Home » පැරිසියේ කොළ කෑල්ලට ජනතා ප්‍රසාදයක් ලැබුණේ නැහැ

පැරිසියේ කොළ කෑල්ලට ජනතා ප්‍රසාදයක් ලැබුණේ නැහැ

සමගි ජන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. ඇල්. පීරිස්

by Mahesh Lakehouse
July 6, 2024 12:30 am 0 comment

– සහන කාලය අවුරුදු 5 කින් අඩු වුණා. රජය අත්සන් කළ ගිවිසුම්වල සෘජු ප්‍රතිඵලයක් වශයෙන් අවුරුදු 5 වාසිය අහිමි වුණා
– අලුතින් ජනතා වරමත් ලබාගත් රජයකට ගිවිසුමේ කොටස් යළි සාකච්ඡා කිරීමට හැකි බව IMF පිළිගත්තා

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ආණ්ඩුව සුබවාදි පියවරක් ඉදිරියට ගමන් කළා. නමුත් විපක්ෂයෙන් ඊට සුබවාදි පිළිතුරක් ලැබුණේ නැහැ?

එය සුබවාදි පියවරක් ලෙස අපි අනුමත කරන්නේ නැහැ. මෙය අපි දකින්නේ දේශපාලන වැඩපිළිවෙළක් ලෙසයි. මෙය රටපුරා ප්‍රිය සම්භාෂණ පවත්වා, රතිඤ්ඤා පත්තු කර රබන් ගසා කළ දෙයක්. ලංකාවේ විදේශීය ණයවලින් 39.5%ක් වාණිජ ණය. ඒවා ගැන අවසාන ගිවිසුමක් තිබුණේ නැහැ. පැරීසියේ ජූනි 26 වැනිදා අත්සන් කළේ ද්විපාර්ශ්වික නිල ණය හිමියන් සමඟයි. විශාලතම ණය කොටස පිළිබඳ කිසිදු එකඟත්වයකට පැමිණ තිබුණේ නැහැ. ජූලි 2 පාර්ලිමේන්තුව විශේෂ රැස්වීමකට කැඳවේවා. ජූලි 3 ත් රැස්වෙන බව කිව්වා. ඒ මෙයට ප්‍රශංසා කර පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට. නමුත් වුණේ අවුලක්. විවාදයට බඳුන් කිරීමට වුණත් ඔවුන් අත්සන් කළ ලියැවිල්ල ඉදිරිපත් කළේ නැහැ. මුලින්ම කළ යුතු වන්නේ රාජ්‍ය මුදල් කමිටුවට මෙය ඉදිරිපත් කිරීමයි. නමුත් එය පවා සිදු වූයේ නැහැ. ඒ නිසා අපි විමසීමක් කළේ, අපි කිසිත් නොදන්නා දෙයක් සම්බන්ධයෙන් විවාදයක් කරන්නේ කෙසේද කියා. පසුව රජය කිව්වා එසේ නම් විවාදයක් අවශ්‍ය නැහැ. අපි අඟහරුවාදා පමණක් රැස් වෙනවා. එ් ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් කිරීමට පමණක් කියා. ඒ ප්‍රකාශයේ කිසිම අලුත් දෙයක් කියැවුණේ නැහැ. එසේනම් පාර්ලිමේන්තුව මුදල් හා කාලය නාස්ති කරමින් කැඳෙව්වේ ඇයි? ඒ නිසා අපි මෙය සුබවාදි දෙයක් ලෙස දකින්නේ නැහැ. රජයේ වම් අත දන්නේ නැහැ; දකුණතින් කරන්නේ මොනවාද කියා. කිසිම ක්‍රමවේදයක් නැතුව කළ දෙයක් ලෙසයි, මෙය අපි දැක්කේ.

ඔබ එසේ පැවැසුවත් ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධව ජාත්‍යන්තරයේ පැසසුමට පවා ලක්වුණා?

අපිට වඩා ඉක්මනට මේ කර්තව්‍යය නිම කළ රටවල් ගොඩාක් තියෙනවා. ඒ බාබඩෝස්, ඉක්වදෝරය ආදි රටවල්. ජාත්‍යන්තර පැසසුමට වඩා වටින්නේ අපේ ජනතාවගේ පැසසුම්නේ. අපේ ජනතාවට මෙයින් සෙතක් වුණාද කියලා කල්පනා කළ යුතුයි. උදාහරණයක් ලෙස ඝානා රට 37% ක ණය කපා හැරීමක් කර ගත්තා. නමුත් අපිට එහෙම කරන්න බැරි වුණා. ආණ්ඩුව බලාපොරොත්තු වුණා මෙයින් රට තුළ හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. නමුත් එසේ වුණේ නැහැ. ජනතාව තුළින් සුබවාදි ප්‍රතිචාරයක් ලැබෙන්නේ ජනතාවට සහනයක් වුණා නම් පමණයි.

ඔබ පවසන්නේ ණය ප්‍රතිව්‍යූහගතකරණය රටේ ජනතාවට නොදැනුණ බවද? නමුත් හොඳ ජනතා ප්‍රසාදයක් ආණ්ඩුවට ලැබෙමින් පවතිනවා?

ජනතාවට දැනුණේ නැහැ. දේශපාලනඥයින් කිහිප දෙනෙක් ප්‍රියසම්භාෂණ සූදානම් කළත් ජනතාවගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ජනතාව සතුටු වන්නේ ප්‍රායෝගික තලයේ සහනයක් හිමි වුණා නම් පමණයි. පැරිසීයේ කොළ කැල්ලක් අත්සන් කළාට ජනතා ප්‍රසාදයක් ලැබුණේ නැහැ. පසුවදාම කොටස් වෙළෙඳපොළ විශාල වශයෙන් කඩා වැටුණා. එයින් තේරුණේ මෙයින් වාණිජ ක්ෂේත්‍රයට කිසිදු හොඳක් සිදු නොවූ බව. මේ නිසා රජය බලාපොරාත්තු වූ ධනාත්මක ප්‍රතිඵල ලැබුණේ නැහැ.

ජනාධිපතිවරයා පවසා සිටියේ මූලික ණය ගෙවීමට 2028 දක්වා සහන කාලයක් හිමි වීම නිසා ඩොලර් කෝටි 500 ක් රටට ඉතිරි වන බව. නමුත් විපක්ෂය චෝදනා කරන්නේ නිසි ණය කපා හැරීමක් හෝ සහන කාලයක් ආණ්ඩුව ලබා නොගත් බවයි?

ආණ්ඩුව කියන මේ කතාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මුල්‍ය අරමුදල මුලින්ම කිව්වේ අපි ණය ගෙවීම් ආරම්භ කළ යුත්තේ 2033දී බව. නමුත් ජනාධිපතිවරයා කිව්වේ 2028දී ගෙවීම් ආරම්භ කරන බවයි. ඒ අවුරුදු 5 කට කලින්. සහන කාලය අවුරුදු 5 කින් අඩු වුණා. එයින් රටට වුණේ අගතියක්. රජය අත්සන් කළ ගිවිසුම්වල සෘජු ප්‍රතිඵලයක් වශයෙන් අවුරුදු 5 වාසිය අහිමි වුණා.

ණය ප්‍රතිව්‍යූහගතකරණය මැතිවරණය ඉලක්ක කර ගනිමින් හදිසියේ සිදු වූවක් බවටත් චෝදනා නැගෙනවා?

හදිස්සිය තමයි මේ සියලු කාරණාවලට මුල. හදිසියට හේතුව මැතිවරණයයි. ජනාධිපතිවරයාට අවශ්‍ය වුණේ මෙය ප්‍රාතිහාර්යයක් බවට පත්කර ගන්නට. ඒ නිසා ණය හිමිකරුවන් සමඟ ගැඹුරින් සාකච්ඡා කර වාසිදායක ගිවිසුමකට එළැඹීමේ අවස්ථාව ගිලිහි ගියා. ඝානා 37% ක සහනයක් ලැබුවා සේ අපිටත් තව උත්සාහ කරන්න තිබුණා. නමුත් එයට කාලයක් ගත වෙනවා. කාලය ගත කරන්න රජය කැමැති වුණේ නැහැ. ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්වය තවමත් ප්‍රකාශයට පත්කර නැහැ. මෙයින් බලාපොරොත්තු වුණේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ජයග්‍රහණයක් ලෙස ඉදිරිපත් කර ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කර ගැනීමට ප්‍රවේශයක් ලබා ගැනීමට. එක පුද්ගලයකුගේ වාසියට ප්‍රමුඛත්වය දී සිදු කිරීම නිසා වෙන රටවල් ලබාගත් වාසිය අපිට ලබා ගැනීමට නොහැකි වුණා.

ඔබ එසේ පැවැසුවත් රට බංකොලොත්භාවයෙන් මිදීමේ සහතිකය පවා පසුගියදා ප්‍රකාශයට පත්කළා?

ජනාධිපතිවරයාට හෝ ණය වූ රටට ඒ සහතිකය ලබා දෙන්න බැහැ. විෂය මූලික සාධක පදනම් කරගෙන එය කළ හැකි මූඩීස්, පිච්ස් වැනි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ සංවිධාන ලොව තියෙනවා. මේ අයගේ සහතිකයක් මිස අපේ සහතිකයක් ජාත්‍යන්තරයට වලංගු වන්නේ නැහැ. මෙය ජයග්‍රහණයක් වන්නේ කෙසේද? අන්තිම නරක කාලය තිබුණේ 2022 අප්‍රේල් මස. නමුත් එදා සිට අද දක්වා විදෙස් ණය පොලිය පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 2.8 කින් වැඩි වුණා. මෙය විරාමයක්. පොලිය පවා කපා හැරියේ නැහැ. ලංකාව කිහිප විටක්ම පොලිය කපා හරින ලෙස ඉල්ලුවත් එය ප්‍රතික්ෂේප වුණා. ඒ නිසා මෙය ගෙවිය යුතු වෙනවා. මෙය ගෙවන්න පටන් ගත් පසු එය ගෙවන්නේ කෙසේද? ජනතාවට තවත් බදු ගසනවාද? දැනටම බදු ඉහළ දමා තියෙනවා.

ඔබ පවසන්නේ ආණ්ඩුව මේ වන විට ජනතාවට සහන දුන්නත් ඉදිරියේදි මීට වඩා දුෂ්කර කාලයක් එන බවද?

අනිවාර්යයෙන්ම. අපිට ලැබුණේ තාවකාලික සහනයක්. ඒ උණුසුම අපිට දැනෙන්නේ මෙය ගෙවීම ආරම්භ කළ පසුයි. ගිය වසරේ පමණක් ගෙවීමට ඇති ණය අනුපාතය 19% කින් වැඩි වුණා. මේ නිසා අමෙරිකානු ඩොලර් බිලියන 100.9 ක්. මේවා සතුටු විය හැකි දේවල් නෙමෙයි.

නමුත් ආණ්ඩුව පවසන්නේ ණය ගෙවීම ආරම්භ කළද ජනතාවට ඒ දුෂ්කරතාවය දැනෙන් ඉඩ නොතියන බවයි?

මහ බැංකු අධිපති දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරන්නේ නැහැ කිව්වට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා. මහ බැංකුවට ස්වාධීනත්වය ලබා දෙන්න පනතක් සම්මත කර ගත්තා. විපක්ෂය පවා ඊට අත්සන් කළා. ඊට පස්සේ කළේ මහ බැංකු වැටුප් අහස උසට වැඩි කර ගැනීමයි. ජනතාවට පටි තද කරන්න කියලා කිසිදු සාධාරණිකරණය කරන්න බැරි වැටුප් වර්ධකයක් ලබා දුන්නා. ඒවා අපි දකින්නේ ජනතාවට හිතකර ප්‍රතිපත්ති ලෙස නෙමෙයි.

ආණ්ඩුව චෝදනා කරන්නේ ජනතාව වෙනුවෙන් ගන්නා තීන්දු තීරණවලදි විපක්ෂය කකුලෙන් අදිනා බව?

සත්‍යය එහි අනිත් පැත්තයි. විපක්ෂයේ සහයෝගය ලබා ගන්න නම් ඒ දේවල් විපක්ෂයට අනාවරණය කළ යුතුයි. මේ පිළිබඳව කිසිදු දෙයක් කියන්නේ නැත්තේ විපක්ෂය විශ්වාස නොමැති නිසානේ. කිසිම තොරතුරක් ලබා නොදී විවාද කරන්න කියනවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය යටතේ මුදල් පරිපාලන බලය ඇත්තේ පාර්ලිමේන්තුවට. මේ බලය වගකීමෙන් යුතුව භාවිත කළ යුතුයි. අපි මේ ගිවිසුම් ගැන කිසිදු දෙයක් නොදැන අනුමත කරන්නේ කෙසේද? අපි දේශපාලනමය වශයෙන් රජයට සහයෝගය දීම ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි කරන්නේ. ඊට අවශ්‍ය වටා පිටාව ගොඩනැඟුණේ නැහැ.

ඔබ ආණ්ඩුවක් බලයට පත් වුණොත් ජනතාවගේ පොකැට්ටුවට මීට වඩා සහන සැලසිය හැකි වෙයිද?

අනිවාර්යයෙන්ම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම ප්‍රකාශයක් කර තියෙනවා මේ ගිවිසුම් ක්‍රියාත්මක කිරිමට පෙර ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් ක්‍රියාත්මක කළ යුතු බවට. එසේ නොමැති වුවහොත් දිළිඳු කොටස්වලට පුදුම දුකක් විඳින්නට සිදුවන බව. නමුත් රජය ඒ උපදෙස් ක්‍රියාත්මක කළේ නැහැ. ළමා මන්දපෝෂණය 27% ක්. පසුගිය වසර දෙක තුළ දරිද්‍රතාව දෙගුණයකින් වැඩිවෙලා. නවලක්ෂයකට ජීවනෝපාය මාර්ග අහිමි වෙලා. විපක්ෂ නායකවරයා විශේෂයෙන් මැදිහත් වී ආසියානු සංවර්ධන බැංකුවට කතා කර සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයට සහන ලබා ගත්තා. ළමයි පාසල්වලට යැවීමට නොහැකි වෙලා. මේ නිසා අපේ රජයක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යම් යම් දේ යළි සාකච්ඡා කරන බව ඔවුන්ට කිව්වා. ඒ අය එය සාධාරණ බව පිළිගත්තා. ජනතා වරමක් ලබාගත් රජයක් යටතේ සාකච්ඡා කර සමහර ප්‍රතිපත්ති එක්තරා ප්‍රමාණයකට වෙනස් කිරීමට ඔවුන් මැළි වූයේ නැහැ. කොන්දේසි යම් යම් සීමාවක් යටතේ වෙනස් කිරීමේ නම්‍යශීලි බවක් පවතිනවා. අලුතින් ජනතා වරමක් ලබාගත් රජයකට ගිවිසුමේ කොටස් යළි සාකච්ඡා කිරීමට හැකි බව එම අරමුදල පිළිගත්තා

ජනාධිපති ධූර කාලය සම්බන්ධ අර්ථ නිරූපණයේ නීතිමය තත්ත්වය කෙසේ ද?

ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන වගන්තියේ 2 වැනි උප වගන්තිය යටතේ එය පැහැදිලිව සඳහන්ව පවතිනවා. එයට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5 යි. ඒ ගැන කිසිදු දෙගිඩියාවක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත් හිටුවීමට කිසිවකුටත් බලයක් නැහැ. ඒ නිසා ඒ වගන්තියට අනුකූලව ජනාධිපතිවරණය මේ වසරේ සැප්තැම්බර් 17 හා ඔක්තෝබර් 17 අතර පැවැත්විය යුතුයි.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division