ජූලි දෙවැනිදායින් අවුරුද්ද හරියටම දෙකට බෙදෙන්නේය. මේ දීර්ඝ වර්ෂයක් බැවින් ජූලි දෙවැනිදා වන විට වසරේ දින 183 ක් ගෙවී ගොස්, අවුරුද්ද අවසන් වීම සඳහා, තව දින 183 ක් ඉතිරිව ඇත්තේය. එහෙම ‘මැද දවසක’මේ රටේ පාර්ලිමේන්තුව විශේෂ සැසිවාරයක් කැඳවා ඇත්තේය. වසර දෙකකට පෙර ‘කැඳවත්’ නොමැතිව තිබූ රටක්, දැන් යහමින් කා බී හැද පැලඳ ගෙන ඉන්නා තත්ත්වයක ඇත්තේය. ඒවා ඉබේ පහළ වූ දෑ නොවේ. විශේෂයෙන් ආර්ථික වර්ධනය වැනි දෙයක් ‘ප්‍රදුර්භූත’ වන්නේ නැත. ගිරිය කඩාගෙන උඩ පැන්න පළියට ‘ආර්ථික වර්ධන වේගය’ ඉහළ යන්නේ ද නැත. ඒ සඳහා උපාය සහ ක්‍රම විධි ඇත්තේය.
මරණ පරීක්ෂණ කළ පළියට මළ මිනිසා නැඟිටින්නේ නැත. එසේ වූවාට මරණ පරීක්ෂණ පවත්වන්නේය. රටේ ආර්ථික පරිහානිය පිළිබඳව ද ඒ ආකාරයට අනේක විද අවලෝකන කළ හැක්කේය. එසේ කළ පමණින් ආර්ථිකයේ ‘පසුගිය වැරදි’ හරි යන්නේ නැත. ඉදිරි ආර්ථික පිබිදීමක් සඳහා එම අවලෝකනය උපයෝගී කර ගත හැක්කේය. ‘ආර්ථික කළමනාකරණයේ අවුල’ යැයි සඟළ වරහනක් යොදා, මේ සඳහා අවසන් නිගමනය ඉදිරිපත් කළ හැක්කේය. ‘ජයටම ණය’ ගැනීම, මේ රටේ ආර්ථිකයේ ප්‍රධාන බලකණුව විය. ඒ අතරේ තවත් කුඩා කණුවක් වූයේ, සල්ලි අච්චු ගැසීමය. මේ දෙක ‘ආර්ථික කළමනාකරණ උපායකට’ නොව ඡන්ද දායකයා පිනවීම පිණිස, සෑම ආණ්ඩුවක්ම ඉටු කළේය. සුබසාධන ඇබ්බැහිය කර මුලට පැමිණි කල, එය බැර වන්නේ ‘ණය බරටය’. එහෙව් රටක ‘දෙසිය විසිපහ’ හම ගසා, එයින් බෙර සදා වාදනය කළ ද ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ නැත. ඉතිරි දෙකෝටි ගාණම ‘අන්ත අවිහිංසක’ තාලයෙන් පැත්තකට කළ නොහැක්කේය. වගකීමේ වැඩි පංගුව ‘පාලිතයා’ අත බව මේ තීරුවේ අදහසය. ණය සේවාකරණයේ දුර්වලතාව, පමණ ඉක්මවා ගිය සුබසාධනය, මැතිවරණය බලා ආර්ථික තීරණ ගැනීම, කොවිඩ් වසංගතය ආදී කාරණා රාශියක් ‘එකවර පස්සෙන් එළවීමට’ පටන් ගත් විට, ආර්ථිකය බංකොලොත් විය.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ, අතරමඟදී ‘පුටුවෙන් බැස යන්නේ’ මේ සියල්ල ඔහුගේ කාලයේ එක්වරම පත්තු වූ බැවිනි. ඒ මොහොත වනාහි, රට අයාලේ ගිය කාලයක් විය. එවන් මොහොතක පාලනය බාර ගැනීම වනාහි ‘හෙලකට වැටෙනා බසයෙන් රියැදුරා ද පැන්න කල’ සිය ජීවිතය ද නොතකා ‘සුක්කානම’ භාර ගැනීම බඳු වැඩකි. බසය පල්ලම බලා ඇදෙන්නේ, රියැදුරු අසුන ඇති පැත්ත පහළට හෙළාගෙනය. එවන් විටක වැඩේ අවුලක් වුවහොත්, මුලින්ම අවසන් වන්නේ රියැදුරාය. රනිල් වික්‍රමසිංහ ඒ මොහොතේ සුක්කානම ගත්තේය. ඊට පෙර අවස්ථාව ලද බොහෝ දෙනා තමන්ගේ දේශපාලන අනාගතය ‘මේ ප්‍රශ්නය මත්තේම’ අවුල් වනු ඇතැයි සිතා ‘අගමැතිකම’ සඳහා නම යෝජනා කළ කල්හි ‘පණ එපා කියාගෙන’ දිව්වේය. වෙනදාට ඇමැතිකමක් සඳහා පොර බදින ‘දේශපාලනයේ’ මෙදා ‘අඬගසා අගමැතිකම’ දෙන විට ද එපා කියන තරමට ප්‍රශ්නය බරපතළ වී තිබුණි.
එහෙම අගමැතිකම ගෙන අවසානයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු ද එකතුව, මේ රටේ ස්ථාවර දේශපාලනයක් සඳහා අලුත් පෙළක් ඇතිවිය. ගිය සතියේ බදාදා දහවල් වන විට ‘පැරිස් සමාජය’ ඩොලර් බිලියන පනස් දෙකක් සහ චීනයේ එක්සිම් බැංකුව, ඩොලර් බිලියන 48ක් ලෙස ශ්‍රී ලංකාවේ ණය සදහා ‘සහන කාලයක්’ ලබා දෙන්නේය. එසේ කරන්නේ, ශ්‍රී ලංකාවෙන් පැමිණි කණ්ඩායමේ ‘මුහුණු බලා’ නොවේ. පසුගිය දෙවසර තිස්සේ සිදු කළ, වැඩ කොටස බලාය.
යළි අත්හදා බැලීම් හෝ අපට රිසි ආකාරයට ආර්ථිකය කළමනාකරණය කළ නොහැකි තැන දක්වා රට පත්ව තිබුණි. ‘ලෝකයේ අවසාන ණය දෙන්නා’ මූල්‍ය අරමුදලය. එතැනට ගියාට පසු ‘නොහැදෙන්නේ’ නම්, ඊට එහා පැත්තේ ඇති අසාර්ථක රාජ්‍යයට යා හැක්කේය. එවන් කඩඉමක තිබූ රටක කතාව දැන් ‘හරි මැදට’ පැමිණ ඇත.
වසර දෙකකට පෙර, රට තිබුණේ තරාදියේ පාඩු පැත්ත ‘බිම ගෑවෙන’ ගාණටය. බංකොලොත් ලකුණ දරන රටක ‘ඇත්ත කතාව’ එයය. ගිය බදාදා සිට, ලාභ පාඩු සම ගාණට හෙවත් ‘හරි මැද්දට’ රට පැමිණියේය.
ජූලි දෙවැනිදා කියන්නේ, අවුරුද්දේ ‘හරි මැදය. ඒ දවසේ විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් කථානායකගෙන් ඉල්ලීමක් කරන ලදි. ‘හරි මැදට’ පැමිණි රට, ඉදිරි කාලයේ කොයි පැත්තට බර කරනවාද නැද්ද යන්න ඇත්තේ, වසරේ ‘හරි මැද’ පාර්ලිමේන්තුව ගන්නා තීරණය සහ ඉන්පසු ජනතාව ගනු ලබන තීරණ මතය.
බදාදා අසන ලද ‘සුබ ආරංචිය’ අනුව ශ්‍රී ලංකාව, සිය ණය ගෙවීමේ කාලය 2043 දක්වා දීර්ඝ කර ගත්තේය. මේ සහනය හේතුවෙන්, ණය පොලී අනුපාතය ද පහළ යන්නේය. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය, ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ පෞද්ගලික බැඳුම්කර හිමියන් සමඟ එකඟතාව යන අදියරේ තුනෙන්, දෙකක් මේ වන විට ශ්‍රී ලංකාව සාර්ථකව අවසන් කර ඇත්තේය. පෞද්ගලික බැඳුම්කර හිමියන් සමඟ එකඟතා ඇති කර ගැනීමේ කටයුතු ද ඉදිරිය බලා ගමන් කරමින් තිබේ.
එතැන් සිට ඉදිරිය බලා යෑමේ අභියෝගය සඳහා ජූලි දෙවැනිදා රැස්වෙන පාර්ලිමේන්තුවත්, ඉන් පසු ගන්නා ජනතා තීරණයත් බලපානු ඇත්තේය. අදින් ආරම්භ වන මාස හයක කාලය වනාහි, මේ රටේ කතාවේ ‘හොඳම හරිය’ වනු ඇත්තේය.