Home » ලෝක කුසලානය අබියසටම ඇවිත් ක්‍රිකට් ලෝකයම දිනූ ඇෆ්ගන් කොල්ලෝ

ලෝක කුසලානය අබියසටම ඇවිත් ක්‍රිකට් ලෝකයම දිනූ ඇෆ්ගන් කොල්ලෝ

by Mahesh Lakehouse
June 29, 2024 12:30 am 0 comment

* අපිට අපේ උපන් රටට සතුටක් දෙන්න පුළුවන් එකම දේ ක්‍රිකට් විතරයි. ඒක හැමෝම දන්නවා 
– නායක රෂීඩ් ඛාන්

* කැසිනෝ යෑමේ, මත්පැන් තොළගෑමේ හෝ ගණිකාවන් සොයායෑමේ පුරුද්දක් ඇෆ්ගන් ක්‍රීඩකයන්ට නෑ
* හලාල් ආහාර නැති නිසා ඔවුන් කෑම උයාගෙන කාලා

මේ ලිපිය ලියන මොහොත වන විට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමට විස්සයි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ගිලිහී ගොසිනි. අවසන් පූර්ව වටයේදී ඔවුහු දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත් වූහ. එහෙත් ලොව පුරා කෝටි සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන් තවමත් කතා වෙන්නේ දේශපාලනික, ආර්ථික හා එකී නොකී හැම අතකින්ම අන්තිම බිංදුවට ඇද වැටී සිටි ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් පිල විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සේන්දු වූ විස්මයජනක කතා පුවත ගැනය. තරගාවලිය පුරා ඔවුන් ලැබූ පෙරළිකාර ජයග්‍රහණ ගැනය. ඇතැමුන්ට එය සුරංගනා කතාවකි. තවත් සමහරුන්ට ඇෆ්ගනිස්තානයටම ආවේණික ජවසම්පන්න තරුණ පිරිසකගේ යුද සංග්‍රාමයකි. සැබෑව නම් මේ කණ්ඩායමට තිබුණේ යුද්ධයෙන් විනාශ වූ සිය උපන් බිමේ අභිමානය හා කීර්තිය ක්‍රිකට් ක්‍රීඩාවෙන්වත් ගොඩගැනීමේ අපේක්ෂාවය. ඔවුන් ක්‍රීඩා කළේ රට වෙනුවෙන්ය. කැපවූයේ ඒ ඉලක්කය වෙනුවෙන් ය.

කාලයක් තිස්සේ ජාත්‍යන්තර ආක්‍රමණයකට ගොදුරු වෙමින් ද, දැඩි මතධාරී ඉස්ලාම් දේශපාලන රටාවකින් ද, වරින් වර තැනින් තැන විනාශකාරී බෝම්බ පිපිරීම්වලින් ද පීඩාවට පත්ව සිටි ඇෆ්ගනිස්තානයේ ජනතාවගේ හදවත්වලට ක්‍රිකට් ක්‍රීඩාවෙන්වත් සතුටක් ගෙන දීමට ය. නායක රෂීඩ් ඛාන් ඇතුළු සමස්ත කණ්ඩායම සිහින දුටුවේ ඒ සඳහා ය. එය කාලයක් තිස්සේ දුටු සිහින සමුදායකි.

ලෝක ක්‍රිකට් පිටියේ නැතිවීමට තරම් අල්ප මාත්‍රයක හෝ කීර්තියක් නොතිබුණු කණ්ඩායමක් හැටියට විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ඇෆ්ගනිස්තානය තුන්වැනි තරගයෙන් පැපුවා නිව්ගිනියා පිල පරාජය කරමින් සුපිරි අට වටයට සේන්දු වූ අතර, මූලික වටයේ තරග 4න් පරාජය වූයේ බටහිර ඉන්දීය කොදෙව් පිලට පමණි.

ලෝක කුසලානයේ ඇෆ්ගන් සටන සැබැවින්ම ඇරඹුණේ සුපිරි අට වටයේ සිටය. සුපිරි අටේ තරගවලට අමෙරිකාවේ සිට කොදෙව් දේශය බලා යද්දී ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය වැඩිපුරම යොමුවී තිබුණේ ඔවුන් වෙතය. අවසන් කණ්ඩායම් හතරට යෑමට හැම අතින්ම සුදුසුකම් තිබුණු කණ්ඩායම් 5ක් සුපිරි අටට ඇතුළත්ව සිටියත්, පළමු තරගයෙන් ඉන්දියාවට පරාජය වූ ඇෆ්ගනිස්තානය දෙවැනි තරගයේදී ලකුණු 21කින් ඔස්ට්‍රේලියාව පරාජය කිරීමත් සමඟ මුළු තරගාවලියම උඩුයටිකුරු වී ගියේය. ලොව පුරා පත්තරවල පිටු ගණන් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් ගැන ලියැවෙන්නට පටන් ගත්තේය.

ඔස්ට්‍රේලියානු ජයග්‍රහණය විචාරකයන් දුටුවේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ හොඳම තරගය ලෙසට ය. ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් සිය රටේ අසරණව සිටි ජනතාව ගැන කෙතරම් සිතන්නේ දැයි කවුරුත් දැනගත්තේ එදා තරගයෙන් පසු ගුල්බඩින් නයිබ් කළ ප්‍රකාශයෙනි. ලකුණු 20කට කඩුලු 4ක් දවාලමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් මොහොතේදී ‘මේ ජයග්‍රහණය අපට විතරක් නෙවෙයි මගේ රටේ මුළු ජාතියම ලැබූ ජයග්‍රහණයක්‘ යැයි ඔහු කීවේය. නායක රෂීඩ් ඛාන් කීවේ ද ඒ ටිකමය.

‘මේ ජයග්‍රහණය අපි දුන්නේ බලාපොරොත්තු දහසක් රඳවාගෙන සිටින මගේ උපන් බිමේ ජනතාවටයි. අපිට අපේ උපන් රටට සතුටක් දෙන්න පුළුවන් එකම දේ ක්‍රිකට් විතරයි. ඒක හැමෝම දන්නවා.‘

එය සැබෑය. 2021 සැප්තැම්බරයේදී තලේබාන්වරු බලහත්කාරයෙන් ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසු මේ දක්වා එරට ජනතාවට ජාත්‍යන්තර වශයෙන් පමණක් නොව දේශීය වශයෙනුත් අත් වූ දෙයක් නැත. ඇත්තේ දරිද්‍රතාව මැදින් එදා වේල ගැටගසා ගන්නා අන්තිම දුක්ඛිත ජීවන රටාවක් පමණි. එරට වැඩිපුරම සිටින්නේ සාමාජිකයකු හෝ කිහිපදෙනකු අහිමි වූ පවුල් ය. එම සාමාජිකයන් එක්කෝ යුද්ධයෙන් මිය ගොසිනි. නැතිනම් තලේබාන් පාලකයන්ගේ සොල්දාදුවන් පැහැරගෙන ගොසිනි. බොහෝ පවුල්වල අවුරුදු දහයේ දොළහේ පිරිමි දරුවෝ පවා අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන පවුලේ කුසගින්න නිවා දැමීමට දායකත්වය ලබා දෙමින් සිටිති. දැඩි ඉස්ලාම් මතධාරී තලේබාන් රජයේ නීතියට අනුව වැඩිවියට පත්වූ ගැහැනු දරුවන්ට පාසල් අධ්‍යාපනය තහනම් ය. විවාහ වීමේ වයසේ පසුවන තරුණියන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම් ය. රෂීඩ් ඛාන්ලා සතුටක් ගෙන දුන්නේ එවැනි පීඩනයක් ජීවත්වන ජනතාවකටය.

ඇරත් ඒ ජයග්‍රහණය ගෙන දුන්නේ නිකම්ම නොව මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ වෙනත් කණ්ඩායම්වලට නැති තවත් ගැටලුවකට මුහුණ දෙමිනි. ඒ අන් කිසිවක් හෝ නොව ඉස්ලාම් දහමින් නියම කර ඇති ‘හලාල්‘ ආහාර ලබා ගැනීමේ ගැටලුව ය. සුපිරි අටට පැමිණ කොදෙව් දේශයට ගිය තවත් මුස්ලිම් රටක් වන බංග්ලාදේශයේ ක්‍රීඩකයන්ට ද එවැනි ගැටලුවක් මතුවූයේ දැයි වාර්තා නොවන්නේ කොදෙව් දේශයේ හලාල් ආහාර ගැටලුව තිබුණේ ඇතැම් ප්‍රදේශවල පමණක් නිසාය. ඔස්ට්‍රේලියානුවන් සමඟ තරගය පැවැති බාබඩොස් දූපතේ හලාල් ආහාර සොයා ගැනීමට කොහෙත්ම අසීරුය. ඔවුන් නවතැන්ගෙන සිටි බ්‍රිජ්ටවුන් අගනුවර හෝටලයේ ද හලාල් ආහාර තිබුණේම නැත. හෝටල් කළමනාකාරීත්වය ඔවුන්ට කාරුණිකව උපදෙස් දුන්නේ ‘උයාගෙන කන්න‘ට ය. නොඑසේ නම් නගරයට ගොස් හලාල් ආහාර සොයා ගන්නටය.

රාත්‍රී කාලයේ හෝටලයෙන් පිටත ගොස් නගරයේ රස්තියාදු වීමට ඇෆ්ගන් ක්‍රීඩකයන් කැමැති නැත. අනිත් අතට ඔවුන්ට කැසිනෝ යෑමේ, මත්පැන් තොළගෑමේ හෝ ගණිකාවන් සොයා යෑමේ පුරුද්දක් ද නැත. එසේ පිටතට ගොස් මැදියම් රැයේ හෝටල් කාමරයට පැමිණීමේ පුරුද්දක් ද ඔවුන්ට නැත. තමන්ගේ උපන් බිමේ ජාතික ධජය සහිත ක්‍රීඩා ජර්සිය හැඳ ක්‍රීඩා කිරීමට හා රට නියෝජනය කරමින් තරගාවලියට පැමිණ සිටීම නිසා මුල්තැන දුන්නේ ඒ සඳහාය. රාත්‍රී ආහාරය ගෙන වේලාසනින් නින්දට යෑම ඊළඟ දිනයට අවශ්‍ය මානසික සුවය අත්කර ගැනීමේ හොඳම ක්‍රමය බව කවුරුත් දනිති. ඇෆ්ගන් ක්‍රීඩකයන්ට අවශ්‍ය වූයේ පැමිණි රාජකාරිය අකුරටම ඉටු කිරීමට සහ රටේ ගෞරවය රැකෙන විදිහට කටයුතු කිරීම පමණි. කණ්ඩායමේ කළමනාකාරීත්වය ද ඊටම සැදී පැහැදී සිටි පිරිසකි. ඇතැම් රටවල කණ්ඩායම් කළමනාකරුවන් මෙන් නොව ඇෆ්ගන් පිලේ කළමනාකරු සිය ක්‍රීඩකයන් සමඟ එකතු වී පිස්සු නැටුවේ ද නැත. පැමිණි රාජකාරිය ඉතා බැරූරුම් බව ඔවුහු හොඳින්ම දැනගෙන සිටියහ.

තලේබාන්වරු රාජ්‍ය බලය අත්කර ගැනීමෙන් පසු ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයට පත් කරනු ලැබූ එවකට 32 හැවිරිදි වියෙහි පසු වූ මිර්වයිස් අෂ්රෆ් ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධව දැඩි අවධානයකින් පසු වූ පුද්ගලයෙකි. හෙතෙම ඇෆ්ගන් ජාතික පිල නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. මුදලට, කීර්තියට නොව ක්‍රීඩාවට සහ රටට ආදරය කළ සැබෑ ඇෆ්ගන් පුත්‍රයෙකි. ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස පත් කර ඇති නසීබ් ඛාන් ඊට එහා ය. ඔහුට ද වැඩි වයසක් නැත. ඔවුන්ට තිබුණේ ද ක්‍රීඩකයන් හා සමානව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඇෆ්ගනිස්තානයට ජාත්‍යන්තර කීර්තියක් ලබා ගැනීමේ අරමුණකි. එහෙත් ඒ සඳහා ඔවුන්ට සිය ක්‍රීඩකයන් දිරිගැන්වීමට ලබාදීමට හැකිවූ සහයෝගය වැඩිපුරම සීමා වූයේ වචනවලට පමණි. තිබුණේ අඩු සම්පත් ය. තම ක්‍රීඩකයන්ට දීමට දහසින් බැඳි පියලි තිබුණේම නැත. ආර්ථිකව බිංදුවට වැටී සිටි රටක් නියෝජනය කළ මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලැබුණේ සෙසු රටවල ක්‍රීඩකයන්ගේ වැටුප හා වෙනත් වරප්‍රසාදවලට සාපේක්ෂව ඉතා අඩු දේවල් ය. රටේ තත්ත්වයත්, ජනතාවගේ තත්ත්වයත් හොඳින්ම දැන සිටි ඇෆ්ගන් ක්‍රීඩකයන් පවා එවැනි වරප්‍රසාද ඉල්ලා සිටියේ ද නැත. එය එරට ජනතාවත් හොඳින්ම දැන සිටි බැවින් පරාජය වුවත් නැවත මව්බිමට පැමිණීමේදී හරසර මැදින් ඔවුන් පිළිගැනීමටත් සූදානම් වී සිටියේය. ක්‍රීඩකයන් ලෝක කුසලාන තරගාවලියට ගියේ එසේ ලද දෙයින් සතුටට පත්වය.

අතේ ඇති මුදලත් ක්‍රීඩාව වෙනුවෙන් වියදම් කිරීමට සැදී පැහැදි සිටි මේ දිරිය සම්පන්න ක්‍රීඩකයන් පිරිසගේ පෞද්ගලික ජිවිතය පවා එරට සාමාන්‍ය ජනතාවගේ මෙන්ම හැලහැප්පීම් හා දුෂ්කරතා රැසකට ගොදුරු වී තිබුණු කාලයක් ද විය. එහෙත් ලොව පුරා විවිධ ෆ්‍රැන්චයිස් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා එක්වීමට අවස්ථාව ලැබීමෙන් යම් ආදායමක් උපයා ගැනීමට ඇතැම් ක්‍රීඩකයන් සමත්ව සිටියහ. ඒ අතින් ඉදිරියෙන් සිටියේ නායක රෂීඩ් ඛාන් ය. ඇෆ්ගනිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරුව ඔහු ය. රට රටවල තරගාවලි නියෝජනය කිරීම නිසා දීර්ඝ කාලයක් රටින් පිටවී සිටි මේ විශිෂ්ට ක්‍රීඩකයා පසුගියදා ලෝක කුසලාන සංචිතයට එකතු වීමට ඇෆ්ගනිස්තානයට ගියේ සෑහෙන කාලයකට පසුවය. ගුවන්තොටුපොළේදී ඔහු මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවේ තලේබාන් රජයේ පාලකයෝ ය. දැඩි ඉස්ලාම් මතධාරී පාලනය නිසාම බහුතර ඇෆ්ගන් ජනතාව අතර බොහෝ ක්ෂේත්‍රවලින් අප්‍රසාදයට පත්ව සිටින තලේබාන් රජය ගැන ජනතාවට ඇති එකම ප්‍රසාදය ක්‍රිකට් ක්‍රීඩාවට දිය හැකි උපරිම සහයෝගය ඔවුන් වෙතින් ලැබීමය. තලේබාන්වරු ඇෆ්ගන් ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් බලාපොරොත්තු වූයේ ජයග්‍රහණය පමණක් නොවීය. ඔවුන් අපේක්ෂා කළේ සිය ක්‍රිකට් කණ්ඩායම විදෙස්ගතවීමේදී පවා රටේ ගරුත්වය ආරක්ෂා කරමින් විනයගරුකව හැසිරීම ය.

ඇෆ්ගන් ක්‍රීඩකයන් හලාල් ආහාර ඉල්ලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරින් සමාජ මාධ්‍යජාලයේ හෝ ප්‍රසිද්ධියේ හෝ විවේචනයට ලක් නොකළ අතර, නවාතැන් ගෙන සිටි හෝටලවල කළමනාකාරීත්වය සමඟ ගැටුම් ඇතිකර ගත්තේ ද නැත. සිදුවූයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ගමන්ම තමන්ගේ ආහාර වේල තමන් විසින්ම සකස් කර ගැනීම ය. ආහාර වේල පිස ගැනීමත්, ඒ අතරතුර ක්‍රිකට් පුහුණුවීම්වලට යෑමත් අතිදුෂ්කර වුවත්, යුද අරගලවල අත්දැකීම් නිසා ඇෆ්ගනිස්තානුවන්ට ඕනෑම දුෂ්කරතාවකට මුහුණදීමේ හැකියාව ඇති බැවින් ඔවුහු ඒ අභියෝගය ද සතුටින් භාර ගත්හ. කොහොමත් ඇෆ්ගන් කාන්තාවන් මෙන්ම පිරිමින් ද ඉහුම් පිහුම්වලට අතිදක්ෂය. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ කළ සංචාරයක් අතරතුර ඔවුන් විසින් පිසනු ලැබූ රසවත් ආහාර වේලකින් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට ද සංග්‍රහ කර තිබිණි. එය එවකට සමාජ මාධ්‍යජාලයේ ‘වයිරල්‘ වී ගිය සිදුවීමකි.

ඇෆ්ගනිස්තාන පිල ඔස්ට්‍රේලියාව පරාජය කළේ එවැනි දුෂ්කරතා මැදය. ඔස්ට්‍රේලියාව පරාජය කිරීම කොහොමත් ඔවුන්ට වැඩි සතුටක් දනවන කාරණාවකි. එය ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයකින් ජයගන්නා කණ්ඩායම නියෝජනය කරන රටේ ජනතාව සමරන ආකාරයේ අතිවිශාල ජයග්‍රහණයකි. එසේ වූයේ ඇෆ්ගනිස්තානයට ඔස්ට්‍රේලියාව සමඟ දේශපාලන ආරෝවක් තිබීම නිසාය. තලේබාන් පාලනයෙන් ඇෆ්ගනිස්තානයේ කාන්තා නිදහස හා ගැහැනු දරුවන්ට අධ්‍යාපනය අහිමි කිරීම නිසා ඇෆ්ගනිස්තාන ජාතික කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ රටවල් අතර ඔස්ට්‍රේලියාව ද වේ. ඔවුන් පසුගිය කාලයේදී ඇෆ්ගනිස්තාන පිල සමඟ පැවැත්වීමට නියමිතව තිබූ ද්විපාර්ශ්වික තරගාවලි ගණනාවක්ම අතහැර දැමුවේ ඒ කාරණාව මුල් කර ගනිමිනි. ඇෆ්ගනිස්තානය සමඟ ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියානු පිලට අවස්ථාව ඇත්තේ ලෝක කුසලානය වැනි යම්කිසි තරගාවලියකදී පමණි. අනිත් අතට තලේබාන්වරු රටේ සමස්ත ක්‍රීඩාව ද තහනම් කර තිබීමත් ඊට හේතු වී ඇත. අවසර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට පමණි. එහෙත් කාන්තාවන්ට ක්‍රිකට් තහනම් ය. සැබැවින්ම එරට හොඳ කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් තිබිණි. එහෙත් තලේබාන්වරු ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසු ඔවුන් විවිධ රටවලට පලා ගොස් තිබිණි. බොහෝ ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩිකාවන් පලා ගියේ ඔස්ට්‍රේලියාවටය. ඔවුන්ට ඒ සඳහා ඔස්ට්‍රේලියානු රජය ‘හදිසි වීසා බලපත්‘ නිකුත් කර තිබිණි.

එදා බ්‍රිජ්ටවුන් නුවරදී ඇෆ්ගන් ක්‍රීඩකයන් ඔස්ට්‍රේලියාව පරාජය කිරීම ඔස්ට්‍රේලියාවේ සිටින ඇෆ්ගන් ක්‍රීඩිකාවන්ට ද ඉමහත් සතුටක් ගෙන දී තිබිණි. ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩිකා ෆිරෝසා ඇෆ්ගන් සමාජ මාධ්‍යජාලයට සටහනක් තබමින් මෙසේ කියා සිටියාය.

‘සියලුම ඇෆ්ගන් ක්‍රීඩකයන්ට සුබ පැතුම්..! ඔයාලා ඉතිහාසය අලුත් කළා. සතුටින් ඉන්න. ජයග්‍රහණය සමරන්න.. දැන් ක්‍රිකට් ලෝකය ඔබේ අතේ..!‘එකම රටක්, එකම ක්‍රීඩාවක්, එකම දක්ෂතාවක්, එකම ඉලක්කයක්, එකම හැකියාවක් – ඒත් අපිට රට වෙනුවෙන් සෙල්ලම් කරන්න බෑ

. මොකද අපි ගැහැනු නිසා‘ ෆිරෝසා එසේ ද සටහන් කළාය.

ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූවද, ආපසු උපන් බිමට යන්නේ ලෝක කුසලානයක් ජයගත් කණ්ඩායමක් ලෙස උදාර හැඟීමෙන් යුතුවය. පරාජයට හේතු සාධක හෝ නිදහසට කරුණු කීවේ ද නැත. මේ විස්මිත පෙරළිය ඇෆ්ගන් ක්‍රීඩකයන් සිදු කරනු ලැබුවේ එරට ක්‍රිකට් ක්‍රීඩාවේ යටිතල පහසුකම් අවම මට්ටමක පවතින පසුබිමකදීය. ඇෆ්ගනිස්තානයේ ජාත්‍යන්තර තරග පැවැත්වෙන්නේ නැත. එසේ ජාත්‍යන්තර තරග පැවැත්වීමට තරම් නොම්මර එකේ ක්‍රීඩාංගණ ද නැත. ඇෆ්ගනිස්තානයේ දකුණු පළාතේ පිහිටි කන්දහාර් නුවරදී 2012 වසරේ ඉදිකිරිම් ආරම්භ කළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පහසුකම් ප්‍රමාණවත් වන්නේ එරට දේශීය තරග පැවැත්වීමට පමණි. එම ව්‍යාපෘතියට අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ආයෝජනය කරනු ලැබුවේ ඉන්දියාව විසිනි. ‘ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩාවේ මක්කම‘ ලෙස හඳුන්වනු ලබන එය ලොව ඉහළම ස්ථානයේ පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගණය ද වේ. පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 3,314 ක උසකින් ය. අනිත් අතට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන සෙසු රටවල තරම් පහසුකම් හා සැසඳීමේදී ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ පහසුකම් ඇත්තේ ඉතා පහළ මට්ටමකය. රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් ඊට වඩා දෙයක් ඔවුන්ට තලේබාන් රජයෙන් බලාපොරොත්තු විය නොහැකිය. වෙනත් රටවල මෙන් අධිතාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයක් හෝ ඩොලර් මලු ගණන් ගෙවා කුලියට ලබා ගත් විදෙස් පුහුණුකරුවන් ද එහි නැත. ඇතැම් විදෙස් පුහුණුකරුවන් ඇෆ්ගන් පිලට නොමිලේ පුහුණුව දුන් අවස්ථාවන් ද තිබිණි. 2023 වසරේ එක්දින ලෝක කුසලානයට සහභාගි වීමට ඉන්දියාවට පැමිණි ඇෆ්ගනිස්තාන පිලේ පුහුණු උපදේශකයා ලෙස කටයුතු කළ ඉන්දීය පිලේ හිටපු ක්‍රීඩක අජේ ජඩේජා ඒ සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සතයක්වත් ගත්තේ නැත. ඇෆ්ගනිස්තානයට ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කිරීමට කාබුල් අගනුවර මොහොමඩ් මිර්සා කටවසායි නමින් ක්‍රිකට් මධ්‍යස්ථානයක් එවැනි අරමුණකින් යුතුව ඉදි කරනු ලැබුවද එය තවමත් පවතින්නේ සංවර්ධන අවදියේය. ක්‍රීඩකයන් බිහිවන්නේ පාකිස්තානයට හෝ වෙනත් රටවලට සරණාගතයන් ලෙස ගොස් එහි සරණාගත කඳවුරුවල ගාල් වී ක්‍රිකට් පුහුණුව ලැබීමෙනි. මුල් කාලයේදී ඇෆ්ගන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිටි බහුතරයක්ම සරණාගතයන් ලෙස වෙනත් රටවලට ගොස් ක්‍රිකට් පුහුණුව ලැබුවෝ වෙති.

ඒ අතුරින් ඇතැම් ක්‍රීඩකයන් රටවල් රැසකම ක්‍රීඩාවේ නිරතවෙමින් සිය දස්කම් මුවහත් කර ගැනීමට තරම් වාසනාවන්තයෝ වූහ. මෙවරත් කණ්ඩායමට ඇතුළත්ව සිටි තුන්ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබි ඒ අතුරින් වැඩිම අත්දැකීම්ලාභියා මෙන්ම කණ්ඩායමේ වයස්ගතම ක්‍රීඩකයා ද වේ. ඔහු ලොව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන ජාතීන් 45කට අයත් කණ්ඩායම් පරාජයට කිරිමට සමත් වූ ඇෆ්ගනිස්තාන පිලේ කොටස්කරුවකු ලෙස වාර්තාවක් ද බිහිකර තිබේ. 39 හැවිරිදි මේ ක්‍රීඩකයා හැදී වැඩුණේ පාකිස්තානයේ සරණාගත කඳවුරකය. නබීගේ පවුලේ සාමාජිකයන් 10 හැවිරිදි වියෙහි පසු වූ මොහොමඩ් නබි ද රැගෙන පාකිස්තානයට පලා ගියේ 70 දශකයේ අගභාගයේදී එවකට කොමියුනිස්ට් විරෝධී ඇෆ්ගනිස්තානයත්, එහි ක්‍රියාත්මක වූ මුජාහිදින් සංවිධානයත් මෙල්ල කිරීමට සෝවියට් දේශය ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමෙන් පසුවය.

1979 සෝවියට් ආක්‍රමණයෙන් අපමණ බැට කෑ ඇෆ්ගන් ජනතාව අනතුරුව උසාමා බිල් ලාදේන්ගේ අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට රැකවරණය දීමේ වරදට 2001 දී අමෙරිකානු ආක්‍රමණයට ද ගොදුරු වූයේ තවත් දශක ගණනාවකට හිස ඔසවා ගැනීමට නොහැකි වන ආකාරයෙනි. එහෙත් ජවසම්පන්න තරුණයන් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයේ සිය ආධිපත්‍ය පතුරුවා ලීමට සමත් වී ඇත්තේ විස්මිත ආකාරයෙනි.

විස්සයි20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය දක්වා ඇෆ්ගනිස්තානය පැමිණි දුෂ්කර ගමන් මග හැම අතින්ම පුදුමාකාරය. එය වසර 45ක යුද්ධයකින් පීඩාවිඳි මිලියන 42ක ඇෆ්ගන් ජනතාවගේ ඇස්වලට සතුටු කඳුළු ගෙනදීමට සමත් වී තිබේ. සෑහෙන කාලයකට පසු ඇෆ්ගනිස්තානයේ ජනතාව වීදි බැස්සේ රජයට විරෝධය පළ කිරිමට නොව සතුට පළ කිරිමට ය. ඔවුන්ට දැන් රෂීඩ් ඛාන්ලාට එහා ලෝකයක් ද නැති තරම් ය. ලෝක කුසලානය ජය ගැනීමට නොහැකි වුවත් ලොව පුරා කෝටි සංඛ්‍යාත ක්‍රීඩාලෝලින්ගේ හදවත් දිනා ගැනීමට ඔවුන් සමත් වී ඇත. රටක් හැටියට යළි ලෝකයා හමුවේ නැඟී සිටීමට එය හොඳටම ප්‍රමාණවත් වනු ඇත. ක්‍රිකට් යනු එක අතකට කදිම රාජ්‍යතාන්ත්‍රික සන්නාමයකි. රටක් ජාතියක් ගොඩ නැඟීමේ කදිම ක්ෂේත්‍රයකි. රෂීඩ් ඛාන්ලා පෙන්වා දී ඇත්තේ එය නොවේද? ඔවුන් නොකියා කියන්නේ කැපවීම තිබේනම් පහසුකම් අදාළම නැති බව නොවේද?

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division