සාර්ව ආර්ථික කම්පන හමා එන්නේ බෙංගාල බොක්කේ අවපීඩන තත්ත්වය මත්තේ එන සුළි කුණාටු මෙන්ය. 1997-1998 කාල සමයේ නැගෙනහිර ආසියාව ආර්ථික වශයෙන් සලිත විය. තායිලන්තය, දකුණු කොරියාව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාව යන රටවල් ගෙවුම් ශේෂ හිඟයන් සඳහා මුහුණ පෑවේය. දේශීය මුදල තියුණු ලෙස අවප්‍රමාණය වෙන්නේ ලිස්සන ගහ ඉහත්තෑවේ සිට රූටාගෙන එන අයෙක් පරිදිය. මේවාට කියනුයේ සාර්ව ආර්ථික කම්පන කියාය. එවන් ආර්ථික කම්පනයක් හැඳින්විය හැක්කේ අපස්මාරය හැදී, කටින් සෙම දමාගෙන, බිම වැටී දඟලන පුද්ගලයෙක් සේය. ඔහුට කිසිවක් කර කියාගත නොහැක්කේය. සිරුරම ගැහෙන්නට පටන් ගන්නේය. අතේ ඇති සියල්ල මහ මග විසිරී යන්නේය. ඔහොම කෙනෙක් දුටු විට ළඟපාත අය කරනුයේ, යකඩයක් අතට දීමය. නැගෙනහිර ආසියාව සිය ආර්ථික සලිත වීම හමුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන ආවේය. රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව පවත්වා ගෙන යෑම, මූල්‍ය අංශය සඳහා නියාමන රාමුව ශක්තිමත් කිරීම, උද්ධමන ඉලක්කකරණය, අපනයන ප්‍රවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ නම්‍යශීලී විනිමය අනුපාතිකය ආදී එම ක්‍රියාමාර්ග හේතුවෙන් ‘යකඩය අතට දුන් විට’ සේ, සලිතය නතර විය.
දැන් සතියකට පෙර රටට ලැබුණු සුබ ආරංචිය වූයේ ‘යකඩය අතට දුන් විට’ ලෙඩා සාමාන්‍ය තත්ත්වය කරා ළඟා වූ බවය. මුල්‍ය අරමුදල සමඟ සමීපස්ථ ණයක් සදහා අප ළඟා වීමේ ප්‍රතිඵලය වූයේ, බංකොලොත්භාවයේ සිට පවත්වා ගෙන යෑමට හැකි ආර්ථිකයක් කරා රට ළඟා වීමය. එවන් ප්‍රතිසාධනයකින් ළඟා විය හැකි ඉහළ ස්ථානය කරා ශ්‍රී ලංකාව දැන් පත්ව ඇත්තේය. ඒ සඳහා නැගෙනහිර ආසියාව ‘සලිත කාලයේදී’ කළා සේ අපිදු වෙනස් මානයන් සඳහා යොමුවෙමින් ප්‍රතිකර්ම කළෙමු. එහි ප්‍රතිඵල රටට ලැබෙන කළ, සමහරෙක්ට ඉවසාගෙන සිටීමේ නොහැකියාවක් පැන නගින්නාහ.
ජයගත නොහැකි ආර්ථික අගාධයකට ශ්‍රී ලංකාව ඇද වැටී ඇති බවට මීට වසර දෙකකට ඉහතදී ප්‍රකාශ කළ විපක්ෂ නායක තෙමේ, සුබ ආරංචිය ගන්නේ ද ඇදේටය. පෝලිම් ආදිය නොමැතිව රට කෙළින් කරගෙන යන විට, එහි ඇද පළුදු දේශපාලන ළදරු මනසින් යමෙක් සොයන්නේ ද හේ වින කටින්නේ රටට හෝ ආණ්ඩුවට නොවේ: සිය දේශපාලනයටය.
2022 වසරේ සිංහල අවුරුදු සමය කරුණාකර සිහි කැඳවා ගන්නා ලෙස පාඨකයා වෙත මේ තීරුව කියා සිටින්නේය. උද්ධමනය සියයට 70කි. ඩොලරයේ අගය රුපියල් 420කට කළු කඩේ තිබුණේය. අන් කිසි ස්ථානයක ඩොලර් නැත්තේය. විදේශ ප්‍රේෂන රටට නොඑවන ලෙස ඉල්ලමින් උදේ සවස ප්‍රකාශ නිකුත් කළ කණ්ඩායමක් විය. මේ ආදී කතා අසා සිට ජනතාව උණ්ඩියල් ආදී ක්‍රම මගින් මුදල් එව්වා මිස බැංකු පද්ධතියට විදේශ මුදල් එව්වේ නැත. එහෙව් රටක් භාර ගැනීම සහ අද පවතින තත්ත්වය කරා ගෙන ඒම සුළු පටු ව්‍යායාමයක් නොවන්නේය. නැගෙනහිර ආසියාවේ ආර්ථිකය සලිතය සිහි ගන්වන ලද්දේ එම රටවල් ද කරවටක් ගිළි සිටි ආර්බුදයෙන් ගොඩ ආවේ, මෙවන් ක්‍රමවේදයකට බව සිහිපත් කිරීම උදෙසාය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තෙවැනි වාරිකය නිදහස් කිරීමට, මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය කටයුතු කළේ ජුනි මාසයේ මැද භාගයේය. මූල්‍ය අරමුදලේ පළමු වාරිකය 2023 වසරේ මාර්තු මාසයේත්, දෙවැන්න 2023 දෙසැම්බර් මාසයේත් නිදහස් වන්නේය. වාරික තුන තුළින් ඩොලර් බිලියනයක මුදලක්, ශ්‍රී ලංකාවට හිමි වූයේය.
මේ ආකාරයේ මුදලක් නිදහස් වූ පමණින් ‘සලිතය’ නතර වන්නේ නැත. එතැන් සිට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යොමු විය යුත්තේය. මූල්‍ය අරමුදලෙන් ලබාගත් මුදල වනසා දමන ස්ථාවරයක් සඳහා රටේ ගමන යන්නේ නම්, කිසිවෙක් අප සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එන්නේ නැත. නැගෙනහිර ආසියාව සේ, දැඩි රාමු අතරේ අප ආර්ථිකය හසුරුවන ලද්දේ හෙයින් පැරිස් සමාජය ඩොලර් බිලියන 5.8ක් සහ චීන එක්සිම් බැංකුව ඩොලර් බිලියන 4.2ක සහනයක් ද ශ්‍රී ලංකාවට ප්‍රදානය කළේය.
මේ සුබ ආරංචිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට හමුවේ කියා සිටි විට විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ පවසා සිටියේ “ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කර රට වෙනුවෙන් සහන ගන්න ජනපති අසමත් වෙලා” යනුවෙනි.
මෙවන් තත්ත්වයක් තුළ ඉදිරියට යා යුතු පිළිවෙළක් ඇත. මූල්‍ය අරමුදලේ සමාලෝචනය පළමුව ගත් විට පැරිස් සමාජය සහ චීනයේ සහාය හිමි විය. ඊළඟට ස්වෛරී ණය හිමියන් වෙත පිවිසිය හැකිය.
ඩොලර් බිලියන 37ක සමස්ත විදේශ ණය තොගයෙන්, බිලියන 12.5ක් ස්වෛරී බැඳුම්කරයන්ය. බ්‍රහස්පතින්දා දහවල් වන විට ඩොලර් බිලියන 12.5ක් වූ ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට එම බැඳුම්කර හිමියෝ සමඟ එකඟතාවකට පැමිණීමට රජය සමත්ව තිබුණි.
මේ තරම් දුරක් ආණ්ඩුව ඉදිරියට ගියේ තනිවමය. විපක්ෂයේ කිසිවෙක් ආණ්ඩුවට බාධා කළා මිස, සහය දුන්නේ නැත. මල් වට්ටියට අත ගසන්න යැයි ජනාධිපතිවරයා දිගටම කියූ නමුදු, එයට පයින් ගැසීමට වෑයම් කළේ මිස වෙනත් ක්‍රියාමාර්ගයක් විපක්ෂයට තිබුණේ නැත. ලිහිල් සීමා රාමු ජනයා උදෙසා ද දැඩි ප්‍රතිපත්ති රාමු රාජ්‍ය මූල්‍ය උදෙසා ද යොදා ගනිමින් රජය පැමිණි ගමන වනාහි මේ රටේ ආර්ථිකය නව පිබිදීමක් සඳහා යොමු කරන මාර්ගයකි. නැගෙනහිර ආසියාව ආර්ථික අවපාතයෙන් ගොඩ ගිය ආකාරයට, හිලෑ කරගත් ආර්ථිකය, දැන් විනයක් සහිත ස්ථාවරයක ගමන් කරන්නේය.
විනයක් සහ දේශප්‍රේමයක් අහිමි දේශපාලන කල්ලියට මේ යන ගමන ඉවසා ගෙන සිටිය නොහැකිය. ඔවුනගේ බලාපොරොත්තුව වන්නේ රට බිමට පහත්වී හෝ සිය බලය උඩට ඒමය. එවන් බලාපොරොත්තු ඇති අයගේ ඉරණම තව තව පහත් වී, රට ඉහළට ඒම නැවත්විය නොහැකි තැනට දැන් ආර්ථිකය පත්ව තිබේ.