Home » ජීවිතේ අමාරුම කා‍ෙල් වැටෙන්න නොදී මාව අල්ලන් හිටියට ගොඩක් ආදරෙයි

ජීවිතේ අමාරුම කා‍ෙල් වැටෙන්න නොදී මාව අල්ලන් හිටියට ගොඩක් ආදරෙයි

හේෂාන් මනුල

by thanushika
June 15, 2024 12:30 am 0 comment
 අනුෂා රණසිංහ

හේෂාන් මනුල කියන්නේ නිරූපණ ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ පසුව රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු රංගන ශිල්පියෙක්. දැනට නිරූපණ ක්ෂේත්‍රය තුළ රැඳී සිටින ජ්‍යේෂ්ඨතම නිරූපණ ශිල්පියා වන්නේ ද ඔහුයි. පසුගිය කාලයේ නම් හේෂාන් මනුලව අපිට නිර්මාණ තුළින් දකින්න ලැබුණේ නැහැ. ඇත්තටම හේෂාන්ට මොකද වුණේ කියලා පාඨක ඔබත් දැන ගන්න කැමති නිසා රසඳුන අපි හේෂාන්ට කතා කළා.

කාලයකින් ඔබව නිර්මාණවලින් දකින්න ලැබුණේ නැහැ, බොහො දෙනෙක් ඔබ ගැන හොයලත් තිබ්බා. ඇත්තටම හේෂාන් ඔබට මොකද වුණේ?

ඔව් මම මාස පහක් පමණ කාලයක් කලා කටයුතුවලින් සහ මෝස්‌තර නිරූපණ කටයුතුවලින් ඈත් වෙලා හිටියා. ඒ මම සයටිකා කියන රෝගී තත්වයට මුහුණ දුන්නු නිසා. ‘හිත ළඟ හිනැහුණා‘ නාට්‍යයේ වැඩ කරමින් ඉන්න අතර තමයි මට රෝගී තත්වය උත්සන්න වෙලා සම්පූර්ණයෙන් රෙස්ට් කරන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබුණේ.

දැන් කොච්චර කාලයක් ප්‍රතිකාර ගත්ත ද?

කොළඹ Durdans රෝහලේ Durdans Physiotherapy Department එකෙන් මාස පහක් Physiotherapy ප්‍රතිකාර ලබා ගත්තා. ඒ ප්‍රතිකාර ක්‍රමයේ ප්‍රධාන කොටසක් ලෙස මට ගෙදරදී තනියම කරන්න ව්‍යායාම ක්‍රම ඔවුන් පුහුණු කළා. හරිම අමාරු, වේදනාකාරී කාලයක් වුණා ඒ මාස ගණන.

මේ වෙද්දී ඔබේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද?

දැන් නම් 90%ක් පමණ සුවයි. රෝහලට පැමිණ කරන ප්‍රතිකාර අවසන්. නමුත් වෛද්‍ය උපදෙස් මත තවමත් නියම කළ ව්‍යායාම දිනපතා කරනවා. දැන් මට තනියම වැඩ කර ගන්න පුළුවන් සහ මගේ සාමාන්‍ය වෘත්තිමය කටයුතුවල යෙදෙන්නත් දැන් වෛද්‍ය අවසරය තියෙනවා.

කොයි කාලේ වගේ ද ආයේ ඔබේ සුපුරුදු රංගනය ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන්නෙ?

මේ මාසේ නැවතත් මගේ රංගන කටයුතු ඇරඹුණා. ඒ සීමිත කොටස් ගණනක ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයකින්. බොහෝදුරට ඉදිරි අගෝස්තු මස පමණ විකාශය ආරම්භ වෙයි කියලා හිතනවා.

නිර්මාණවලින් ඈත්ව ගතවුණු ජීවිතේ ඔබට දැනෙන්නේ කොහොමද ?

වැඩ කරන්න පුළුවන් ජිවිතේ හොඳම වයසක, හොඳම කාලයක් නිකං ඉන්න වෙනවා කියන්නේ මානසිකව දරාගන්න අමාරුම දුකක්. තවත් කෙනෙකුගේ ආධාරයක් නැතුව වැඩක් කර ගන්න බැරි තත්වයක දී දැනෙන ඒ මානසික පිඩාව වචනවලින් කියන්න බැහැ. මගේ ජිවිතේ අමාරුම මාස පහ තමයි මම ඒ ගෙව්වේ.

රංගනය පමණ ද ඔබේ වෘත්තිය වෙලා තිබ්බෙ ?

නැහැ, මගේ ප්‍රධාන වෘත්තිය වුණේ මෝස්‌තර නිරූපණ ශිල්පය. මෝස්‌තර නිරූපණ ක්ෂේත්‍රයේ යෙදීම. ඒ ක්ෂේත්‍රයේ දැනට මම අවුරුදු 14ක් පුරා යෙදෙමින් ලංකාවේ පවත්වන සියළුම ෆැෂන් ෂෝවලට දායකත්වය සපයා තිබෙනවා සහ විලසිතා ලොවේ ඉහළ නමක් රැඳවු Brandsවලට Brand Ambassador හැටියට වැඩ කරලා තිබෙනවා.

රංගන ක්ෂේත්‍රයේ ඔබේ සමීප මිතුරන් තවමත් ඔබ සමඟ ඉන්නව ද?

මම කා සමඟත් සුහදව වැඩ කරන මිත්‍රශීලි කෙනෙක්. ඒ නිසා කලාවේ දී හමුවුණු හැමෝම මගේ යාළුවො. හැබැයි මගේ දුකට සැපට ළඟින්ම ඉන්න යාළුවෝ කට්ටියගෙන් කවුරුවත් කලා ක්ෂේත්‍රයේ නැහැ.

මේ සිදුවෙන දේවල් එක්ක ජිවිතේ ගැන මොකද හිතෙන්නේ?

මගේ අසනීපයත් එක්ක ගෙවුණු කාලයේ මම මිනිසුන්ව හොඳින්ම හඳුනාගත්තා. මගේ අසනීපය දැන දැන, මම විඳපු වේදනාව තමන්ගේ ඇස්වලින්ම දැකපු අය මගේ අසනීපෙ ගැන කිසිම තැකීමක් නැතිව තමන් ගැන පමණක් සිතා ආත්මාර්ථකාමී වුණා. ඒ ක්‍රියාකලාපයන් නිසා සමහරවිට මමත් වැඩ මඟ දාලා යන කෙනෙක් විදිහට ප්‍රචලිත වෙන්නත් ඉඩ තිබුණා. නමුත් ප්‍රේක්ෂකයින් මාව විශ්වාස කළා. ඔවුන් මා වෙනුවෙන් ආගමික වතාවත් වල යෙදුණා. ආයෙමත් රඟපාන්න කියලා මාව දිරිගැන්වුවා. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් සහ මගේ පවුලේ අය, මගේ ළඟින්ම හිටපු යාඵවෝ ටික මට වැටෙන්න නොදී මාව අල්ලන් හිටියා. හිනාවෙලා කතාකරන හැමකෙනාම අවංකවම අපි ගැන හිතන යාළුවෙක් නොවන බව මේ අසනීපෙ මට අවබෝධ කරලා දුන්නා.

ඔබේ පවුලේ විස්තර කිව්වොත්?

තාත්තා, අම්මා, අක්කා සහ අයියා තමයි මගේ පවුල. අක්කා සහ අයියා විවාහ වෙලා දරුවන් ඉන්නවා. ඒ දෙන්නම ඉන්නේ ඉතාලියේ.

ඉදිරියට කරන්න ඉන්න වැඩ කටයුතු මොනවද ?

මේ මස වැඩ ඇරඹුණ ටෙලිනාට්‍යයේ රංගන කටයුතුවල යෙදෙමින් ඉන්නවා. ඒ අතර මගේම නමින් පවත්වා ගෙනයන Warning by HM ව්‍යාපාරයේ කටයුතුත් තව පුළුල් කරන්න අදහස් කරගෙන ඉන්නවා. මෝස්‌තර නිරූපණ කටයුතු සඳහා විදේශීය ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ගැනත් හිතමින් ඉන්නේ. සිනමාව පැත්තෙන් ගත්තොත්, සිරිදළදාගමනය සහ යශෝධරා චිත්‍රපටි වලින් පස්සේ මට ලැබුණේ ඒ රාමුවේම චිත්‍රපට නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා. සිනමාවට ඵලදායී දායකත්වයක් දෙන්න හැකි වාණිජ ධාරාවේ චිත්‍රපටයකට සම්බන්ධවෙන්න ලැබුණොත් ඒ ගැනත් අවධානය යොමු කරනවා.

හෙෂාන්ට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ට කියන්න දෙයක් ඇති

මගේ ජිවිතේ අමාරුම කාලේ ඒ දුන්නු ආදරේට, සහයෝගයට, වැටෙන්න නොදී මාව අල්ලන් හිටියට මම ගොඩක් ආදරෙයි. බොහොමත්ම ස්තුතියි. මගේ ප්‍රේක්ෂකයින් ගැන මගේ හිතේ තියෙන්නේ ගෞරවනීය හැඟීමක්. හැමදාම මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මාධ්‍යවේදීන් ගැනත් කිවයුතුමයි. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට වගේම මාධ්‍යවේදී හිතවතුන්ටත් මම හදවතින්ම ගරුකරනවා. ඔබලා දුන්නු ශක්තිය නිසා තමයි මාස ගණනාවක් කලා කටයුතු ඈත් වෙලා හිටියත් මම අද වැටෙන්නේ නැතුව මෙහෙම ඉන්නේ .

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division