Home » ණය කපා හැරීමේ නිසි සහනය මේ අණ්ඩුව ලබාගෙන නෑ…

ණය කපා හැරීමේ නිසි සහනය මේ අණ්ඩුව ලබාගෙන නෑ…

සජබ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

by Mahesh Lakehouse
June 29, 2024 12:30 am 0 comment

– කෙටි කාලය තුළ ලංකාවේ ණය බර ඩොලර් බිලියන 15කින් වැඩිවෙලා
– බංකොලොත්-භාවයෙන් මිදුණු නිවේදන අපිටම නිකුත් කරන්න බැහැ
– ණය කපා හැරීම 30% කට සාකච්ඡා කරමින් තිබියදී ජනාධිපතිවරයාගේ කලබලය නිසා 10%කටත් අඩු ප්‍රමාණයකට එකඟ වුණා

විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් රටටම සුබ ආරංචියක් ලබා දුන්නා. ඒ සුබ ආරංචිය විපක්ෂය ග්‍රහණය කර ගත්තේ කෙසේද?

ජනාධිපතිතුමා පසුගිය කාලයේ ජාතිය ඇමතීම් කියලා දිගින් දිගටම කතා කළා. නමුත් ප්‍රශ්නය වන්නේ අපි මුහුණ දෙන ණය අර්බුදය හා විනිමය අර්බුදය විසඳීමට ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීමයි. අපි ණය පාර්ශ්ව තුන සමඟ සාකච්ඡා කළේ මූලික කාරණා දෙකක් ගැනයි. ඒ මේ ණය ගෙවීම තවත් අවුරුදු 5 කට ඈත්කර ගැනීම. දෙවැන්න ණය ගෙවීමේදී ණය කපා හැරීමක් සිදු කිරීම. නමුත් අවාසනාවකට මෙන් ජනාධිපතිතුමාගේ කඩිමුඩිය නිසා ඒ එකඟතාවන් දෙකම ක්‍රියාත්මක වූයේ අපේ මූලික ඉලක්කවලට නෙමෙයි. එනම් ඩොලර් බිලියන 15 ක ණය කපා හැරීම වෙනුවට සහ අවුරුදු 5කට ණය ගෙවීම කල් දැමීම වෙනුවට සිදුකර ඇත්තේ එක පාර්ශ්වයක් සමඟ එකඟතාවක් ඇතිකර ගැනීමයි. එය රටට ප්‍රමාණවත් නැහැ. ආරංචි වන අන්දමට ණය කපා හැරීම සිදුව ඇත්තේ 10% කට වඩා අඩු ප්‍රමාණයක් හා ණය ආපසු ගෙවීම 2028 සිට සිදු කළ යුතු බවයි. මූලික ගැටලුව වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදි මුළු බරම ඊ.ටී.එෆ් හා ඊ.පී.එෆ් මත පැටවීමයි. එය මෙරට වැඩ කරන ජනතාවට බරක්. ජනතාවට බරපතළ හානියක්. විදේශ ණය සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගත හැකිව තිබියදී ජනාධිපතිවරයා දේශපාලන වාසි හා ගෞරවය ලබා ගැනීමෙන් සිදුකර ඇත්තේ අහිතකර ප්‍රතිඵලයක්. ණය බංකොලොත්භාවයෙන් මිදුණාය යන්න අපිටම ප්‍රකාශ කරන්න බැහැ. ඒ සඳහා නිල නිවේදනය නිකුත් විය යුත්තේ ලොව පිළිගත් ණය ශ්‍රේණිගත කිරිම් ආයතන හරහායි. අපි විභාගයක් ලිව්වොත් ප්‍රතිඵල දිය යුත්තේ විභාග දෙපාර්තමේන්තුවයි.

මේ නිවේදනය කළේ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් තමන්ට වාසියක් ලබාගත හැකිවෙතැයි විශ්වාසයෙන්. එවැනි පියවරවලින් මේ අර්බුදයෙන් මිදෙන්න බැහැ. ඒ නිසා මෙවැනි රැවටිලි කරන්න එපා. එහෙම වුණොත් ඊළඟට පත්වන ආණ්ඩුවට විශාල බරක් පැටවෙනවා. ණය හිමියන් සමඟ ඇති කරගත් මේ එකඟතාවන් ලේසියෙන් වෙනස් කර ගන්න අමාරුයි. මේ කෙටි කාලය තුළ ලංකාවේ ණය බර ඩොලර් බිලියන 15 කින් වැඩිවෙලා තියෙනවා. මේවා ගත්තේ මොනවාටද? ගත්තේ එදිනෙදා ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න. මේවාට වගකිව යුත්තෝ කවරහුද? ඒ නිසා ජනාධිපතිවරයාගේ රැවටිල්ල නවත්තලා සැබෑ යථාර්ථයට මුහුණ දෙන්න.

ඔබ පවසන්නේ බංකොලොත් බව අහෝසි කිරීමේ සහතිකයත් සමඟ රටට තවත් අභියෝගයන් රැසකට මුහුණ දීමට සිදුවන බවද?

අභියෝග රැසකට මුහුණ දීමට සිදුවෙනවා. එකක් වන්නේ ණය කපා හැරීම 30% කට සාකච්ඡා කරමින් තිබියදී ජනාධිපතිවරයාගේ කලබලය නිසා 10 % කටත් අඩු ප්‍රමාණයක් ලබා දෙන බවටයි එකඟ වී ඇත්තේ. එ් ගැන කොළේ වැහුවා. ඒක රටට එතරම් හොඳ නැහැ. ණය කපා හැරීමේ නිසි සහනය ලබා ගෙන නැහැ.

ණය ගෙවීම 2028 තෙක් කල් දමා තිබෙනවා. ඔබ පවසන්නේ මේ කාලසීමාව තවත් එහාට යා යුතු බවද?

ඔව්. 2032 දක්වා කල් දමා ගත යුතු බවටයි මූලික සාකච්ඡා ආරම්භ වුණේ. ණය ගෙවීමට අපි නැවතත් නැගිටිය යුතු වෙනවා. නමුත් එසේ තිබියදි ජනාධිපතිවරයා කඩිමුඩියේ මේකට කැමැති වුණා. මේ නිසා ඊළඟට පත්වන ආණ්ඩුවට තවත් අනවශ්‍ය බරක්.

ඔබලාගේ ආණ්ඩුවකට මේ නිවැරදි කිරීම් සිදුකළ නොහැකිද?

ණය ගෙවීම් සම්බන්ධ මේ එකඟතාවකට පත් වූ පසු හරිම දුෂ්කරතාවකට පත් වෙනවා. නමුත් IMF කොන්දේසි සම්බන්ධයෙන් යළි සාකච්ඡා කළ හැකියි.

විපක්ෂය පවසන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මැතිවරණ ඉලක්ක කරගත් දෙයක් බවද?

ඔහු මේ ප්‍රකාශය කළේ දේශපාලන වාසිය වෙනුවෙන්. තමන් තමයි පොර කියන්න.

මහ බැංකු අධිපතිතුමා පසුගිය කාලයේ කිහිප විටක්ම පැවැසුවා බංකොලොත්භාවය යන වචනය භාවිත නොකළ යුතු බවට. ජනතාව කවුරු කියන දෙයද පිළිගත යුත්තේ?

ඇත්තටම රට බංකොලොත් වෙලා නෙමෙයි. ණය ගෙවා ගැනීමට නොහැකි තරමට නිශ්චිත ආදායමක් නොමැතිවයි, මූල්‍ය අර්බුදයකට අපි මුහුණ දුන්නේ. රටක් බංකොලොත් වෙනවා කියන්නේ දේශීය විදේශීය අංශවල කඩාවැටීමක්. ඇත්තටම අපි මුහුණ දුන්නේ මූල්‍ය අර්බුදයකට. එය ප්‍රමාණවත් විදෙස් සංචිත නොමැති වීම නිසා ඇති වූ අර්බුදයක්.

මේ සියලු ජයග්‍රහණයන්ට හේතුව වන්නේ පසුගිය කාලයේ ලබාගත් ආර්ථික ස්ථාවරයන් බව ජනාධිපතිවරයා සඳහන් කළා?

අපි හිටියේ අරගලයක. මේ කලබලකාරී පරිසරය දේශපාලන වෙනස්කමක් සමඟ වෙනස් වුණා. මේ අරගලය ඇතිවුණේ 2019 පොහොට්ටු පාලනය නිසා. අදත් තියෙන්නේ පොහොට්ටු පාලනයක්. පාලකයාගේ වෙනස පමණයි සිදුවුණේ. දැන් ජනතාව නිහඬව බලාගෙන ඉන්නවා. එයින් කියන්න බැහැ ස්ථාවරත්වයක් ගොඩනැඟුණා කියලා. අපි තාමත් ණය ගෙවීමේ මට්ටමට ඇවිත් නැහැ. දේශීය වශයෙනුත් මූල්‍ය හිඟයක් පවතිනවා. අද සැබෑ වැඩ පිළිවෙළකට යන්නේ නැතුව කරන්නේ පැලැස්තර දැමීමක්. මේ හැර ආර්ථික වශයෙන් ස්ථාවර වුණා කියන කතාව තවමත් පිළිගන්න බැහැ.

නමුත් ඉදිරියේදී සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනාධිපතිවරයා විසින් ආරම්භ කිරීමට සූදානම් කර ඇති බව වාර්තා වෙනවා..?

එසේ වෙනවා නම් හොඳයි. මේවා නොකඩවා සිදු කිරීමෙන් රට තුළ මූල්‍ය සම්පාදනයක් සිදු වෙනවා. නමුත් ඊට සමගාමීව ජාතික ආර්ථිකය ගොඩනඟා ගන්නා වැඩ පිළිවෙළකට යා යුතු වෙනවා. නිෂ්පාදනය වැඩිකර ජාත්‍යන ‘්තර වශයෙන් ආදායම් සොයා ගත යුතුයි. ජාත්‍යන්තර වෙළෙඳාම හරහා සේවා ආදායම් වර්ධනය කළ යුතුයි. ඒ ගැන රජය කිසිදු දෙයක් කර නැහැ. බිල්ඩිමක හුණු ගෑවට මදි, අලුත්වැඩියාවක් සිදු නොකර.

කොහොමද සජබ රජයක් බලයට පත්වුණොත් ආර්ථික ස්ථාවරත්වය ගොඩනඟන්නේ?

අපි කියන්නේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැඟීමට පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි. ඔප්පු බෙදූ පමණින් එසේ වෙන්නේ නැහැ . ඊට සමගාමිව ජාතික නිෂ්පාදනය වැඩි කිරීම, ජාතික ආර්ථිකය පණ ගැන්වීම සිදුවිය යුතුයි. මේ කිසිවක් වෙන්නේ නැහැ. ප්‍රශ්වලට පැලැස්තර ඇලවීම හැර වෙන විකල්පයකට ආණ්ඩුව යන්නේ නැහැ. අපි නම් දැඩි පියවර කිහිපයකට යනවා. අපේ ආර්ථික දැක්ම ගැන එළිදැක්වීමක් සිදුකර තියෙනවා. බ්ලු ප්‍රින්ට් එකේ තියෙන්නේ කොටසයි. ජාතික නිෂ්පාදනය වැඩි කිරීම ප්‍රමුඛතා අංක එක. කඩිනම් වැඩසටහනකට යන්නේ නැතුව මේ ආර්ථිකයට මුහුණ දෙන්න අමාරුයි. එසේම දැඩි මූල්‍ය විනයක් ඇති කළ යුතුයි.

පිරිසක් පාසල් ගාණේ ගොස් බලය ඉල්ලන බවටත් චෝදනා එල්ල වුණා. මේ චෝදනාව සෘජුවම එල්ල වෙන්නේ විපක්ෂයට නේද

ඒ කිව්වේ සක්වළ වැඩසටහනටනේ. ඔවුන්ට මේ වැඩපිළිවෙළ දරා ගන්න බැහැ. විශාල ඉල්ලුමක් හා ප්‍රතිචාරයක් තිබෙන වැඩපිළිවෙළක්. මෙහි හොඳ පැත්ත ගැන කියන්නේ නැහැ. අපි දැනුම හා සේවා ආදායම් වැඩි කර ගැනීමේ වැඩපිළිවෙළකට අවතීර්ණ විය යුතුයි. මේ කරන්නේ තොරතුරු තාක්ෂණය හරහා සන්නද්ධ කිරීමයි. මේ හරහා රැකියාවන්ට විශාල ඉල්ලුමක් පවතිනවා. මේවාට අපි රජයෙන් සත පහක් හෝ ලබා ගන්නේ නැහැ.

පසුගියදා විපක්ෂයේ ප්‍රබලයෙක් වන සරත් ෆොන්සේකා විපක්ෂ නායකට විරුද්ධව ප්‍රබල චෝදනා එල්ල කළා? ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශයත් සමඟ විපක්ෂයේ ප්‍රබලයන් පිරිසක් ආණ්ඩුවත් සමඟ එකතු වන බව වාර්තා වුණා?

මේ කතාව කොයි කාලයේ සිට එන එකක්ද? ජනාධිපතිතුමා දිවුරුම් දෙද්දි කිව්වා විපක්ෂයේ 60ක් ජනාධිපතිතුමා සමඟ වාඩි වෙනවා කියලා. නමුත් ගියේ හරීන්, මනූෂ හා ඩයනා ගමගේ විතරයි. මේ එකතු වෙන කතාව මැයි දිනයේදීත් ප්‍රකාශ වුණා. සරත් ෆොන්සේකා සභාපති තනතුරේ තාමත් ඉන්නවා. එතුමාගේ ක්‍රියාවන් ගැන විවේචනය කරන්න මම කැමැති නැහැ. ඔහු කළ බරපතළ වැරැද්ද තමයි. පක්ෂයේ විනය ආරක්ෂා නොකිරීම. ගැටලුවක් තියෙනවා නම් එය ප්‍රකාශ කරන ආකාරයක් තියෙනවා. පිටත ගොස් කතා කිරීම එතරම් ගැළපෙන්නේ නැහැ. ඔහුට පෞද්ගලික කාරණා ගණනාවක් තියෙන බවට ආරංචි වෙලා තියෙනවා.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division