍යවස්ථා සභාවට එලෙස කටයුතු කරන්නට ඉඩකඩක් ඇතිවීම සඳහා මේ ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීම භයානක තත්ත්වයක්. එනිසා කථානායකතුමනි, අප පොලිස්පති සම්බන්ධයෙන් නොවැම්බර් 11 වැනිදා දක්වා වැඩ අත්හිටුවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය බල රහිත කළ යුතු බව නැවතත් උත්තරීතර පාර්ලිමේන්තුව වෙත සිහිපත් කරමින් මේ පිළිබඳ හැකි ඉක්මනින් මැදිහත් වන ලෙස අපි යළිත් ඔබතුමාට දන්වා සිටිනවා.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division