Home » ජනාධිපතිගේ කතාව ජනේලය ළඟ සිට අසා සිටි අමුත්තා කවුද …?

ජනාධිපතිගේ කතාව ජනේලය ළඟ සිට අසා සිටි අමුත්තා කවුද …?

by Mahesh Lakehouse
July 6, 2024 12:30 am 0 comment

ජය පාර්ශ්වය ජනාධිපතිවරණය සඳහා සියල්ල සුදානම් කර ගනිමින් පවතින්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයක් සඳහා සුදානම් වන ලෙස ආණ්ඩු පක්ෂ කණ්ඩායම දැනුම්වත් කරන ලද්දේ මාස හයකට පමණ පෙර සිටය. මේ සඳහා වන දේශපාලන කැබිනෙට්ටුව ඇතුළු යාන්ත්‍රණ ගණනාවක් ජනාධිපතිවරයා විසින් පිහිටුවන ලදී. එසේ වුවද මුල සිටම විපක්ෂය ජනාධිපතිවරණය පිළිබදව සිටියේ සැකමුසු චිත්‍රයකිනි. ආර්ථිකය පණ ගසා නැගී සිටීමත් සමඟ ආණ්ඩුව වෙත ජනතා ආකර්ෂණය අධික වීම සහ විපක්ෂයේ ප්‍රචාරණ න්ත්‍රණය හිටි හැටියේ අඩපණවීම සමඟ විපක්ෂය ජනාධිපතිවරණය පිළිබදව භීතියක් ඇති කර ගත්තේය. එසේ වුවද එය ආණ්ඩුව පිටින් යවනවා හැර, තමන් ඡන්දය කල් දමා ගැනීම සඳහා උත්සාහ දරන බව පෙන්වීමට විපක්ෂයට අවශ්‍ය නොවීය.

නිල කාල පෙත්සම ආවේ කොයි පැත්තෙන්ද…?

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන්වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වන්නේ මේ අතරේය. ව්‍යාපාරිකයෙකු වන සී.ඩී. ලෙනව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම , ආණ්ඩුවේ වුවමනාවක් බව කියාපෑමේ අවශ්‍යතාවයක් විපක්ෂයේ පිරිසට විය. මේ නිසා එම පෙත්සම ආණ්ඩු පාර්ශ්වයේ වුවමනාවක් මත ඉදිරිපත් කළ බව වක්‍ර ආකාරයෙන් විපක්ෂය ප්‍රචාරය කළේය. මේ සදහා ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනය කර තිබුණේ, මේ වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කිරීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය. තමාගෙන් හෝ තමා නීතිඥවරුන්ගෙන් මේ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබා ගැනීමක් සිදුකර නැති බව පවසමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ඒ සඳහා තම පාර්ශ්වයට කිසිදු වුවමනාවක් නොමැති බවය.

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් වන බවත් 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් තමාගේ දැඩි ස්ථාවරය බව ද ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේය.

ජනාධිපතිවරණය කල් දැමීමේ පෙත්සම පිළිබදව සොයා බැලීමේදී පෙනී ගොස් තිබුණේ අදාළ පෙත්සම ඉදිරිපත් කළ ව්‍යාපාරිකයා ජාතික සංවර්ධන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් වී සිටි අයෙක් බවය. එහි නායකයා රොහාන් පල්ලෙවත්ත ය. 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව පසුව සමඟි ජන බලවේගයට සම්බන්ධ විය. ඒ අනුව ජාතික සංවර්ධන පෙරමුණ දැන් සිටින්නේ සජබය සමඟය. රොහාන් පල්ලෙවත්ත, සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් සහ සජිත් ප්‍රේමදාසගේ, විදේශ ප්‍රතිපත්ති සැකසීමේ කණ්ඩායමේ නායකයා සහ එහි ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වශයෙන්ද පත්කර ඇත්තේය. මේ අනුව පෙත්සම ආවේ කොයි පාර්ශ්වයෙන් ද කියා පැහැදිලිය.

මහින්ද සුළඟ නුගේගොඩින් – රනිල් සුළඟ මාතරින්

මැතිවරණ උණුසුම තීව්‍ර වෙද්දී ජනපති රනිල් ආණ්ඩුවේ කණ්ඩායමත් සමඟ රජයේ වැඩපිළිවෙළ ගැන මහජනතාව දැනුම්වත් කිරීමේ රැස්වීම් මාලාවේ පළමු රැලිය මාතරින් ආරම්භ කළේය. රැස්වීමට නොයන්නැයි විවිධ බලපෑම් එල්ල වෙද්දී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරු ඊට සහභාගී වූයේ “පොහොට්ටුවේ පළුවක් මෙතන” යැයි ඇමැති කංචන කියූ කතාව සනාථ කරමිනි.

මෙම රැස්වීම සාර්ථක කර ගැනීමට ඇමැති කාංචනත්, කාර්ය මණ්ඩල ප්‍රධානී සාගලත් හරි හරියට වෙහෙස වූයේය. ඒ වෙනුවෙන් සාගල මාතර, වැලිගම, දෙවිනුවර, අකුරැස්ස, කඹුරුපිටිය යන මැතිවරණ කොට්ඨාස ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ සියලූම ආසනවලට යමින් සංවිධායකයන් දැනුම්වත් කරන්නට වූහ.

පොදුජන පෙරමුණේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් හරි හරියට පැමිණීම නිසා මාතර කොටුව ක්‍රිඩාංගණය අතුරු සිදුරු නැතුව පිරී ගියේය. ජනපති රනිල් එහි පැමිණියේ මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට උරුමය ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් වැල්ලවායේ පැවැති උත්සවයට සහභාගී වීමෙන් අනතුරුය.

වැලිගම පිහිටි ඇමැති කංචනගේ නි‍ෙවසේ ජනපති රනිල් වෙනුවෙන් දිවා ආහාරය සුදානම් කර තිබූ අතර දිවා ආහාරය ගැනීමෙන් පසු ජනපති රනිල් රැස්වීම් භූමිය වෙත පැමිණියේය. ආණ්ඩුව වෙනුවෙන් පැමිණි සැමට කංචන ස්තූති කළේ පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් විය යුතු බව කියමිනි.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට ද රැස්වීමේ කතාවක් වෙන්කර තිබූ නමුත් මහින්දානන්ද මන්ත්‍රීවරයා ඇමැති කාංචනට කීවේ දැඩි අව්රශ්මිය නිසා ජනතාව අපහසුතාවයට පත් නොකර ජනපතිගේ කතාවට කෙලින්ම යමු කියාය. ඒ අනුව ඊළග කතාව හිමි කංචන කතා කොට ජනපති රනිල්ට අවස්ථාව වෙන් කර දුන්නේය.

රැලිය අවසන් වූ පසු පැමිණි මන්ත්‍රීවරුන්ට හා ආරාධිත අමුත්තන්ට තේ පැන් සංග්‍රහයක් සුදානම් කර තිබුණේ මාතර තානායමේය. මන්ත්‍රීවරුන් අතර ඇතිවූ අල්ලාප සල්ලාපයේදී ඇමැති අලි සබ්‍රි “පළමු රැස්වීම මාතර ගත්ත එක හොඳයි. මහින්ද සුළඟ නුගේගොඩින් පටන් ගත්තා වගේ රනිල් සුළඟ මාතරින් පටන් ගත්තා” යැයි කියද්දී සියල්ලෝම හිස සලන්නට වූහ.

“නුවර රැස්වීමටත් මේ වගේම ඔබතුමන්ලා එන්න ඕනේ. ඇවිල්ලා උදව් කරන්න ඕනේ.” යැයි ඇමැති මනූෂ කියද්දී ඇමැති රමේෂ් හා ඇමැති සබ්‍රී සියල්ලෝම අනිවාර්යෙන්ම පැමිණෙන බව කීහ. එවිට සැවොම ඇමැති ප්‍රසන්න රණතුංග සොයද්දී මහින්දානන්ද මන්ත්‍රීවරයා කීවේ ඔහු මීරිගම තිබෙන පොහොට්ටු රැස්වීමට ගිය බවකි.

ජනාධිපතිගේ කතාව අසා සිටි අමුත්තා

ජනාධිපතිවරයා මේ රැස්වීම අමතන විට ඒ යාබද නි‍ෙවසක ජනේලය ඇරගෙන එක්තරා පුද්ගලයෙක් හොඳින් ඊට සවන් දෙන අයුරු වේදිකාවේ සිටි මැති ඇමැතිවරුන් කීප දෙනෙකුටම දක්නට ලැබිනි. ඒ අන් කිසිවෙක් නොව කථානායක මහින්ද යාපා අබේවර්ධනය.

මාතර එක්ව ජයගමු රැස්වීමේ පළමු කථිකයා වූයේ ඇමැති ප්‍රසන්නය. ප්‍රසන්න සිය කතාවෙන් කීවේ ජනාධිපති රනිල්ව පත් කළේ පොහොට්ටුව බවය. ජනාධිපතිවරයා ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත් බවත් එය ඉදිරියට ගෙන යාමට නම් රනිල් තවදුරටත් ජනාධිපති ධුරයේ සිටිය යුතු බවත් ප්‍රසන්න කීවේය.

ජනපති ධුර කාල යෝජනාව කැබිනෙට්ටුවට

සඳුදා පෙරවරුවේ ජනපති රනිල් කාර්යාලයට පැමිණි අතර දේශපාලන කැබිනෙට්ටුව හා මැති ඇමැතිවරුන්ගෙන් සමන්විත මාධ්‍ය කමිටුව ද හමුවූහ. ඔහු සවස ඇමති මණ්ඩලය හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්වූයේය.

ඇමති මණ්ඩලය වෙත ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය. එනම් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් කරන ලද වැරැද්දක් නිවැරදි කිරීමය. 19න් ජනපතිධුර කාලය වසර 5ක් කිරීමේ සංශෝධනයක් සම්මත වුවද වසර 6ක කාලය අත්හිටුවා නොතිබීම ගැටලුවක්ව පැවතිණි.

එම නිසා ජනාධිපති ධුර කාලය වසර 5ක් ය යන යෝජනාව ජනපති රනිල් ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කොට සම්මත කර ගත්තේය. එවිට අවුරුදු 6ක කතාව අවසන් වන අතර ඊට අදාළව ඉදිරියේදි සංශෝධන පනතක් ඉදිරිපත් වීමට නියමිතය.

ඉන් පසුව අමෙරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය සහකාර ලේකම්වරයා ජනපති හා කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මුණ ගැසුණේ ලේකම් කාර්යාලයේදීය. ඔවුන් ජනපතිගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ හා මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අගය කළේය.

අඟහරුවාදා උදෙන්ම ජනපති රනිල් පාර්ලිමේන්තුව වෙත ගියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය ගැන මන්ත්‍රීවරුන් දැනුම්වත් කරන්නටය. ඔහු එහිදි වැල් පාලමේ කතාවේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට කරන නින්දා අපහාස ගැනද කතා කළේය.

ප්‍රශ්න සියල්ලට ජනපති කතාවෙන් පිළිතුරු දෙයි

පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු රැසක් ජනපතිගේ කතාව අගය කළේය. එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සුබ අසුබ කතාවට දුන් පිළිතුර ගැනද ඔවුන් ප්‍රශංසා කළේ ජනපති රනිල්ටය. ආර්ථිකය දියුණු වෙන කොට මෙයාලට බලාගෙන ඉන්න බෑ. ඉරිසියාවයි කුහක කමයි ඔඩු දුවලා.” මන්ත්‍රීවරු කීවේ එවැන්නකි.

“ප්‍රධාන රටක තානාපතිවරයෙකු ඇතුළු කණ්ඩායමක් විපක්ෂ නායක සජිත්, හර්ෂ ඇතුළු කණ්ඩායම මුණ ගැහිලා ඒ වෙලාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථකවීම ගැන ඔවුන් අසතුටුවීම ගැන තමන් පුදුමයට පත්වුනැයි ඒ අය මට කිවුවා.” මන්ත්‍රී දොළවත්ත පිරිසට කීවේ කනගාටුවෙනි.

පිරිස ඉන් නික්ම ගියේ ජනපති රනිල් පාර්ලිමේන්තු කමිටු කාමරයක තිබූ දිස්ත්‍රික් සංවර්ධන කමිටු ප්‍රධානින්ගේ හමුවට ගිය පසුවය. එම කටයුතු නිමවා ජනපති රනිල් කෙළින්ම ගියේ සිරිකොත පක්ෂ මූලස්ථානය වෙතය.

“මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මම මතු කළ ප්‍රශ්නවලට උත්තර සේරම ජනාධිපතිතුමාගේ කතාවේ තිබුණා.” ඇමැති ලසන්ත අලගියවන්න කීවේ මහාචාර්ය ආශු මාරසිංහ සමඟය.

අඟහරුවාදා සවස එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමෙන් අනතුරුව සිරිකොත පක්ෂ මූළස්ථානයේදීම පක්ෂ කළමනාකරණ කමිටුවද රැස්විණි. එය නිමවා නිවසට යන අතරමඟදී දිවි සැරිය නිමා කළ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වූ ආර්. සම්පන්දන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ද කටයුතු කළේය.

බදාදා පෙරවරුවේ ජනපති රනිල් අරලියගහ මන්දිරය වෙත ගියේ ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයක් වෙනුවෙනි. එහිදි ඔහු ගුරුවරුන් අසලටම ගොස් කතා-බහ කළේය. සවස ඔහු ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ආසන සහ කලාප සංවිධායකවරුන් මුණ ගැසීමට ගියේ සීදුවටය. එහිදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පක්ෂය හා එක්වීම ගැන මෙන්ම ආසන හා කලාප සංවිධායකවරුන් අනෙක් ආසනවලට පැමිණීම ගැනද පැමිණ සිටි අය ජනපතිගෙන් විමසන්නට වූහ.

“එක පලතුරක් ආහාරයට ගත්තොත් එය ඒ පලතුරේ නමින් හඳුන්වනවා. හැපැයි පලතුරු ගොඩක කැබලි එකතු වුණාම ඒක ෆෲට් සැලඩ් එකක් වෙනවා. ඉතින් මේ ඔක්කොම එකතු කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය මුළු රටේම ජයග්‍රහණයට වැදගත්. ඒ නිසා ඔයාලා ආසන, කලාප වශයෙන් සීමා වෙන්නේ නැතුව දුවලා පැනලා මේ දිස්ත්‍රික්කය දිනාගන්න කටයුතු කරන්න.” සියලු කතා අවසානයේ ජනපති දුන් පිළිතුර එය විය.

ජනපති රනිල් බ්‍රහස්පතින්දා පෙරවරුවේ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලය වෙත ගියේය. මැති ඇමැතිවරු රැසක් ඒ වන විටත් එහි පැමිණ සිටි අතර ජනපතිවරයාද පුරුද්දක් ලෙස මේ දිනවල වැඩි කාලයක් දේශපාලන කාර්යාලයේ ගත කළේය.

“දැන් හැමෝම කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන අර්ථ නිරූපණයක් ඉල්ලලා ශ්‍රේෂ්ඨාධිකරණයට දාලා තියෙන පෙත්සම ගැන. විපක්ෂය කියන්නේ අපි ඒක පිටිපස්සේ ඉන්නවා කියලායි.” මන්ත්‍රී වජිර කතාව ඇද ගත්තේය.

“මම මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය තියන්න සහාය දෙනවා කියලා නිවේදනය කළා. අනෙක් පැත්තෙන් අපි මැතිවරණ කොමිසමට රුපියල් බිලියන 8ක් වෙන් කරලා තියෙනවා. ජනාධිපති ධුර කාලය අවුරුදු 5 කියන එක මමත් පිළිගන්නවා. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි.” ජනපති කීවේ ඇඟට පතට නොදැනීය.

“හැබැයි 19 වෙනි සංශෝධනයෙන් අවුරුදු 6 අවුරුදු 5ට අඩු කළාට අවුරුදු 6 අවලංගු වෙලා නෑ කියලාත් තර්කයක් තියෙනවා.” මන්ත්‍රී දොලවත්ත තර්ක කළේය.

“ඔව් ඒ නිසා තමයි අවුරුදු 6 ඉවත් කරලා එය අවුරුදු 5ක් විය යුතුයි කියලා ව්‍යවස්ථාව සංශෝධනය කරන්න කැබිනට් එකට යෝජනාවක් දැම්මේ.” ජනපති රනිල් නැවත පිළිතුරු දුන්නේය.

“එදා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනෙද්දී ජනාධිපති ධුර කාලය අයින් කරන එක පෑරුවේ එදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට. එතුමයි ජයම්පති වික්‍රමරත්න යි එකතු වෙලා තමයි මේ සංශෝධනය හැදුවේ. එදා අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ කාරණයට මැදිහත් වුණේ නෑ.” මහාචාර්ය ආශු මාරසිංහ අතීතය සිහිපත් කළේය.

“එදා ජනාධිපති සිරිසේන අවුරුදු 6 ගැන කතා කළත් උසාවිය එතුමට මේ අවස්ථාව දුන්නේ නෑ. අනෙක මේ පෙත්සම දාලා තියෙන්නේ රොහාන් පල්ලේවත්ත කියන කෙනාගේ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ ඉන්න ව්‍යපාරිකයෙක්. පල්ලේවත්ත දැන් සජබ කෘත්‍යාධිකාරී සභිකයෙක්.” ඇමති මනූෂ කීවේ කාගේත් ඇස් උඩ යවමිනි.

“මේක ජනාධිපතිතුමාට මඩ ගහන්න කරපු එකක්. කාරණය දැන් පැහැදිලියි.” මන්ත්‍රී වජිර කතාවට හවුල් වූයේය.

“විපක්ෂයට දැන් වැලේ වැල් නෑ. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරිමෙන් වාසියක් වුණේ නෑ කියනවා.” මන්ත්‍රී ගයාශාන් ද කතාවට සම්බන්ධ වූයේ එලෙසිනි.

“ඒ කතාව වැරදියි. මෙතනදී ලොකුවට ණය අඩුකර ගැනීමක් ගත්තේ නැති වුණාට රුපියල් බිලියන 5ක් අපට ඉතිරි වුණවා. අනෙක් පැත්තෙන් තවත් බිලියන 3ක ණය අඩු කර ගැනීමක් ලැබිලා තියෙනවා. එතකොට අපිට බිලියන 8ක වාසියක් ලැබෙනවා. එහෙම බැලුවම 20%ක ණය කප්පාදුවක් ලැබිලා තියෙනවා. මොකද අපිට විදේශ ණය බිලියන 40ක් තිබෙන නිසා බිලියන 8 එහි ප්‍රතිශතයක් ලෙස ගත්තහම 20% හරි. අනෙක් පැත්තෙන් ණය ගෙවන්නේ අවුරුදු 4ට පස්සේ.” ජනපති දීර්ඝ විස්තරයක් කළේය.

මේ අතරවාරයේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න ද අපූරු අදහසක් ජනපති රනිල්ට දුන්නේය. “ජනාධිපතිතුමාගේ ගෙදරයි ඇතුළේ තිබුණ පුස්තකාලයයි පුච්චලා ලබන 09 වෙනිදට අවුරුදු දෙකක් වෙනවා. එදා තත්ත්වයයි. අද තත්ත්වයයි සංසන්දනය කරලා පත්තරවලට ලිපියක් හා රූපවාහිනියට වාර්තා වැඩසටහනක් දුන්නොත් කොහොමද” දිනිත් චින්තක කීවේය. “ඔව් ඒක අපූරු අදහසක්.” එහි සිටි පිරිස කියද්දී ජනපති ද හිස සලා ඊට අනුමැතිය පළ කළේය.

ඒ අනුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක එදින සවසම ජනපතිගේ පස්වැනි පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට මාධ්‍ය කණ්ඩායමක් රැගෙන ගොස් මාධ්‍ය මෙහෙයුම නිම කළේය.

සුබ ආරංචිය පෝස්ටරය නැඟලා ගියා

නව සන්ධානයේ දේශපාලන මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා පෙරවරුවේ කොළඹ හෝටලයක පැවැත්විණි.

මෙහිදී විශේෂ අවධානය යොමු වූයේ වැල්ලවායේදී පවත්වන රැලිය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන ආකාරය පිළිබදවය.

එය අවසන් වී මැති ඇමැතිවරුන් පිරිස වත්මන් දේශපාලන කරුණු කාරණා ගැනද සාකච්ඡා කළහ.

“අනිත් වතාවන්වල වගේ නෙමෙයි මේ සැරේ ජනාධිපතිතුමා ජාතිය අමතන එක රටේ හැමෝගෙම අවධානය යොමු වෙලා තිබුණා”නලින් ප්‍රනාන්දු ඇමැතිවරයා කීවේය.

“ඔව් ඔව් ඒක ඇත්ත. ගම්වල අපේ ළඟම පාක්ෂිකයින් නිතරම ඇහුව මොකක්ද මේ සුබ ආරංචිය කියල” අමරවීර ඇමැතිවරයාද කතා- බහට එක්විය.

” සුබ ආරංචිය පෝස්ටරය හොඳටම කතාබහට ලක්වන වැඩක් වුණා”පියංකර ජයරත්න කීවේය.

“ඒකට මඩ ගහන්න තව පෝස්ටරයකුත් කොළඹ වැදිල තිබුණා කඩාකප්පල් කාරයින්ට හොඳටම වැදුණා. ඒකනේ එහෙම පෝස්ටරයක් ගැහුවේ”අනුර යාපා කීවේය.

” කවුද ඕක ගහන්න ඇත්තේ”ලසන්ත අලගියවන්න ඇමැතිවරයා විමසීය.

“කවුද ඉතින් කුහක විපක්ෂයේ කට්ටිය” නිමල් ලාන්සා මන්ත්‍රීවරයා පිරිස දෙස බලමින් කීවේය.

” ජනාධිපතිතුමාගේ වැඩේ කඩාකප්පල් කරල මිනිස්සු උසිගන්නන්න තමයි ඕව කරන්නෙ. හැබැයි ඉතින් මිනිස්සු දැන් තේරුම් ගන්නවා මේව කරන්නෙ කුහකයො කියල” ඇමැති නලින් කීවේය

” ඔව් ඉතින් ජනාධිපතිතුමා මේ ගෙනියන වැඩපිළිවෙළ දිහා බලාගෙන ඉන්න බැරිව රටේ මිනිස්සු කුලප්පු කරල ඒකෙන් කාලකන්නි සතුටක් ගන්නනෙ මේ යක්කු දඟලන්නෙ. මේක දිහා බලාගෙන ඉන්න බැරි කුහක ජාතියක්” නිමල් ලාන්සා තරමක් කේන්තියෙන් කියාගෙන ගියේය

“ලන්සා කිව්වා හරි මේ සුබ පණිවිඩය රටට යයි කියල බයට අර අහිංසක ගුරුවරු කොළඹ ගෙනල්ල ප්‍රශ්නයක් දැම්ම” ලසන්ත අලගියවන්න කීවේය

“ඔව් මේ යක්කුන්ට ඕන උනේ ගුරුවරු දෙන්නෙක් තුන් දෙනෙක් ඉස්පිරිතාලෙ යවල මීඩියා ෂෝ එකක් දාන්න” දුමින්ද දිසානයක කීවේය

ප්‍රසන්න- මනූෂ මාධ්‍යවේදීන් හමුවෙති

ඇමැතිවරුන් වන ප්‍රසන්න රණතුංග හා මනූෂ නානායක්කාර පසුගිය බදාදා බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේදී මෙරට විදත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් පිරිසක් හමුවිය.

“ඇත්තටම පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද?” මාධ්‍යවේදීන් ඇමැති ප්‍රසන්නගෙන් විමසීය.

“මම එදත් කිව්වෙ, අදත් කියන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයට දෙන්න ඕන කියල. මම ඒක පක්ෂ සමුළුවලදිත් කීව්වා” ඇමැති ප්‍රසන්න කීය.

“එතකොට මහ ලේකම්තුමා කියන්නේ ජනාධිපතිතුමාට අපේක්ෂකත්වය ගන්න ඕනනම් පොහොට්ටුවේ අපේක්ෂකත්වය ගන්න ඕන කියන කතාව මොකද්ද? ” මාධ්‍යවේදියකු යළි විමසීය.

“මම ඒක ගැන එතුමගෙන් ඇහුවුවා. මම ඒකට උත්තරත් දුන්නා” ඇමැති ප්‍රසන්න කීවේ උස්හඬින් සිනාසෙමිනි.

සජිත්ට බෑ.. ඒක තමයි ඇත්ත

“සජිත්ට පුළුවන් කියල ලබන සතියෙ කැම්පේන් එකක් පටන් ගනනවා” මාධ්‍යවේදියෙකු කීවේ ඇමැති මනූෂ දෙස බලමිනි.

“එතුමට පුළුවන් නම් අපි ජනාධිපතිතුමා ළඟට එන්නේ නෑනේ.” ඇමැති මනූෂ කී කතාවට සියල්ලෝම සිනාසුණි.

“විපක්ෂ නායකතුමා හිතාගෙන ඉන්නේ ඒදණ්ඩෙ ගියාම, ගහක් උඩ පැලකට නැග්ගම, වැස්සෙ තෙමුණම රටේ නායකත්වයට පත්වෙන්න පුළුවන් කියල. මම කැට තියල කියන්නේ ඊළඟ ඡන්දයෙන් පස්සේ එතුමගෙන් විපක්ෂ නායකකමත් නැති වෙනවා. එතන ඉන්න අය කියන අපිට කියන කතා දන්නේ අපිනේ. ලංකාව වැහෙන්න පොස්ටර් ගැහැව්වත් සජිත්ට බෑ. ඒක තමයි ඇත්ත.” අමැති මනූෂ කීවේ දීර්ඝ කාලීන අත්දැකීම් සිහිපත් කරමිනි.

කෑම බීම යහමින් තිබූ මෙම සුහද හමුව මැදියමවනතුරු පැවැත්විණ.

මහින්දට අමතක වූ මල්වඩම

හිටපු විපක්ෂ නායක ආර්. සම්පන්දන්ගේ දේහය ඉකුත් බදාදා පාර්ලිමේන්තුවට රැගෙන ආවේ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්ට ගෞරව දැක්වීමටය.

අභාවප්ප්‍රාප්ත සම්පන්දන් මන්ත්‍රීවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අකරතැබ්බකට මුහුණ දුන්නේය. ඒ ඔහු විසින් ඇණවුම් කළ මල්වඩම නිසි වේලාවට නොලැබීම නිසාය.

හිටපු ජනාධිපතිවරයා මුහුණ දුන් ගැටලුව ඇමැති ප්‍රසන්නට ආරංචි විය.

“සර්.. මේ මල්වඩම තියල දේහයට අවසන් ගෞරව දක්වන්න” ඇමැති ප්‍රසන්න තමන් සතුව තිබූ මල්වඩම හිටපු ජනාධිපතිවරයාට දෙමින් කීය.

දහදාහක් ගෙනත් ධම්මික පෙරේරා යාපනය හොල්ලයි

දේශපාලන ක්ෂේත්‍රයේ මේ දිනවල වඩාත් වැඩියෙන් කතා බහ කෙරෙන චරිතයක් වන ධම්මික පෙරේරා පසුගිය සතියේ යාපනයේ ප්‍රදේශයේ ඩී.පී එඩියුකේෂන් සහතික පත් ප්‍රදානය සිදු කරන ලදී. යාපනයේ කිසිදු සිංහල නායකයකුට යාපනයෙන් 10000ක් ගෙනත් රැස්වීමක් පවැත්වීමට නොහැකි වී තිබිණි. කලින් යාපනයේදී පිළිගැනීමට ලක්වූ එකම නායකයා වූයේ විජය කුමාරතුංග පමණි. නමුත් විජය කුමාරතුංගට පවා යාපනයේ දසදහසක් සෙනග ගෙන්වා ගැනීමට නොහැකි විය. මෙවර ධම්මික පෙරේරා යාපනයේ මුටෘවේලි ක්‍රීඩාංගනය ජනතාවගෙන් පිරවීමට සමත්විය. ඒ දසදහසක් සෙනඟ ගෙන්වා ඩී.පී එඩියුකේෂන් සහතික පත්‍ර බෙදාදීමේ උත්සවයක් සංවිධාන කිරීම හරහාය.

අජිත් රාජපක්ෂගෙන් දෙබොක්කාව ග්‍රාමයට තිළිණයක්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් පසුගියදා දෙබොක්කාව ග්‍රාමයේ ජනතාවට අපූරු තිළිණයක් දුන්නේය. දෙබොක්කාව මංසන්ධියෙන් ගම්මාන කිහිපයකට පාරවල් බෙදීයන අතර, එම මංසන්ධියේ බුදු මැඳුරක් ඉදි කිරීමට ගම්වාසීන් තුළ වූයේ දැඩි උනන්දුවකි. ගම්වාසීන් එකතු වී ඉතා අලංකාර ලෙස බුදු මැඳුරක් නිර්මාණය කළ අතර එහි තැන්පත් කිරිමට බුදු පිළිමයක අවශ්‍යතාවය ඔවුන් විසින් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයාට දැනුම් දෙන ලදී.

එම ඉල්ලීම පොසොන් පොහොය සතියේදීම ඉටු කරදීමට අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා කටයුතු කිරීම ගැන ගම්වාසීන් තුළ වූයේ දැඩි ප්‍රසාදයකි. එම කටයුත්ත සඳහා අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයාගේ ඉල්ලීම පරිදි සණස සංවර්ධන බැංකුව විසින් මූල්‍ය පරිත්‍යාගයක් කිරිම ද විශේෂත්වයකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division