Home » කවි ලොව එකලු කළ නන්දනීය මතක

කවි ලොව එකලු කළ නන්දනීය මතක

නන්දන වීරසිංහ අභිනන්දන උලෙළ ‘ප්‍රතිමානන’ ජූලි 10 දා සවස 2.30 ට පදනම් ආයතනයේදී

by Mahesh Lakehouse
July 6, 2024 12:52 am 0 comment

හු කවදත් තමන්ගේ පාඩුවේ සිටි අයකු යැයි හැඳින්වූවාට වරදක් නැතැයි හැඟේ. අපට එහෙම හැඟෙන්නේ ඔහු තමන්ගේ පාඩුවේ සිටිය ද මෙරට සාහිත්‍යයට අගනා යමක් ඉතිරි කළ විශිෂ්ට කවියකු බැවිනි. කලක් සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘව සිටිමින් සාහිත්‍ය අතිරේකය භාරව කටයුතු කළ ඒ හැමටම වඩා ප්‍රශස්ත කවියකු වන ඔහු නන්දන වීරසිංහ නම් වේ.

1954 වර්ෂයේ ජූලි 13 දා උපන් නන්දන වැඩිමහල් සොයුරියන් තිදෙනකුගෙන් යුතු පවුලේ බාලයා විය.

ගමේ පාසල වූ මාපලගම පාසලෙන් මූලික අධ්‍යාපනය ලබන නන්දන පසුව සිය මාමා ළඟට යන්නේය.

නුවර පාසල් කිහිපයකම ඉගෙන ගත් ඔහු උසස් පෙළ දක්වා උගත්තේ පේරාදෙණිය මධ්‍ය විද්‍යාලයේය.

“මගේ තාත්තා එඩ්වඩ් වීරසිංහ. ඔහු ඉඩම්හිමි වැවිලිකරුවෙක්. නමුත් මගේ තරුණ කාලේ වෙනකොට ඒ හැමදෙයක්ම නැති වෙලා තිබුණේ. තාත්තා උක්වගාව කළේ. අරපරිස්සමක් නැතිකම නිසා හැමදේම නැති වෙලා ගිහින් තිබුණේ. මේ කාලේ වෙන කොට මම මගේ මාර්ගය හදාගෙන තිබුණේ. මගෙ අම්මා පියසීලි වීරසිංහ. ඇය අපි වෙනුවෙන්ම කැපවෙලා කටයුතු කළ කෙනෙක්. අපේ අම්මා පැරණි සාහිත්‍යය, ජන සාහිත්‍යය ගැන හොඳ දැනීමක් වගේම ඒ කෙරෙහි ඇල්මක් තිබූ කෙනෙක්. අම්මා ගෙදරදී කවි ගායනා කළා. මගේ හිත ඒ කෙරෙහි ඇදී ගියා.

පුංචි කාලේ ඉඳලම ගෙදර තිබුණේ පොතපත කියවන වටපිටාවක්. මට අවුරුදු දොළහක් පමණ වන විට මම පොතපත කියවන්න හුරු වුණා. මගෙ බාල අක්කා ඉන්ද්‍රානි වීරසිංහ. ඇය පේරාදෙණිය සාහිත්‍යට ඇලුම් කළ කෙනෙක්. මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, සිරි ගුණසිංහ, ආදි ලේඛකයන්ගේ පොත් ගෙනැල්ලා කියවන්න අක්කා හුරුවෙලා හිටියා. අක්කා කවදාවත් මට මේ පොත් කියවන්න කියලා කිව්වේ නැහැ. නමුත් ඇය මේ පොත් ගෙනැල්ලා මේසය උඩ තියනවා. මට හිතෙනවා අක්කා එහෙම පොත් පේන්න තිබ්බේ මගෙ අවධානය සඳහා කියලා. මස් ලේ නැති ඇට, පළිගැනීම, අභිනික්මන කවි කියවලා තමයි කවිය ගැන මගේ ඇල්ම වැඩි වුණේ. ඉන්ද්‍රාණී අක්කා ඒ කාලේ ගුවන්විදුලියට ලියනවා. මමත් ඒ කාලේ ළමා මණ්ඩපයට ලියන්න හුරු වුණා. 1967 දී තමයි මම මගේ මාමා ළඟට යන්නේ. මාමා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ උසස් නිලයක් දැරූ කෙනෙක්. නැන්දා ගුරුවරියක් ලෙස කටයුතු කළා. අපේ පාසල් කාලයේදී අපට හමු වූ ගුරුවරු භාෂා දෙකතුනක්වත් දන්නවා. ඒ නිසා අපට එය විශාල පිටිවහලක් වුණා. සිංහල ගුරුවරයා සිංහල උගන්වන ගමන් අපට ඉංග්‍රීසි කවිය ගැනත් කියලා දෙනවා. ඉංග්‍රීසි සාහිත්‍ය ගැනත් කියලා දෙනවා. මට මතකයි ඒ කාලයේ මහනුවර යටිනුවර විදීයේ තිබුණා අ‌ෙමරිකා මධ්‍යස්ථානයේ පුස්තකාලය. අපි පාසල් ඉවර වෙලා එතැනට යනවා.

අපේ සිංහල ගුරුවරයා පන්තියේ කියලා දෙන කවි, සාහිත්‍ය ගැන සඳහන් ඉංග්‍රිසි පොත් එතැනින් ගෙන එනවා. ඒ කාලේ මට අවුරුදු දහතුනක් විතර ඇති. ඒ විදිහටයි මගේ හිතේ සාහිත්‍ය ගැන විශේෂ ඇල්මක්, උනන්දුවක් ඇති වුණේ. මම උසස් පෙළ කළේ කලා අංශයෙන්. උසස් පෙළ හොඳින් සමත් වුණත් විශ්වවිද්‍යාලයට යන්න ඕන කියලා හැඟීමක් මට තිබුණේ නැහැ. හේමපාල මුනිදාස, මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක යන ලේඛකයෝ වගේ කෙනෙක් වෙන්න ඕන කියලා හැඟීමක් තමයි මට තිබුණේ.

නමුත් 1978 අවුරුද්දේ මම රැකියාවකට යනවා. ඒ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ. මුල්ම පත්වීම ලැබුණේ ගිං ගඟ ව්‍යාපෘතියට. වැඩබිම තිබුණේ ගාල්ල නගරයේ. මගේ රැකියාව වුණේ ගිං ගඟ ව්‍යාපෘතියේ වැඩබිම් පරිපාලක විදිහට කටයුතු කිරීම. “

සිය ජීවිතයේ මුල්ම රැකියාව ගැන නන්දන වීරසිංහයන් පවසන්නේ එවැනි කතාවකි. පාසල් වියේ සිටම සිංහල සාහිත්‍යයට, ඉංග්‍රීසි සාහිත්‍යයට ඇලුම් කළ ඔහු වැඩබිමක සිටිය ද සාහිත්‍ය කෙරෙහි තිබූ උනන්දුව නැති කර නොගන්නේය.

“මේ වැඩබිම්වල මිනිස්සු කරන මෙහෙය මම මගේ ඇස් දෙකෙන් දැක්කා. ඒවා මගේ හිතේ කොනක තැන්පත් වෙලා තිබුණා. එඩ්වින් ආරියදාස මහත්මයා නවයුගය සඟරාව කරන කාලේ මම නවයුගයට ලිව්වා. ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන් දීපශිකා සඟරාව කරන කාලේ මම ඒකටත් ලිව්වා.

ඒවගේම සංචාරක මණ්ඩලය විසින් කරන ලද සංචාරිකා සඟරාවටත් මම ලියනවා. මගේ මුල්ම කවියක් එහි පළ වෙන්නේ 1972 අවුරුද්දෙ. දයාසේන ගුණසිංහ මහතා සිළුමිණ පත්තරේ වැඩ කරන කාලේ මම සිළුමිණටත් ලිව්වා. ඉන්පස්සේ දිවයින පුවත්පත ආරම්භ කළාට පසුව එයටත් ලියනවා. මට මතකයි අප සමඟ සිටි සමකාලීන කවියන් රැසක් ඒ දවස්වල දිවයින පුවත්පතට කවි ලියනවා.“

කලක් ඇවෑමෙන් ගිං ගඟ ව්‍යාපෘතියෙන් ඉවත් වන නන්දන එච්. ඩී. ප්‍රේමසිරි මහතා කරගෙන ගිය සරසවි ස්ටුඩියෝවට සම්බන්ධ වන්නේය.

“ඒකාලේ එතැන හැඳින්වූයේ සරසවි වර්ණ රසායනාගාරය කියලා. පසුව එය සේයා කලර් කියලා වෙනස් වුණා. එතැන ජනක වෙත්තසිංහත්, අශෝක සිරිවර්ධනත් සේවය කළා. ඒ කාලේ මහා ලොකු මුදලක් වැටුප ලෙස නොලැබුණත් ඒ ලැබෙන මුදල ජීවත් වෙන්න ප්‍රමාණවත් වුණා. මට මතකයි ඒ කාලේ එතැනට විශාල කලාකරුවෝ පිරිසක් එනවා යනවා. නළු නිළියෝ ගායක ගායිකාවෝ වගේම නාට්‍යකරුවොත් එනවා. ඒකාලෙම වගේ තමයි ම පුවත්පත්වලට සම්බන්ධ වෙන්නේ. ඒ ප්‍රේම් දිසානායක කළ රසඳුන පත්තරයත්, රෝහණ වෙත්තසිංහ කළ සලරුව පත්තරයත්. මේ පත්තරවලත් සේවය කළා.

ඉන්පසුව වෙළෙඳ ප්‍රචාරණ ආයන කිහිපයකත්, සඟරා කිහිපයකත් සේවය කරන්න ලැබුණා. මාතොට සඟරාව, දීපන, දහර ආදී සඟරා සංස්කරණය කරන්නත් අවස්ථාව ලැබුණා. ඔය අතරේ තමයි 1990 දශකයේ අග භාගයේදී පමණ ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. සිළුමිණ පුවත්පතේ ශාස්ත්‍රීය අතිරේක වෙන සියපත අතිරේකය හා පුන්කලස අතිරේක සංස්කරණය කරන්නත් මට අවස්ථාව ලැබුණා.“

නන්දනගේ වෘත්තීය ජීවිතය එසේ වුවද ඔහු කිසිම විටෙක තම ගමන අත්නොහැරියේය. ඒ ගමන ලෙසින් මෙහිදී හඳුන්වන්නේ කවි ලිවීම, කවිය ගැන අධ්‍යයනය කිරීම මෙන්ම තම ශාස්ත්‍රීය කටයුතු ය. කිසිම විටෙක සරසවි අධ්‍යාපනය ලබන්නට නොහැකිවීම ගැන කනගාටු නොවන නන්දන දැඩි අධිෂ්ඨානයකින් යුතුව භාෂාව අධ්‍යයනය කිරීම මෙන්ම කවිය ගැන පුළුල් වශයෙන් අධ්‍යයනය කිරීම කරගෙන ගියේය.

“පත්තරයේ ශාස්ත්‍රීය අතිරේක කිරීමට අමතරව ප්‍රවෘත්ති, කතුවැකි ලිවීම වගේම අනෙකුත් සංස්කරණ කටයුතුත් කර තිබෙනවා.

අපි අපේ කාලේ බොහෝම තෘප්තිමත්ව කටයුතු කළා. තිලකරත්න කුරුවිට බණ්ඩාර, දෙනගම සිරිවර්ධන, ගුණසිරි හෙට්ටිආරච්චි වැනි ප්‍රවීණයන් සමඟ කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා. මේ කාලය තුළ මට හැකියාව ලැබුණා කාව්‍ය සංග්‍රහ කිහිපයක්ම කරන්නට.

ඒ අතර පරිවර්තන කාව්‍ය සංග්‍රහ දෙකක් කර තිබෙනවා. ඉදිරියේදී තවත් අලුත් කාව්‍ය සංග්‍රහයක් එන්න තියෙනවා. “

ජාතික මෙන්න අන්තර්ජාතික වශයෙන් ද සිය කාව්‍ය නිර්මාණ කෘති සඳහා සම්මානයට ලක්ව සිටින නන්දන වීරසිංහ කවියා සිය පළමු කාව්‍ය සංග්‍රහය වූ ගිං ගඟේ විලාපය කාව්‍ය සංග්‍රහය නිකුත් කොට මේ වන විට වසර හතළිහකි. එදා මෙදා තුර ඔහු සිය නිර්මාණ වෙනුවෙන් ලැබූ සම්මාන රැසකි. ඒ අතර විද්‍යෝදය, ගොඩගේ, ස්වාධීන සාහිත්‍ය උලෙළ, මෙන්ම බුන්කා සම්මානයෙන් ද පිදුම් ලැබීය.

“ මම නිර්මාණ කළේ සම්මාන ලබා ගැනීමට නොවුණත් නිර්මාණ කෘති සඳහා සම්මානයෙන් පිදුම් ලැබීම සතුටක්. රාජ්‍ය, ගොඩගේ සහ රජත සම්මාන මට ලැබී තිබෙනවා. නිර්මාණ කිරීමට සම්මාන ලැබීම උත්තේජකයක්. දැන් විශ්‍රාමික සුවයෙන් හිටියත් මම තවමත් නිර්මාණ කරණයේ නියැළෙනවා. “

ගාල්ලෙන් නුවරටත් නුවරින් කොළඹටත් පැමිණිය ද නන්දන වීරසිංහයන් සිය ජීවිතය ගෙන යන්නට සහකාරිය සොයා ගන්නේ සිය ගම්පළාතෙනි. ඇය රම්‍යා ශ්‍රියානි පතිරණ ය. ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක වූ ඇය ඉකුත් වසරේදී සිය දිවි ගමන නිමා කළේය.

“ඇය මට හමුවුණේ සංගීතය ඉගෙන ගන්නට ගිය ගමනකදි. ඇයත් ගාලු දිස්ත්‍රික්කයේමයි. ඒ සංගීත පන්තියේදි තමයි අපි දැන හඳුනා ගන්නේ. ඒ හඳුනා ගැනීම තමයි අපි ජීවිතේ දිගු දුරක් ආවේ.

මගෙ පුතාලා දෙන්නගෙන් හිමත් ඩයලොග් ආයතනයේ සේවය කරනවා. වසත් පුතා දැනට ඩුබායිවල සේවය කරනවා. දුව මෝස්තර නිරූපණ ශිල්පය හදාරලා ඒ සම්බන්ධව කටයුතු කරනවා. රම්‍යා නැති එක පුරවන්න බැරි පාඩුවක් තනිකමක්. ඒත් එක තමයි ජීවිතය. “

ඔහු එහෙම පවසන්නේ ඇගේ වියෝව තවමත් දරාගන්නට බැරි පාළුවක් සිය ජීවිතයට ගෙනා ආ බැවිනි. සිය හැත්තෑවෙනි උපන්දිනයත්, ගිංගඟේ විලාපය කාව්‍ය සංග්‍රහය නිකුත් කර වසර හතළිහක් පිරීමත් නිමිති කොට ලංකා ලේඛක සංවිධානයත් නන්දන වීරසිංහ කාව්‍ය රසික පර්ෂදයත් එක්ව සංවිධාන කරන “ප්‍රතිමානන“ විශේෂ උත්සවය මේ මස 10 දා පදනම් ආයතනයේදී සවස 2. 30 පැවැත්වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division