හරිත කඳුකරයක බෑවුමක් හරහා පහළට ඇද හැලෙන දිය ඇල්ලක සුන්දරත්වයට වසඟ නොවන්නේ කවුද? පෙණ පිඬු විසුරවමින් දිය ඇල්ලේ මුඳුනේ සිට ඇද හැලෙන දිය දහරාවක් දෙස බලා සිටින පළමු මිනිත්තු කිහිපයේම ඔබේ මනසට සිහිලැල් සුවයක් දැනෙනු නිසැකය. මොහොතකට සිතන්න, ඒ දිය දහරාව දිගේ පහළට බසින්නට හැකි නම් එය කොතරම් ආශ්චර්යමත් අත්දැකීමක් වනු ඇද්ද? කඹයක එල්ලී ඔබ බසින්නේ ස්වාභාවික ජල තටාකයකටය. ත්‍රාසජනක බව හදවත වෙළා ගනිද්දී ඔබේ දෑස් හමුවේ දිස් වන්නේ ඇද හැලෙන දිය ඇල්ලේ චමත්කාරයයි. සවනට ඇසෙන්නේ දිය ඇල්ලේ ගීතවත් හඬයි. මීදුම කපාගෙන හමන සිහිලැල් සුළං රැලි ඔබේ ගත සීතල සළුවකින් වෙළා ගනිද්දී එක් වරක් පමණක් හෝ ඒ අපූර්වතම අත්දැකීම විඳගන්නට නොසිතෙන්නේ නම් එය අරුමයකි.
එම ක්‍රියාකාරකම හඳුන්වන්නේ ඇබ්සෙයිලින් (Abseiling) ලෙසටය. ඇබ්සෙයිලින්, කැනියන් හෝ රැප්ලිං ලෙස ද හැඳින්වේ. එහිදී සිදු වන්නේ කඹයක් සහ ආරක්ෂිත උපකරණ භාවිතයෙන් දිය ඇල්ලේ උඩ සිට පහළට බැසීමයි. මේ ක්‍රියාකාරකම සඳහා ශාරීරික ශක්තියක් සහ විඳදරා ගැනීමක් අවශ්‍ය වන අතර උසකට ඇති බිය ජය ගැනීමේ හැකියාව ද අවශ්‍ය වේ. පුහුණු උපදේශකයකුගේ මඟපෙන්වීම ඇතිව ආරක්ෂිතව දිය ඇල්ලෙන් බැස යා හැකි අතර, එම ක්‍රියාකාරකම ආරම්භයේ සිට අවසානය දක්වාම විස්මයජනක සොඳුරු අත්දැකීමකි.
ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස සැලකෙන ඇබ්සෙයිලින් ලෝකයට හඳුන්වා දීමට මුල් වී ඇත්තේ ප්‍රංශ ජාතික කඳු නඟින්නකු විසින් බව පැවසේ. ක්‍රීඩා සංචාරක කර්මාන්තය යනු ලොව පුරා ඉතා ජනප්‍රිය හා බිලියන ගණනින් ආදායම් උපයන දියුණු කර්මාන්තයක් වන අතර එහිදී ඇබ්සෙයිලින් වැනි ත්‍රාසජනක ක්‍රීඩා අංක එකේ ලා සැලකේ. මුලින්ම යුරෝපයේ පමණක් ප්‍රචලිතව තිබූ මේ ක්‍රීඩාව පසුව ආසියාවේ ද ව්‍යාප්ත වීමට පටන් ගත්තේය. මෙම ක්‍රීඩාවේ ඇති විශේෂත්වය වන්නේ මේ සෑම ක්‍රීඩාවක්ම සියයට 90ක් පමණ වනය, මුහුද, දියඇලි, ගංගා සහ කඳු ආදී ස්වාභාවික පරිසරය හා සම්බන්ධවී තිබීමය. ගුවන, භූමිය සහ ජලය මේ සඳහා මූලික වශයෙන් පදනම් වී ඇත. ත්‍රාසජනක ක්‍රීඩා සරල සහ අසීරු වශයෙන් දෙවර්ගයක් වන අතර, සරල ක්‍රීඩාවලදී ජීවිතයට අවදානමක් නැත. ඒවා අවදානම් සහ බරපතළ රෝගාබාධ රහිත, නීරෝගි ඕනෑම පුද්ගලයකුට පහසුවෙන් කළ හැකිය. එහෙත් අසීරු ක්‍රීඩාවලදී යම් අවදානමක් පවතී.
ත්‍රාසජනක ක්‍රීඩා පිළිබඳ ශ්‍රී ලාංකිකයන්ට ඇති දැනුම සහ ආකල්ප ඉතා පහළ මට්ටමේ පවතින අතර, ඒ පිළිබඳ යම් දැනුම්වත්භාවයක් සහ පුහුණුවක් ඇත්තේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පමණි. එහෙත් ඉන්දියාව, නේපාලය වැනි රටවල කඳු සහ ගංගා ආශ්‍රිතව මෙවැනි ත්‍රාසජනක ක්‍රීඩා බහුලව සිදුවේ. ඇබ්සෙයිලින් ත්‍රාසජනක ක්‍රීඩාව සිදු කිරීමට සුදුසු මනරම් දිය ඇලි රාශියක් සහිත ස්වාභාවික පිහිටීමකින් යුතු ශ්‍රී ලංකාව ඒ සඳහා පාරාදීසයක් බඳුය.
2024 ගිම්හාන ෂෘතුවේදී සංචාරය කිරීමට ලොව හොඳම රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් බව ෆෝබ්ස් (Forbes) සඟරාව වාර්තාවක් මඟින් අනාවරණය කළේ ඉකුත් සතියේය. ඒ අනුව 2024 ගිම්හාන ෂෘතුවේදී සංචාරය කිරීමට ලොව හොඳම රටවල් තුන වන්නේ ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මුරුසියයි. මේ වසරේ ගිම්හාන ෂෘතුවේදී සංචාරකයන් යුරෝපා රටවලින් ඈත්ව සිටිනු ඇති බවත් ශ්‍රී ලංකාව තුළ සංචාරකයන් සඳහා සුඛෝපභෝගී මට්ටමේ පහසුකම් සමඟ ස්වභාව සෞන්දර්ය අත්විඳීම සඳහා ජාතික වනෝද්‍යාන 22ක් ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. නැඟිටිමින් සිටින ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවත් සවිමත් කිරීම සඳහා සංචාරක කර්මාන්තයෙන් විසල් ශක්තියක් ලබා ගැනීමට දැන් උදාවී ඇත්තේ කදිම අවස්ථාවකි. ඊට හේතුව ඇබ්සෙයිලින් සඳහා වඩාත් සුවපහසු සහ උචිත කාලගුණය භුක්ති විඳිය හැක්කේ ගිම්හාන හෝ වසන්ත කාලයේදී වන නිසාය.
ඇබ්සෙයිලින් යනු ස්වභාවධර්මයට ඉතා සමීප ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාවේ නිරත විය හැකි බොහෝ දිය ඇලි පිහිටා ඇත්තේ දුෂ්කර ප්‍රදේශවල හරිත කඳුයායන්ගෙන් වටවූ වනාන්තර, තැනිතලා, නිම්නයන්ගෙන් සැදි අපූරු භූ විෂමතා කලාපයකය. එබැවින් එම දිය ඇලි කරා ළඟා වීමට සිදු වන්නේ කඳු නැඟීමක් සහිත දුෂ්කර ගමනකින් පසුවය. කායික වශයෙන් වෙහෙසකර වුවද දිය ඇල්ලට ළඟා වී ස්වාභාවික ජල තටාකයේ ප්‍රබෝධවත් දිය නෑමකින් පසු ඔබේ විඩාව සංසිඳෙනු නිසැකය.
දියලුම ඇල්ල, ගාට්මෝර් ඇල්ල, ගැරඬි ඇල්ල, කොටගල ඇල්ල, කුවේණි ඇල්ල, ලක්ෂපාන ඇල්ල, රිකිලි ඇල්ල, බඹර කන්ද, සඳුන් ඇල්ල, ලංකා ඇල්ල, දොළුකන්ද, වෙස්ට්මිනිස්ටර් ඇබේ හෙවත් ගෝවින්ද හෙළ ආදී ස්ථාන ඇබ්සෙයිලින් ක්‍රීඩාවේ නිරත වීම සඳහා ඉතා යෝග්‍ය වේ. එක් එක් දිය ඇලි පිහිටා ඇති ආකාරය අනුව ඒවා දිගේ පහළට බැසීමට අනුගමනය කළ යුතු තාක්ෂණය ද එකිනෙකට වෙනස් බව මෙවැනි ක්‍රියාකාරකම් වෙනුවෙන් සේවා සලසන පිළිගත් ආයතනයක නිලධාරියකු අප සමඟ කීවේය. කුමන ස්ථානයකදී වුවත් ඇබ්සෙලියින් ක්‍රීඩාවේ නිරත විය යුත්තේ අනිවාර්යයෙන්ම පුහුණු උපදේශකයකුගේ මඟපෙන්වීම ඇතිව ලණු හා ආරක්ෂක උපකරණ භාවිතයෙන් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරමිනි. ආරක්ෂිත ලණු, ඔබ පහළට බැසීමේ වේගය පාලනය කරන රැප්ල් (Rappel) උපාංගය, අගුළු දැමීමේ උපකරණය (Carabineer), ආරක්ෂිත හිස්වැසුම්, අත්වැසුම්, ජීවිතාරක්ෂක කබා මෙවැනි ක්‍රියාකාරකමකදී අනිවාර්යයෙන් භාවිත කළ යුතුය.
ආධුනිකයකුට ඇබ්සෙයිලින් අත්දැකීම විඳ ගැනීමට රිකිලි ඇල්ල වඩාත් සුදුසුය. බුලත්කොහුපිටිය ප්‍රධාන මාර්ගය අසල පිහිටා ඇති මෙම දිය ඇල්ලට පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතර, වංගු සහිත කඳුකර දුර්ග සඳහා ප්‍රසිද්ධ දර්ශනීය භූ දර්ශනයක චමත්කාරය ද ඔබට ලබා දෙයි. අඩි 330ක් උස මෙම දිය ඇල්ල ඔබේ බිය පහකර වඩාත් අසීරු ඇබ්සෙයිලින් අත්දැකීම් හෝ පුහුණුව ලබා ගැනීමට උපකාරී වේ. සුන්දර කිතුල්ගල නගරයේ සිට කිලෝමීටර් 5ක් පමණ දුරින් පිහිටා ඇති සඳුන් ඇල්ල ද ඇබ්සෙයිලින් අත්දැකීම ආරම්භ කිරීමට කදිම ස්ථානයකි.සශ්‍රීක රබර් සහ තේ වතු හරහා මෝසම් සමයේදී සක්‍රිය වන කුඩා දිය ඇලිවල සුන්දරත්වය ද නරඹමින් කඳුකරයේ විස්මිත දසුන්වලින් නෙත් පිනවා ගනිමින් ඔබට සඳුන් ඇල්ල වෙත ළඟා විය හැකිය.
ඇබ්සෙයිලින් ක්‍රීඩාවේ වඩාත් ත්‍රාසජනක අත්දැකීම් විඳගැනීමට කැමති රසකාමින්ට ශ්‍රී ලංකාවේ නැඟෙනහිර පළාතේ හදවත බඳු වෙස්ට්මිනිස්ටර් ඇබේ ලෙස ප්‍රකට ගෝවින්ද හෙළ අපූරු පාරාදීසයකි. බුවනෙකබාහු රජුගේ පාලන සමයේ සිට ඉතිහාසයට සම්බන්ධ වූ මෙම ස්වාභාවික බළකොටුව සියවස් ගණනාවක් පැරණි නටබුන් සහ පුරාවස්තුවලින් පිරී ඇති අතර මෙම පර්වතය මුහුදු මට්ටමේ සිට මීටර් 500ක් උසින් පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ උසම සහ ලෝකයේ දෙවැනි උස ස්ථානය වන එහිදී ඔබට මීටර් 190ක පහළට බැසීමක් අත්විඳිය හැකිය. ලක්ෂපාන, දියලුම දිය ඇලි ද ඔබට එවැනිම ත්‍රාසජනක අත්දැකීම් තිළිණ කරන්නට බලා සිටී. අඩි 720ක් උස දියලුම දිය ඇල්ල තරණය කිරීමේ චාරිකාව ද ඔබේ අධිෂ්ඨාන ශක්තිය පිළිබඳ පරීක්ෂණයක් බඳුය. ඕනෑම දිය ඇල්ලක් තරණය කිරීම සඳහා අලුයම ගමන ආරම්භ කිරීම වඩාත් සුදුසු බව පළපුරුදු ඇබ්සෙයිලින් ක්‍රීඩකයන්ගේ අදහසයි.
ඕනෑම ක්‍රීඩාවකින් කායික මානසික ප්‍රතිලාභ රැසක් ලැබෙන අතර ඇබ්සෙයිලින් ක්‍රීඩාව ද එවැනි ක්‍රීඩාවකි. මේ සඳහා ශාරීරික වෙහෙසක් අවශ්‍ය වන අතර, මෙම ක්‍රියාකාරකම ඉහළ සිරුරේ ශක්තිය සහ විඳදරාගැනීම වැඩි දියුණු කිරීමට උපකාරී වේ. ඇබ්සෙයිලින් යනු කඹයක් ආධාරයෙන් පහළට බැසීමක් බැවින් ඒ තුළින් සිරුරේ නම්‍යශීලිභාවය සහ සමතුලිතභාවය වැඩිදියුණු වේ. මෙය මානසික හා ශාරීරික අවධානය අවශ්‍ය වන අභියෝගාත්මක ක්‍රියාකාරකමක් බැවින් එය ආත්ම විශ්වාසය සහ ආත්ම අභිමානය ඉහළ නැංවීමට ද උපකාරී වේ. මෙවැනි ක්‍රියාකාරකමකදී ඇඩ්‍රිනලින් හෝමෝනය ඔබේ හෘද ස්පන්දනය වේගවත් කරන අතර පෙණහලු හොඳින් ක්‍රියාකාරී කරයි. එය මානසික ආතතිය දුරු කර ඔබට සතුට හා සැහැල්ලුව හිමිකර දෙයි.
විශේෂයෙන් කිව යුත්තේ මෙය ශාරීරිකව වෙහෙසකර ක්‍රියාකාරකමක් බැවින් එහි නිරත වීමට පෙර ඔබේ ශාරීරික යෝග්‍යතා මට්ටම අනිවාර්යෙන්ම පරීක්ෂා කළ යුතුය. ඇබ්සෙයිලින් ක්‍රීඩාවේ නිරත වීමට ආශාව තිබූ පමණින් හිතු මනාපයට එහි නිරත වීම සුදුසු නැති අතර අනිවාර්යයෙන්ම පුහුණු උපදේශකයකුගේ මඟපෙන්වීම ලබා ගත යුතුය. දිගු කලක් තිස්සේ මෙවැනි ත්‍රාසජනක ක්‍රීඩාවේ යෙදෙමින් විශාල පිරිසකට ඒ සඳහා පුහුණුව ලබා දී ඇති පුහුණුකරුවකු අප සමඟ ඇබ්සෙයිලින් පිළිබඳ තවත් වැදගත් කරුණු කිහිපයක් ද පැවසීය.
“මේ හැම ක්‍රීඩාවක්ම මුළුමනින්ම වගේ පරිසරය එක්ක සම්බන්ධයි. ගහකොළ පිරුණු කොළ පාට පරිසරය, පිරිසිදු වාතය, ජලය ආතතිය ලිහිල් කරලා විශාල මානසික සුවතාවක් ලබා දෙනවා. ඒ වගේම මේ වගේ ක්‍රීඩාවක් කියන්නෙ ජීවිතය වෙනස් කරන අත්දැකීමක්. උදාහරණයක් විදිහට දිය ඇල්ල ඉහළ ඉඳලා කඹයකින් පහළට බහිනකොට අපි දන්නවා අපිට කොයිතරම් අඩි ගාණක් පහළට යන්න තියෙනවද? ඒ යනකොට මොන වගේ දේවලට මුහුණ දෙන්න වෙනවද කියල. ඒවාට ගැළපෙන තාක්ෂණ ක්‍රම සහ ආරක්ෂිත උපක්‍රම අපි පාවිච්චි කරන නිසා සාර්ථකව අපේ ඉලක්කය ජයගන්න පුළුවන්. මම හිතන්නේ ඒකෙන් ජීවිතේටත් පාඩමක් ලැබෙනවා. අපිට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න හරියට හඳුනගෙන ඒවාට ගැළපෙන විසඳුම් පාවිච්චි කරනවා නම් ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ත්‍රාසජනක ක්‍රීඩාවකදී ඉවසීම, දරාගැනීම සහ ආත්ම විශ්වාසය ඉතාම වැදගත්. එවැනි පුහුණුවක් ලැබූ කෙනෙකුට එයින් ජීවිතයටත් හොඳ පන්නරයක් ලැබෙනවා.”

වෙස්ට්මිනිස්ටර් ඇබේ හෙවත් ගෝවින්ද හෙළ

කිතුල්ගල

දොළුකන්ද

දියලුම ඇල්ල