Home » විදුලියෙන් දුවන රේසිං කාර් එකක් හැදූ මොරටු සරසවියේ හපන්නු

විදුලියෙන් දුවන රේසිං කාර් එකක් හැදූ මොරටු සරසවියේ හපන්නු

by Mahesh Lakehouse
July 6, 2024 12:30 am 0 comment

– Best looking Car සම්මානයෙන් පිදම් ලැබුවේ මෙම නිර්මාණයයි
– මෙම රථය මෙරට රථවාහන ඉතිහාසය තුළ සදා අනුස්මරණීය රථයක්
– ඉන්දියාවේදි ලබාගත්ත ජයග්‍රහණයට වඩා ජයග්‍රහණයක් අනිවාර්යෙන්ම අපි එංගලන්තයේදි ගන්න බලාපොරොත්තු වෙනවා

කාර් රේස් පදින රථ අප ඕනෑ තරම් දැක තිබේ. ඒ අතරින් රේස් යන්නම හැදූ රථ විශේෂය. ඊට හේතුවී ඇත්තේ එහි ඇති ආකර්ෂණීය හැඩයයි. බොහෝ විට අප අසා ඇත්තේ ඉන්ධනවලින් ධාවනය වන රේස් පදින රථය. ඒත් පසුගිය සෙනසුරාදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වාහන ප්‍රදර්ශනයේදී අමුතුම රථයක් දැකගත හැකි විය. මෙම රථය නිර්මාණය කොට තිබුණේ මොරටුව විශ්වවිද්‍යාලය විසිනි.

මෙම රථය මෙරට රථවාහන ඉතිහාසය තුළ සදා අනුස්මරණීය රථයක් වන්නේ නිතැතිනි. ඊට හේතු වන්නේ එම රථය ඉතිහාසගත වනුයේ විදුලියෙන් ආරෝපණය කොට ධාවනය කළ හැකි ලංකාවේ ප්‍රථම ඉලෙක්ට්‍රික් රේස් පදින රථය නිසාය. රථය නම් කොට ඇත්තේ ෆැල්කන් ඊ1 යනුවෙනි. (Falcon – e1)

මෙම රථයේ බඳ මුළුමනින්ම නිපදවා ඇත්තේ ෆයිබර්වලිනි. මෙය මුළුමනින්ම මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂාවෙන් අධ්‍යාපන කටයුතුවල නියැලුණ සිසු සිසුවියන්ගේ නිර්මාණයක් වීම එම ප්‍රදර්ශනය නරඹන්නට ආ දෙස් විදෙස්වල නරඹන්නනට අදහාගත නොහැකි තත්වයක් විය.

මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් මේ වසරේ තම රථය ඉන්දියාවට රැගෙන ගියේ කණ්ඩායම් 39ක් ලොවපුරා විශ්වවිද්‍යාලයීය කණ්ඩායම් සමඟ තරග වැදීමටය. එය අයත් වූයේ ෆෝමියුලා ස්ටුඩන්ට් කැටගරියටය. මොරටුව සිසුන්ගේ මෙම නිර්මාණය තෝරා ගත් මුල් නිර්මාණ 10 අතරට තෝරාගත් අතර තරගාවලියේදී Best looking Car සම්මානයෙන් පිදනු ලැබුවේ මෙම නිර්මාණයන්ය.

මොරටුව විශ්වවිද්‍යාල සිසුන් මෙම රථයේ බොඩිය සැකසීම සඳහා ෆයිබර් දැමීමට අච්චු සාදාගෙන ඇත්තේ MDF හා ඍජුෆෝම් යොදාගෙනය. මොරටු සරසවි සිසුන් මීට පෙරද මෙවැනිම රථයක් නිෂ්පාදනය කළත් එය ධාවනය කරන ලද්දේ පෙට්‍රල්වලින්ය. මුළු ලෝකම ev හෙවත් ඉලෙක්ට්‍රික් වෙහිකල් සංකල්පය කරා ඇදී යද්දි මොරටුව සරසවි සිසුන් මෙම අත්හදා බැලීම කරන ලද්දේ නවීන ලෝකයත් සමඟ යාවත්කාලීන වීම වඩාත් උපයෝගිතාවයෙන් යුතු කාර්යයක් වීම නිසා විය යුතුය. මෙම රථය ගැන ඔබ වරදවා වටහා නොගත යුතු කාරණයක් ද ඇත. එනම් එය 2024 සිසුන් තම අධ්‍යාපන කටයුතු ඇරඹූ පසු කළ තනි නිර්මාණයක් ලෙස ඔබ වරදවා වටහාගත යුතු නැත. මේ නිර්මාණය 2014 සිට 2019, 2020 දක්වා සිසුන් දීර්ඝ කාලයක් තිස්සේ මෙම නිර්මාණය අවසන් නිමාව තෙක් ගෙන ඒමට කළ කැපවීම සටහන් නොකළොත් බලවත් අඩුපාඩුවක් වනු නියතය.

මොරටුව විශ්වවිද්‍යාලයේ මෙම නිර්මාණය සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 14කි. මේ සඳහා අනුග්‍රහය දක්වා ඇති ආයතන ගණන 14කි. බ්‍රැන්ඩික්ස්, ඩයලොග්, මයිකො, ඇලුමෙක්ස්, නිපොන් පේන්ට් ඉන් කිහිපයකි.

මේ වසරේ ඉන්දියාවේ පැවති භාරත් කම්පටිෂන් ෆෝමියුලා ස්ටුඩන්ට්ස් තරගයට තරග වැදුන ලොවපුරා විශ්වවිද්‍යාල ගණන 39කි.

එම තරගාවලියේදී මොරටු සිසුන්ගේ නිර්මාණය හොඳම ව්‍යාපාරික සැලසුම් තරගයේදී පත්වූයේ හතරවැනි තැනටය. එමෙන්ම ඉංජිනේරුමය නිර්මාණාත්මක තරගයෙන් අටවැනි තැනටත්, පිරිවැය හා නිෂ්පාදනය ඇගයීමේදී විශ්වවිද්‍යාල 39ක් අතරින් 15 වැනි තැනටත් පත්විය. මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ මෙම නිෂ්පාදනය කළ පසු ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ මෙම අධිවේගී රථය පදවා බලන්නට කොළඹ මාර්ග නොමැති වීමය. ඉන්පසු මෙම රථය නිපදවූ සිසුන්ගේ පිහිටට ආවේ රත්මලාන ගුවන් තොටුපළ භූමියයි. අවසානයේ රථ ධාවන තරගවලදී සැලකිල්ලට ගන්න සියලු වේගමය සීමාවන් ගැන අත්හදා බලන ලද්දේ රත්මලාන ගුවන් තොටුපළේ ගුවන් පථයේදී සියලු දෙනා විමතියෙන් බලා සිටිත්දීය. බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වූයේ බොහෝ පෙට්‍රල් කාර් ධාවනය වන තරගවලදී වාහනයෙන් නැගෙන කන් කඩාගෙන යන ග් – ග් – ග් ශබ්දය සයිලන්සරයෙන් ඝෝෂාකාරී ලෙස නිකුත් නොවීමය. ඉලෙක්ට්‍රික් රථයක් නිසා මෙම රථයට සයිලන්සරයක් අවශ්‍ය නොවේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ මෙම රථය මීළඟට සැලසුම් කොට ඇත්තේ එංගලන්තයේ 2025දී පැවැත්වෙන ෆෝමියුලා ස්ටුඩන්ට් යූකේ 2025 තරගයට තරග වැදීමටය. Formula Students UK 2025 තරගයට අලුතින්ම රථයක් නිපදවන්නට මොරටු සරසවි සිසු සිසුවියන් දැන් කටයුතු මෙහෙයවමින් සිටී.

මිලියන 13කට අධිකව වැයවන එම නවතම රේසින් කාරය නම් කොට ඇත්තේ ෆැල්කන් e2 ලෙසය. එය දැනට භාවිත කරන මේ රථය තවත් තාක්ෂණික වශයෙන් දැනට නිපදවා ඇති ෆැල්කන් – e1 රථයටත් වඩා යාවත්කාලීන වූ රථයකි. මෙම නව රථයට නම තබා ඇත්තේ ෆැල්කන් – e2 ලෙසය.

ෆැල්කන් e1 රථය සමඟ ඉන්දීය තරගයට සහභාගි වූ මොරටුව සරසවියේ සිසු සිසුවියන් පිරිස 25 දෙනෙකි.

“දැන් එංගලන්තයේ කී දෙනෙක් යන්න ඉන්නවද?” මම මේ රථය වටකර සිටි මොරටු සරසවියේ සිසු සිසුවියන්ගෙන් විමසා සිටියෙමි.

“දැන් 15 දෙනෙක් මොරටු විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියේ එංගලන්තයට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ පිරිසකට එංගලන්තයට යන්නට හා අනුග්‍රාහකයෝ හොයාගන්න එක තමයි දැන් මේ දවස්වල සංවිධානය කෙරෙන්නේ.” එක සිසුවෙකු අප සමඟ පැවසීය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙම මොරටු විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ රථය ප්‍රදර්ශනයේදී අපට මොරටු විශ්වවිද්‍යාලයේ සිසුවියන් ද දැකගත හැකි විය. අප ඒ එක් සිසුවියක සමඟ අමතන්නට අමතක කළේ නැත.

“ඉන්දියාවේ තිබ්බ භාරත් කොම්පටිෂන් ෆෝමියුලා යුනිවසිටි ස්ටුඩන්ට් එකට විශ්වවිද්‍යාල 39ක් තරග වැදුනා. ඒ විශ්වවිද්‍යාල, රටවල් තිස් නමයකම නෙමෙයි. එතෙන්දි මේ අපේ මොරටු විශ්වවිද්‍යාලය නිපදවූ ෆෝමියුලා රථය විශේෂ ඇගයීමකට ලක්වුණා. අපි ඒ අත්දැකීම් අරගෙන තමයි ෆෝමියුලා රථය අප්ග්‍රේඩ් කරල ෆෝමියුලා e2 රථය හදන්නේ. ඉන්දියාවේදි ලබාගත්ත ජයග්‍රහණයට වඩා ජයග්‍රහණයක් අනිවාර්යෙන්ම අපි එංගලන්තයේදි ගන්න බලාපොරොත්තු වෙනවා. මොරටුව සරසවියේ සිසුන්ගේ මෙම නිර්මාණය සැලකෙන්නේ ලංකා ඉතිහාසය තුළ පළමු ඉලෙක්ට්‍රික් වාහන ධාවන තරග රථය ලෙසය. එහි විශේෂත්වය මෙම රථයට අවශ්‍ය අංගෝපාංග ලියවන පට්ටල්වල ආධාරයෙන් මෙම රථයටම සුවිශේෂ අන්දමින් ලියවා තිබීමය. ප්‍රදර්ශනයේදි ලංකාවේ නිෂ්පාදනය කළ එම කොටස් ද ප්‍රදර්ශනයට තබා තිබුණි. ප්‍රදර්ශනයට පැමිණි බොහෝ දෙනා එම අමතර කොටස් අතට ගෙන බැලුවේ එය ඔවුනට අලුත් අත්දැකීමක් වූ නිසාය.

“දැන් මේ කෑල්ල බලන්න. වාහනවලට තොග ගානට නිෂ්පාදනය කරන කොට රු. 20,000/=ක්වත් වෙන්නේ නෑ. ඒත් මේ කොටස මේ වගේ අලුත්ම වාහනයකට නිෂ්පාදනය කරනකොට මෙෂමන්ට් අරන් හදන්න ඕන. ඒක සංකීර්ණ කටයුත්තක්. සමහර කොටසක් හදන්න රුපියල් ලක්ෂ දෙක තුන යන අවස්ථාත් තියෙනවා. අනික ඒක හොඳ පුහුණු ලියවන පට්ටල් කාර්මිකයකුට මිසක් කරන්නත් බැහැ.”

“දැන් මේ ටයරුත් ලංකාවේ හදපු ඒවාද? මේ රේසින් කාර් ටයර්?”

“නෑ නෑ ඒවා ලංකාවේ නෙමෙයි. ලංකාවේ මේ රේසින් කාර් ටයර් හදන්නෙත් නෑ. ඒකට වෙළෙඳ පොළකුත් ලංකාවේ නැහැ. ඒවාට ඉහළ ප්‍රමිතියේ රබර් යොදා ගන්නේ. මේ ටයර් හතරක් විශාල මුදලක් වෙනවා. මේ සඳහා අපට අනුග්‍රහය දැක්වූයේ අපේ අනුග්‍රාහකයෝ තමයි. දැන් අලුතෙන් හදන ෆෝමියුලා e2 රථයේ රෝද මීටත් වඩා ලෝකේ අති දියුණු තාක්ෂණික ක්‍රම යොදල නිපදවල තියෙන්නේ.”

මෙම රථයේ ඇත්තේ ආරෝපණය කළ හැකි ලිතියම් බැටරියකි. ඒ සඳහා යොදා ගෙන ඇති කුඩා බැටරි ප්‍රමාණය 72කි. එමෙන්ම මෙහි තිරිංග ද අධිවේගයෙන් යන රථයට සුදුසු ලෙස නිමවා ඇත. රේස් රථයක් කොතරම් වේගයෙන් ධාවනය කරන්නට සැලසුම් කළත් එහි තිරිංග නොහොත් බ්‍රේක් පද්ධතිය එම රථයේ වේගය අවනත කරන්නට නොහැකි තත්වයක ඇත්නම් එම රථය රේස් ධාවන පථයකට ඇතුල් කිරීම භයානක තත්වයකි. එහෙත් මෙම මොරටු විශ්වවිද්‍යාලයේ සිසුන් නිර්මාණය කළ රථයේ තිරිංග පද්ධතිය ඉන්දියාවේ භාරත් කොම්පටිෂන් ෆෝමියුලා යුනිවර්සිටි ස්ටුඩන්ට් තරගාවලියේදී පවා ඇගයීමට ලක්විය.

මෙවර මේ රථය නිපදවීමට මොරටු විශ්වවිද්‍යාලයෙන් තෝරාගත් සිසු සිසුවියන් පළමු වසරේ සිටීම ද විශේෂත්වයකි. මේ සඳහා සහභාගි වී ඇති මොරටු විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිස 25කි. එම සිසු සිසුවියන් දිවයිනේ විවිධ පළාත්වල උගත් අයය. රාජකීය, ආනන්ද, මලියදේව, මතුගම ආනන්ද ආදී විවිධ පාසල්වලින් උසස් පෙළ සමත්වී මේ සිසු සිසුවියන් මොරටුව විශ්වවිද්‍යාලයට උසස් අධ්‍යාපනය ලැබීමට ඇතුළත් වී තිබුණි.

අත්ට්‍රැක්ටරය සොයා ගනු ලැබුවේ ලංකාවේය. ඒත් අන්තිමට අත්ට්‍රැක්ටරය ලංකාවේ සොයා ගත් බවට ලංකාවේ අයටත් මතක නැත. දැන් ලංකාවේ මේ මොරටු විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ නවතම ෆෝමියුලා e1 රථය ගැන රජයේ අවධානය යොමු කිරීම වටී.

එය ලංකාව ලෝකයට ගෙන යා හැකි අති නවීනතම නිෂ්පාදනයක් ලෙස ලොව පුරා ජයගත හැකි නියම ශ්‍රී ලාංකික යැයි කිව හැකි අපේම රටේ නිෂ්පාදනයක් නිසාය.

ඡායාරූප – රුක්මාල් ගමගේ

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division