Home » මම රට වෙනුවෙන් කළ දේ සසර වසනා තෙක් කරන්න සජිත්ට බෑ
‘සජිත්ට ඇමැති බන්දුලගෙන් අභියෝගයක්’

මම රට වෙනුවෙන් කළ දේ සසර වසනා තෙක් කරන්න සජිත්ට බෑ

by Mahesh Lakehouse
July 6, 2024 12:30 am 0 comment

හෝමාගම දියගම – වල්ගම මාර්ගය නවීකරණය කිරීමේ සමාරම්භක අවස්ථාවේදී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා එල්ලයේ දැවැන්ත අභියෝගයක් එල්ල කළේය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තමන් රට වෙනුවෙන් කළ දේ සජීත් ප්‍රේමදාස මහතාට සසර වසනා තෙක් සිදුකළ නොහැකි බවයි.

එහි ඇමැතිවරයා පළකළ අදහස් පහත සඳහන් වේ.

“විපක්ෂ නායකවරයා පසුගිය කාලයේ හෝමාගම ප්‍රදේශයේ පාසල් දෙකකට සුහුරු පන්ති කාමර වෙනුවෙන් යැයි පවසමින් ලක්ෂ දහයක් එකොළහක් ලබාදී තිබෙනවා. හෝමාගම ප්‍රදේශයේ ජනතාවට අපහාස නොකරන ලෙස මම එතුමාට ඉතාමත් ආදරයෙන් කරුණාවෙන් සහ ගෞරවයෙන් සිහිපත් කරනවා.

මා අධ්‍යාපන ඇමතිවරයා ලෙස වැඩ භාර ගන්නා අවස්ථාව වන විට හෝමාගම අධ්‍යාපන කලාපය බස්නාහිර පළාතේ අවසන් ස්ථානයේ පසු වුණා. මේ වන විට එය පස්වන ස්ථානය දක්වා ඉහළට රැගෙන එන්නට අවශ්‍ය කාර්යභාරය අප විසින් සිදු කර තිබෙනවා. ප්‍රඥා බන්දු පුරවරයක් ලෙස මෙම ප්‍රදේශය ගෞරවාන්විත කොට්ඨාසයක් බවට පත්කර තිබෙනවා. එලෙස සංවර්ධනය වූ මෙම ප්‍රදේශයේ සංචාරයකට පැමිණෙන ලෙස මා විපක්ෂ නායකවරයාට ආරාධනා කරනවා. ථෙරවාදී බෞද්ධ දර්ශනය මුළු ලොවටම බෙදා හරින පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය පිහිටා තිබෙන්නේ හෝමාගම ආසනය තුළයි. දේශීය සහ විදේශීය භික්ෂුන් වහන්සේ විශාල පිරිසක් එහි අධ්‍යාපනය ලබනවා. ඊට ගෞරවයක් ලෙස පිටිපන මංසන්ධිය සම්පූර්ණයෙන්ම නවීකරණය කර අවුකන බුදු අනුරුවක් එහි ස්ථාපනය කර තිබෙනවා. එමෙන්ම ආසියාවේම විශාලතම ද්විතීක පාසල වන පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය පිහිටා තිබෙන්නේ හෝමාගම ආසනය තුළයි. වැලි කැටයේ පටන් අලුතින්ම නිර්මාණය කර දරුවන් හත් දහසකට අධික ප්‍රමාණයකට ගුරුවරුන් තුන්සියයකට අධික ප්‍රමාණයක් අධ්‍යාපනය ලබා දෙන දශකයකට වඩා වැඩි කාලයක් තුළ සුවිශේෂී පාසලක් බවට එම විද්‍යාලය පත්ව තිබෙනවා. පසුගිය වසරේ සිසුන් 768 දෙනෙකු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට සියලුදෙනාම උසස් පෙළට සුදුසුකම් ලබා 100%ක ප්‍රතිඵල ප්‍රතිශතයක් වාර්තා කිරීමට හැකි වූ ශ්‍රී ලංකාවේ විශාලතම ජාතික පාසල වන මහින්ද රාජපක්ෂ විද්‍යාලය පිහිටා තිබෙන්නේ හෝමාගමයි. විපක්ෂ නායකවරයාට සසර වසනා තුරු හෝ එවැනි පාසලක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේදී මගේ මූලිකත්වයෙන් පිටිපන NSBM හරිත සරසවිය ස්ථාපිත කරනු ලැබුවා. දරුවන් දහතුන් දහසකට අධික ප්‍රමාණයක් එහි අධ්‍යාපනය ලබනවා. ප්‍රදේශවාසීන් අති විශාල පිරිසකට, ඔවුන්ට නවාතැන් සැපයීම, ප්‍රවාහන පහසුකම් සැපයීම ඇතුළු සේවාවන් මඟින් ආදායම් මාර්ග රැසක් උත්පාදනය වී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අ.පො.ස. උසස් පෙළ සඳහා එතෙක් පැවැති කලා, වාණිජ, විද්‍යා යන විෂය ධාරාවන්වලට අමතරව තාක්ෂණවේදය විෂය ධාරාව උසස්පෙළ වෙනුවෙන් මා හඳුන්වා දුන්නා. ඒ වෙනුවෙන් මෙතෙක් විශ්වවිද්‍යාලවල නොතිබූ විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨ ඇති වුණා. මේ වන විට ඒ තුළින් බිහිවන උපාධිධාරින් විශාල පිරිසක් දේශීය විදේශීය රැකියාවන්වලට යොමු වී තිබෙනවා.

පරිගණක හතළිහකින් යුතු විද්‍යාගාරයක්, පරිගණක විස්සකින් සමන්විත භාෂාගාරයක්, පරිගණකයක් සහිත ගණිතාගාරයක් සහ පරිගණකයක් සහිත දුරස්ථ අධ්‍යාපන ඒකකයක් සහිත මහින්දෝදය විද්‍යාගාර දහසක් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මා දිවයින පුරා ස්ථාපිත කර තිබෙනවා. එක් පාසලකට පරිගණක හැට දෙකක් ලබාදී තිබෙනවා. තෙමහල් ගොඩනැඟිල්ලක් එම පහසුකම් වෙනුවෙන් ඉදිකර තිබෙනවා. යටිමහල ඉංජිනේරු තාක්ෂණය වෙනුවෙන්, දෙවන මහල ජෛව පද්ධති තාක්ෂණය වෙනුවෙන්, තුන්වන මහල පන්ති කාමර වෙනුවෙන් වෙන්කළ මහින්දෝදය තාක්ෂණික විද්‍යා පීඨ 251ක්‌ දිවයින පුරා පිහිටුවා තිබෙනවා. අධ්‍යාපන ඇමතිවරයා ලෙස මේ සියල්ල වෙනුවෙන් ලංකාව පුරා රැස්වීම් දහසක් පැවැත්වූවා නම් අද දක්වාත් රැස්වීම පවත්වන්නට තිබුණා.

අක්කර 28කට වැඩි භූමි භාගයක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය පිහිටුවා තිබෙන්නේ හෝමාගම. කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය පිහිටුවා තිබෙන්නේ හෝමාගම. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මේ වන විට නිමවීමෙන් පවතිනවා. මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය පිහිටුවා තිබෙනවා. හෝමාගම අධිකරණ සංකීර්ණය පිහිටුවා තිබෙනවා. නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිමවෙමින් පවතිනවා. පෙළපොත් ගබඩා සංකීර්ණය තුළින් ලංකාවටම පෙළපොත් බෙදා හැරෙනවා. මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව පිහිටා තිබෙනවා. ටෙලිකොම් දත්ත ගබඩාව පිහිටා තිබෙනවා.

ගුණ නැණ බල සපිරි විශ්වයට සම්පතක් වන දරු පිරිසක් බිහි කරන ප්‍රඥා බන්දු පුරවරයක් තුළින් ලෝකයට සම්පතක් විය හැකි මානව ප්‍රාග්ධනය බිහිකිරීමටත් අප කැප වී තිබෙනවා. ගමක් රටක් බවට පත්කරමින් සිදුකර තිබෙන මේ මහා සංවර්ධනය විපක්ෂ නායකවරයාට සසර වසනා තුරු හෝ සිදු කරන්නට නොහැකි බවට මම අභියෝග කරනවා යනුවෙන් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division