Home » ලංකාවේ ක්‍රිකට්වලට එපා වූ බව්වා ඉන්දියාවේ සිට දුන් කනේ පාර

ලංකාවේ ක්‍රිකට්වලට එපා වූ බව්වා ඉන්දියාවේ සිට දුන් කනේ පාර

by Mahesh Lakehouse
July 6, 2024 12:30 am 0 comment
රෝහිත් ෂර්මාට සහ විරාට් කෝලිට පුහුණුවීම් අතරතුර පන්දුව වීසි කරමින් සහ නුවන් සෙනෙවිරත්න ඉන්දියාව දිනූ විස්සයි20 ලෝක කුසලානය අතැතිව

අපරාජිත ඉන්දීය කණ්ඩායම වසර 13කට පසු අයිසීසී ලෝක කුසලානයක් දිනා ගත්තේය. මෙවර විස්සයි20 ලෝක ශූර ඉන්දීය පිලට අයිසීසීයෙන් කෝටි ගණනින් මුදල් ද ලැබිණි. යළි මවුබිමට සේන්දු වීමෙන් පසු ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ගේ ද අපමණ ගෞරවයට හා ආදරයට පාත්‍ර විය. නායක රෝහිත් ෂර්මා හා විරාට් කෝලි ඇතුළු ක්‍රීඩකයන් එරට ජනතාව අතර යළි යළිත් සුපිරි තරු බවට පත්වූහ. ඉන්දීය පිලට විස්සයි20 ලෝක කුසලානය දිනා ගැනීමට තිරයේ පිටුපස සිට විශාල කැපකිරීමක් කළ පුහුණු කාර්ය මණ්ඩලය මේ සියල්ල මැද නිහඬ වීරයෝ බවට පත්වූහ. තරගාවලියේ ජයග්‍රහණය අත්කර ගැනීමෙන් පසු ක්‍රීඩා විවේකාගාරයේදී ලෝක කුසලානය අතින් අත ගිය අතර, එහි පහස ලැබීමට අවස්ථාව ලැබූ එකම ශ්‍රී ලාංකිකයා ද එතැන සිටියේය. ඔහු අන් කිසිවකු හෝ නොව ඉන්දියාවේ ලෝක කුසලාන ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන් අතර වැඩි අවධානයට හා කතාබහට ලක් වූ නුවන් සෙනෙවිරත්නය. ඇතැමුන්ට ඔහු නුවන් සෙනෙවිරත්න වූවද වැඩිදෙනකු ඔහු හඳුනන්නේ ‘බව්වා‘ නමිනි.

වසර 2018 සිට ඉන්දීය ජාතික පිලේ ක්‍රීඩකයන්ට පුහුණුවීම්වලදී පන්දුව වීසි කරන විශේෂඥ පුහුණුකරුවකු (Throwdown Specialist) ලෙස කටයුතු කරන 45 හැවිරිදි නුවන් සෙනෙවිරත්න මේ දිනවල කෙටි නිවාඩුවකට යළි ශ්‍රී ලංකාවට පැමිණ සිටී. එහෙත් මේ ලිපිය ලියන මොහොත වන විට ඔහු සිටියේ ඉන්දියාවේ ය. නුවන් සෙනෙවිරත්න සමඟ කතාබහ කිරීමට ‘සිළුමිණ’ අවස්ථාවක් ලැබුවේ නොයෙකුත් දුෂ්කරතා මැද ය. වරින් වර එසේ එකතු කරගත් ඔහුගේ ප්‍රකාශවල වටිනාකම ඉහළ ගියේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු කළමනාකරුවකු වූ චරිත් සේනානායක පැවැසූ තොරතුරුවලිනි. ඒ සියලු තොරතුරුවලින් යළි යළිත් සිහිපත් කෙරෙන්නේ මෙරට ක්‍රිකට් පිලට සෑහෙන දායකත්වයක් ලබා ගත හැකි වටිනා සම්පතක් අසල්වාසී ඉන්දියාව අතට යෑමේ කනගාටුව ගැනය. එය දීර්ඝ කතාවකි.

ඉන්දියාව විස්සයි20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ සතුට එරට ජනතාව හිතේ හැටියට භුක්ති විඳිමින් සිටියදී ශ්‍රී ලංකා පිල මූලික වටයෙන්ම ඉවතට විසිවී හිස් අතින් යළි පැමිණීම ගැන දැඩි ශෝකයට පත්ව සිටි මෙරට ක්‍රීඩාලෝලීන්ගේ සැනසිල්ලට එකම කාරණාව බවට පත්වූයේ ද ‘අපේ එකෙක්’ එතැන සිටීම ය. වෙනස වන්නේ ශ්‍රී ලංකාවෙන් සොයාගත් මේ අගනා මැණික ඉන්දියාව ඉස්තරම් ලෙස කපා ඔපමට්ටම් කර ගැනීමය. ඔපමට්ටම් කරගත්තා මදිවට ඉන් සෑහෙන වැඩක් ගැනීමය. සිය කණ්ඩායමේ ජයග්‍රහණයට උරදුන් පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස බව්වාට ඉහළින්ම කෘතවේදීත්වය පුද කරනු ලැබුවේ එනිසාය. මේ වන විටත් ඉන්දියාවේ පත්තරවල පිටු ගණන්ද, සමාජ මාධ්‍ය ජාලයේ ද එරට ලෝක කුසලාන ජයග්‍රහණය ගැන ලියැවෙද්දී බව්වා ගැනත් ලිපි පළ වෙමින් තිබේ. ඔහුගෙන් ඉන්දීය පිලේ පිතිකරුවන්ට ලැබුණු සහාය ගැන යළි යළිත් සිහිපත් කරමින් සිටී.

පැයට කිලෝමීටර් 150ක වේගයෙන් පිතිකරුවා වෙත වමතින් පන්දුව වීසි කිරීමේ අරුම පුදුම හැකියාවක් සහිත බව්වා ඉන්දීය පිලට එතරම් වටිනා පුද්ගලයකු බවට පත් වීමේ රහස හොඳින්ම දන්නේ නායක රෝහිත් ෂර්මා සහ විරාට් කෝලිය. ඔහුගෙන් වැඩිපුරම වැඩ ගත්තේද ඔවුන් දෙදෙනා ය. පසුගිය වසරේ ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේදිත්, මෙවර අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය දූපත්වල පැවැති විස්සයි20 තරගාවලියේදිත් ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් සහ පාකිස්තානයේ ශාහින් ෂා අෆ්රිඩි වැනි එවැනි වේගයකින් පන්දු යවන වමත් වේගපන්දු යවන්නන් හමුවේ කිසිදු චකිතයකින් තොරව අත දිගහැර දැවැන්ත හයේ පහරවල් එල්ල කිරීමට තරම් ෂර්මාලා, කෝලිලා පමණක් නොව ඉන්දීය පිලේ අගපෙළ පිතිකරුවන් පවා සමත් වූයේ ‘බව්වා’ට පින්සිදු වන්නට ය. පුහුණුවීම්වලදී ඔහුගෙන් එවැනි වේගයකින්ම එල්ල වූ පන්දුවලින් ලැබූ පුහුණුවට පින්සිදු වන්නටය.

කාලයක් පුරා වමත් වේගපන්දු යවන්නන්ගේ අඩුවක් පවතින ඉන්දීය පිලට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වමත් වේගපන්දු යවන්නන් හමුවේ අසරණ වූ අවස්ථා එමට තිබිණි. විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක්, පාකිස්තානයේ ශාහින් ෂා අෆ්රිඩි හා නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් ඒ අතුරින් ඉදිරියෙන්ම පසුවූහ. එනිසාම කණ්ඩායමේ එවැනි පන්දු යවන්නකු නොසිටියත්, පුහුණුවීම්වලදී වමතින් වේගයෙන් පන්දු වීසි කරන පුහුණුකරුවකු ගැන උනන්දුවක් හා අවධානයක් ඇති වී තිබිණි. ඔවුන්ට බව්වා හමු වූයේ එවැනි කාලයකදීය. එය අහඹු සිදුවීමකි.

එය සිදුවූයේ 2017 දී පැවැති ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදීය. ඒ වන විට බව්වා සිටියේ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට පන්දුව වීසි කරමිනි. පැයට කිලෝමීටර් 150ක පමණ වේගයෙන් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගේ පුහුණුවීම්වලදී වමතින් පන්දුව විසි කරන මේ විස්මිත මිනිසා ඉන්දීය පිලේ ක්‍රීඩකයන්ගේ පමණක් නොව පුහුණුකරුවන්ගේ ද උකුසු ඇසට හසු විය. ඉන්දීය පිලට ශ්‍රී ලංකා සංචාරයෙන් පසු යෑමට නියමිතව තිබුණේ ඔස්ට්‍රේලියාවටය. බව්වා සිය වමතින් යවනු ලැබූ අධිවේගී පන්දු ඉන්දීය කඳවුරේ සියල්ලන්ගේම විස්මයට හේතු විය. ඊළඟ වසරේදී බව්වා ඉන්දියාවේ ය.

“ඒක සාමාන්‍ය දෙයක්. ටීම් දෙකම පුහුණු වෙනවා. උදේ අපි පුහුණු වුණොත් හවස ඉන්දීය පිල. එගොල්ලෝ බව්වා දැක්කා. එයාගේ හැකියාව දැක්කා. කොහොමත් කාගේ හරි ක්‍රිකට් සංචිතවල කවුරුහරි දක්ෂයෙක් ඉන්නවා නම් ඒ කියන්නේ පුහුණුකරුවෙක් හරි පන්දුව වීසි කරන කෙනෙක් හරි ඕනෑම රටක රේඩාර් එකේ හැම තිස්සෙම එයාලා ඉන්නවා. අවස්ථාව ආපු ගමන් ගන්නවා’’ එසේ කියන්නේ එවකට ශ්‍රී ලංකා පිලේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක ය.

“ඇත්තටම මම ටීම් එකට එනකොටත් බව්වා සිස්ටම් එකේ හිටියා. හැබැයි එච්චර සැලකීමක් ලැබිලා තිබුණේ නෑ. මම ආවට පස්සේ එවකට පුහුණුකරු ග්‍රෙහැම් ෆෝර්ඩ් කතා කරලයි උඩට ගත්තේ. මං හිතන්නේ 2016 දී විතර වෙන්න ඕනා. එතකොට අපි ඔය කියන සයිඩ් ආම් (side arm thrower) ගැන දැනගෙන හිටියේ නෑ. ඒක දැනගත්තේ එංගලන්තයේ සංචාරයකට ගිය අවස්ථාවේදියි. එංගලන්ත පිලේ පුහුණුකරු ග්‍රෙහැම් ගූච් මේ සයිඩ් ආම් එකෙන් බෝල් කරනවා අපි දැක්කා. මම ෆෝර්ඩ්ට ඒක පෙන්නුවා. බලන්න ගූච් අර බෝලේ වීසි කරන වේගය කියලා. පස්සේ මම ෆෝර්ඩ්ට කිව්වා එයලාගෙන් අහන්න කියලා කොහෙන්ද ගන්න පුළුවන් කියලා. එහෙම තමයි අපි සයිඩ් ආම් මුලින්ම ගත්තේ. අපි සයිඩ් ආම් 4ක් ගත්තා. දෙකක් ෆෝර්ඩ්ට දුන්නා. එකක් බව්වාට දුන්නා. මොකද එතකොටත් බව්වා අතින් බෝල් කර කර හිටියේ. ඊට පස්සේ අපි පුහුණුවීම් ඉවර කරලා බව්වාට කිව්වා බෝල් කරන්න කියලා සයිඩ් ආම් එකෙන්. මෙන්න මේ හාදයා බෝල් කරනවා පැයට කිලෝමීටර් 150ක විතර වේගයෙන්. ඔහොම තමයි පටන් ගත්තේ.’’ චරිත් සේනානායක අතීතය දිගහැරියේය.

එහෙත් බව්වා සයිඩ් ආම් උපකරණයෙන් යවනු ලබන පන්දුවේ වේගය එවකට ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ට ඔවුන්ගේ පුහුණුවට ගැළපුණේ නැති තරම් වේගයකි.

“ඇත්ත කතාව තමයි ඒක. අපේ ක්‍රීඩකයන්ට බැරිවුණා බව්වාගේ වේගයට මුහුණ දෙන්න. වෙනස කියන්නේ අපේ අය මුහුණ දුන්නේ නෑ. බෝලේ ඇඟේ වදියි කියලා. ඒත් බව්වා ඉන්දියාවට ගිය දවසේ ඉඳලා ඉන්දියාවේ ක්‍රීඩකයන් ඒකට බය නැතුව මුහුණ දුන්නා. ඒකයි ඇත්ත කතාව. එතකොට අපිට හිටියේ පැයට කිලෝමිටර් 130-140ක විතර වේගයෙන් පන්දු යවන අය විතරයි. බව්වා දානවා පැයට කිලෝමීටර් 150ක වේගයෙන්. හියුමන් බොඩි එකට, ඒ කාලයේ අපේ ක්‍රිකට්වල තිබුණු ලෙවල් එක අනුව ඒ තරම් වේගයක පන්දුවකට ගහන්න තරම් තාක්ෂණයක් අපිට තිබුණේ නෑ. එච්චර ඉක්මනට ගහන්න කාටවත් පුළුවන් වුණේ නෑ. අපේ සිරුරේ ඉරියව් වෙනස් කරනවාට වඩා වැඩි වේගයකින් බව්වා පන්දු යැව්වා. වැඩේ කියන්නේ ඉන්දියාව බව්වාව ගත්තා ඊළඟට තිබුණු ඔස්ට්‍රේලියානු ටුවර් එක ඉලක්ක කරගෙන. මෙයා වමතින්නේ පන්දුව වීසි කරන්නේ. ඔස්ට්‍රේලියානු ටුවර් එකේදි ඉන්දීය පිතිකරුවන් ස්ටාක්ගේ වමත් වේගපන්දුවට බය නැතිව ගහන්න පටන් ගත්තේ බව්වා නිසයි. ඒක උපායමාර්ගික වැඩක්.’’ චරිත් කීවේය.

චරිත් සේනානායක දැඩි ප්‍රසාදයෙන් යුතුව කතා කළේ නුවන් සෙනෙවිරත්නගේ කැපවීම හා උනන්දුව ගැනය. එය ඔහු පවා විස්මයට පත් කළ කාරණාවකි.

නුවන් සෙනෙවිරත්නගේ අතීතය සිහිපත් කළ ශ්‍රී ලංකා පිලේ හිටපු කළමනාකරු චරිත් සේනානායක

නුවන් සෙනෙවිරත්නගේ අතීතය සිහිපත් කළ ශ්‍රී ලංකා පිලේ හිටපු කළමනාකරු චරිත් සේනානායක

“වැදගත්ම දේ තමයි එයාගේ නියුට්‍රිෂන් එකයි ෆිට්නස් සිස්ටම් එකයි. ඒක හරි පුදුම සහගතයි. මේ විදිහට පුහුණුවන කෙනෙක් මම මගේ ජීවිතේට දැකලා නෑ. එයා එයාගේ වම් අතට වෙනම වේට්ස් වැඩසටහනක් කරනවා, වේගය එක මට්ටමක පවත්වාගන්න. ඒ කරන වේට්ස්, එයාගේ ඩයට් එකයි හැරුණම පුහුණුවීම්වලදී පිතිකරුවන්ට පැය 3ක් තිස්සේ එකදිගට පන්දු යවලා ඊළඟට ජීම් එකට ගිහින් තවත් පැය 4ක් පුහුණු වෙනවා. එයාගේ වම් අත ලොකුයි දකුණු අතට වඩා. මම නිතරම කිව්වේ යකෙක් වගේ පුහුණු වෙනවා කියලයි. ඒ පුහුණුවීම්වල හැටියට එයාට අවුරුදු 55කට වඩා ඉන්න ලැබෙන එකක් නෑ කියලයි මම කිව්වේ. ඒකට එයා කියලා තිබුණා එයාට අවුරුදු 55ක් 60ක් විතර ඉන්න තිබුණොත් ඇති කියලයි. මම හිතන්නේ නෑ සාමාන්‍ය මනුස්සයෙකුට මෙච්චර කැපවීමක් බරක් යොදන්න පුළුවන් කියලා ශරීරයට. පැය 3ක් එක දිගට පුහුණුවිම්වලදී බෝල් කරලා, ඊළඟට තවත් පැය 4ක් ජිම් එකේ පුහුණු වෙනවා කියලා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි. අනික හැමදාම.‘ චරිත් එසේ පැවැසීය.

“ලංකාවේ ඉන්න කොට ඒ කාලේ බව්වා හැමදාම පාන්දර 5ට නැඟිටලා ජීම් එකට යනවා. ඊට පස්සේ අපි ප්‍රැක්ටිස් පටන් ගන්න කොට එයා ඔක්කොම සෙට් අප් හදලා තියෙනවා. ආයේ අපි ප්‍රැක්ටිස් ඉවර වෙලා ආවට පස්සෙ ආපහු ජිම් එකට යනවා ඉතුරු ටික කරන්න. ඒ කියන්නේ කලින් බැරිවෙච්ච ටික කරන්න. අපි ඒකට කියන්නේ ‘ටොප් අප්ස්’ කරනවා කියලයි. ආයේ ඇඟේ පණ තිබ්බොත් මෙයා ආපහු හැන්දෑවටත් යනවා. එහෙම තමයි බව්වා හිටියේ. ජිම් එකෙයි ග්‍රවුන්ඩ් එකෙයි. පුදුම මනුස්සයෙක්.’’ චරිත් සේනානායක ඉන්දීය පිලේ ජයග්‍රහණයේ පසුබිම සකස් කිරීමට දායක වූ බව්වා ගැන දුන්නේ එවැනි සහතිකයකි.

එහෙත් ඉන්දීය පිලේ පිතිකරුවන්ට ලෝක පූජිත වේගපන්දු යවන්නන්, වි‍ශේෂයෙන් වමත් වේගපන්දු යවන්නන් අබිබවා යෑමට බව්වාගෙන් ලැබූ සේවය අතිශය වැදගත් සාධකයක් බවට පත්වී තිබේ. මෙවැනි පන්දු වීසි කරන පුහුණුකරුවන් තිදෙනකුම ඉන්දීය පුහුණු කාර්ය මණ්ඩලයේ සිටිති. රඝු රඝුවේන්ද්‍ර සහ දයානන්ද් ගරානි දෙදෙනාම දකුණතින් පන්දුව වීසි කරන්නෝ වෙති. එබැවින් බව්වාට ඇත්තේ වැඩි සැලකිල්ලකි. මේ තිදෙනාම විරාට් කෝලි ඇතුළු ඉන්දීය පිලේ පිතිකරුවන්ගේ දැඩි ආදරයට හා ගෞරවයට පාත්‍ර වූවෝ වෙති.

“බව්වා ඉන්දියාවට ගිය මුල්ම දවසේ කෝලි එයාට කියලා තිබුණා ‘මම ඔයා ගැන ගොඩාක් අහලා තියෙනවා. මම පුහුණුවීම් කරනකොට ඔයා ඔයාගේ උපරිම වේගයෙන් පන්දු යවන්න’. කෝලි එහෙම කිව්වට අපේ පිතිකරුවන්ට නම් ඒ වේගය දරාගන්න බැරිවුණා. අපේ පිතිකරුවන් කැමැති වුණේ නෑ බව්වාගේ පන්දුවලට මුහුණ දෙන්න. අපේ අය කිව්වේ හයියෙන් දාන්න එපා කියලයි. අපේ රටේදි බව්වාට කරන්න පුළුවන් ගොඩාක් දේවල් කරන්න දුන්නේ නෑ. සමහර පුහුණුකරුවනුත් එහෙමයි කිව්වේ. අවස්ථාවක් දුන්නා නම් දුන්නේ ග්‍රෙහැම් ෆෝඩ් විතරයි. ඒ කාලේ හිටපු සමහර ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් බයෙන් මුහුණ දුන්නේ. ඒත් ඒ කාලේ හිටපු තරුණ අය ඒ කියන්නේ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා වගේ අය නම් බය නැතුව බව්වාට මුහුණ දුන්නා.’’

“එයා හරි පොඩි තැනකින් මෙච්චර දුර ආවේ තිබුණු කැපවීමයි උනන්දුවයි නිසයි. ඒ කාලයේ එයා නැවතිලා හිටියේ සීසීසී එකේ සයිඩ් ස්ක්‍රීන් එක උඩ තිබුණු ශාලාවකයි. ඒක දීලා තිබුණේ පිටරටවලින් එන රග්බි ක්‍රීඩකයන්ට පුහුණුවෙන්නයි. ඒ කාලේ ෆිජී රග්බි ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ඇවිල්ලා ඒකේ නැවතිලා හිටියා. බව්වත් එතැන හිටියා. එයාලගෙන් තමයි බව්වා වේට්ස් කරන හැටි හරියටම ඉගෙන ගත්තේ. නැතුව එයාට වෙනම පසුබිමක් තිබුණේ නෑ. මම ගියාට පස්සේ ආපු මැනේජර්ස්ලාගෙන් එයාට ලැබුණේ කුඩම්මාගේ සැළකිලි. ඒකයි එයා ඉන්දියාවට ගියේ. මම හිටියා නම් කොහොමහරි බලා ගන්නවා. තවත් ප්‍රශ්න කිහිපයක් එයාට ඒ කාලේ ඇතිවුණා. ඒක තමයි ඇත්ත. ඔය සයිඩ් ආම් එක හරි සාර්ථක උපකරණයක්. ඒකෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඉස්සරහට දාන්න, කොටට දාන්න. ඉන්ස්විං කරන්න, අවුට්ස්විං කරන්න විතරක් නෙවෙයි ස්පින් කරන්නත් පුළුවන්. ඒක එක්තරා විදිහක කලාවක්. බව්වා ඒ කලාව හොඳටම ප්‍රගුණ කළා. තවමත් ඉගෙන ගන්නවා. දැන් නම් ලෝකයේ ක්‍රිකට් ගහන හැම රටකම වගේ සයිඩ් ආම් තියෙනවා. ඒවායින් පුහුණුවීම් කරන බව්වා වගේ අය ගොඩාක් ඉන්නවා. ඒත් මම හිතන්නේ බව්වා තමයි මේ හැමෝම අතුරින් ඉදිරියෙන්ම ඉන්නේ’’ චරිත් සේනානායක එසේ කීවේය.

නුවන් සෙනෙවිරත්න පන්දුව වීසි කරන පුහුණුකරුවකු වීමට පෙර දක්ෂ ක්‍රීඩකයෙකි. හෙතෙම සීසීසී ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු පෙළ තරග 2කට ද ක්‍රීඩා කළ බව ‘සිළුමිණ’ට කීවේය.

‘මම මුලින්ම ගියේ කොට්ටාව ආනන්දයට, ඊළඟට පන්නිපිටියේ ධර්මපාල විදුහලට ගියා. අන්තිම කාලයේ ඉගෙන ගත්තේ වෙස්ලි විදුහලේ.’’

කාලයක් නුවන්ගේ ජීවිතයේ හැලහැප්පීම් හා දුෂ්කරතා ගණනාවකට ලක් වී තිබිණි. ඔහු කාලයක් වෘත්තීය වශයෙන් වෑන් රථයක් මඟින් පාසල් සිසු සිසුවියන් ප්‍රවාහනය කිරීමේ වෘත්තියේ නිරතව සිටියේය. ඔහු පුහුණුවිම්වලදී පන්දුව වීසි කරන පුහුණුකරුවකු බවට පත්වූයේ ඉන් පසුවය. එහෙත් ශ්‍රී ලංකාවට සේවය කිරීමට ඔහුට වැඩි අවස්ථාවක් ලැබුණේ නැත. එහි ප්‍රතිඵල අද භුක්ති විඳිනු ලබන්නේ ඉන්දීය කණ්ඩායම විසිනි.

‘රටක් හැටියට අපි පරාදයි.

මනුස්සයෙක් හැටියට බව්වා දිනුම්’.

ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි සමඟ කුසලානය අතැතිව

ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි සමඟ කුසලානය අතැතිව

 

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division