Home » තෙලන්ගනාවේ සිරි අසිරි විඳිමි

තෙලන්ගනාවේ සිරි අසිරි විඳිමි

by Mahesh Lakehouse
July 6, 2024 12:30 am 0 comment
හයි­ද්‍රා­බා­ද් නගරය, නිසාම්වරුන්ගේ මාලිගාවේ රාජාසනය සහ අප කණ්ඩායම වරංගල් සංචාරයේදී

– ආර්ථික දියුණුව සමඟ සංස්කෘතිය වෙනස් කිරීමට නොසිතූ ජාතියක්
– උණුසුම් බිස්කට් සමඟ තොල කට පිච්චෙන උණු උණු චායි තේ
– හයිද්‍රාබාද් ගුවන් තොටුපලෙන් පිටත පැමිණි අවස්ථාවේ සිටම අපට හිමිවූවේ උණුසුම් පිළිගැනීමකි

න්ද්‍රා ප්‍රදේශයෙන් වෙන්කර, ඉන්දියාවේ වෙනම ප්‍රාන්තයක් බවට පත් කෙරුණු තෙලන්ගනාවට මම පා තබා සිටිමි. ඉන්දියාවේ ප්‍රාන්ත ප්‍රමාණය මීට වසර දහයකට පෙර 29 දක්වා වැඩි වූයේ තෙලන්ගනාව සමඟිනි. නව ප්‍රාන්තයේ අගනගරය වනුයේ හයිද්‍රාබාදයයි.

නන්දි ගවයාගේ පිළිරුව

නන්දි ගවයාගේ පිළිරුව

ඉන්දියාවේ සම්භාව්‍ය භාෂාවක් ලෙස ගැනෙන තෙලන්ගනාවේ රාජ්‍ය භාෂාව වන තෙළිඟු, ප්‍රාන්තයේ ජනගහනයෙන් බහුතරයකගේ මව් භාෂාව ද වේ. මෙහි බහුතරය හින්දු ආගමිකයන් වන අතර මුස්ලිම් ආගම අදහන්නන් ද වේ. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සිටින නගරවලින් සිව්වැනි ස්ථානයේ පසුවන හයිද්‍රාබාදයේ නගර සීමාවේ පමණක් මිලියන 6.9ක ජනගහනයක් වාසය කරති. අමෙරිකානු ඩොලර් බිලියන 74ක ආර්ථිකයක් සහිත හයිද්‍රාබාදය ඉන්දියාවේ පස්වන විශාලතම නාගරික ආර්ථිකයට ද හිමිකම් කියයි.

වසර දහස් ගණනක් පැරණි මෙන්ම අදට ද පවතින ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මිතුදමට අමුතු අටුවා ටීකා ඇවැසි නැත. ඉන්දියා රජය අප රටට පිරිනමන සෙනෙහසේ දෑත් මෙවර දිගු වූයේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් වෙතටය. ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතා (ITEC) වැඩසටහන යටතේ ඉන්දීය රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් තෙලන්ගනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර පිහිටි ආචාර්ය මරිච්චන්න රෙඩ්ඩි මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් සඳහා පවත්වනු ලබන මාධ්‍ය කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනට සහභාගි වන ශ්‍රී ලාංකික කණ්ඩායම මා ද ඇතුළුව 29 කි.

හයිද්‍රාබාද් ගුවන්තොටුපළෙන් පිටතට පැමිණි අවස්ථාවේ සිටම අපට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි. ඒ ශ්‍රී ලංකාව කෙරෙහි ඔවුනගේ ඇති ළයාදර සහෝදරත්වයේ සලකුණුය. හයිද්‍රාබාදයේ නවීන ගුවන්තොටුපළේ සිට ජුබිලි හිල්හි පිහිටි එම්. සී. ආර්. මානව සම්පත් සංවර්ධන ආයතනය දක්වා මාර්ගය දෙපස වූ අහස සිඹින උස ගොඩනැගිලි පසු කරමින් විනාඩි හතළිහකින් පමණ අපගේ නවාතැනට පැමිණියෙමු.

දේශපාලනඥයන්, චිත්‍රපට නළු නිළියන්, ව්‍යාපාරිකයන් වාසය කරන ජුබිලි හිල්හි ඇත්තේ නිවාස නොව මාලිගාය. ඒවා පසු කරමින් අප පැමිණ සිටින එම්. සී. ආර්. මානව සම්පත් සංවර්ධන ආයතනය අක්කර තිස් තුනක් වූ ඉතාමත් නිස්කලංක මනරම් පරිසරයක පිහිටියේය. තෙලන්ගනා ප්‍රාන්තයේ රජයේ සේවකයන් සහ නිලධාරීන් පුහුණු කිරීම සඳහා 1976 දී ආරම්භ වූ මෙම ආයතනය අප වැනි විදේශ රටවල මාධ්‍ය ක්ෂේත්‍රයේ නියුක්තිකයන්ට පුහුණු වැඩසටහන් ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකාවට හිමි වූයේ එහි තුන්වැනි වැඩසටහනයි. මීට පෙර එම අවස්ථාව ලබා සිටියේ වියට්නාමයේ සහ දකුණු අප්‍රිකාවේ මාධ්‍ය වෘත්තිකයන්ය.

ආයතනයට පැමිණි අප පිළිගනු ලැබුවේ සාම්ප්‍රදායික හින්දු ක්‍රමයටයි.

අපට නවාතැන් ලැබුණේ එම්. සී. ආර්. මානව සම්පත් සංවර්ධන ආයතනයේ සුඛෝපභෝගී නේවාසිකාගාරයේය.

උදෑසන හයයි තිහට සියොතුන්ගේ ගී නාදය අසමින් අප වෙනුවෙන්ම පැවැත්වෙන යෝගා ව්‍යායාම් අභ්‍යාසවල යෙදීමටත් පෙරවරු නවයයි තිහට ආයතනයේ අක්ෂාරා පරිපාලන ගොඩනැඟිල්ලේ පැවැත්වෙන දේශනවලට සහභාගි වීමටත් කාලසටහන සැකසී තිබිණි.

ලොව සුපතළ හයිද්‍රාබාද් බුරියානිවල රසය සෑම දිනකම විඳීමට අපට අවස්ථාව ලැබී තිබේ. නාන්, චපාති, පූරි, ඉට්ලි, තෝසේ, වඩේ, පනීර්, පොන්නි රසය මේ දිනවල අපට සමීපය. තවත් බොහෝ ඉන්දියානු සූපවේදයේ රසයෙන් අපට අඩුවක් නැත.

මෙවන් සටහනක් අවසානයේ කිව යුතු දෙයක් වුව ද එය ආරම්භයේම පැවසිය යුතු බව සිතමි. අප නොරටක සිටින බවට නොදැනෙන පරිදි සියලු පහසුකම් ලබා දෙමින් අති සාර්ථක වැඩසහටනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මෙම පුහුණු වැඩසටහනේ පාඨමාලා අධ්‍යක්ෂ සහ ප්‍රධානී ආචාර්ය මාධවී රවුලපතිට විශේෂ ස්තූතිය හිමි කළ යුතුය. එසේම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සහ තෙලන්ගනා ප්‍රාන්තයේ ප්‍රධාන ලේකම් ෂශන්ක් ගොයෙල්, අප සමඟ ක්ෂේත්‍ර සංචාරවල යෙදුණු ආයතනයේ සහකාර මහාචාර්ය, ආචාර්ය සුකුමාර් සහ ආචාර්ය සුරේෂ් කුමාර්ට මෙන්ම දේශන මාලාවේ ප්‍රධානි ලෙස කටයුතු කළ චන්ද්‍රා ජයෝතිට ද ස්තූතිය පුද කළ යුතු වන්නේය. අප සහභාගි වන සෑම ක්ෂේත්‍ර චාරිකාවකදීම අපත් සමඟ ගොස් ඡායාරූප ගන්නා (සෑම ස්ථානයකදීම සමූහ ඡායාරූපයක්ද ගැනීමට ඔහු අමතක නොකරයි.) ශරත්ට ද, දේශන ශාලාවේ සහ ක්ෂේත්‍ර චාරිකාවලදී අපට සහය වූ රාකේෂ්ට ද ස්තූතිය අඩු කළ යුතු නොවේ.

පළමු දිනයේ දේශනවලින් පසු රාත්‍රියේ අප පිළිගැනීම සඳහා තෙලන්ගනාවේ සාම්ප්‍රදායික නර්තනයෙන් හැඩගැන්වුණු සංස්කෘතික සංදර්ශනයක් පැවැත්විණි. ඉන්දියාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මගේ සිතේ‘ ගීතයට ද එහිදී නර්තනයක් ඉදිරිපත් කෙරුණේ ශ්‍රී ලංකාවේ අප අමන්දානන්දයට පත් කරමින්ය. මැණිකේ මගේ සිතේ ගීතය ගැන කියන්නට ඉන්පසුව ලැබුණු අවස්ථාව ගැන පසුව සඳහන් කරමි.

දෙවන දිනයේ දිවා ආහාරයෙන් පසු අපට හයිද්‍රාබාදයේ පැරණි නගරයට යාමට අවස්ථාව හිමි විය. අපි යන අතරමග හයිද්‍රාබාදයේ අන්තර්ජාතික ලාල් බහදුරී ක්‍රිකට් ක්‍රීඩාංගණය ද පසු කළෙමු.

1951 දී ඉදි කෙරුණු හයිද්‍රාබාදයේ සලකුණක් වන චාර්මිණා (කුලුනු හතර) නමැති විශාල ආරුක්කු හතරකින් සමන්විත ස්මාරකය පැරණි නගරය මැද විරාජමානව සිටී. තෙලන්ගනාවේ නිල ලාංඡනයට ද ඇතුළත් වන චාර්මිණා ස්මාරකය හයිද්‍රාබාදයේ සංචාරක ආකර්ෂණය බෙහෙවින් දිනාගත් ස්ථානයක් වන්නේය. මුස්ලිම්වරුන් බහුල එම ප්‍රදේශයේ මක්කා මස්ජිඩ් දේවස්ථානය පිහිටා ඇත. චාර්මිණා කුලුන ඉන්දියාවේ පුරාවිද්‍යාත්මක සහ වාස්තු විද්‍යාත්මක වස්තුවක් ලෙස සැලකේ. එය අවට ප්‍රදේශයේ ඇති ලාඩ් නමැති වෙළඳපලේ ඇඳුම්, බෑග්, සපත්තු මෙන්ම මාල, වළලු වැනි විසිතුරු දේ මිලදී ගත හැකිය. මුතුමාල බව කියමින් ප්ලාස්ටික් මාල, සංචාරකයන්ගේ ඇඟේ ගසන වෙළෙන්ඳුන්ගෙන් එහි අඩුවක් නොමැත. බිස්කට් සමඟ පිරිනමන තොල කට පිච්චෙන තරම් උණු චායි තේවල රසය ද එහිදී අපට විඳීමට ලැබිණි. එහි තේ බිමට ඇත්තේ බේකරිය. බේකරිය ඉදිරිපිට පාරේ තබා ඇති උස වානේ මේස වටේ සිටගෙන චායි තේ බීම අමුතු අත්දැකීමක් විය. කුළුබඩුවල රසය පිරි චායි තේ සමඟ පිරිනමන බිස්කට් ගැන කිව යුතුමය. උදුනෙන් බා වැඩි වෙලාවක් නැති බව සාක්කි දරන උණුසුම් බිස්කට්වල යන්තම් පැණි රස සහ ලුණු රස කැටිවී තිබිණි. අපේ රටේ තේ එකක් බීමට හෝටලයකට ගොඩ වුවහොත් කෑමට ඇත්තේ නානාප්‍රකාර කෙටි කෑම පමණි. බිස්කට් කන්න නම් පැකට් එකක්ම ගත යුතුය. හයිද්‍රාබාදයේ ක්‍රමය හොඳ බව සිතමි. අනතුරුව අප පිවිසියේ හයිද්‍රාබාදයේ නිසාම්වරුන්ගේ මාලිගාවටයි. 1720 සිට 1948 දක්වා පාලන බලයේ සිටි නිසාම්වරුන්ගේ නිල නිවෙස වන මෙය චාර්මිණා කුලුනට ඉතා ආසන්නයෙන් පිහිටියේය. 18 වැනි සියවසේ අග භාගයේ (1750) ඉදි කිරීම ආරම්භ වූ මෙහි ඉදිකිරීම් අවසන් වීමට බොහෝ කාලයක් ( 1869) ගත වූ හෙයින් දශක ගණනාවක් පුරා පැවති වාස්තු විද්‍යාත්මක ශෛලීන් සහ බලපෑම්වල එකතුවක් ලෙස දැකිය හැකිය.

පෙර පැවති යැයි සිතිය හැකි අසිරිය අද මාලිගාවේ දක්නට නොමැත. කෙසේ වෙතත් එදවස නිසාම්වරුන් ගත කළ අති සුඛෝපභෝගි ජීවිතයේ සලකුණු මැකී ගොස් නැත. හයිද්‍රාබාදයේ මාලිගාව වර්තමානයේ කෞතුකාගාරයක් ලෙස සංචාරකයන්ට දැක බලා ගැනීමට විවෘතය. නිසාම්වරුන් කාර් රථ 450 ක් භාවිත කර ඇති බව අප සමඟ ගිය මඟ පෙන්වන්නා සඳහන් කළේය. එයින් කොටසක් අදත් ප්‍රදර්ශනයට තබා තිබේ. එහි ඇත්තේ රොයිස් රෝවර් වැනි අති සුඛෝපභෝගී වාහනයි. මෙහි ඇති කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති දේ මඟින් හයිද්‍රාබාදයේ ආරම්භය සහ පරිණාමය, ප්‍රාන්තයේ සංවර්ධනය සඳහා නිසාම්වරුන්ගේ වටිනා දායකත්වය සහ රාජකීය පවුලේ සමාජ ජීවන රටාව අපූරුවට නිරූපණය වී තිබේ.

දෙවන දිනයේ උදේ වරුවේ පැවති දේශනවලින් පසු අනතුරුව දහවල අප ගියේ හයිද්‍රාබාදයේ සිට කිලෝමීටර් 11 ක් දුරින් පිහිටි වරංගල් ප්‍රදේශයේ පිහිටි ගොල්කොණ්ඩා කොටුව නැරඹීමටයි. එය පැරණි හයිද්‍රාබාදයේ විශිෂ්ට ගෘහ නිර්මාණ, දර්ශනීය වාස්තු අලංකරණය සහ ඉංජිනේරු ශිල්පයන්හි කැපී පෙනෙන උදාරහණයකි. මෙය හයිද්‍රාබාදයේ සංචාරක ස්ථාන අතරින් වඩාත්ම ප්‍රසිද්ධ ගමනාන්තයකි. කඳු මුදුනක පිහිටි මෙම බලකොටුව වර්ෂ 1143 දී වරංගල්හි රජුගේ සමයේ ඉදි කරන ලද්දකි.

ඇතුළු බලකොටුවේ මාලිගා, මුස්ලිම් පල්ලි සහ කඳු මුදුනේ මණ්ඩපයක නටබුන් දක්නට ලැබිණ. මුදුනටම නැඟීමට මීටර් 130 ක් පමණ උඩට නැඟීමට සිදු විය. අවසානයේ මුදුනේදී අනෙකුත් ගොඩනැඟිලි ‘කුරුලු‘ ඇසින් දැක ගැනීමේ භාග්‍ය හිමි විය. බලකොටුවේ තවමත් සවිකර ඇති කාලතුවක්කු, අඳින පාලම් හතරක්, දොරටු අටක්, තේජාන්විත ශාලා, අශ්වගාල ආදියෙන් පැරණි රජදවස පුරසාරම් දොඩයි. අපගේ මග පෙන්වන්නා එක් තැනකදී අප නවතා අත්පුඩි ගැසීය. එහි දෝංකාරය අසන්නට ලැබිණි. එම දෝංකාර හඬ කිලෝ මීටරයක් දක්වා විහිදෙන බව මඟ පෙන්වන්නා සඳහන් කළේය. අතීතයේදී මෙය ඕනෑම අනතුරක් ගැන වැසියන්ට අනතුරු ඇඟවීමට භාවිත කළ ද වර්තමානයේ එය බලකොටුව නැරඹීමට එන සංචාරකයන් විනෝදයට පත් කරවන ක්‍රියාවක් බවට පත්ව තිබේ. අප කණ්ඩායමේ කිහිප දෙනෙක්ද අත්පුඩි ගසා මඟ පෙන්වන්නාගේ ප්‍රකාශය සත්‍ය දැයි සොයා බැලීය.

මුදුනටම නැඟී අප නැවතත් කඩිනමින් පහළට බැස්සේ සවස හතට පැවැත්වෙන ගොල්කොණ්ඩා කොටුවේ රාජකීය අතීතය විදහා දක්වන පැය භාගයක ලේසර් ආලෝක සහ ශබ්ද සංදර්ශනය නැරඹීමටය. එහි සැබවින්ම අපූරුය. බලකොටුව වෙත එල්ල කෙරෙන ලේසර් ආලෝකය මඟින් පුරාවෘත්තය නිරූපණය විය. තායිවානයේදී මා දුටු ලේසර් ආලෝක ප්‍රදර්ශනය මට සිහි විය. එහි වූයේ ආලෝකයෙන් මැවුණු සතුන්, වෘක්ෂලතා වැනි ඒකාංගික චිත්‍රය. ගොල්කොණ්ඩා ලේසර් ප්‍රදර්ශනය ඊට වඩා ඉදිරියෙන් සිටී.

දීර්ඝ ගමනකින් පසු අප කණ්ඩායම එදින අධික වෙහෙසෙන් යළි නවාතැන වෙත එනු ලැබු‍වේ බොහෝ රෑ බෝ වී‍ය. උදෑසන පැවැත්වෙන යෝග ව්‍යායාම්වලින් පෙර දින වෙහෙස සමනය වී යළි ගත සිත නැවුම් කරනු ලබයි.

චාර්මිනා

චාර්මිනා

අපගේ වැඩසටහනේ හය වැනි දිනයේදීද අපි දුරු ගමනක යෙදුනෙමු. වරංගාල් දිස්ත්‍රික්කයේ ඇති යුනෙස්කෝව විසින් උරුමයක් ලෙස හඳුනාගෙන ඇති ස්ථාන කිහිපයක් නැරඹීම අප ගමනේ අරමුණ විය.

ආයතනයට හිමි රජයේ බස් රථයෙන් අප පිටත් වූ කිලෝ මීටර් 200 ක් පමණ දුරින් වූ ගමනාන්තයකටයි. හයිද්‍රාබාදයේ රජයට හිමි වාහනවල ‘රජයේ වාහනයකි‘ යනුවෙන් සඳහන් කර තිබේ. අප ගමන් ගත් බස් රථය සයිරන් නලාව හඬවමින් මාර්ගයේ ගමන් ගන්නා විට එයට මාර්ගයේ ඉඩ ලැබේ. මංසන්ධිවල සිටින රථවාහන පොලිස් නිලධාරීන් අනෙකුත් වාහන නතර කර අපේ බස් රථයට ඉඩ ලබා දෙද්දී පදිකයින්ගේ ද වාහනවල ගමන් ගන්නා අයගේ ද විශේෂ අවධානය අපගේ බස් රථයට යොමු විය. ඉන්දීය රජයේ ආරාධනාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැමිණ සිටින අප කණ්ඩායම ගිය සෑම ක්ෂේත්‍ර චාරිකාවකදීම විශේෂ සැලකිලි ලැබුණු බව කිව යුතුය. වරංගල් නගරයට පැමිණි පසු අපට ‘ඉතා වැදගත් පුද්ගල‘(VIP) සැලකිලි ලැබුණු අතර පරිවාර පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ආරක්ෂාව ද ලැබිණි.

මුලින්ම වරංගල් කොටුව නැරඹුවෙමු. එය හයිද්‍රාබාදයේ සිට කිලෝමීටර 150 ක් දුරින් පිහිටියේය. 12 වැනි ශතවර්ෂයේදී ප්‍රෝලා රාජා විසින් වරංගල් නගරය නිර්මාණය කර ඇති අතර කොටුව නිර්මාණය කර ඇත්තේ 13 වැනි සියවසේදී ගණපති දේවගේ පාලන සමයේදී බව අප සමඟ ගිය මග පෙන්වන්නා සඳහන් කළේය. මෙය දිය අගලකින් වට වූ විවිධ වෘත්තාකාර බලකොටු තුනක් සහිත දැවැන්ත ඉදිකිරීමකි. නගරයේ ප්‍රධානම සංචාරක ආකර්ෂණය වනුයේ වරංගල් කොටුවයි. මෙහි ග්‍රැනයිට්වලින් නිර්මිත සියුම් කැටයම් සහිත අලංකාර ආරුක්කු සහ කුළුණු පිහිටියේය. කිලෝමීටර් 19 ක් පුරා විසිරී ඇති ඒවා දකුණු ඉන්දියාවේ නිර්මාණ ශිල්පයේ අගනා නිදසුන්ය.

අනතුරුව අප තවත් මඟ ගෙවා ගෙන ගියේ Thousand Pillar හෙවත් රාමප්පා රුද්‍රෂ්වාර නමැති හින්දු පුද බිමටය. මෙහි තිබෙන ගල් කැටයම් ඔබේ දෑසින්ම දැක බලා ගත යුතු යැයි විශ්වාස කරමි. 12 වැනි ශතවර්ෂයේදී ඉදිකර තිබෙන මෙය ශිව, විෂ්ණු සහ සූර්ය දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වෙන හින්දු කෝවිලකි. (ඔවුන් මෙය හඳුන්වන්නේ Temple ලෙසිනි.) මෙය ක්‍රිස්තු වර්ෂ 1175 සහ 1324 අතර කාලයේදී රුද්‍රා දේව විසින් ඉදි කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙහි ඇති දේව මාළිගාව කුළුණු දහසක් සහිත ගෘහ නිර්මාණ ශිල්පයේ සහ මූර්තිවල කදිම නිදර්ශයකි. මෙහි කැටයම්වල පවතින සිදුරු තුළින් සිහින් නූලක් යැවිය හැකි තරම් සියුම් ලෙස අඹා තිබේ. ප්‍රධාන කෝවිලේ උඩින් අඹා ඇති පිළිරූවල සිටින නාටිකාංගනාවන්ගේ මුහුුණුවලින් වේදනාව, සතුට, කෝපය, අසරණ බව වැනි විවිධ හැඟිම් නිරූපනය කර ඇති ආකාරය විශ්මයජනකය. දෝෂ රහිත ඇත්දළ කැටයම් ශිල්පය මූර්ති ශිල්පීන්ගේ කුසලතාව මොනවට පිළිඹිබු කරයි. ගලින් නිම වී ඇති කෝවිල ඇතුළත ඇත්තේ පුදුමාකාර සිසිලසකි. ශ්‍රී ලංකාව තරම් නොවුණත් මේ දිනවල හයිද්‍රාබාදයේ පවතින උණුසුම විඳිමින් සිටි ගතට එහිදී දැනුණේ අපමණ සුවයකි.

ශිව දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන නන්දි ගවයාගේ පිළිරුවක්ද මෙම භූමියේ දක්නට ලැබේ. ප්‍රධාන කෝවිලට අමතරව කමේෂ්වර සහ කටේෂ්වර නමින් අනු කෝවිල් දෙකක්ද පවතී. මෙම විහාරස්ථානය 2004 දි ඉන්දීය රජය විසින් ප්‍රතිසංස්කරණය කර තිබේ.

අපට නැරඹීමට යාමට නොහැකි වුවත් බුදුන් සමයේ තෙලන්ගනා ප්‍රාන්තය පුරාවටම බුදු දහම පැවති බව සනාත වන පුරා විද්‍යාත්මක සාක්කි ද පවතින්නේය. හයිද්‍රාබාදයෙන් කිලෝමීටර් 150 ක් දුරින් පිහිටි බුද්ධවනම්, තෙලන්ගනා සංචාරක සංවර්ධන සමාගම විසින් සංවර්ධනය කෙරිණි. 1954 වසරේදී නාගර්ජුනාවල සිදු කරන කැණීම්වලදී ස්ථූප, චෛත්‍ය, බුද්ධ රූප, සොයා ගෙන තිබේ. එම කැණීම්වලදී සොයා ගන්නා ලද බුදුන්ගේ යැයි සැලකෙන ශ්‍රී ධාතූන් වහන්සේලා ඉන්දියානු කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.

වරංගල් පුරාතන නගරයේ සංචාරයෙන් පසු එදින අප නවාතැනට පැමිණෙන විට මධ්‍යම රාත්‍රිය ද පසු වී තිබිණි. පසු දින අපගේ විවේකී දිනය විය. සාප්පු සවාරිය යෙදී තිබුණේ එදිනටය.

ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්තවල මෙන්ම තෙලන්ගනාවේ මාර්ග නීතී රීතී කඩන රියදුරන්ගෙන් අඩුවක් නොමැත. පාර පැනීම ඉතාමත් භයානක කටයුත්තකි. එහි වැසියන්ට එය සුපුරුදු වුවත් ආගන්තුකයන් වූ අපට එය තරමක් අසීරු කටයුත්තක් විය. මාර්ගයේ වැඩිපුරම දක්නට ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදිත වාහන සහ යතුරපැදිය.

හයිද්‍රාබාදය ලොව දියුණු නගරවලට එක්ව සිටියත් මා නෙත ගැටුණු හයිද්‍රාබාදයේ කාන්තාවන් එම ‘දියුණුව‘ සමඟ ‘වෙනස්‘ වී නොමැත. වැඩිහිටි කාන්තාවන්ගේ ඇඳුම ඉන්දියානු ක්‍රමයට අඳින සාරිය වෙද්දී ගැහැනු ළමෝ කුර්තාව අඳිති. ඩෙනිම් කලිසම්, ටි ෂර්ට් ඇඳගත් ලලනාවන් හයිද්‍රාබාදයේ දක්නට නොලැබිණි. ඔවුන් ආර්ථික දියුණුව සමඟ සිය සංස්කෘතිය වෙනස් කිරීමට නොසිතූ ශ්‍රේෂ්ඨ ජාතියක් බව මගේ හැඟීමයි. ලබන සතියේ ලොව විශාලතම චිත්‍රපට නිෂ්පාදන නගරය වන හයිද්‍රාබාදයේ රාමෝජි චිත්‍රපට නගරයේ සංචාරය ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙමි.

ගොල්කොණ්ඩා කොටුව මුදුනට වරංගල් නගරය දිස් වන අයුරු.

ගොල්කොණ්ඩා කොටුව මුදුනට වරංගල් නගරය දිස් වන අයුරු.

එම්.සී.ආර්. ආයතනය

එම්.සී.ආර්. ආයතනය

වරංගල් කොටුව

වරංගල් කොටුව

 

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division