Home » දේශීය සංස්කෘතික සම්ප්‍රදානයකට පදනම දැමූ මහින්දාගමනය

දේශීය සංස්කෘතික සම්ප්‍රදානයකට පදනම දැමූ මහින්දාගමනය

by Mahesh Lakehouse
June 22, 2024 12:30 am 0 comment

– විධිමත් ආර්ථික සැලැස්මක් පිළිබඳ මිහින්තලා මැද මළුවේ සෙල්ලිපියක සඳහන්
– ලොව ප්‍රථම අභය භූමිය ලෙස නම් වන්නේ, මිහිඳු හිමි වැඩම කළ අවස්ථාවේ දේවානම්පියතිස්ස රජු මුවන් දඩයමේ ගිය මිහින්තලයයි
– රාජ්‍ය පාලනය හා පාලන තන්ත්‍රය සකසා ගත යුතු ආකාරය ගැන රජුට වෙනම පුහුණුවක්

මිහිදු – තිස්ස හමුවෙන් අඹතලාව මිහින්තලාව වූදා පටන් අපට දායාද වූයේ හුදෙක් පාරභෞතික ආගමක් නොවේ, විචක්ෂණ බුද්ධියෙන් සමන්විත සම්‍යග් දර්ශනයකි. අඹ ගැන පැනය ද නිකම්ම පැනයක් නොවේ. ඒ මඟින් මිහිඳු මහ රහතන් වහන්සේ පිරික්සනු ලැබූයේ තිස්ස රජුගේ මතු නොව මුළු මහත් හෙළයේ ම බුද්ධි මහිමයයි. ඒ අසාමාන්‍ය බුද්ධි පරීක්ෂණයෙන් එදා මිහිඳු – තිස්ස සුසංයෝගය හෙළිපෙහෙළි කළේ හෙළ රැසේ පැනසර බවයි. හෙළ රැස බුද්ධි ගෝචර දහමක් හා බැඳුණේ එපරිද්දෙනි. ඒ පැනසර බවේ මහිමයෙන් බිහි වූ සංස්කෘතික කලා සම්ප්‍රදායේ උත්තුංග ඵලය වඩාත් සක්‍රියව ක්‍රියාත්මක වීමේ පදනම මෙකල්හි පවා සවිමත්ව බලගැන්වෙන්නේ ඒ නිසාය.

කෘෂිකර්ම හා වාරිමාර්ග දියුණුව සැකසෙන අයුරු

කෘෂිකර්ම හා වාරිමාර්ග දියුණුව සැකසෙන අයුරු

මිහිඳු හිමි මෙරටට වැඩම කරන්නේ මීට වසර දෙදහස් තුන්සිය විසිහතකට පෙරය. මේ පිළිබඳ සවිස්තරාත්මක කරුණු දීපවංශයේ සඳහන් ය. 1922 වසරේ ජේ. ඩී. ප්‍රනාන්දු විසින් කොළඹ ‘ග්‍රන්ථ ප්‍රකාශ‘ යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවන ලද ඩී. එච්. එස්. අභයරත්න විසින් සම්පාදනය කරන ලද ‘සිතියම් සහිත මහාවංශය‘ කෘතියේ මහින්දාගමනය ගැන පූර්ණ විස්තරයක් අන්තර්ගතය. මිහිඳු හිමියන් ලංකාවට වැඩම කළ බව සඳහන් ගිරි ලිපියක් අම්පාර දිස්ත්‍රික්කයේ රජගල පුදබිමෙන් හමුවී ඇත. ඒ ගිරි ලිපිය පිළිබඳ විස්තර මහාචාර්ය සෙනරත් පරණවිතාන INSCRIPTIONS OF CEYLON නම් ග්‍රන්ථයේ පළමු වෙළුමෙහි දක්වා ඇත.

මිහිඳු සම්ප්‍රාප්තිය ප්‍රකට කරවන එක් විශේෂ කරුණක් වන්නේ ‘මහමේඝ වනෝද්‍යානය’ මිහිඳු හිමියන් පිළිගත් බව මහාවංශයේ දැක්වෙන ප්‍රවෘත්තියයි. මෙය නගරයට එතරම් දුර හෝ ආසන්න නොවූ ස්ථානයක පිහිටා තිබීම නිසා ආගමික කටයුතු සඳහා පහසු බවක් ඇති කිරීම එය තෝරා ගැනීමට හේතු විය.

ප්‍රාග් මහින්ද යුගයේ සංස්‌කෘතිය

සංස්‌කෘතියක්‌ යනු කුමක්‌දැයි නිසි අවබෝධයක්‌ ලබාගෙන තිබීම මේ සම්බන්ධයෙන් වැදගත් වේ. සංස්‌කෘතිය යන වදන පිළිබඳව ඇති නිර්වචන රාශිය අතරින් අතිශයින් වැදගත් වන්නේ බ්‍රිතාන්‍ය මානව විද්‍යාඥ ඊ. බී. ටයිලර්ගේ නිර්වචනයයි. ඔහු සඳහන් කරන්නේ පරම්පරාවෙන් පරම්පරාවට පුද්ගලයන් විසින් පවත්වාගෙන එනු ලබන විශ්වාස, ආගමික ඇදහිලි, නීතිය, භාෂාව, කලා ශිල්ප, ආචාර ධර්ම, සාරධර්ම ආදී වූ මිනිසා සමඟ අත්‍යන්තයෙන් බැඳී පවත්නා සමස්‌ත කාරණා රාශිය සංස්‌කෘතිය වන බවයි. එසේ නම් සිංහල සංස්‌කෘතිය වශයෙන් අප කතා කරන විට ඒ ආශ්‍රයෙන් වුව හැඳිනගත හැකිවන්නේ අප ජනාවාස ගත වූ දින පටන් නොකඩවාම පවත්වාගෙන එන ඉහත කී සියලු අංශ සංස්‌කෘතිය වන බවයි.

පුරාණයේ පටන් මෙරටවාසීන් නොකඩවා පවත්වා ගෙන ආ විවිධ ඇදහිලි ක්‍රම සම්පූර්ණයෙන්ම ප්‍රතික්‌ෂේප නොකළ මහින්ද තෙරණුන් ඒ සඳහා සුදුසු පරිදි සංශෝධන ඉදිරිපත් කළේ මිනිසුන්ගේ සිත් නොරිදෙන පරිද්දෙනි. නාගයන්ට ගරු සැලකිලි දැක්‌වීම, මළගිය භූතයන් ඇදහීම, යන්ත්‍ර මන්ත්‍ර කිරීම, දෙවි දෝෂ ගැන විශ්වාසය පැවතීම, මළ වීරයන් දෙවිවරුන් දෙස ඇදහීම ආදි දෑ මෙරටවාසීන් නොකඩවා පවත්වාගෙන ආ ඇදහිලි හා විශ්වාස වූ අතර මෙකී සංකල්ප හානියක්‌ නොවන ලෙසට හා බුදුදහමට පටහැනි නොවන ලෙසට සංශෝධනය කිරීමේ දක්‌ෂතාව මිහිඳු හිමියන් සතු විය. ඒ අනුව මෙරටවාසීන්ගේ ජන ජීවිතයට අවැසි සියලූ දෑ බෞද්ධ උරුවට සකස්‌ වීම මෙතරම් සුමටව සිදු වීමේ පදනම සැකසිණි.

පුද්ගල හා සමාජ ජීවිතය සාර්ථක කරගන්නා ආකාරය මිනිසා වෙත සම්ප්‍රේෂණය කිරීමේ මටසිලුටු ක්‍රමවේදයක් අනුගමනය කිරීමට මිහිඳු හිමියන්ට හැකි විය. ඔවුන්ගේ අවශ්‍යතා සඵල කරගැනීමට දේශපාලන නායකත්වය, ආර්ථික ක්‍රමෝපාය, රට සංවර්ධනය කරා යොමුකරවන රජුගේ ජීවන වෘත්තිය සකස්‌ කරගත යුතු ආකාරය හා බෞද්ධ රාජ්‍ය පාලන මූලධර්ම පිළිබඳ මනා පරිචයක්‌ මිහිඳු හිමියන් දේවානම්පියතිස්‌ස රජු වෙත ලබා දුන් බව ඔහුගේ පාලන තන්ත්‍රයේ ස්‌වභාවයෙන්ම හඳුනාගත හැකිය. ඔහු පමණක්‌ නොව ඉන්පසු රාජ්‍යත්වයට පැමිණි ඔහුගේ සොයුරු උත්තිය කුමරු ද ඉන්පසුව රාජ්‍ය ගත් සැම දෙනා ද මේ අනුව සකස්‌ වුණු බව ඉතිහාසය නැවත නැවත පිරික්‌සීමේදී තහවුරු කරගත හැකිය.

බෞද්ධ සංස්කෘතියේ ආරම්භය

බුදු සමයේ මධ්‍යස්ථානය වශයෙන් අනුරාධපුර නගරය මිහිඳු හිමියන් විසින් සැලසුම් කරන ලද ආකාරය මහාවංශය විස්තර කර තිබේ. පසුකාලයේ මෙරට බෞද්ධ උරුමයේ මහා කේන්ද්‍රස්ථානය හා ථේරවාදී බෞද්ධාගමේ පදනමේ න්‍යෂ්ටිය වූ මහා විහාරය බවට පෙරළුණේ මිහිඳු හිමියන් ආරම්භ කළ ඒ ස්ථානයයි. මේ අනුව මිහිඳු හිමියන් අනුරාධපුර සැලසුම්කරණයේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වශයෙන් කටයුතු කළ බවට වංශ කතා සාධක ඇත. විශේෂයෙන් තම පියා වූ අශෝක රජතුමා විසින් ඉදි කරන ලද සාංචි ස්තූපය ආදී නිර්මාණ පිළිබඳ අත්දැකීම් සතුව සිටි බැවින් එහි දැනුම ලංකාවේ ප්‍රථම ස්තූපය වු ථූපාරාමයේ සැලැස්ම කෙරෙහි බලපාන්නට ඇති බවට අනුමාන කළ හැකිය.

මිහිඳු හිමියන්ගේ ආගමනය එතෙක් නියාමාකාරව හැඩගැසී නොතිබුණු සංස්කෘතිය විධිමත් හා වැදගත් ප්‍රවේශයක් කරා සම්ප්‍රේෂණය කළේය. එය බෞද්ධ සංස්කෘතියේ ආරම්භය හැටියට සැලකිය හැකිය. උන්වහන්සේ නව ආගමක් මෙන්ම සභ්‍යත්වයක් ද ලංකාවාසීන්ට හඳුන්වා දුන් අතර; කලාව හා ගෘහ නිර්මාණ ශිල්පය ප්‍රධාන කරගත් බෞද්ධාගමට ගැළපෙන කලා සම්ප්‍රදායක් හඳුන්වා දීමේ පෙර ගමන්කරුවා ද වූහ. එමෙන්ම මිහිඳු හිමි සිංහල සාහිත්‍ය සම්බන්ධයෙන් ද පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ බව පැහැදිලිය. ත්‍රිපිටක අට්ඨ කතා ගෙනවිත් ලංකා ජනතාවගේ යහපත සඳහා හෙළ බසට පෙරළුෑ බව බුද්ධඝෝෂ හිමියෝ පවසා ඇත්තාහ.

මිහිඳු හිමියන් විසින් මෙසේ සිංහල භාෂාව ඇසුරින් සාහිත්‍යමය සම්ප්‍රදායක් ආරම්භ කරන ලද අතර; අශෝක හෝඩිය ඇසුරින් ලේඛන සම්ප්‍රදායක් ඇති කිරීමට පුරෝගාමී විය. ලංකාවේ ප්‍රථම අධ්‍යාපන කේන්ද්‍රය ලෙස සැලකෙන පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ වීමත්, ඒ හරහා නූතන විශ්වවිද්‍යාල ඇති වීමේ පදනම වැටුණු විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් ආරම්භ වීමත් මහින්දාගමනයේ කැපී පෙනෙන විශිෂ්ට ලකුණුය. මෙරට සාහිත්‍ය හා සංස්කෘතික පදනම නිර්මාණය වීමේ ලා මූලික ශක්තිමත් ප්‍රවේශය භික්ෂු අධ්‍යාපනය ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් ඇරඹි අතර; එය විධිමත් සංස්කෘතියක පූර්වාදර්ශය විය.

මහින්දාගමනය වූ කලී ඉන්දියාව හා ලංකාව අතර පැවැති සමාජ සංස්කෘතික හා රාජ්‍ය සම්බන්ධතා රාශියක එකමුතුවකි. මහින්දාගමනය ඇසුරින් පෝෂණය වී ගිය රාජ්‍ය පාලනය හා දේශපාලන විභවයන්හි කැපී පෙනෙන සාධකය වූයේ ලංකා රාජ්‍යයට හිමිකම් කියාපෑමට ඇති නීතිමය බලය බෞද්ධ ජනතාවට හිමි වීමයි. මිහිඳු හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධාගම වැළඳගත් දේවානම්පියතිස්ස රජතුමා විසින් සමාජ, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි මීට පෙර කාල පරිච්ඡේදවලට වඩා සීග්‍ර සංවර්ධනයක් ඇති කිරීමට පුරෝගාමී විය. මෙම ගතිකය රටෙහි ඇති කිරීමට හැකිවූයේ දේශපාලන බලය එක්සත් කිරීමට හැකි වූ නිසාය. අසල්වැසි රාජ්‍යයේ පාලකයා වූ අශෝක රජතුමා මෙරට දේශපාලන බලය ස්ථාවරව පවත්වා ගැනීමට අවශ්‍ය වූ සාර්ථක මූලධර්ම හඳුන්වා දෙමින් අනුපමේය සහයක් ලබා දුන්නේය. ඒ පාලන ක්‍රමවේදය දේශීයත්වයට හා ජාතිකත්වයට අනුකූල වූ අතර, මේ පොළොවේ ගුණ සුවඳ ඉව අල්ලන්නක් විය. එනිසාම ජනතාව මේ කෙරෙහි ආශක්ත විය. දේශීය වාරි කර්මාන්තයක් ගොඩනැඟීමට උපස්ථම්භක වූ කෘෂි ආර්ථික ගැටලු පිළිබඳ මිහිඳු හිමි සතු සවිඥානිකත්වය පුදුමසහගතය. වාරි සංස්කෘතිය යනු මේ රටේ ස්වයංපෝෂිත බව පිළිබඳ වන සහතිකයයි. අධ්‍යාපනය, කෘෂි ආර්ථිකය හා සංස්කෘතික පෙළගැස්ම මෙරට ජනතාවට එක් කළ ආලෝකය කෙතරම් ද යන්න කීමට අටුවාටීකා අවැසි නැත.

මේ වැනි විධිමත් පාලන තන්ත්‍රයක් හා දේශීය ආර්ථිකයක් හඳුන්වා දීමේදී ඊට සමගාමීව එහි පිරිවැය වාර්තා සකස් වීම අත්‍යවශ්‍ය දෙයකි. එහිදී කුඹුරු වගා බිම් සඳහා බදු ක්‍රමයක් හඳුන්වා දී තිබේ. ඒ ගිණුම් වාර්තා හා අයබදු අයකිරීමේ ක්‍රමවේදය ගැන විධිමත් අයුරින් ආර්ථික සැලැස්මක් නිර්මාණය කිරීමට අදාළ විස්තර ඇතුළත් සෙල්ලිපියක්; මිහින්තලා පුද භූමියේ මැද මළුවේ දේවානම්පියතිස්ස රජු විසින් ස්ථාපනය කර තිබේ. පරිසරය රැක ගැනීම, වනජීවී අපරාධ වැළැක්වීම ආදී මේ සියල්ල මහින්දාගමනයෙන් පසු ඇතිවූ පරිසරය සුරැකීමේ ක්‍රමවේද යි. ලොව ප්‍රථම අභය භූමිය ලෙස නම් වන්නේ, මිහිඳු හිමි වැඩම කළ අවස්ථාවේ දේවානම්පියතිස්ස රජු මුවන් දඩයමේ ගිය මිහින්තලයයි. මිහින්තලාව මහමෙවුනා උයන ඇතුළු ප්‍රදේශය ලොව ප්‍රථම අභය භූමිය ලෙස ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ පොසොන් පසළොස්වක දිනයේදී දෙවැනිපෑතිස් රජතුමා විසින් නම් කරන ලදි. ලෝක පරිසර දිනය; රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වෙන දිනයේම මෙවර යෙදී තිබීම මේ සියල්ල අනුස්මරණයට කදිම නිමිත්තකි.

මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් බෞද්ධාගමික ප්‍රබෝධය මෙරට ඇතිවූවා පමණක් නොව; රාජ්‍ය පාලකයකු මධ්‍යයේ සිට පරිධිය දක්වා තම අණසක ව්‍යාප්ත කොට රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුමක් ද ලැබූ බව සිතිය හැකිය. එහිදී රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කළ ප්‍රධාන මධ්‍යස්ථානයේ සිට ඈත ප්‍රදේශ දක්වා ජනතාව සංවිධානය කිරීමේ විස්තෘත බලය හා රාජ්‍ය සංවර්ධනය සඳහා ජනතා සහය ලබා ගැනීමට අවශ්‍ය විධාන නිකුත් කිරීමේ ප්‍රධාන මූලෝපාය අප රටට ලැබුණු බව අනුමාන කළ හැකිය. මේ ඇසුරෙන් සකස් වූ ශක්තිමත් ක්‍රමවේදය ඈත හා මෑත සියලු පාලකයන්ට සිය පාලන තන්ත්‍රය සකස් කරගැනීමේ ලා උපස්ථම්භක වන්නට ඇත. අනුරාධපුර දේශපාලන ව්‍යුහය බිඳ වැටීමට හේතුවූයේ බාහිර වශයෙන් අප රට වෙත එල්ල වූ චෝල ආක්‍රමණයි. එබැවින් පොලොන්නරු රාජ්‍ය පාලන සමයේ එහි රාජ්‍ය කළ නිශ්ශංකමල්ල රජතුමා විසින් සෘජුවම තම සෙල්ලිපි ඇසුරින් ලියා තබන ලද්දේ, ලංකාව බුදු සමයෙන් පෝෂණය වී ඇති බවත් චෝල, පාණ්ඩ්‍ය, කේරළ ආදී අබෞද්ධ පිරිස් විසින් රාජ්‍ය පාලනය සඳහා අවසර නොපැතිය යුතු බවත්ය. 13 වැනි සියවසට අයත් පූජාවලිය මඟින් වඩාත් විචිත්‍රව පවසා ඇත්තේ මෙරට මිහිඳු හිමියන්ගේ ආභාසය ලද නිර්මල බුදු සමයේ පවතින රාජ්‍යයක් බැවින් මිථ්‍යාදෘෂ්ටික කිසිවකුට රාජ්‍ය පාලනය සඳහා අයිතියක් නැති බවයි.

පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ූන් වහන්සේ

පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ූන් වහන්සේ

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේදී මෙරට ආණ්ඩුකාරවරයකු ලෙස කටයුතු කළ රොබට් බ්‍රවුන්රිග් විසින් එංගලන්තය වෙත යවන ලද එක් ලිපියක් මඟින් පිළිගත් ප්‍රධාන කරුණක් වූයේ උඩරට රාජ්‍යයේ ස්වාධීනත්වය හා බුද්ධාගම අතර ප්‍රධාන සම්බන්ධයක් පවතින බවයි.

ගෙවී ගිය ඓතිහාසික කාලපරිච්ඡේදය තුළදී බාහිර ආක්‍රමණ එල්ල වූ සෑම අවස්ථාවකදීම මිහිඳු හිමියන් විසින් මෙරටට ගෙන එන ලද නිර්මල බුදුදහම හා බැඳී පැවැති සම්ප්‍රදාය සඳහා තර්ජන එල්ල වූ බැවින් පසුකාලීන රාජ්‍ය පාලකයන් විසින් මිහිඳු සම්ප්‍රාප්තිය හා බුදු දහම පිළිබඳ ඇති වැදගත්කම අවධාරණය කොට ලියා තැබීමට උත්සාහ කරන ලදී.

රාජ්‍ය පාලනයට ශක්තිමත් අඩිතාලමක්; විශිෂ්ට සෞන්දර්ය ප්‍රවේශයක්

ශ්‍රී ලංකාවට බුදු සමය හඳුන්වා දුන් කි.පූ 3 වැනි සියවසේ ආරම්භයේ සිට ශතවර්ෂ ගණනාවකදී අනුරාධපුර නගරය පුළුල් සංවර්ධනයක් අත්පත් කර ගත්තේය. එය දකුණු ආසියාවේ වැදගත් හා විශාලතම නගර අතර කැපී පෙනෙන ආර්ථික, දේශපාලනික, වාණිජ වශයෙන් වැදගත් කර්යයක් ඉටුකර ඇත.

දීප ව්‍යාප්තව පවත්නා මුල්කාලීන බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි සාධක අනුව පෙනී යන්නේ මිහිඳු හිමියන් මෙරටට පැමිණි මුල්කාලයේදීම බෞද්ධාගම ඇදහීම කෙරෙහි ජනතාව නැඹුරු වී සිටි බවයි.

මිහින්තලේ ලෙන්වල ඇති අක්ෂර මඟින් තත්කාලීන ප්‍රභූ පන්තිය විසින් නව ආගම වැළඳගෙන බෞද්ධාගම පුනර්ජීවනය සඳහා මැදිහත් වූ අයුරු ගෙනහැර දක්වයි. විශේෂයෙන් එහි අක්ෂර පාඨයන්ගේ දැක්වෙන ‘දෙවනපිය තිස ගාමිණි තිස‘ නම් වචන මඟින් හෙළිදරව් වන්නේ, බුදුදහම ප්‍රචලිත කිරීම සඳහා මිහිඳු හිමියන් සමඟ සමීපව කටයුතු කළේ දේවානම් පියතිස්ස රජතුමා බව ය.

මිහින්තලා සෙල් ලිපිය

මිහින්තලා සෙල් ලිපිය

මිහිඳු හිමියෝ තමන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සඳහා චුලහත් ථිපදෝපම සූත්‍රය දේවානම් පියතිස්ස රජතුමාට දේශනා කළහ. එමඟින් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයට ගරු කරමින් බෞද්ධ දර්ශනයට අනුව එහි වත්පිළිවෙත්හි යෙදෙමින් ධර්මානුකූලව රාජ්‍ය පාලකයා විසින් රට පාලනය කිරීම වෙනුවෙන් ශක්තිමත් අඩිතාලමක් දැමිණි. මිහිඳු මා හිමියන්ගේ ආගමනයෙන් කලාව, සෞන්දර්ය හා දැහැමි දිවිපෙවෙත ආරක්ෂා කරන බෞද්ධ දේශපාලනික සම්ප්‍රදායක් රටට හඳුන්වා දුන් බව පැහැදිලිය. ඒ සම්ප්‍රදායේ ඉදිරි පැවැත්ම ස්වාර්ථයේ පටු සීමාවන්හි හිර නොවෙමින් පවත්වා ගෙන යෑමට අවැසි රාජ්‍ය පාලන ව්‍යුහයක් දැන් අප සතුය.

වසර තිහක යුද්ධය අවසන් කර බෞද්ධ උරුමය නොනැසී පවතින්නට අවැසි සියල්ල සම්පාදනය වෙමින් තිබේ. එදා ඇති කළ දේශීයත්වය, ජාතිකත්වය තවදුරටත් ගෙන යෑමේ යන්ත්‍රණයක් මේ වනවිටත් ක්‍රියාත්මකය. අද පවතින නූතන සංස්කෘතියේ ඇරඹුම සටහන් වෙන මහින්දාගමනය වෙන කවරාදාටත් වඩා අපට දැනෙන්නේ ඒ නිසාය.

ලොව අග්‍රගණ්‍ය කලා හා සෞන්දර්ය ප්‍රවේශ මෙන්ම එදා මිහිඳු හිමි හඳුන්වා දුන් අද්විතීය රාජ්‍ය පාලන ක්‍රමවේද අනුගමනය කරමින් දේශීයත්වයේ අක්මුල් සොයා යන රාජ්‍යත්වයක් අවැසිම මොහොතක අපි සිටිමු. එබැවින් ගැඹුරු පාදමක ගොඩනැඟුණු බෞද්ධ සම්ප්‍රදානය අපට ඉදිරියටත් ආශීර්වාදයක් වන බැව් විශ්වාසය.

මහින්දාගමනය යනු ධර්මදූතයන් වහන්සේලාගේ ආගමනයක්‌ම පමණක්‌ නොව අප සංස්‌කෘතිය බෞද්ධකරණයට ලක්වීමේ පටන් බොහෝ උත්තුංග දායාද රාශියක්‌ උරුම කරදුන් සුවිශේෂ ආගමනයක් වන්නේ ඒ නිසා ය. ශතවර්ෂ ගණනාවක ඉතිහාසයක්‌ ඇති මහින්දාගමනය තවදුරටත් ශ්‍රී ලාංකේය ජන විඥානයේ සුගැඹුරු තැනක අමරණීයව, ස්‌ථාවරව පවතින්නේ මෙම උත්තුංගභාවය නිසාය.

සුමුදු චතුරාණී ජයවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division