Home » ඉවතලන මුදල් නෝට්ටුවලින් ඩොලර් ඉපැයීමට මඟක්

ඉවතලන මුදල් නෝට්ටුවලින් ඩොලර් ඉපැයීමට මඟක්

by sachintha
July 6, 2024 12:42 am 0 comment

‘ඉවතලන මුදල් නෝට්ටුවලින් අල්මාරි, පුටු, මේස හදන්නත් පුළුවන්

‘ගු ල්ලො නොගහන, ජලයට ඔරොත්තු දෙන නිෂ්පාදන රැසක්

‘පරිසර සංරක්ෂණයට විශාල දායකත්වයක්

‘රාජ්‍ය නිලධාරීන් නොසලකා හැරියොත් අයිතිය විදේශ රටකට ලබා දෙනවා‘

මීකුණක් රැගෙන ගොස් ධන කුවේරයකු වූ කතාවක් අප ශාසන ඉතිහාසයේ අසා තිබේ. එසේ ඉවතලන දෙයින් අපට බොහෝ දේ කළ හැකිය. ඉවත දමන දෙයක් ප්‍රයෝජනයට ගැනීමෙන් එම ද්‍රව්‍ය හරහා පරිසරයට සිදුවන හානිය වළකින්නාක් මෙන්ම අගය එකතු කළ නව නිපැයුමක් එළි දැකීමක් ද සිදු කළ හැකිය. ඒ හරහා රැකියා අවස්ථා බිහිවීමත් සිදු වේ. විශේෂයෙන්ම එය නවීන නිපැයුමක් නම් රටකට විදේශ විනිමය පවා ලැබීමට හේතු වෙයි.

අපේ රටේ ද වරින් වර එවන් නිපැයුම්කරුවන් බිහි විය. එහෙත් අපේ රටේ බොහෝ වගකිව යුතු නිලධාරීන් මේ නව නිපැයුම් දැක නොදැක්කා සේ සිටිනු පෙනේ. ඒ හරහා සිදු වන්නේ රටට විශාල සම්පත් අහිමි වීමය. රේ විජේවර්ධන විසින් මෙරටදී තැනූ අත්ට්‍රැක්ටරයට වූ දේ ගැන අපි දනිමු. නැත්නම් අසා ඇත්තෙමු. එවන් ආකාරයෙන් අපේ දැනුම, තාක්ෂණය මෙන්ම නව නිපැයුම් අපට අහිමිවන්නේ අපේම වරදිනි.

අද අප කියන්නට යන්නේ ද එවැනිම ඉතාම වැදගත් නිපැයුමකට පෙලඹී රටට අතිවිශාල ලෙසින් ඩොලර් උපයා ගැනීමට කටයුතු කිරීමට මඟපෑදීමට ඉඩ ප්‍රස්ථාව සැලසූ කතාවක් ගැනය. ඔහු නමින් උදය කේ. ගුණරත්නය. වෘත්තියෙන් ඔහු දශක ගණනාවක් කටයුතු කර ඇත්තේ කඩදාසි සම්බන්ධයෙනි. කඩදාසි, කාඩ්බෝඩ් සමඟ ගැටුණු ඔහු කිසිදු විද්‍යාත්මක දැනුමක් හෝ විද්‍යාත්මක සාධකයක් භාවිත නොකර යම් අත්හදාබැලීමක් කළේය. ඒ නොදිරන කඩදාසි හරහා යම් නිෂ්පාදනයක් කිරීමටය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ සිටම උදය නිරතුරුවම විවිධ අත්හදා බැලීම් වෙනුවෙන් කටයුතු කළ අයෙකි. ඒ අත්හදාබැලීම් නිරතුරුවම පරිසර හිතකාමී ඒවා විය යුතු බවට ඔහු තම සිතත් සමඟ එකතාවකට පැමිණ තිබුණි. එම නිසා ඔහුගේ සියලු අත්හදාබැලීම් පරීක්ෂණ පරිසර හිතකාමී ඒවාම විය.

ඔහු පරිසරයට දැඩි සේ ඇලුම් කරන නිසා පොලිතීන් පිච්චීම, රබර් පුච්චා පරිසරයට මුදා හැරීම වැනි දේ කිසිවිටකත් අනුමත නොකළේය. නිරතුරුවම ඔහු කළේ පරිසරයට ආදරය කිරීමට පෙලඹීමය. හැකි හැම විටම ගහක් කොළක් වවන්නටත් ඒවාට සාත්තු කරන්නටත් ඔහු කටයුතු කළේ එහෙයිනි.

එලෙසින් දීර්ඝ අත්හදාබැලීමක් ඔහු සිදු කෙළේ මෙවරය. ඒ තමන් දශක ගණනාවක් නියැළී සිටි කඩදාසි හා කාඩ්බෝඩ් කර්මාන්තයේ කළ පර්යේෂණයක් හරහාය. එය ඉතා සාර්ථක විය.

උදය කේ. ගුණරත්න භාවිතයෙන් ඉවත දමා ඇති යළි භාවිතයට නොගෙන විනාශ කිරීමට කටයුතු කරන මුදල් නෝට්ටු ගැන අවධානය යොමු කෙළේය. ඒවා මේ වන විටත් බොහෝ රටවලට ද විශාල ගැටලුවක් වී ඇති බව ඔහු දැන සිටියේය. භාවිතයෙන් ඉවත දමන මුදල් නෝට්ටුවලට කළ හැක්කක් නොහැකිව බොහෝ රටවල් පරිසර ගැටලුවලට විසඳුම් සොයමින් සිටින බව ද උදය දැනගෙන සිටියේය. ඒවා ප්‍රතිචක්‍රීයකරණය කිරීමට හැකි ක්‍රමවේදයක් ඇත්දැයි ඔහු සොයා බැලුවේය.

ඔහු එළවළු හා පලතුරු යුෂ ඇසුරෙන් කළ පර්යේෂණයක් සාර්ථක විය. ඉවත දැමූ මුදල් නෝට්ටු ඝන කාඩ්බෝඩ් තත්ත්වයට පත් කරන්නට ඔහුට හැකි විය. ඒවා ඇත්තෙන්ම කාඩ්බෝඩ් නොව ඉතා දැඩි ඝනකමින් යුත් දැව මෙන් භාවිත කළ හැකි කාඩ්බෝඩ්ය. ඒ මුදල් නෝට්ටුවලින් නිපද වූ බෝඩ් හරහා දැවවලින් නිපදවිය හැකි ඕනෑම භාණ්ඩයක් නිපදවීමට හැකි බව ඔහු අනාවරණය කර ගත්තේය. එක් අතකින් විශ්වකර්ම නිපැයුමක්දැයි අපට සිතුණි. අප ඔහුගෙන් ඒ ගැන විමසා සිටියේ එහෙයිනි.

‘‘ ලෝකෙ රටවල් රැසකටම තියෙන ප්‍රශ්නයක් තමයි ඉවත දමන මුදල් නෝට්ටුවලට මොකද කරන්නෙ කියන එක. ඒ නෝට්ටු යළිත් මුදල් මුද්‍රණය කරන්න ගන්න බැහැ. ඒක නිසා ඒවා වළ දැමීම කරනවා. නැත්නම් පුච්චනවා. මේ දෙකම පරිසරයට අහිතකරයි. වළ දැම්මොත් ජලයට, ජල මූලාශ්‍රයවලට එය දැඩි ලෙසින් බලපානවා. පිච්චුවොත් ඒක ඕසෝන් ස්තරයට දැඩි ලෙසින් බලපානවා. අපි දන්නවා මේ මුදල් නෝට්ටු වොෂින් මැෂින් එකකට වැරදිලා දැම්මත් දියවෙන්නෙ නැහැ. වතුරින් පවා හානියක් වෙන්නෙ නැහැ කියල. මේ නිසා මම කල්පනා කළා මේ ඉවත ලන මුදල් නෝට්ටුවෙන් රටට හිතකර පරිසර හිතකාමී යම් නිර්මාණයක් කරන්න උත්සාහ කරන්න ඕන කියල. ඒ විදිහට හිතල තමයි මට කඩදාසි සහ කාඩ්බෝඩ් ගැන තියෙන අත්දැකීම් එක්ක පලතුරු හා එළවළු එකතු කරගෙන ඉවත ලන මුදල් නෝට්ටුවලින් ඝන කාඩ්බෝඩ් නිර්මාණය කරන්න කටයුතු කළේ.

ඒ සඳහා මම යොදා ගත්තෙ ප්‍රධාන වශයෙන්ම අපේ රටේ සුලභව වැවෙන දිය ලබු හා සීනි කැකිරි. ඒ වගේම දෙහි යම් ප්‍රමාණයක් හා ශාක කොටස් එකතු කර මේ නිෂ්පාදනය කළා. එය ඉතාම සාර්ථක වුණා. ඇත්තෙන්ම මම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ නිෂ්පාදනයක් මට එයින් ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම කියන්න ඕන මේ සඳහා මම කිසිම රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නෙ නැහැ.

මම නිෂ්පාදනය කරපු මේ ඝන කාඩ්බෝඩ් හොඳ දැවමය නිෂ්පාදනයක්. ඒ කාඩ්බෝඩ් නිෂ්පාදනයෙන් කැටයම් කපන්නත් පුළුවන්. ඇත්තෙන්ම එය සාමාන්‍ය ලී නිෂ්පාදනයටත් වඩා හයියයි. ගුල්ලො ගහන්නෙ නැහැ. ගිනිගන්න නම් අඩුගානෙ පැය 48ක්වත් යයි. ගින්නකට ඇල්ලුවොත් හඳුන්කූරක වගේ දුමක් විතරයි යන්නේ. වාහනවල බොනට්, පුටුවක්, මේසයක්, අල්මාරි මේ ඕනම දෙයක් හදන්න පුළුවන්. ඒ වගේම මේ ඝන කාඩ්බෝඩ්වලට ජලය කාන්දු වීමක් ජලය උරා ගැනීමක් වෙන්නෙ නැහැ.

ඒ වගේම කාමර වෙන් කරන්න හොඳ ක්‍රමයක් හැටියටත් මේ නව නිෂ්පාදනය යොදා ගන්න පුළුවන්. එමෙන්ම පින්තූර යොදා කරන අලංකාර නිර්මාණ වගේ දේවල් පවා මේ හරහා නිෂ්පාදනය කරන්න පුළුවන්.

ඒ වගේම කියන්න ඕන මේ තරම් ඝනකමට ඇත්තේ මේ සියල්ල අතින් තද කර නිෂ්පාදනය කිරීමෙන්. ඒ සඳහා යන්ත්‍ර භාවිත කළොත් ලී කපන මැෂින් එකක තල පවා කැඩෙන තරමට හයියයි. එවන් සම්පතක් තමයි අපි පුච්චලා විනාශ කරල පරිසරය

දූෂණය කරන්නෙ.

මේ සඳහා අවශ්‍ය වෙන එළවළු පලතුරු වවලා විශාල ආදායමක් උපයෝගී කරගන්න ගොවියාටත් පුළුවන්. ඒකෙ විශේෂත්වය වෙන්නේ ගොවියාගේ එළවළු පලතුරු තැළිලද පොඩිවෙලා ද කියන එක මට ගැටලුවක් නොවීමයි. අක්කර දෙකක් තියෙන ගොවියකුට ඵලදාවෙන් ලක්ෂ 4ක් පමණ මාසයකට උපයා ගන්න පුළුවන්. ඇත්තෙන්ම අපට ආහාරයට ගන්න බැරි තැළුණු පොඩි වුණු එළවළු පලතුරු පවා මේ වෙනුවෙන් යොදා ගන්න මට පුළුවන්.

මම මේ නිෂ්පාදනය සම්බන්ධයෙන් ජිනීවාවලින් විශේෂ සෙවුම් වාර්තාවක් ඉල්ලා සිටියා. ඔවුන් මට දන්වලා තියෙනවා ලෝකෙ කිසිම කෙනෙක් මේ වගේ නිෂ්පාදනයක් සිදු කර නැහැ කියලා. ඒ නිසා මේ සඳහා සම්පූර්ණ අයිතිය හිමි වන්නේ මටයි. ඒ නිසා ඉදිරි මාස 30 ඇතුළත ලෝකයේ ඕනෑම රටකට ගිහින් මේ නිෂ්පාදනයට සම්බන්ධ කරගන්න නැත්නම් ඒ රටවලින් වෙන් වශයෙන් පේටන්ට් අයිතිය ගන්න පුළුවන්.

ඒත් ලංකාවෙ කෙනෙක් හැටියට මම පුළුවන් තරම් උත්සාහ කරන්නෙ මේ නිෂ්පාදනය ලංකාවෙම සිදු කරල ලංකාවෙ ගොවියන්ගෙ අතමිට සරු කරල, අපේ රටට හොඳ ආදායමක් හොයල දෙන්න. මේ නිෂ්පාදනය පළමුවෙන් ශ්‍රී ලාංකිකයෙකුගේ නිෂ්පාදනයක් හැටියට ලෝකෙට ගෙනියන්න.

මම හොයල බැලුව ඉන්දියාවෙ දවසකට මේ වගේ ඉවත් කරන නෝට්ටු ප්‍රමාණය ටොන් 60ක් වෙනවා. ඉන්දුනීසියාවෙ ටොන් 20ක් මම ඒ නෝට්ටු අරගන්න තීරණය කරල තියෙන්නෙ ටොන් එකක් ඩොලර් 5000කට. ඒ කියන්නෙ ඒ නෝට්ටු ගන්නවට අපට ඒ රටවලින් ගෙවනවා. දැනට රටවල් පුළුවන් තරම් බලන්නෙ තමන්ගෙ රටේ ඒව පරිසර හිතකාමී ලෙසින් ඉවත් කළ හැකි ක්‍රම නැති නිසා හැකිතරම් බාහිර පාර්ශ්වයන්ට ලබා දෙන්න. අපේ රටෙත් මහ බැංකුව ඒ ඉවතලන මුදල් නෝට්ටු ටෙන්ඩර් කැඳවා ගන්නා අයට මුදල් ගෙවා අරගෙන යන්න දෙනවා. ඔවුන් ගෙනිහින් ඒවා පරිසර හානිදායක ලෙසයි විනාශ කරන්නේ.

ඉන්දියාවෙන් හා ඉන්දුනීසියාවෙන් පමණක් දවසකට ටොන් 80ක් කියන්නෙ ටොන් එකකට ඩොලර් 5000ක් අපට ගෙවනව ඒ කියන්නෙ දවසකට අපට ඩොලර් 400,000ක් උපයා ගන්න පුළුවන්. එතකොට මාසෙකට කොයිතරම් විදේශ විනිමය අපට උපයා ගන්න පුළුවන්ද? එතකොට අවුරුද්දකට.

ඒ වගේම එංගලන්තයේ මේ වෙනකොට රැජනගේ රුව සහිත මුදල් නෝට්ටු ඉවත් කරනවා. අපට ඒ සියල්ල ලබා ගැනීමට හැකිනම් විශාල විදේශ විනිමයක් උපයා ගත හැකියි. නමුත් ගැටලුව ඇත්තේ පළමුව මේ කාර්යය අපේ රටේ ක්‍රියාවට නැංවිය යුතු වීමයි.

නමුත් මේ සඳහා අපේ රටේ කිසිම සැලකිල්ලක් නැහැ. ජාතික සංවර්ධන බැංකුවේ සභාපතිවරයා පමණක් මේ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දැක්වූවා. එය ඔහුගේ විෂයයට අයත් වන්නක් පවා නෙමෙයි. මම මහ බැංකුවෙන් ඉවත ලන මුදල් නෝට්ටු කිලෝ එකක් ගැනීම වෙනුවෙන් රුපියල් 500ක් මිලක් මම ඉල්ලා සිටියා. එය සාමාන්‍යයෙන් ගෙවනු ලබන මිලට වඩා වැඩි බව එහි ඇතැමුන් දන්වා සිටියා. නමුත් පරිසර හිතකාමී බව හා පරිසරයට හානිදායක ලෙසින් විනාශ කිරීම යන්න කරුණු දෙකක්. ඒ වගේම අපේ රටේ මේ ක්‍රියාවලිය ආරම්භ කළොත් අනෙක් රටවලින් අපට ඇණවුම් ලබා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

යම් හෙයකින් අපේ රටෙන් මේ වෙනුවෙන් නිසි සැලකිල්ලක් නොලැබු‍ණොත් මම මේ නිෂ්පාදනය විදේශ රටකට අලෙවි කරනවා; පේටන්ට් සමඟම. ඒ එක්කම මමත් විදේශගත වෙනවා. මට හොඳ ලාභයක් ගන්න පුළුවන්. නමුත් අපේ රටට සතයක්වත් ලැබෙන්නේ නැහැ.

මම චෙක් ආදියත් ඉදිරියේදී මේ ලෙසින් ප්‍රති නිෂ්පාදනයක් කරා යොමු කිරීමටයි කටයුතු කරමින් ඉන්නේ. නමුත් එහි ප්‍රයෝජන ගැනීම හෝ නොගැනීම අපේ රටේ නිලධාරීන්ට භාරයි. රේ විජේවර්ධන මහතාගේ අත් ට්‍රැක්ටරේ පේටන්ට් අයිතිය අද තියෙන්නෙ ජපානෙටනෙ. අපි කොයිතරම් මුදලක් ගෙවල ද අපේ ඒ නිෂ්පාදනය අද ජපානෙන් ගෙන්වා ගන්නෙ. මම දන්නෙ නැහැ මේ නිෂ්පාදනයටත් එහෙම වෙයිද කියල. මම ජනාධිපතිතුමාටත් මේ සම්බන්ධව දැනුම්වත් කළා. එතුමා මගේ නිෂ්පාදනය අගය කළා. නමුත් රාජ්‍ය නිලධාරීන්ගේ මට්ටමින් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නැහැ‘‘

අපට බොහෝ විට අපේ දේ ගැන අගයක් නැත. ඒ නිසාම අපට බොහෝ විට එකතැන කැරකෙන්නට සිදුව තිබේ. දශක ගණනාවක සිටම අපට ‘සංවර්ධනය වෙමින් පවතින රටක්‘ යන ලේබලය ඇලවී ඇත. එම ලේබලය යටතේ අපත් සමඟ සිටි බොහෝ රටවල් අද අපට වඩා බොහෝ දුර ගොසිනි. අපට වඩා බොහෝ පිටුපසින් සිටි ඉතියෝපියාව අද අපට කිට්ටු වන්නටවත් නොහැකි තරම් දුරකට ගොසිනි. 1991 වසරේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව දුගීභාවය ඉහළට ශීඝ්‍රයෙන් ගමන් කළ ඉන්දියාව අද වන විට ලෝකයේ සිවුවන ආර්ථිකයට හිමිකම් කියන්නට සමත්ව ඇත. ඒ බහුතර රටවල් දියුණුව ලබා ගත්තේ දේශීය කර්මාන්ත හා නිෂ්පාදන ඔස්සේ ගමන් කරමින් අපනයන ආර්ථිකයක් කරා යාමෙනි.

අප රටේ ඒ වෙනුවෙන් ඕනෑතරම් පහසුකම් තිබුණත් පුද්ගලයන් සිටියත් අත දෙන්නට මැළි වන නිලධාරීන් සිටීම නිසා ඒ සියල්ලේම ඉඩ ඇහිරී ඇත.

අලි දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය එන්ජිමේ සවි කරන්නට සරසවි සිසුන් හැදූ විශේෂිත සංඥා හමස් පෙට්ටියේය. බස් රථ වෙනුවෙන් පෙර ගෙවුම් කාඩ්පත් සකස් කිරීමද නිලධාරීන්ගේ කඹ ඇදිල්ලෙන් අතරමඟය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යයන් පහසු කිරීමට සිංගප්පූරුවේ සහායෙන් බිලියන ගණනක් වැය කර ස්ථාපිත කළ ‘රැමිස් ‘ පද්ධතියත් කොට උඩය. අවසානයේ මේ සියල්ලේම වගකීම පැවරෙන්නේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ රජයට හෝ පවතින රජයටය. නමුත් ඒවා වෙනුවෙන් උපදෙස් දී හෝ ඒවා සම්බන්ධව කටයුතු කළ නිලධාරීහු යෙහෙන් වැජඹෙති. නව නිෂ්පාදන හඳුන්වා දීම හෝ හඳුන්වා දෙන නිෂ්පාදන වෙනුවෙන් පිළිගැනීමක් ඇති කිරීමට හෝ ඔවුහු කටයුතු නොකරති. මේ නිසා අපට සිදුව ඇත්තේ සැමදා එතෙරට අත පා සිටින්නටය.

උදය ගුණරත්න විසින් මේ වන විට හඳුන්වා දී ඇති ඉවතලන මුදල් නෝට්ටු භාවිත කර ඒ වෙනුවෙන් අගය වැඩි කළ නිෂ්පාදන සකස් කිරීම කඩිනමින් ලෝකය කරා ගෙනයාමට පවා නිලධාරීන් කටයුතු කළ යුතු නමුත් සිදු වන්නේ ඊට අකුල් හෙළීමය. අන්තර්ජාතික සෙවුම් සහතිකය ඔස්සේ කිසිදු අයකු විසින් නොකළ පර්යේෂණයක් හමුවේ ලබාගත් මේ නිෂ්පාදනයට අගයක් ලබා දී එය අන්තර්ජාතික තලයට ගෙන යාමට අප කටයුතු නොකළහොත් ඔහු එය අලෙවි කර දමනු ලැබුවහොත් අපට පසෙක සිට ලබා ගැන්මට ඇති විශාල සම්පත් ප්‍රමාණයක් අහිමි වනු ඇත.

අපට වාර්තා වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව ඉවත ලන මුදල් නෝට්ටු කිලෝඑකක් වෙනුවෙන් රුපියල් 47ක් වැනි මුදලක් ඒවා ලබා ගන්නා තැනැත්තන්ට ගෙවනු ලබන ඇත. ඒ ටෙන්ඩර් පටිපාටිය අනුව යමිනි. නමුත් ඒ හරහා කිසිදු පරිසර සංරක්ෂණයක් සිදු නොවේ. පරිසර හිතකාමී තත්ත්වයක් නිර්මාණය කරමින් උදය සිදු කරන්නා වූ මේ කාර්යය ගැන මැනවින් විමසා පරීක්ෂා කර බැලිය යුතුය.

යුරෝපා රටවලට මේ වන විට මතුව ඇති විශාලතම ගැටලුවක් වන්නේ ඉවතලන මුදල් නෝට්ටු පරිසර හිතකාමී ලෙසින් ඉවත් කරන්නේ කෙසේද යන්නයි. ඊට විසඳුම අප රට සතුව ඇත. එයට අන්තර්ජාතික සෙවුම් සහතිකය හරහා පිළිගැනීමක් ඇතිව ඇති නමුත් අප රටේ එයට පිළිගැනීමක් ඇතිකර නොමැති නිසා ඔහු එය විදේශයකට අලෙවි කළහොත් අපට වන්නේ කුමක්ද යන්න ගැන වරක් දෙවරක් නොව බොහෝ වරක් සිතා බැලිය යුතු නොවේද? පළමුව අප විසින් කළ යුත්තේ මහ බැංකුවෙන් ලබා දෙන භාවිත කළ මුදල් නෝට්ටු විනාශ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමය. එය පරිසර හිතකාමී නොවන්නේ නම් එය අපට පමණක් නොව සමස්ත ලෝකයේම අනාගතයට බලපානා බව කල්පනා කළ යුතුය.

වෙනත් රටවල් ඩොලර් ගෙවා අපේ රටේ තාක්ෂණය ලබා ගැන්මට බලා සිටියදී අප කරනු ලබන්නේ අපේම තාක්ෂණය හෑල්ලුවට ලක් කිරීමය. අඩුම වශයෙන් ජිනීවා පර්යේෂණ වාර්තාව විමසා බලා ඒ හරහා හෝ කටයුතු කිරීමක් නොවන්නේ නම් අපි ඇත්තෙන්ම අපේම අනාගතයට කරනු ලබන්නේ මහා විනාශයකි. විශේෂයෙන්ම පරිසර හානිදායක කාර්යයන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීමට මුළු ලොවම කටයුතු කරන බව මෙහිදී පැහැදිලිවම ගෙනහැර දැක්විය යුතු කරුණකි.

lතාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division