Home » ගණිතය ෆේල් වුණ තිලිණ මොනරාගලින් තාක්ෂණ විෂය ධාරාවෙන් පළමුවැනියා වුණ හැටි

ගණිතය ෆේල් වුණ තිලිණ මොනරාගලින් තාක්ෂණ විෂය ධාරාවෙන් පළමුවැනියා වුණ හැටි

by Mahesh Lakehouse
July 6, 2024 12:30 am 0 comment

– උදේට පාරේ කම්කරු රස්සාව කරනවා. රෑට කුඹුරේ පැල් රකිනවා
– පාසලේ තාක්ෂණ විෂය ධාරාව හදාරන්න කිසිම පහසුකමක් තිබුණේ නැහැ. ප්‍රායෝගික පුහුණුවීම් පිටින් කරන්න මුදල් දුන්නේ විදුහල්පති හා ගුරුවරු
– තාක්ෂණ විෂය ධාරාව හදාරලා උපන් ගමට සේවයක් කිරීම අරමුණ වුණා
– ගණිතය ෆේල් නිසා කිසිම පාසලකට මාව ගත්තේ නැහැ

ධ්‍යාපන ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් උසස් පෙළ පාසල් විෂය ධාරාවට 2013 වසරේ සිට තාක්ෂණික විෂය ඉගෙනුම් ක්‍රමවේදය හඳුන්වා දෙන ලදී. සැබැවින්ම මෙය පාසල් අධ්‍යාපන පද්ධතියට නව පෙරළියක් ඇති කරන්නට විය. එදා අධ්‍යාපන ඇමැතිව සිටි බන්දුල ගුණවර්ධනයන් විසින් ඉංජිනේරු තාක්ෂණවේදය හා ජෛව පද්ධති තාක්ෂණවේදය ඇතුළත් මේ නව විෂය ධාරාව පාසල් පද්ධතියට හඳුන්වා දුන්නේ පොත පතේ සිද්ධාන්ත දැනුමින් එහා ගිය අනාගත වැඩ ලෝකයට ප්‍රවිෂ්ට වීමට සිහින දකින දුවාදරුවන්ට සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගික අභ්‍යාසද රැගත් විෂය ධාරාවක් ලෙසිනි.

මේ විෂය හඳුන්වාදීමත් සමඟ කිසිවෙක් පාසල් විෂය ධාරාවෙන් අසමතුන් නොවිණි එදා තාක්ෂණ විෂය ධාරාව ලංකාවට හඳුන්වා දෙමින් එවකට හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධනයන් ප්‍රකාශ කළේ මහින්ද චින්තන ඉදිරි දැක්මේ දැනුම කේන්ද්‍රීය අරමුණ සාක්ෂාත් කර ගනිමින් අධ්‍යාපනයේ හතරවැනි හැරවුමක් ලක්ෂ­්‍යයක් නිර්මාණය කළ බවයි. මෙහිදී අධ්‍යාපන ක්‍රමයේ නව හැරවුමක් නිර්මාණය කරමින් නව තාක්ෂණික විෂය ධාරාවක් උසස් පෙළට එකතු වන අතර ඒ තුළින් පුළුල් පරාසයක් තුළ සිසුන්ට තම සහජ දක්ෂතා අනුව ගමන් කිරීමට මං විවර වන හෙයින් මෙය ලාංකේය අධ්‍යාපන ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් බවට පත්විය.

එදා මෙදාතුර ලාංකීය අධ්‍යාපන ඉතිහාසයේ මේ හතරවැනි හැරවුම හරහා වසර 10කට ආසන්න කාලයක් පුරාවට පාසල් පද්ධතියේ ප්‍රතිඵල නෙළා ගත්තෝ බොහෝය. සාමාන්‍ය පෙළින් පසු පාසලින් විසිවෙන්නට ගොස් රටක් ලොවක් ජය ගත්තෝ බොහෝමය. මේ අතරින් අද බොහෝමයක් දක්ෂ ව්‍යවසායකයෝ වෙති. නව නිපැයුම්කරුවෝ වෙති. මේ නව විෂය ධාරාව හරහා එදා සිට අද දක්වා තැණුනු මං බොහෝය. එවන් සුවිශේෂි කතාද අප අසා ඇත්තෙමු.

ඌව පළාතේ, මොනරාගල පැල්වත්ත නවෝද්‍යා මහ විදුහලින්ද අසන්නට ලැබෙන්නේ එවන් වූ සුවිශේෂි කතාවකි. තවමත් 6 සිට 13 දක්වා පන්ති පැවැත්වෙන සිසුන් 1447 දෙනෙක් ඉ‍ෙගනුම ලබන මේ පාසලේ ඉතිහාස කතාව වෙනස් කරන්නේ තවත් තාක්ෂණවේදය හැදෑරු සුවිශේෂි දරුවෙකු නිසාය. ඔහු යුද ගනාව ජනපදයේ පදිංචි තිලිණ ධනංජය ය. මොනරාගල, පැල්වත්ත නවෝද්‍යා මහ විදුහලේ උසස් පෙළ තාක්ෂණ විෂය ධාරා පහම ක්‍රියාත්මක වුවද තාක්ෂණ විෂය ධාරාව හැදෑරීම සඳහා ඔහු ඊට ඇතුළත් වන්නේ යුදගනාව විදුහලෙනි. සාමාන්‍ය පෙළ ගණිත හා ඉංග්‍රීසි යන විෂයන් දෙකම අසමත් වූවද තිලිණ ජීවිතය ජයගත්තේ පැල්වත්ත නවෝද්‍යා මහ විදුහලෙනි.

යුදගනාව ජනපදයේ ජිවත්වන තිලිණගේ පියා ඩී. එම් තිලකරත්න ගොවිතැන් කරන අතර මව කාන්ති පුෂ්පලතා පියනන්නද කනිෂ්ඨ විදුහලේ ගුරුවරියකි. ජනිත් ප්‍රබුද්ධික නම් එකම සහෝදරයා යුදගනාව ප්‍රාථමිකයේ අධ්‍යාපනය ලබයි. තිලිණ යුදගනාව පාසලේ සාමාන්‍ය පෙළ හැදෑරුවද ඔහුට විභාගයෙන් ගණිතය හා ඉංග්‍රීසි සමත් වන්නට හැකියාව ලැබෙන්නේ නැත. උසස් පෙළට ඇවැසි ප්‍රධාන විෂයන් දෙකක් අසමත් වුවද ජීවිතය දිනා ගැනීමට මංපෙත් විවර වන්නේ පැල්වත්ත නවෝද්‍යා මහ විදුහලෙනි. ඊට ඉඩ හරස විවර වන්නේ විදුහල්පති වි. මූ .නන්දසේන නිසාය. ගණිතය අසමත් වුවද ගණිතය සමත් කරවන අදිටනින් තිලිණ ඒ පාසලට ඇතුළත් වන්නේ තාක්ෂණ විෂය ධාරාවේ ජෛව පද්ධති විෂය හැදෑරීම සඳහාය. අවසානයේ ඔහු දිස්ත්‍රික් සමතුන් අතරින් ඉහළට තැනට පත් වන්නේ තාක්ෂණ විෂය ධාරාවෙන් මොනරාගල දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වෙමිනි.

“ පාසලේ දෙක තුන වසර වෙනකම් මට අකුරක්වත් ලියන්න බැහැ. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයෙන් ලොකු ලකුණක් ගත්තතේ නැහැ. සාමාන්‍ය පෙළ විභාගයේදි මම ආස විෂයන්වලට මහන්සි වුණත් ගණිත, විද්‍යාව වගේම ඉංග්‍රීසි යන විෂයන්වලට උගන්වන්නට හරිහමන් ගුරුවරු හිටියේ නැහැ. ගණිතය උගන්වන්න හිටියේ තොරතුරු තාක්ෂණ උගන්වන ගුරුවරයෙක්. විද්‍යාව උගන්වපු ගුරුවරයා වෙන පාසලකට මාරු වී ගියා. සාමාන්‍ය පෙළ ටියුෂන් එකකට පවා යාමට අපිට වත්කමක් තිබුණේ නැහැ. අම්මා හම්බ කරන පඩියෙන් තමයි හැමදේම කළේ. මෙහෙම බාධක මැද්දේ සාමාන්‍ය පෙළ කරලා ප්‍රතිඵල ආවේ ගණිතය ඉංග්‍රීසි අසමත් වෙලා. විද්‍යාවට එස් තිබ්බේ. අපේ පන්තියේ ළමයි 35කගෙන් ගණිතය පාස් වුණේ 14ක් පමණයි.

විදු­හ­ල්පති වි. මූ .නන්ද­සේ­න සහ තිළිණගේ මව

විදු­හ­ල්පති වි. මූ .නන්ද­සේ­න සහ තිළිණගේ මව

ගණිතය ෆෙල් වීම මට උසස් පෙළ හැදෑරීමට බාධාවක් වුණා. ගණිතය ෆේල් නිසා හැමෝම මට කිව්වේ “ උඹට දැන්නම් කලා විෂයන් තමයි කරන්න වෙන්නේ කියලා.“ගමේ හිටිය මගේ යාළුවෝ 12ම ගණිතය පාස් වුණා. මම විතරයි ෆේල් වුණේ. එදා ඒ හැමෝම පාටි දාද්දි මට හරියට දුක හිතුණා. එදා රෑ මම හිතාගත්තා ඔයාලා අද සතුටු වෙනවා නම් මම හෙට සතුටු වෙනවා. උඹලා පාස් වුණේ පොඩි තැනකින්. මම ලොකු තැනින් පාස් වෙනවා කියලා” අධිෂ්ඨානයක් ඇති කර ගත්තා. එදා ඉඳලා මම පාඩම් කරන්න පටන් ගත්තා. ඒත් මට උසස් පෙළ කරන්න පාසලක් තිබුණේ නැහැ. පාසල් කිහිපයකට ගියා. කිසිම පාසලකින් ගත්තේ නැහැ, ගණිතය අසමත් වෙලා තිබුණ නිසා. පසුව මම පැල්වත්ත නවෝද්‍යා පාසලට ගියා. තාක්ෂණ විෂය ධාරාව කරන්න ලොකු ආසාවක් මේ වන විට මට තිබුණා. මම පැල්වත්ත පාසලසට ගිහින් ලොකු සර් හමුවුණා. මේ වන විට ගණිතය ෆේල් අය 15 ක් පමණ හිටියා. “ කමක් නැහැ. ඔයාලා මේ පාසලට එන්න. ගණිතය ෆේල් වුණත් ජීවිතය ෆේල් වෙන්නේ නැහැ. පාසලට ඇවිත් කැමති විෂයක් හදාරන්න. නමුත් ඊළඟ අවුරුද්දේදි මගේ ඇඟ බේරලා ගණිතයත් පාස් වෙන්න “කියලා ලොකු අවවාදයක් දුන්නා. ලොකු සර් දුන්නු ඒ ‍ෙධෙර්යයයෙන් අපි වැඩ කරන්න ගත්තා. සාමාන්‍ය පෙළ ගණිතය සඳහා පාසලේ වෙනමම ගුරුවරයෙකු වෙන් කළා. සවස් වෙනකම් ගණිතය පන්ති ක‍ළා. අවසානයේ අපේ පාසලේ ගණිතය ෆේල් වුණ 33 දෙනාගෙන් 30ක්ම ගණිතය පාස් වුණා. මගේ ඉලක්කය තිබුණේ ගණන් සමත් කරගෙන උසස් පෙළ මුල් 10 අතරට එන්න.. ”

ජීවිතය ජය ගැන්මට බාධාවන් තිබුණද ඒ සියල්ලටම මුහුණ දෙන්නට තිලිණට හැකිවිය. තාක්ෂණවේද විෂය ධාරාවෙන් උසස් පෙළට මුහුණ දුන්නද පාසලේ පහසුකම් අවම විය.

“ අපේ පාසලේ කිසිම පහසුකමක් තිබුණේ නැහැ. පොඩි කාමරයක් සුද්ද කරලා පන්ති කාමරයක් සකස් කර ගත්තා. වයිට් බෝඩ් එකක්වත් තිබුණේ නැහැ. පන්තිවලින් ඉවත් කරපු බෝඩ් කෑලි එකතු කරලා තමයි බෝඩ් එකක් සකස් කර ගත්තේ. ගුරුවරු අපෙන් මුදල් ගත්තේ නැහැ. ඒ අය මුදල් දාලා ෆොටෝ කොපි පවා අපිට ගසා දුන්නා. ආහාර තාක්ෂණය කරන්න කිසිදු උපකරණයක් පවා ආහාර කපන්න පිහියක් හෝ තිබුණේ නැහැ. ෆාම්වලට පවා එක්ක ගෙන ගියේ ලොකු සර්ගේ වියදමින්. ඒකට යුතුකමක් කරන්න මට ඕන වුණා. ඒත් මම නොහිතපු පරිදි දිස්ත්‍රික්කයෙන් එක වුණා. ඉසෙඩ් අගය 1.9247ක් වුණා. මම පාඩම් කළේ ගුරුවරයෙකු පන්තියක උගන්නවනවා වගේ. විභාගය ලියලා ඉවර වෙද්දි පොහොර බෑග් භාගයක මාකර් පෑන් හා තීන්ත බෝතල් ඉවත් කළා”

තිලිණ ඇතුළු දරු පිරිසට මේ අවස්ථාව ලබා දුන්නේ නවෝද්‍යා මහ විදුලේ වි. මූ .නන්දසේන විදුහල්පතිතුමාය. සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වීම බාධාවක් වී පාසල් ගණනාවකින් ඇතුළත් වීම ප්‍රතික්ෂේප වූ මේ දරුවන්ට අවස්ථාව විවර කර දුන්නේ ඔහුය.

“ මේ පාසලේ අධ්‍යාපනය ලබන්නේ මොනරාගල කලාපයේ අති දුෂ්කර පළාත්වල ජිවත් වන දරුවෝ. වැල්ලවාය මෙන්ම බුත්තල ජාතික පාසල් පසුකරමින් කිලෝ මීටර් 10ක් දුර ගෙවා ගනිමින් මේ පාසලට පැමිණෙන්නේ තමන්ට සාමාන්‍ය පෙළ හැදැරීමට අවම සුදුසුකම් හෝ නොමැති නිසායි. ඉහළ සාමාර්ථ ගත් දරුවෝ යන්නේ ආසන්නයේ වූ ජාතික පාසල්වලට. තිලිණ වැනි ඌණ සාමාර්ථ ගත් දරුවෝ ඇතුළත් වන්නේ මේ පැල්වත්ත නවෝද්‍යා පාසලට. තිළිණ මුලින්ම ගියේ යුදගනාව පාසලට. මෙ දරුවා ගණිත හා ඉංග්‍රීසි විෂයන් දෙකම අසමත් වෙලා හිටියේ. නමුත් මෙවැනි දරුවන්ට විදුහල්පති අභිමතය පරිදි අදාළ පාසලට ඇතුළත් වී ඌණ සාමාර්ථ විෂයන් සමත් කරගෙන උසස් පෙළ ලිවීමේ අවස්ථාව පවතිනවා. මම මේ දරුවත් එක්ක තවත් දරුවන් තිස් තුන් දෙනෙක් ගත්තා. මේ දරුවෝ තාක්ෂණ විෂය ධාරාව හැදෑරුවා. තිලිණ හැදෑරුවේ ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවයි. අපේක්ෂිත සාධන මට්ටමට ගැනීමට සවස් කාලයේත් මේ දරුවන්ට අමතර පන්ති කරමින් නිරතම මේ දරුවන්ව මම අධීක්ෂණය කළා. පසුව තිලිණ අසමත් වූ ගණිත විෂයට බී සාමාර්ථයක් ගත්තා. ගණිතය අසමත්ව මේ පාසලට උසස් පෙළට පැමිණි 33 දෙනාගෙන් 30 දෙනෙක්ම ගණිතය සමත් වුණා. තිලිණගේ හිතේ නිතරම කැකෑරෙන දෙයක් වුණේ ගණිතය ෆේල් වූ නිසා කිසිදු පාසලකින් තමන්ට උසස් පෙළ අවස්ථා ලබා නොදීම ගැන. එයාට මම කිව්වේ ගණිතය ෆේල් වුණාට ජීවිතය ෆේල් නැහැ කියලා. ජීවිතය ගොඩ දාගන්න මම අවස්ථාවක් දෙන්නම් කිව්වා. තාක්ෂණ විෂය හදාරන්න තිලිණ ගොඩාක් මහන්සි වුණා. ඔහු දිස්ත්‍රික්ක්යේ පළමු වැනියා වුණා. උසස් පෙළ ඉහළින්ම පාස්වෙලා ආවට පස්සෙයි අපි දන්නේ ඔහුට ලොකු ටාර්ගට් එකක් තිබුණා කියලා . මේ විෂයට අපේ පාසලේ ගුරුවරු ගොඩාක් දක්ෂයි. අපි දුන්නු අවස්ථාව ගැන විශාල ගෞරවයක් තිලිණගේ හිතේ තිබුණා. දිස්ත්‍රික්කයේ පළමු වැනියා වී ගෞරවයක් ලබා දෙන්න හැකිවුණා. තිලිණ මේ සියලු ජයග්‍රහණ කළේ ඉතා අඩු පහසුකම් යටතේයි. මේ විෂය ධාරාවේ විභාගයට ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා. ජෛව තාක්ෂණ පීඨයක් හෝ විද්‍යාගාර පහසුකම් කිසිවක් අපේ පාසලේ නැහැ. පන්ති කාමරයක් පමණයි තිබුණේ. මේ නිසා මේ ප්‍රායෝගික පරීක්ෂණ කරන්න බණ්ඩාරවෙල, මොනරාගල යන්න වුණා. එහෙම යනකොට විශාල වියදමක් දරන්න වුණා. සමහර තැන්වලට යන කොට අවශ්‍ය උපකරණ පවා අපේ වියදමින් අරගෙන යන්න වුණා. ඒ ගමන් ගියේ මුදල් එකතු කරමින් “ ඒ විදුහල්පති වි. මූ .නන්දසේනය.

අගහිඟකම් මැද තිලිණ උසස් පෙළට මුහුණ දුන්නේය. තමාගේ අරමුණ වෙත ගිය වහාම ජීවිතේ බර ඔහු කරට ගත්තේය. දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වී උපන් ගමට නගරයට කීර්තියක් ගෙන දී ඉන් අනතුරුව ඒ සියල්ල මඳකට පසෙක ලා දිනකට රුපියල් 1000ක පමණ වැටුපක් ලබන කම්කරු රැකියාවකට ගියේ මවට බරක් නොවී තමන්ගේ වියදම පියවා සොයාගැනීමටය. ඔහු අමතර ආදායමක් ලබන්නට කුඹුරක් කරන්නට පටන් ගත්තේය. දහවල් අව්වේ වේළෙමින් සුළු රැකියාවක් කළ තිලිණ රාත්‍රී කාලය ගත කරන්නේ කුඹුරේ ඇති කුඩා පැලේය. කුඹුරේ පැලේ පැල් රකින්නේ වියළි කාලයේ කුඹුරට එන වතුර ලබා ගන්නටය. මේ නිසාවෙන් ඔහු හා දුරකතනයෙන් සම්බන්ධ වන්නට ඇති ඉඩ කඩ සීමිතය.

“ මම කුඹුරේ පැල් රැකලා පාන්දර ගෙදර ආවේ….“ තරුණයෙකු වූ තිලිණගේ කතාව අපි මවිත කරවන සුලුය. ජීවිතය ෆේල් කර ගන්නට අකමැති වූ තිලිණ සිය කටුක අත්දැකීම් පවසන්නේ සතුටිනි. ඒ සියල්ල ඔහුට ජීවිතයේ තවතවත් පන්නරයක් බව ඔහු පවසයි. ඔහුගේ එම අධිෂ්ඨානය සහ ආත්ම ශක්තිය ජීවිතයේ සුන්දර ඉසව්වක් කරා ගෙන යනු නොඅනුමානය,

“ මම රෑට කුඹුරේ ඉන්නේ. කුඹුරට වතුර ගන්න. සමහරු කුඹුරට වතුර වැඩියෙන් හරවා ගන්න නිසා කුඹුරෙ අයිතිකාරයා රෑට කුඹුරේ සිටිය යුතුයි. මමත් කෙනෙක්ගෙන් ඉල්ලා ගෙන කුඹුරක් කරනවා. පාරක කම්කරු වැඩක් කරනවා. දවසට රුපියල් 1000ක් හම්බ වෙනවා. මේ සල්ලි මගේ වියදමට මම පොතකට එකතු කරනවා. තොරතුරු තාක්ෂණය පැත්තෙන් ඉදිරියට යන්න ආස වුණත් දවල් වරුවේ පාරේ ජොබ් එක කරන නිසා ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. අම්මට මල්ලිට වියදම් කරන්න තියෙන නිසා මම මගේ මහන්සියෙන් කීයක් හරි එකතු කරනවා. “ ඒ තිලිණගේ ඉරණමය.

“ පුතා කුඩා කාලයෙ දක්ෂ දරුවෙක් නෙමෙයි. පන්තිවලට පවා යවන්න පුළුවන් ආර්ථික ශක්තියක් අපිට තිබුණේ නැහැ. සාමාන්‍ය පෙළ ගණිතයට එස් එකක් පුතා බලාපොරොත්තු වුණත් එයා ගණිතය ඉංග්‍රීසි ෆේල් වුණා. ඒත් එයාට ඕන වුණා ගණිතය සමත් කරවාගෙන උසස් පෙළට තාක්ෂණ විෂය හදාරන්න. පාසල් කිහිපයකට ගියත් පුතාගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප වුණා. පැල්වත්ත නවෝද්‍යා පාසල තමයි එයාට මේ අවස්ථාව ලබා දුන්නේ. ඒ පාසලේ විදුහල්පතිවරයා නිසා පුතා උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව කැමැත්තෙන් ඉගෙන ගත්තා. පන්ති සල්ලි හෝ ගෙවා ගන්න මට විදියක් තිබුණේ නැහැ. අපේ ගේ ගාව සිට මහ පාරට කිලෝ මීටර තුනක් විතර තියෙනවා. අතේ සල්ලි නැති වුණාම මේ දුර පයින් ගිහින් මොනරාගල පන්තිවලට යනවා. එයා රෑට නිදා ගන්නේ නැහැ. කෑම කන්නේ නැහැ. නින්ද යනවා කියලා. නිදා ගත්තේ පැයක් දෙකක් විතරයි. අපි කවදාවත් දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වෙයි කියලා හිතුවේ නැහැ. මමත් පුතා ළඟට වෙලා ඇහැරගෙන ඉන්නවා. ඒත් අද මට අදහා ගන්න බැරි සතුටක් ඇතිවුණා.” තිලිණගේ මව පවසන්නීය.

ඇය පවසන පරිදි ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාව හැදෑරීම නිසා තිලිණගේ සැඟවුණු දක්ෂතාවයක් එළියට ආ බවයි. මේ විෂය ධාරාව හඳුන්වා දීමෙන් කිසිවෙකුත් අසමතුන් නොවී රැකියා මාර්ග ඇති ක්ෂේත්‍ර විවර කර ගන්නට හැකි වූ බවයි.

“ මම තොරතුරු තාක්ෂණය අංශයෙන් ඉහළට යන්න ආසයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉල්ලුම් කළා. තාමත් ලැබුණේ නැහැ. කෘෂිකර්මය කරලා මගේ බුත්තල ගමට සේවයක් කිරීම අරමුණයි. තාක්ෂණය හරහා කෘෂි කර්මයට අපේ ගමේ අය නැඹුරු කරවලා ලොකු දෙයක් ගමට කරන්න ඕන.” තිලිණගේ අධිෂ්ඨානය අරමුණ එයයි.

තිලිණ වැනි දක්ෂ දරුවන්ට මාර්ගයක් සැකසූයේ මේ නව විෂය ධාරාවෙනි. එදා මේ විෂය ධාරාව හඳුන්වා දී නොතිබුණේ නම් ඔවුන්ට මං පෙත් විවර වන්නට ඉඩ සැලසෙන්නේ කලා විෂය ධාරාවෙනි. එහෙත් සියල්ල සුබවාදී ලෙස සිදුවූවද කලා විෂය හදාරා රැකියා ප්‍රශ්නයන්ට මුහුණ දෙන්නට සිදුවිම අලුත් දෙයක් නොවේ. මේ නව විෂය ධාරාවන් හරහා අද නොසිතූ පරිදි රැකියා අවස්ථාද විවර වී ඇත්තේය. එහෙත් ලිපිය අවසන් කරන්නට මත්තෙන් තිලිණ වැනි දක්ෂ දරුවෙකුගේ ජීවිතයට සවියක් වන්නට ඔබටත් අවස්ථාව විවර වී ඇති බව කිවයුතුමය. උසස් පෙළ දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වූ ඔහුට ඉදිරි ගමනට ඇවැසි දේ ඇත්නම්, ඒ සඳහා මිල මුදල් ඇත්නම් පාරේ කම්කරු රැකියාවක් කරන්නට හෝ රාත්‍රියේ කුඹුර මුර කරන්නට ඇවැසි වන්නේ නැත. මේ සියල්ල මැද ඔහු එවන් දුෂ්කර ගමනකට මුල පුරා ඇත්තේ ඊට සරිලන ආර්ථික ශක්තියක් නොමැති නිසාවෙනි. මේ තාක්ෂණ විෂය ධාරාවෙන් උසස් පෙළින් මොනරාගලට එක පළමු තැන ගෙන දුන් තිලිණ පුතුට ශක්තියක් වන්නට ඔබට හැකිනම් එය විශාල පිනකි.

තිළිණ උගත් පැල්වත්ත මහ විදුහල හා තාක්ෂණික කාමරය

තිළිණ උගත් පැල්වත්ත මහ විදුහල හා තාක්ෂණික කාමරය

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division