Home » තට්ටු හැට හතකින් පනින තැනට පාසල් දරුවන්ගේ ඔළුව විකාර කළ බලවේගය මොකක්ද?

තට්ටු හැට හතකින් පනින තැනට පාසල් දරුවන්ගේ ඔළුව විකාර කළ බලවේගය මොකක්ද?

by Mahesh Lakehouse
July 6, 2024 12:30 am 0 comment
කරා­පි­ටිය ශික්‍ෂණ රෝහලේවිශේ­ෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

කරා­පි­ටිය ශික්‍ෂණ රෝහලේ විශේ­ෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

කොළඹ කුරුඳුවත්තේ පිහිටි ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ 15 හැවිරිදි සිසුවෙක් සහ සිසුවියක් කොම්පඤ්ඤ වීදියේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලින් බිමට වැටී මියයෑමේ පුවතක් පසුගිය සතිය පුරා මහත් ආන්දොලනයට ලක් විය. මොවුන් පාසලේ 10 වැනි පන්තියේ ඉගෙනුම ලබන දරුවන් විය. මවුපියන්ද එකිනෙකා දැන හඳුනන හිතවත් අය බව ද විමර්ශනවලින් අනාවරණ වී තිබේ. සිසුවා වැල්ලවත්ත හාමස් ඇවිනියුහි පදිංචිව සිටි ඩිවෝන් ශූරෝ සිං බවත් සිසුවිය කැලණිය සපරමාදු පෙදෙසේ පදිංචි රෝස් මිරායි ද සේරම් බවත් පොලිසිය කියයි. ඔවුන් දෙදෙනා නිවාස සංකීර්ණයේ 67 වැනි මහලට ගමන් කර එම මහලින් පිටතින් බැසීමට ඇති තරප්පු පෙළ වෙත ගොස් ඇති බවත් අනාවරණ වී තිබේ. එහිදී සිසුවාත් සිසුවියත් එම මහලින් බිමට වැටුණි. ඒ පිළිබඳ මෙතෙක් තොරතුරු සොයමින් පවතී. ඇතැම් විට ඔවුන් දෙදෙනා ඉහළ මහලට ගිය පසු ඇතිවුණු යම් සිදුවීමක් මුල්කරගෙන හෝ වසක් විසක් සිරුරට එක් වීම හේතුවෙන් ඉහළ මහලින් බිමට වැටුණිදැයි සැකයක් ද එසේම සෙල්ෆි ජායාරූපයක් ගැනීමට යෑමෙන් මරණයට පත්වූයේ යැයිද ද යන්න තවමත් සැකයක් පවතී.

මරණය පිළිබඳව නොව නැවත නැවත සමාජ කථිකාවන් ගොඩනැඟිය යුත්තේ මෙවැනි ව්‍යවසනයක් දරුවන්ට නොවීමට වග බලා ගත යුත්තේ කෙසේද යන්නයි. සුළු හෝ අතපසුවීමක් වැඩිහිටියන් අතින් සිදුවුවහොත් වර්තමානයේ දී නව යෞවන වියෙහි පසුවන දරුවන් අනතුරුවලට ලක්විමේ වැඩි ප්‍රවණතාවක් පවතී. පසුගියදා සිදුවුයේ ද එවැනි සිදුවීමකි. මෙවැනි අවදානම් සහගත දේ කිරිමට දරුවන් පෙලඹීමට බලපානු ලබන මනෝවිද්‍යාත්මක සමාජවිද්‍යාත්මක සාධක රැසක් වෙයි. නව යොවුන් වියේ දරුවන්ගේ මෙවැනි ක්‍රියාකාරකම් වලට පොළඹවනු ලබන මානසික තත්ත්වයන් පිළිබඳව කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් කළ පැහැදිලි කිරීමකි මේ.

“නව යෞවුන් වයසේ මානසික ගැටලු සහ ඔවුන්ගේ මානසිකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඉතා වැදගත් වෙයි. මේ මාතෘකාව පුළුල් සංවාදයකට නොගෙන මඟහැරී යාමට හේතුවක් නම් විශේෂයෙන් මේ වයස් සීමාවන්වල ඇති දරුවන්ගේ මානසික ගැටලු විවෘතව සාකච්ඡා කිරීමට එම දරුවන් මැළිකමක් දැක්වීමයි. ඒ අයගේ මේ මානසික තත්ත්වයන් හඳුනා ගැනීම දුෂ්කරයි. බොහෝ විට තමන්ගේ ප්‍රශ්න තමන්ම විසඳාගැනීමට හෝ සම වයස් කණ්ඩායම් සමඟ විසඳා ගැනීමට උත්සාහ කරයි. ඇතැම් විට ඒ අය උපදෙස් ලබා ගන්නේද එවැනිම මානසික ගැටලුවලින් පීඩාවිඳින දරුවන්ගෙන් වෙයි. අනෙක් පැත්තට දරුවන්ගේ ගැටලු හඳුනා ගැනීමේදි මවුපියන් ඒවා නිවැරදිව හඳුනා ගැනීම වැදගත් වෙයි. එම ගැටලු නිවැරදිව මවුපියන්ට හඳුනා ගැනීමේ අපහසුතාවක් ඇත. නව යෞවන වයසේ ස්වාභාවික මානසිකත්වය වෙනස් වීමේදී ඒ අය ස්වභාවයෙන්ම කලබලකාරි සහ අවදානම් ගැනීමට රුචිකත්වයක් දක්වන බව දක්නට ලැබෙයි. එය මිනිස් පරිණාමයෙන්ම නව යෞවන කාලයේදි දරුවන් අනන්‍යතාව සහ පෞරුෂත්වය හදා ගැනීමට උත්සාහ කරයි. එහිදි ජීවිතයේ නව අත්දැකීම ලබාගනී. මේ අත්දැකීම් පරිණාමයේ සිට මානවයාගේ සම්භවයේ සිට ලැබෙන දේවල් වෙයි. එවැනි අත්දැකීම් ලබා ගන්න අනෙක් අයගෙන් දුරස්ව අවදානම් සහිත ස්ථානවලට යෑම, දෙමාපියන්ගේ යැපීමෙන් මිදී තමන්ගේ දේවල් තමන්ම කර ගැනීමට යෑම තීරණ වන්නේ ඒ අවදානම් ගැනීමේ මට්ටම අනුවයි. අවදානම් ගන්නා අවස්ථාව වන විට මවුපියන් ඒ අයගේ අත්දැකීම් සමඟ බලා දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතා වැලැක්වීමට යයි. එහිදි මවුපියන් සහ දරුවන් අතර පරස්පර ගැටුමක් ඇති වෙයි. ඒ ගැටුම නිසා බොහෝ වෙලාවට මේ අය මවුපියන්ගෙන් දුරස් වීමට උත්සාහ කරයි. ඒ තත්ත්වය සාමාන්‍ය සංසිද්ධියකි. නව යෞවනයෙක් මවුපියන් සමඟ කේන්ති ගන්නේ නම් මවුපියන් වගේ හිතන්නේ නැතුව අවධානම ගන්නවා නම් අලුත් අත්දැකීම් ගන්නවා නම් එය සාමාන්‍ය තත්ත්වයක්. ඒ බව මවුපියන් තේරුම් ගෙන වඩා නිවැරදි දේ කරන්නේ කොහොමද යන්න කියාදීම වඩා වැදගත් වෙයි. නිවැරදි මාර්ගයේ ඒ දරුවන් යැවීමට පෞරුෂත්වය වර්ධනය කිරීමට ස්වාධීන වැඩිහිටියෙක් බවට පත් කිරීමට මවුපියන් කටයුතු කිරීම අවශ්‍යයි. මවුපියන් ළමා කාලයේම ඒ දරුවන් තබාගැනීමට උත්සාහ කළහොත් වැඩිහිටිවියේදි අසාර්ථක පුරවැසියෙක් බවට පත් වෙයි. වැඩිහිටියෙක් බවට පත්විමේදි නිවැරදි මාර්ගයේ යෑමට අවශ්‍ය වටපිටාව මවුපියන් සැකසිය යුතුයි.

දරුවෙකුට කුඩා කාලයේදි මවුපියන් අතර සහසම්බන්ධතාවය ඉතා වැදගත් වෙයි. උපතේදි සිට මේ සම්බන්ධතාව ඇතිවෙයි. මෙලොව බිහිවී පළමුවැනි අවුරුදු දෙක ඇතුළත මවක් හෝ මූලික සේවා සපයන්නා ලෙස මව පියා හෝ ඒ වෙනුවට සිටින කෙනෙක් ඒ අය සමඟ ඇතිවෙන බැඳීම සහ සම්බන්ධතාවය මුළු ජීවිත කාලය පුරාම රැදී පවතී. ඉතා වැදගත්ම දේ දරුවාගේ හැඟිම්වලට මව හෝ පියා දක්වන ප්‍රතිචාරයයි. මව හෝ පියා යනු මූලික ආදරය සපයන්නායි. ආදරයෙන් කතා කිරීම ආදරය කිරීම හොඳ සම්බන්ධතාවක් පවත්වා ගැනීම තුළ හොඳ සම්බන්ධතාවයක් ඇති වෙයි. එසේ නොලැබෙන දරුවන්ට එය මුළු ජීවිත කාලයම බලපානු ලබයි. නව යෞවන කාලයේදි ආදරය සපයන්නන්ගෙන් මව හෝ පියා හෝ වෙනත් සමීප කෙනෙකුගේ ආදරය රැකවරණය වඩා වැදගත් වෙයි. මව සහ පියා කාර්ය බහුල සංකීර්ණ සමාජයක් අද නිර්මාණය වී ඇත. ඒ අය දරුවන්ගේ සියලු ආර්ථීක දායකත්වය ලබා දෙන නමුත් සමීප සම්බන්ධතා ඇති වන අවස්ථා අඩුයි. එවැනි අවස්ථාවලදී ගැටලු ඇතිවිය හැකියි. විශේෂයෙන් ආදරය සහ සම්බන්ධතාවක් ගොඩනැඟිමට පවුලේ වෙනත් සමීපතමයන් නැති අවස්ථාවලදි යහළුවන් හෝ සමාජ මාධ්‍යවලට සමීපවෙයි. තනිකම මකගැනීමට සමාජ මාධ්‍ය තුළ වීඩියෝ ක්‍රීඩා කිරිම සහ විවිධ අය ඇසුරු කිරීමට හුරුවීම සිදුවන්නේ නිරායාසයෙනි. එවැනි අවස්ථාවලදි මේ තනිකම විශාල ගැටලුවක් වෙයි. මවුපියන් සමඟ තියෙන සම්බන්ධතාවය අඩුව පියවා ගැනීම සිදුවන්නේ මෙවැනි දේ වලිනි. ඒ දේවල්වලට ඇබ්බැහිවිමේ ලොකු පෙලඹවීමක් ඇතිවෙයි. එය වැලැක්වීමට උත්සාහ කිරීමේදී දරුවන්ට මවුපියන් හතුරන් ලෙස පෙනෙයි.‍

මවුපියන්ගේ ආදරය කරුණාව නොලැබීම නිසා මෙ දරුවන් පිටින් ආදරය සොයාගන යාම වැනි දේට පෙලඹීමට ඇති ඉඩ කඩ වැඩිවෙයි. එමෙන්ම කොතරම් බලපෑම් කළත් එවැනි ආදර සම්බන්ධතා අහිමි කර ගැනීමට දරුවන් අකමැති වෙයි. නව යෞවන වයසේ ඇති තවත් ගැටලුවක් නම් තමන්ගේ සමවයස් කණ්ඩායම්වල ඇති බලපෑමයි. ඒ අය කොහොම ද හැසිරෙන්නේ, ඒ අය මොනවද කරන්නේ, ආකල්ප මොනවද යන්න විශාල ලෙස බලපානු ලබයි. දරුවන්ට අපි හොඳ මිතුරු ඇසුරක් සොය දිය යුතුයි. ඒ නිසා මවුපියන්ගේ වගකීමක් එවැනි අවස්ථා ඇති කර දිමයි. විෂම අදහස් ඇති යාළුවෝ මුණ ගැසුණොත් ඒ අය සම්බන්ධයෙන් සොයා බලා නිවැරදි මිතුරු ඇසුරකට යොමු කළ යුතුයි. දරුවන් ඇසුරු කරන්නේ කුමන මිතුරුන්ද කියලා සොයා බැලීමට මවුපියන්ට සහ ගුරුවරුන්ට විශාල වගකීමක් වෙයි. ඇසුරු කරන්නේ කවුද ඒ අයගේ ගැටලු කවරේද කියා සොයා බැලිය යුතුයි.

එමෙන්ම ගුරුවරුන්ට පාසලක විනය තබා ගැනීමට ලොකු වගකීමක් තිබෙයි. එමෙන්ම තවත් කරුණක් නම් මාධ්‍යවල අද දකින්නේ සමාජයේ දුර්ගුණ පමණයි. ප්‍රචණ්ඩත්වය එකිනෙකා අතර ඇතිවන ගැටුම් වෙයි. අසුබවාදි විනාශකාරි දේවල් නිරන්තර දරුවෝ දකිති. එහි දි ඒවා සාමාන්‍යකරණය වීම් ඇති වෙයි. දරුවන්ට ලොකු කලකිරීමක් සහ පසුතැවීමක් ඇති වේ. හොඳ පැත්තට වඩා නරක පැත්තට දරුවන්ගේ යොමු වීම සිදුවෙයි. ඒවගේම දරුවෝ සමාජ මාධ්‍යවලින් පහත් කිරීම මර්දනය කිරිම් ප්‍රචණ්ඩව හැසිරිම් දකියි. එවැනි බලපෑම් දකින ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් අනුකරණය කරන්න පෙලඹෙයි. තමන්ටම හානිකර ගැනීමේ සිතුවිලි සහ අනුකරණය කිරිමට පෙලඹෙනවා.

දරුවන් දෙදෙනා ඇදවැටුණු සුපිිරි නිවාස සංකිර්ණය

දරුවන් දෙදෙනා ඇදවැටුණු සුපිිරි නිවාස සංකිර්ණය

අධ්‍යාපනය තුළ තියෙන අඩුලුහුඬුකම් ද මේ සඳහා බලපානු ලබයි. ඒ අයගේ මානසික යහපැවැත්ම සඳහා එය විශාල ලෙස බලපානු ලබයි. කටපාඩම් අධ්‍යපනය පමණක් නිසා සමාජ කුසලතා ඉගෙන ගැනීමට මේ අධ්‍යාපනයෙන් උගැන්වීමක් සිදුනොවෙයි. සමාජයේ දරුවෝ සමඟ එකට වැඩ කර ඉගන ගන්න වාතාවරණයකුත් නැත. දරුවන්ගේ පෞරුෂත්වය හදා ගැනීමට සමාජ කුසලතා උගන්වන්නේ නැත. ගැටලු විසඳීමේ කුසලතා කටපාඩම් කර විභාගය සමත් වීම පමණයි සිදුවෙන්නේ. කටපාඩම් අධ්‍යාපනය හරහා සමාජ කුසලතා ගැටලු විසඳීමේ කුසලතා අඩාළ වී තිබෙයි. එය නව යෞවනයන්ට වඩා බලපා තිබෙයි. පාසලේදී සහ පාසලින් පිටතදී ගැටලු විසඳාගැනීමට ඒ අයට ස්වාධීනව හැකියාවක් නැති වී ඇත. සමාජය ඉදිරියට ගොස් ගැටලු විසඳාගැනීමට ක්‍රමවේදයක් නැත. අන්තර්ජාල තුළ සැබෑ ලෝකයේ නොවන සිහින ලෝක මේ අය දකිති..

එමෙන්ම නව යෞවන වයසේ දරුවන්ට ඇතිවෙන්න පුළුවන් ප්‍රධානතම මානසික ගැටලුවක් විවිධ ඇබ්බැහිවීම් ඇතිවීමයි. එම වයස සතුට සොයාගෙන යන වයසකි. සතුට ලබා ගත හැකි දේ පාලනයකින් තොරව කිරීම සිදුවෙයි. ඒ සඳහා මොළේ සතුට ඇතිවීම සඳහා උත්තේජනය වෙයි. මේ පරිපත උත්තේජනය වුණාට පසුව ග්ලුපමින් සංයෝගයේ ක්‍රියාකාරිත්වය නිසා නැවත නැවත උද්දීපනය ලබා ගැනීමට අවශ්‍ය ඒ දේ කිරීමට පටන් ගනී. ඒ තත්ත්වයට දරුවා වඩා ආකර්ෂණය වෙයි. එය නැවත කිරීමට පෙලඹෙනවා. එම ක්‍රියාවන් නවත්වා ගැනීමට නොහැකි වෙයි. උදාහරණයක් ලෙස ‘වීඩියෝ ගේම්’, අන්තර්ජාලය විවිධ උපකරණ, සමාජ ජාල මත්ද්‍රව්‍ය සහ ලිංගිකත්වය වැනි දේවලට ඇබ්බැහිවීම් වෙයි. මේවා සමඟ දවසේ වැඩි කාලයක් ගත කරයි. ඇබ්බැහිවීම් සම්බන්ධයෙන් සම්ප්‍රදායිකව නිර්ණායක කිහිපයක් වෙයි. එයින් ප්‍රධාන දේ නම් ජීවිතේ අනෙකුත් දේවල්වලට කරන කැපවීම් අනෙත් දේවල්වලින් ලැබෙන සතුටින් වැලකි මෙම ඇබ්බැහිවීම පමණක් සතුට ලැබෙන මාර්ගය බවට පත් කරගනි.

ඒ අනුව අධ්‍යාපනයටත් උනන්දුවක් නැති වී යයි. ඒ සඳහා ගත කරන කාලය පාලනය කිරීමට නොහැකිව දිනෙන් දින මේ සම්බන්ධයෙන් ගත කරන කාලය වැඩි කරයි. තරහා යෑම නින්ද නොයෑම මතක ශක්තිය අඩු විම ප්‍රකෝපකාරීවීම තමන් ගැනම දුකක් කනගාටුවක් ඇති විම, ආදියට ඇබ්බැහි වීම වැළැක්වූ විට මවුපියන්ට පහර දීමට වුවත් හැකියාව ඇති වෙයි.

එවැනි අබ්බැහි වීම් සිදුවුණාට පසුව දරුවන් වළක්වා ගැනීම අසීරුයි. දෙමාපියන්ගේ යුතුකම විය යුත්තේ ඒ ඇබ්බැහිය වළක්වා ගැනීමයි. තරුණ පරපුර මේ විද්‍යුත් උපාංග නිසා සමාජ ජාල මෙන්ම විශේෂයෙන් වීඩියෝ ක්‍රිඩාවලට ඇබ්බැහි වී ඇති අතර එමඟින් විශාල හානි සිදුවන අවස්ථාද වෙයි. අන්තර් ජාතික වශයෙන් මේ වීඩියෝ ක්‍රිඩා මානසික රෝගයක් ලෙස පිළිගනි. අන්තර්ජාල විඩියෝ ක්‍රීඩා සඳහා ඇබ්බැහිවීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මානසික රෝග වර්ගීකරණයේ එකළොස්වැනි සංස්කරණයේ මානසික රෝගයක් ලෙස පිළි ගෙන ඇත. එසේම ඇමරිකානු එක්සත් ජනපදයේ මානසික රෝග වර්ගීකරණයේ ද ඒ බව පිළිගෙන තිබෙයි. මෙය ලෝකයේ ප්‍රධාන වර්ගීකරණ දෙකයි. ඇබ්බැහියක් ඇතිවන මුල් අවස්ථාවේදී ම වළක්වා ගැනීමට අවශ්‍යයි. ඒවා මවුපියන් වළක්වාගත යුතුයි.

මේ දරුවන් විශේෂයෙන් බලාපොරොත්තු වන දේවල් නොලැබුණු විට වෛරයක් ලෙස එය ඉදිරියට එයි. අධ්‍යාපනය තුළ තරගකාරීත්වයෙන් ජයගන්න නොහැකි වුණාම අපේක්ෂා භංගත්වයට පත්වීම සහ එවැනි අවස්ථාවල අනාගතයක් නැතැයි යන සිතුවිල්ල නිසා දුක් වෙයි. තරගකාරීත්වය මෙයට එක හේතුවකි. තවත් පැත්තකින් නව යෞවන වයසේ දී ඇති වන විෂාදය පාසල් වල සහ මවුපියන් හඳුනාගෙන නැත. ජීවිතය ගැන කලකිරීම දුක පාඩම් කිරීමට අපහසුව, මතක ශක්තිය අඩුවීම,සතුට අඩුවීම, ජීවිතය කළකිරීම සහ ජීවිතය නැති කර ගැනීමට උත්සාහ කිරීම වැනි රෝග තත්ත්වයන් ඇතිවීමයි. ඒ නිසා එය හඳුනා ගැනීමට නොහැකි වීම නිසා මේ අයගේ ජීවිතයට එය බලපෑමක් ඇති කරයි. විභාගය සමත් වෙන්න ජීවිතය තීරණ ගන්න ආදර සම්බන්ධතා ඇති කර ගැනීමේදී මේ සියලු දේට විෂාදය බලපායි. නව යෞවනයේදී ජීවිත නැති කර ගැනීමට හේතු වන්නේත් මෙම තත්ත්වයන්. විෂාද රෝගයෙන් පෙළෙන අය ජීවිතය සුළු ප්‍රශ්නයක් ඇතිවීමේදී පවා ජීවිතයෙන් සමුගැනීමට උත්සාහ කරති. එසේම මේ අයගේ ආවේග පාලනය කර ගැනීමට නොහැකි conduct disorder වැනි තත්ත්වයන් ඇතිවීමට හැකියි. ආවේග පාලනය කිරීමට නොහැකියාව, කල කෝලාහල කර ගැනීම, පාසල් යාම නැවැත්වීම, බොරු කීම, හොරකම් කිරීම සමාජයේ බලධාරීන් සමඟ රණ්ඩු කර ගැනීම, ප්‍රශ්න ඇති කරගෙන එන නිතර පාසලේ විදුහල්පතිවරයා හමුවට යාමට සිදුවීම, මවුපියන් සමඟ කලහ කර ගැනීම, සතුන්ට කෲර ලෙස සැලකීම වැනි තත්ත්වයන් මෙවැනි දරුවන් තුළ පවති. මෙවැනි දේවල් නව යෞවනයන් තුළ ඇති වීමෙන් විවිධ ගැටලු සංකීර්ණ තත්ත්වයන් ඇතිවීම සිදුවෙයි. නව යෞවන වයසේ ඇතිවෙන භයානක තත්ත්වයක් විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමයි. මත්ද්‍රව්‍ය පාසල්වල ව්‍යාප්ත වීම දක්නට ලැබෙයි. මේ පිළිබඳව පාලනය වී තිබුණත් රටේ පවතින සායනික දත්තයන්ගෙන් පෙනී යන කරුණක් නම් මත්ද්‍රව්‍ය භාවිතා කරන දරුවන් කාන්තා සහ පිරිමි පාසල් භේදයකින් තොරවම ශ්‍රී ලංකාවේ බොහෝ පාසල් සිටින බවයි.මෙවැනි මත්ද්‍රව්‍ය තුළින් ඒ අයගේ ආවේග පාලනය අඩුවී, කෝපය ඇතිවීම, විවිධ මානසික රෝග තත්ත්වය ඇතිවීම මෙන්ම දීර්ඝ කාලීනව මතක ශක්තිය අඩුවීමෙන් බුද්ධි මට්ටම පහළ යා හැකි තත්ත්වයක් පවති . ඒ අය ඇසුරු කරන අයගේ සහ දෙමව්පියන්ගේ ආදරය නොලැබීම සහ වෙනත් මත්ද්‍රව්‍ය පිළිබඳව ඇති මිත්‍යා මත මෙවැනි මත්ද්‍රව්‍ය ලබා ගැනීමට හේතු වෙනවා.

නව යෞවන වයසේ දී සියදිවි නිසා ගැනීමට හේතු කීපයක් තිබෙනවා. හුදෙකලාභාවය සමඟ ඇති වන විෂාදය සහ නව යෞවන වයසේදී ඇති වන කැපී පෙනී මේ අවශ්‍යතාවය මත සුළු කරුණකට පවා කිපී එහි ප්‍රතිඵලය ගැන නොසිතා ආවේගශීලීව ජීවිතය නැති කර ගැනීමට උත්සාහ කරයි. චිත්ත වේගය පාලනය කර ගැනීමේ දුර්වලතාවය සහ ගැටුම් කළමනාකරණය කිරීමේ කුසලතාවයේ අඩු බවක් මේ අය තුළ පෙනෙයි. ඒ අය ආවේගශීලීව ගැටුම උග්‍ර කරගනී. ඒ අවස්ථාවේ ඇති වන පීඩනය වළක්වා ගැනීමට ජීවිතය නැති කරගනී සමාජයට අනුගත වීමේ නොහැකියාව නිසා ආවේගශීලී භාවය, තරහ පාලනය කර ගත නොහැකිවීම, සමාජ කුසලතා අඩු දරුවෝ වැඩිහිටි වියට පත්වෙයි. මවුපියන් දරුවන් ඉපදුණු දා සිටම දරවන් සමඟ සහයෝගයෙන් සිටිය යුතුය. ළමා කාලය, දරුවාව තේරුම් ගෙන ඒ අයට ඇහුම්කන් දීම, මැදිහත් වීම හා ප්‍රතිචාර දැක්වීම කළ යුතුයි. දරුවා ඉගෙන ගන්නවා වගේම තමයි මවගේ පියාගේ ප්‍රතිචාරය බලා වැඩෙයි. එමෙන්ම නව යොවුන් වියට පත්වූ පසුව ස්වාධීනව අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීමට ඉඩ දිය යුතුයි. දරුවන් වැඩිහිටියන් දෙස බලා තමන්ගේ මවුපියන් අනුකරණය තුළින් නව යොවුන් කාලයට පිවිසීමේදී තමන්ට අනන්‍ය වූ තමන් කවුරුන්ද යන්න ප්‍රශ්න කරමින් තමන් විසින් ගොඩනඟා අධ්‍යාපනය පැත්තෙන් ගත්තද දරුවාගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන දෙමව්පියන්ගේ අවශ්‍යතාවය ඉටුකිරීමට උත්සාහ ගැනීමකින් තොරව ඒ අයට මඟ පෙන්විය යුතුයි. දෙමව්පියන් කැමති දේ ඉගෙනීමට බලනොකළ යුතුයි. දැනුමක් ලබාදී ඒ තුළින් නිවැරදි තෝරා ගැනීමකට ඉඩ දිය යුතුයි.

ආකල්පය සංවර්ධනය සඳහා විද්‍යාත්මක හා තාර්කිකව සිතීම වැදගත්. අන්ධානුකරණයෙන් තොරව තර්කානුකූලව සිටීම කුඩා කල සිටම පුරුදු කළ යුතුයි. එමෙන්ම ආගමික පසුබිමක් හා දාර්ශනික පසුබිමක් තැබීම තුළින් දරුවාගේ යහපත සඳහා උදව් විය හැකියි. යම්කිසි දෙයක් මොළයට යන්නේ සහ මතක ශක්තිය වැඩි වෙන්නේ සහ ආකල්ප ගොඩනගා ගන්නේ විශ්වාසයන් ඇති වන්නේ තර්කය පමණක් නොව අපි ගනු ලබන ක්‍රියාමාර්ග හැසිරීම් සිරිත් විරිත්, සංස්කෘතික අංග වැනි දේවල් අනුවයි. ඒ දේවල් තුළින් ඇතිවන ශික්‍ෂණයත් එක්තරා ආකාරයක අධ්‍යාපනයක් .තර්කනයෙන් ඇතිවන අධ්‍යාපනය මෙන්ම ශික්ෂණයෙන් ඇතිවන අධ්‍යාපනයත් ඉතාම වැදගත්. එම ශික්ෂණය ඇති කිරීමට ආගම හෝ සංස්කෘතිය තුළ වෙයි. සංස්කෘතීයෙන් ලැබෙන ශික්ෂණය දරුවාගේ බුද්ධි වර්ධනය සඳහා වැදගත් වෙයි. සංස්කෘතියෙන් ලබාගන්නා දේ පවති. මොළයේ යම් කොටස් වර්ධනයට ඒවා හේතු වෙයි. සංස්කෘතිය කඩාගෙන ගියොත් වන්නෙ තරුණ පරම්පරාව කඩාගෙන වැටීමයි. සංස්කෘතියක් අවශ්‍ය නැති බව ඇතැමුන් තර්ක කරයි. එහෙත් සංස්කෘතිය තුළ විකල්පයන් බිහි විය යුතුයි. ඒ අතරමං වීමට වඩා අලුත් මතවාද අලුත් අදහස් මෙන්ම සංස්කෘතික වටිනාකම් තුළින් අපි පෝෂණය විය යුතුයි. සමාජයක් ලෙස ශිෂ්ටාචාරය කියා දෙන චාරිත්‍ර වාරිත්‍ර වෙනත් සංස්කෘතික අංගයන් තුළින් ලබාගන්නා ශික්‍ෂණය තුළින් ලබන අධ්‍යාපනය වැදගත් වෙයි. මවුපියන් දරුවන්ට ස්වාධීනව සිටීමට තරම් හැකියාවක් ලබා දී තියනවද? ඒ අය ස්වාධීන ජීවත්වන පරිසරය කොතරම් හිතකාමීද? යන සාධක බොහොමයක් අනුව එය තීරණය වෙයි. පුද්ගලයාගේ උපතේ සිට එන සාධක අනුව යහපත් අයහපත් බව තීරණය වෙයි.

වැඩිහිටියෝ ලෙස යෞවනයන් පිළිබඳව තේරුම් ගත යුතුයි. ඒ අයට සවන් දිය යුතුයි. ඒ අය යහපත් වැඩිහිටියෝ බවට පත්කිරීමට නම් අනාගතයේදී වැඩිහිටියන් ලෙස ජීවත්වීමට අවශ්‍ය කුසලතා ඉගැන්විය යුතුයි. මව හා පියාගෙන් ලැබෙන ආභාෂය රැකවරණය මත ආරම්භ කොට පාසලේදී තවත් තීව්‍ර ලෙස පාසලේදී ඉගැන්විය යුතුයි. එවිට නව යෞවනයෙක් නිර්මාණය කිරීම, එම නව යෞවනයා තමන්ට ආදරේ කරන සමාජයට ආදරය කරන වෛර නොකරන කෙනෙක් බවට පත් කර කරගත හැකියි.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division