Home » මොන දේවල් කළත් පුවත්පත් කලාව මගේ ප්‍රථම ප්‍රේමයයි

මොන දේවල් කළත් පුවත්පත් කලාව මගේ ප්‍රථම ප්‍රේමයයි

by thanushika
June 15, 2024 12:30 am 0 comment

සිනමාවට පෙම් බැඳි රොඩ්නි විදානපතිරණගේ නවතම සිනමා සිත්තම “සුදු අප්පච්චී” ගැන කතා කරන්න මේ හොඳ ම කාලය යි. “සුදු අප්පච්චී” මෙම මස 20 වැනිදා තිරගත වීමට නියමිත යි. ළමා චිත්‍රපටයක් ලෙස කලඑළි දකින නමුත් මෙහි අන්තර්ගතය ජන සමාජයට අත්දැකීම් ගොන්නක් එකතු කරන්නට සමත් වනු නොඅනුමානයි. ඈත පිටිසර ගැමි පරිසරයක සුන්දරත්වය මෙන්ම එකී සුන්දරත්වයෙන් වැසී ගිය ගුප්ත කඨෝර ඛේදවාචකයක නස්පැත්තිය ද “සුදු අප්පච්චී” අපට කියා දෙයි.

මේ චිත්‍රපටයේ අන්තර්ගතය මොන වගේ කතා සාරාංශයකින් යුක්ත ද…?

පොඩි දරුවෙක් සහ එයාගෙ සීයා වටා ‍ගෙතුණු කතාවක් හැටියට මේ චිත්‍රපටය දිගහැරෙනවා. ඒ දරුවාගේ තාත්තා ඉතා‍ලියේ ජීවත් වන නිසා දරුවා සීයා එක්ක හැදී වැඩෙනවා. ඒ සීයාට තමයි සුදු අප්පච්චී කියන්නේ. එයාලාට දවසක් වැවක් අද්දරදි අමුතු පුද්ගලයෙක් මුණගැසෙනවා. ඒ පුද්ගලයා අද්භූත කෙනෙක් හැටියට ඉස්මතු වෙනවා. ගමේ සමහරු ඔහු හොල්මනක් ලෙසත් දකිනවා. මේ පුද්ගලයා නිසා ගමේ අයගේ ජීවිත අවුල් වියවුල් වෙනවා. සීයා සහ දරුවාටත් නොයෙක් ප්‍රශ්න ඇති වෙනවා. ඒ දරුවා සමහර වෙලාවට අමුතු විදිහට හැසිරෙනවා. දරුවාගේ හැසිරීමේ වෙනස අද්භූත මිනිසා නිසා සිදු වන දෙයක් කියලා ගමේ අය කියනවා. මේ අතර නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයෙක් ගමට එනවා. ඔහු මේ ගමේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න උත්සාහ කරනවා. අද්භූත මිනිසා හොල්මනක් නොවන බවත්, එහි විද්‍යාත්මක පසුබිමක් ගමේ අයට පැහැදිලි කරන්නත් මේ ගුරුවරයා උත්සාහ කරනවා. ඒ කොහොම වුණත් පාළු තැන්වලදී, වැව් තාවුල්ලේදී, තවත් තැන්වලදී ගමේ නොයෙක් අය මේ අද්භූත මිනිසා දකිනවා. මේ වගේ ගම්වල මිනිස්සු එක පැත්තකින් ආර්ථික අපහසුතාවලට මුහුණ දෙනවා. තව පැත්තකින් වල් අලි තර්ජනයට මුහුණ දෙනවා. නියඟයෙන් බැට කනවා. ඒ අතරේ මේ වගේ මිථ්‍යා විශ්වාස නිසාත් පීඩාවට පත් වෙනවා. ඒ හැමදෙයක්ම අතරේ දරුවන්ව පාදක කරගෙන විනෝදාස්වාදය ලබා දීමටත් සුදු අප්පච්චී චිත්‍රපටය මඟින් මා උත්සාහ කළා. ඒ වගේම විද්‍යාත්මක පැත්තක් ගැනත් කතා කරනවා.

චිත්‍රපටයේ රංග ශිල්පීන් සහ අනෙකුත් ශිල්පීන් කවුරුන් ද?

සම්මානනීය රංග ශිල්පී එච්. ඒ. ගාමිණී සමරකෝන්, මීට වසර පහකට කලින් සරසවිය සම්මාන උළෙලේදී මගේ “ඉර සේවය” චිත්‍රපටයේ රඟපෑ චරිතයට හොඳම නැගී එන නළුවා සම්මානය දිනා ගත් ඉෂාර වික්‍රමසිංහ, වේදිකා නාට්‍ය රංග ශිල්පිනියක් වන රූපා පතිරණ, රංජිත් රණසිංහ, කැලුම් සංජීව ධර්මදාස සහ ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න වැනි ශිල්පීන් මෙහි රඟපානවා. ඉතාලියේ මිලානෝ නගරයේත් දර්ශන කිහිපයක් මේ චිත්‍රපටයට ඇතුළත් වෙනවා. ඉතාලියේ දර්ශනවල රඟපෑවේ නිෂේද රණසිංහයි. එම දර්ශන කැමරාගත කළේ සඳුන් හේවගේ කැමරා අධ්‍යක්ෂවරයා විසිනුයි. එහි දෙබස් සහ සහාය අධ්‍යක්ෂණය මාලන් විදානපතිරණ විසින් සිදු කළා. අවිශ්ක විජේරත්න, අරෝෂ් විජේරත්න, නිෂේද ජයසිංහ, කියන ළමා නළුවෝ තුන්දෙනා මෙහිදී ප්‍රථම වරට සිනමාවට එක් වෙනවා. සංගීත අධ්‍යක්ෂණය විශාරද මනෝජ් පීරිස්, සංස්කරණය පසත් සමරවීර, කැමරා අධ්‍යක්ෂණය මහේන්ද්‍ර සේනාරත්න, තිර පිටපත සහ අධ්‍යක්ෂණය මගේ යි. මේ චිත්‍රපටයේ නිෂ්පාදන බරපැන දරන ලද්දේ එංගලන්තයේ ‘ඩබ්ලිව්. ප්‍රඩක්ෂන්’ විසිනුයි.

සුදු අප්පච්චී චිත්‍රපටය දැනටමත් විදේශ රටවල ප්‍රදර්ශනය කෙරුණා නේද?

ඔව්. ඉන්දියාවේ නාග්පූර් නගරයේ මෙය අවස්ථා දෙකකදී තිරගත කෙරුණා. ඒ වගේම විදර්භා සිනමා උළෙල සඳහාත් මෙම චිත්‍රපටය ඉදිරිපත් කළා. ඒ අවස්ථා කිහිපයේදීම හොඳ ප්‍රතිචාර ලැබුණා.

ඔබගේ ශ්‍රව්‍ය දෘශ්‍ය සෙසු නිර්මාණ මොනවා ද?

මුලින්ම ‘ඉර සේවය’චිත්‍රපටය කළා. ඊට පස්සේ ‘උඩවැඩියා මල්, හතේ වසම, හේමන්තේ වසන්තයක්, රිදී තාරකා’ වගේ ටෙලි නාට්‍ය දහයක් පමණ මම කළා. ඒ අතරින් කිහිපයකට සම්බන්ධ වුණු ශිල්පීන් සම්මාන ලබාගෙන තියෙනවා. තවත් ශිල්පීන් සම්මාන සඳහා නිර්දේශ වෙලා තියෙනවා. මම දෙවනුවත් චිත්‍රපටයක් නිර්මාණය කළා. නමුත් ඒ චිත්‍රපටය තිරගත වුණේ නැහැ.

ඔබ ජනප්‍රිය ගීත කිහිපයක්ම නිර්මාණය කළ ගී පද රචකයෙක් වගේම පුවත්පත් කලාවේදියෙක් නේද?

විජය කුමාරතුංග ගයන ‘කරඹ යායේ…’, නිරෝෂා විරාජිනි ගයන ‘සඳ රාජිනී‘, ජගත් වික්‍රමසිංහ ගයන ‘සාගර තරංගා…‘ වගේ ගීත කිහිපයක්ම මම රචනා කර තිබෙනවා. එයින් බොහෝමයක් ගී ජනප්‍රිය වුණා. ඒ වුණත් මගේ ප්‍රධාන කාර්යය පුවත්පත් කලාවේදයයි. තරුණයා පුවත්පතේ මුල්ම කර්තෘවරයා මමයි. ඒ පත්තරේ වසර විසි දෙකක් පමණ මම වැඩ කළා. ලංකාදීප පුවත්පතේත් විශේෂාංග අංශයේ විශේෂාංග ලේඛකයෙක් හැටියට කටයුතු කළා.

පාසල් කාලයේ පටන් ඔබ ලේඛකයෙක් ද?

මගේ ගම් පළාත වුණේ පාණදුර මාලමුල්ල යි. මුලින්ම ගමේ ඉස්කෝලෙට ගියා. ඊට පස්සේ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨයට ගිහින් උසස් පෙළ කළා. පාසල් ජීවිතයේදී නොයෙකුත් ලේඛන කටයුතු, නිර්මාණ කටයුතු කළා. මම ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ ආතර් යූ අමරසේන මහත්මයා නිසා යි. ඔහුගේ සුරතුර සිනමා පුවත්පතට මම මුලින්ම විශේෂාංග ලේඛකයෙක් හැටියට සම්බන්ධ වෙනවා. තරුණයා පුවත්පතට මම සම්බන්ධ වෙන්නේ ඊට පසුව යි.

ඔබ සිනමාවට සම්බන්ධ වුණේ ඇයි?

සේන සමරසිංහගේ ‘චංචල රේඛා’ චිත්‍රපටයේ තුන්වැනි සහාය අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ කාලේ සිනමාවේ සිටි ප්‍රවීණ රංග ශිල්පීන් සමඟ වැඩ කරන්න මට එහිදී අවස්ථාව උදා වුණා. ඊට පස්සේ ෂර්ලි විජේරත්නගේ ‘වැල්ලේ තැනූ මාළිගා’ චිත්‍රපටයේත් සහාය අධ්‍යක්ෂවරයෙක් හැටියට වැඩ කරන්න මට ලැබුණා. ඒවායේදී ලද අත්දැකීම් නිසා මටත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ ආසාව, උනන්දුව ඇති වුණා.

ඔබ ලියූ පොත් අතරින් “සංචාර සටහන්” බොහෝ සේ ජනප්‍රිය වුණා නේද…?

ඔව්. ඒකට හේතුව මම තරුණයා පුවත්පතට ලියූ ලිපි පෙළක් ඇසුරින් තමයි ‘සංචාර සටහන්’ පොත මම මුද්‍රණය කර එළි දැක්වූවේ. ඒ නිසා ජනප්‍රිය වෙන්න ඇති. ඒ කාලේ තරුණයා පුවත්පත ගොඩාක් ජනප්‍රිය යි. සංචාර සටහන් හයක් පමණ මම කළා. ඒ වගේම ‘චාරුපති’ සහ ‘ලන්ඩන් හුස්ම’ නමින් නවකතා දෙකකුත් මම කළා. ලන්ඩන් හුස්ම නවකතාවේ දෙමළ පරිවර්තනයකුත් මෑතකදී ආවා. ඒ මොන දේවල් කළත් පුවත්පත් කලාවේදියාට තමයි මම වැඩිපුරම කැමති. මොකද කියනවා නම් ඒ මගේ ප්‍රථම ප්‍රේමය යි.”

තුෂාරී කළුබෝවිල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division