Home » ලෝකයේ අවසානම ණය දෙන්නා වූ IMF විසඳුම්වලින් තොර වෙනත් කිසිදු විසඳුමක් නෑ

ලෝකයේ අවසානම ණය දෙන්නා වූ IMF විසඳුම්වලින් තොර වෙනත් කිසිදු විසඳුමක් නෑ

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට අදාළ විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කළ පුළුල් සාකච්ඡාවක් පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග හා ශ්‍රී ලංකා මහා බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේක මහත්වරුන් දැක්වූ අදහස් මෙහි පලවේ.

සර 2022 ආර්ථිකයේ දරුණු කඩා වැටීම සිදු වුණා. ආර්ථිකය 7.3% කින් සංකෝචනය වුණා. ලංකාවේ වැඩිම උද්ධමනයක් එනම් 69.8%ක් වාර්තා වුණේ 2022 සැප්තැම්බර් මාසයේදී. 45%කින් රුපියල අවප්‍රමාණ වුණා. මේ තත්ත්වය දිනකින් ඇතිවූවක් නෙමේ.

අර්බුදයෙන් පසුව රජය හා මහ බැංකුව විශාල ආර්ථික ස්ථායිීකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කළ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කරමින් විදේශශ ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවූවා. විනිමය අනුපාතිකය නම්‍යශීලීවීමට ඉඩ හැරීමෙන් පසුව 2022 අප්‍රේල් ප්‍රතිපත්ති පොලී අනුපාත 7%කින් වැඩිකළා. තවත් 2%කින් ඒ වසර තුළම ප්‍රතිපත්ති පොලී අනුපාත වැඩි කළා. ඒ සමඟම මූල්‍ය ආතයනවල ස්ථාවරත්වය රැක ගැනීමට පියවර ගත්තා. බදු ආදායම ඉහළ නැංවීමට වැදගත් පියවර ගත්තා. අත්‍යවශ්‍ය නොවන පුනරාවර්තන වියදම් කප්පාදු කිරීම්, බඳවා ගැනීම් අත්හිටුවීම්, ආනයන සඳහා සීමා පැනවීම, රජය සතු වාණිජ ව්‍යාපාර ප්‍රතිසංස්කරණ කටයුතු වැනි දේ ආරම්භ කෙරිණි.

2023 අවසන් කාර්තු දෙකේ ධන අගයක් වාර්තා කළා. නමුත් 2023 පළමු කාර්තු දෙකේ වාර්තා වූ ඉහළ ඍන අගය නිසා 2023 මුළු වසරේ වාර්තා වූයේ 2.3%ක සංකෝචනයකි. නමුත් මේ වසරේ අපි බලාපොරොත්තු වන්නේ 2.3%ක ආර්ථික වර්ධනයක්. මේ වන විට ලංකාවේ උද්ධමනය 0.9%කට අඩු වෙලා තියෙනවා. විදේශ අංශයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු වී තියෙනවා. මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය අඛණඩව පවතිනවා. රාජ්‍ය මූල්‍ය එකාග්‍රතාව ශක්තිමත් කර තියෙනවා. එසේම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉහළ නංවා තියෙනවා. මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ක්‍රියාත්මක වෙනවා. මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වුණත් මහජනතාව තවමත් පීඩා විඳිනවා.

2022 අප්‍රේල් දළ නිල සංචිත ඉතා අඩු වූ අතර දැන් එය ඩොලර් බිලියන 5.5 ක් දක්වා වැඩි වී තියෙනවා. මහ බැංකුවට පොලී අනුපාත වැඩි කරන්න සිදු වුණා. නමුත් ඒ පොලී අනුපාත පහත දමමින් පසුවෙනවා. ඒ ණය ගැනීම පෙළඹවීම සඳහා 2020- 22 වසරේ රජයේ ආදායම 8%ක් දක්වා අඩු වුණා. එය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකමත් සමඟ 11% දක්වා ආදායම වැඩිකර ගැනීමට හැකිවී තියෙනවා.

රටවල් 196ක දත්තවලට අනුව 1980-2023 කාලයේ 50%ක උද්ධමනයක් පැවැති රටවල් 60ක් තිබිලා තියෙනවා. ඒ රටවල උද්ධමනය 50%කට වැඩියෙන් පැවැති අවස්ථා 72ක් තිබිලා තියෙනවා. මේ අවස්ථා 72න් උද්ධමනය නැවතත් 10%කට අඩුකර ගැනීමට හැකි වී ඇත්තේ අවස්ථා 12කදි පමණයි. අපිට උද්ධමනය අඩුකර ගැනීමට හැකිවුව ද අවුරුදු 35කට වඩා උද්ධමනය පැවැති රටවල් තියෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පදනම්ව ඇත්තේ කුලුණු 5ක් මතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලංකාවේ බලධාරීන්ගේ අරමුණ වූ ස්ථායිතාව ඇති වෙමින් තියෙනවා. ඉදිරියට යාමේදී ආර්ථික වර්ධනය ගැන බලධාරීන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු වේවි. ස්ථායිතාව ඇති කිරීමේදි දුප්පතුන්ට හා අවදානමට ලක්වූවන්ට බලපෑම් ඇතිවිය හැකි නිසා ඒ අය ආරක්ෂා කිරීමට අවධානය යොමු කළ යුතුයි.

ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැතිව වුවත් අප කළ යුතු දේයි. මාසික සූත්‍ර මත පදනම් වූ ගැළපීම්. නව මහ බැංකු පනත රජයේ අයවැය හිඟය වෙනුවෙන් මුදල් අච්චු ගැසීමට අවකාශයක් නැහැ. බැංකු නීති සංශෝධන සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණා. දූෂණ විරෝධී පනතට පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණා. රාජ්‍ය මූල්‍ය හා ණය කළමනාකරණය සඳහා නීති හදුන්වා දීම මේ වන විට සිදු කරනවා. ආර්ථික වර්ධනය මේ වසරේ 3%ක් පමණ වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා.

ආනයන ලිහිල් කිරීමත් සමඟ පසුගිය වසරේ වෙළෙඳ හිඟය -5.8ක්. මේ වසරේ -7.8ක අගයක් බලාපොරොත්තු වෙනවා. දළ නිල සංචිත වැඩි වේ යැයි අපේක්ෂා කරනවා. රජයේ ප්‍රාථමික තුලනය වසර ගණනාවකට පසු ධන අගයක් වාර්තා කළා. රජයේ අයවැය හිඟය අඩුවේ යැයි බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික අංශයට ලබාදුන් ණය 8.5% දක්වා වර්ධනය වේයැයි අපේක්ෂා කරනවා. උද්ධමනය 5%කට අඩු මට්ටමේ පවත්වා ගෙන යාමට හැකිවේයැයි අපේක්ෂා කරනවා. මේ පුරෝකථනවලටත්, සාර්ව ආර්ථික දැක්මටත් අවදානම් රැසක් පවතිනවා. ගෝලීය මූල්‍ය ප්‍රතිපත්තිය බලශක්ති හා භාණ්ඩ මිල අස්ථාවරත්වය භූ දේශපාලනික වර්ධනයන්, චීන ඉන්දිය සාධකයන් ඊට බලපානවා.

දැනට කරගෙන යන ප්‍රතිසංස්කරණවලින් බැහැරවීමෙන් සිදුවිය හැකි දේ සිතා ගත නොහැකියි. ආර්ථික වර්ධනය වේගවත් විය යුත්තේ ආර්ථික ස්ථායිතාවයට හානියක් නොවන පරිදියි. තුන්වැන්න ආර්ථික වර්ධනය වැඩි කරන්නට මුදල් රාජ්‍ය මූල්‍ය උත්තේජක භාවිත කළ නොහැකියි. ඒසේනම් ආර්ථික වර්ධනයක් ඇති කළ යුත්තේ පාලක ප්‍රතිසංස්කරණවලින් හා ලංකාවේ ඵලදායිතාව හා කාර්යක්ෂමතාව වැඩි කිරීමේ ප්‍රතිසංස්කරණවලින්. අවසාන වශයෙන් ණය තිරසාර බව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ වූ සම්මුතීන් අඛණ්ඩව පවත්වා ගෙන යාම අත්‍යාවශ්‍ය වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ලෝකයේ අවසාන ණය දෙන්නායි.


2003 මූල්‍ය කළමනාකරණ වගකීම් පනත නීතියක් ලෙස ක්‍රියාත්මක වුණා නම් ලංකාව කිසි දිනෙක බංකොලොත් වෙන්නේ නෑ
– ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පළමු මංගල අයවැය කතාවේ වසර 35 කට පෙර මම මේ අර්බුදය පිළිබඳ සඳහන් කළා. 1977 විවෘත ආර්ථිකය ආරම්භ කළ දිනයේ සිට 1988 වන තෙක් ලංකා ආණ්ඩුවේ ණය 1115%කින් වැඩි වී ඇති බව සංඛ්‍යා දත්ත සමඟ සඳහන් කරමින් අයවැය කතාවේ ප්‍රධාන අර්බුද දෙකක් සඳහන් කළා. එකක් වන්නේ කවුරු ජනාධිපති වී කවුරු ආණ්ඩු කළත් දිගින් දිගටම ඔරොත්තු නොදෙන අයවැය පරතරයක් පවතින බවයි. එදිනෙදා වියදම් දැරීමට ප්‍රමාණවත් ආදායමක් පසුගිය දශක කිහිපය තුළ ලැබී නැහැ. ඕනෑම ආණඩුවක් එදිනෙදා කටයුතු පවත්වා ගෙන යාමට මාසයේ අග රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි අස්වැසුම වැනි සහනාධාර ගෙවිය යුතුයි. ගත් ණයට පොලි ගෙවිය යුතුයි. මෙය ආර්ථික විද්‍යාවට අනුව පුනරාවර්තන වියදම් වන අතර, කවුරු ආණ්ඩු කළත් පුනරාවර්තන වියදම් පියවා ගැනීමට මුදලක් එදා මෙදා තුර ලැබී නැහැ.

පසුගිය වසරේ දේශිය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1550ක්, රේගු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 923ක්, සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 169ක්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 20ක්, බදු නොවන ආදායම රුපියල් බිලියන 219ක්, ප්‍රදාන රුපියල් බිලියන 16ක්, විවිධ තැන්පතු වර්ගවලින් රුපියල් බිලියන 304ක් එකතු කර ඇත. සියලුම ලැබීම් භාණ්ඩාගාරයට ලැබී ඇත්තේ රුපියල් බිලියන 3201කි. සරල ලෙස ලංකා ආණ්ඩුවේ වසරක ආදායම ට්‍රිලියන 3කි. රාජ්‍ය සේවක වැටුප් , විශ්‍රාම වැටුප්, සමෘද්ධි සහනාධාර ගෙවීමට රුපියල් බිලියන 2130ක් වියදම් ව ඇත. පොලී ගෙවා ඇත්තේ රුපියල් බිලියන 2,264කි. පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 4394කි. එදිනෙදා පවත්වා ගෙන යාමට අවශ්‍ය වන්නේ ට්‍රිලියන 4කි. මේ අනුව 2023 දි ට්‍රිලියන 1.1ක් මදිවී ඇත. රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟය ඕනැම වර්ෂයකදී දැකගත හැක්කකි. මේ නිසා ඉතිරි වියදම් දරන්නේත් දේශීය විදේශීය ණය වාරික ගෙවන්නේත් ණයවලින්. ලබාගත් ණය ප්‍රමාණවක් නොවූ විට මුදල් අච්චු ගැසුවා.

මේ තත්ත්වය ප්‍රථම වතාවට නිවැරදි කිරීමට උත්සහ දැරුවේ එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ මේ අර්බුදය ආපස්සට යාම හැරෙව්වේ 2001 වසරේදි. ආර්ථික අර්බුදය උග්‍ර වන විට වෙනම රජයක් කැඩී ආණ්ඩුවක් පිහිටුවීය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග හා අගමැති රනිල් වික්‍රමසිංහ වුණා. මේ අවස්ථවේදි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළඹුණා. ඒ ගිවිසුම් ප්‍රකාරව වැටුණු රට ගොඩ ගැනීමට විකල්ප ක්‍රියාමාර්ග රාශියක් අනුගමනය කළා. ඒ නිසා ඍන ආර්ථිකය ධන ආර්ථිකයක් බවට පත් කිරීමට හැකි වුණා. ඒ වෙනස්කම්වලට දේශපාලන අවලාද නැඟුණා. මෙයින් පස්සේ රට කඩා වැටීම නතර කිරිමට නීතියක් ගෙන ඒමට තීරණය වුණා. 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ගෙනාවා. මේ පනත ඉදිරිපත් කරන අවස්ථාවේදී දෘෂ්ටිමය නායකත්වය ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා. රාජ්‍ය මුල්‍ය කළමනාකරණ කර බංකොලොත් රටකට කළ යුත්තේ කුමක්ද කියා නීතියක් සම්මත වුණා. එහි ප්‍රධාන අරමුණ තුනක් වුණා. 2006 වනවිට අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%ට ගෙන එම හා පසුව පැමිණෙන රජයක් 5%ට අඩුවෙන් අයවැය පරතරය පවත්වා ගෙන යායුතු වීම. 2013 වන විට නොපියවා ඇති මුළු රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 65%ට අඩුවිය යුතු බවට නීතියක් සම්මත වීම. ණය සඳහා ලංකා ආණ්ඩුව ඇප වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%ට වඩා ඇප නොවිය යුතුයි. මේ නියමයන් තුන ඊට පසුව ආ ආණ්ඩු නියමාකාරයෙන් ඉෂ්ට කළා නම් කවරදාවත් මේ රට බංකොලොත් වන්නේ නැහැ.

නමුත් අවාසනාවකට මැතිවරණයෙන් සියල්ල අවසන් වුණා. ඒ අවස්ථාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් වූ පී. බී. ජයසුන්දර මහතා පැහැදිලි කර දුන්නේ IMF ගිවිසුම යටතේ ඉදිරියට ගියොත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කළ නොහැකි බව. ඒ නිසා මේ පනත වෙනස් කළ යුතු බවයි. පාර්ලිමේන්තුව විසින් මේ මූල්‍ය කළමනාකරණ පනතේ වගන්ති වෙනස් කළා. රට බංකොලොත් වුණා. 2022 වන විට ගෝඨාභය ජනාධිපතිවරයා ජනාධිපති වීමෙන් පසුව ණය ගෙවීම පිළිබඳ අර්බුදය උත්සන්න වන බව දැනගෙන ඒ සඳහා මූල්‍ය උපදේශකයන්ගේ උපදෙස් අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගමන් කළා . කැබිනට් මණ්ඩලයේ සමහරු මුල්‍ය අරමුදලට යන්න බැහැ කියලා නැඟිටලා යන්න ගියා. ඒ වනවිට ලෝකයට මුදල් පිළිබඳ ණය කටයුතු කරන පිච් රේටින්, මෝඩ් වැනි ආයතන දිගින් දිගටම ලංකාව පහළට ඇදගෙන එන විට ආදාළ විශේෂඥයන්ගෙන් යෝජනා කැඳෙව්වා, ලංකාව බේරා ගන්නට. සමාගම් 28ක් යෝජනා දුන්නා. එයින් 20ක් සුදුසුකම් ලත් අය. මේ 20න් එකක් තෝරා ගැනීමට කැබිනට් අනුකාරක සභාවක් කැ‍ෙඳව්වා. මහාචාර්ය ජී ඇල් පීරිස් එහි සභාපති වුණා. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට ප්‍රංශයේ ලසාඩ් සමාගම තෝරා ගත්තා. ක්ලිෆඩ් චාන්ස් සමාගම නීතිමය කටයුතුවලදි ලංකා ආණ්ඩුවේ නියෝජිතයා වුණා. අදත් මේ කටයුතු කරන්නේ මේ ආයතන දෙක.

අර්බුදය උත්සන්න වන විට මූල්‍ය අරමුදලට යාමට හෝ ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය ආරම්භ කරන්නට නොහැකි වුණා. සංචිත සියල්ල සිඳී ගියා. තෙල් ගෑස් නැතුව ජනතාව පෝලිම්වල හිටියා. පාරේ උද්ඝෝෂණ ඇතිවුණා. විදුලිය නැතිවුණා. බඩු මිල අහස උසට වැඩි වුණා. රුපියල කඩා වැටුණා. මගේ ඇතුළු 72 දෙනෙකුගේ ගෙවල් පිච්චුවා. වැරදි තොරතුරු මුදා හැරියම ජනතාව වෛරය මුදා හරිනවා. එය නතර කරගත නොහැකියි. මම දන්නා ආකාරයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන දශමයකින් හෝ වෙනස් කළොත්, ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර නොගත්තොත් කවුරු ජනාධිපති වුවත් සති දෙකකට වඩා ආණ්ඩු කරන්න ලැබෙන්නේ නැහැ මීට විකල්ප නැහැ. රජයන් වශයෙන් කර ඇත්තේ දන්නා විකල්පය පමණි. ඒ නිසා විකල්පයක් ඇත්නම් ලබන ජනවාරියේ සිට අයවැය සකස් කරන්නේ කෙසේද යන්න පැවැසිය යුතුයි.


IMF තුන්වැනි වාරිකය අනාගතයට ඉතා තීරණාත්මකයි
– ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග

ගු කාලයක් පුරාවට ආර්ථිකය කඩා වැටීමට කරුණු කිහිපයක් බලපැවා. යම් යම් අවස්ථාවලදී ආර්ථික කළමනාකරණයට සම්බන්ධ වූ ප්‍රධානීන් යම් ආකාරයක කළමනාකරණ ක්‍රමවේද භාවිත කර වැටෙන්නට ගිය අවස්ථාවලින් බේරාගෙන තියෙනවා. වසර 30-40ක් පුරාවට පහසු පාරවල ගමන් කළා. මෑත කාලයේ ආණ්ඩුව ගත් ප්‍රතිපත්තිමය තීරණවල අඩුපාඩු නිසා අපිට මේ අර්බුදය වළක්වා ගත නොහැකි වුණා.

ආර්ථික විද්‍යාවට අනුව අපේ රටේ ප්‍රධාන අසමතුලිතතා දෙකක් පවතිනවා. මේ රට විදේශීය ගනුදෙනු පරතරය හා ආණ්ඩුවේ ආදායම හා වියදම අතර පරතරය. කෙටි කාලයක් තුළ හිඟයක් පවත්වා ගෙන යාහැකි වුවත් වසර 20-24 එක දිගට පවත්වා ගෙන යාමට බැහැ. එවිට අනිවාර්යයෙන් මේ රටවල් අගාධයට යනවාමයි. දෙවැන්න වන්නේ රට අභ්‍යන්තරයේ අයවැය හිඟයයි. මේ හිඟය පියවීම ගැන කතා කලාට පසුගිය වසරවල මේ ගැන ලොකුවට කතා කළේ නැහැ. වසර 75කටම අපේ ප්‍රාථමික ගිණුමේ ශේෂයේ වෙනසේ අතිරික්තයක් පැවැතියේ අවස්ථා 6 කදි පමණි. මේ වසර ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පැවැතුණි. ඊළඟට අපේ රට, රටවල් 196ක් සමඟ කරන ගනුදෙනුවේ සමස්තයේ අවසාන ප්‍රතිඵලය වර්තන ගිණුමේ ශේෂය වසර 75කදීම අතිරික්තයක් පවත්වා ගෙන යාමට හැකි වූයේ 1950, 1951, 1977 හා 2023 වසරවලදි පමණි. ව්‍යුහාත්මක අවුලක් වූ තවත් ප්‍රශ්නයක් වන්නේ අයවැය හිඟය පියවා ගන්නා ආකාරයයි. අපි අයවැය හිඟය පියවා ගත්තේ ලෙහෙසි ආකාරයටයි. එනම් බියගම කර්මාන්ත ශාලාවේ මුදල් අච්චු ගැසීමයි. 1949 මහ බැංකු පනත යටතේ නීතිමය ප්‍රතිපාදන තිබුණි.

අපේ සුබ සාධන අපිට ඔරොත්තු නොදෙන ආකාරයට පුළුල් වුණා. භූමිතෙල් කාලෙන් ආරම්භව මහ ගංගාවක් ලෙස ගොස් සුබ සාධන කටයුතු ව්‍යාප්ත වුණා. හුඟාත් සුබ සාධනවල තිබුණේ දේශපාලන අරමුණු. පසුගිය වසර 40 අපේ විදේශ විනිමය අනුපාතය වෙනස් වෙන ආකාරය එනම් නම්‍යශීලීබව පාලනය කරමිනුයි දිගින් දිගටම ගියේ. අපනයන ක්ෂේත්‍රය දිරිමත් කිරීමට එය විශාල බාධාවක් වුණා.

1956 සිට 1980 තෙක් ජනසතු කිරීම හරහා රාජ්‍ය ව්‍යාපාර ඇති වෙන්න පටන් ගත්තා. එවැනි රජය සතු ව්‍යාපාර 450ක් පමණ පවතිනවා. මේ ව්‍යාපාර කිරීම ප්‍රශ්නය වන්නේ මේවා පාඩු ලැබීම නිසයි. ඒ පාඩුව පියවන්න සිදුවන්නේ මහජනතාවගේ බදු මුදලින්. මේවා විශාල අගතිගාමි දේවල් ලෙස අපිට ප්‍රත්‍යක්ෂ වූයේ මේ අර්බුදයත් සමඟයි. අපේ රටේ නීති ප්‍රතිසංස්කරණය නොවීම නිසා ප්‍රශස්ත ප්‍රතිඵල නොලැබුණි. රාජ්‍ය පාලනයේ ඇති ව්‍යුහාත්මක ගැටලුත් මෑත කාලයේ පැන නැඟුණු තවත් ප්‍රශ්න. මහජනතාවට ලබාගත හැකි සේවා ඒ නිසා සීමා වුණා. රාජ්‍ය ආදායම 2022 දී දළ දේශීය නිශ්පාදනයෙන් 8%ක්. රාජ්‍ය වියදම 20%ක්. එවිට රටවල් පවත්වා ගෙන යන්නේ කෙසේද? වියදම පාලනය කර ගන්නේ නැතිව හෝ වියදමට ගැළපෙන ආදායම් ක්‍රමයක් හදා ගන්නේ නැතුව වසර 30 ක් තිස්සේ ගියේ මේ ආකාරයෙනුයි.

විදේශ විනියමය 2022 මාර්තු අප්‍රේල් වන විට හිඟව ගියා. ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම නිසා 2022 මැද වන විට විසඳාගත නොහැකි අගාධයකට වැටුණා. විදේශ විනිම සංචිත අඩුවන විට එය සකස් කරගත යුත්තේ දේශපාලනාධිකාරිය විසින්.

මෑතකාලයේ වූ ප්‍රශ්න ලෙස බැලූ විට 2019 නොවැම්බර් 27 වැනිදා රජය බදු කපා හැරීමට තීරණය කළා. වසර 75කට මේ ආකාරයේ බදු කපා හැරීමක් අපි දැක්කේ නැහැ. ඒ වන විට රජයේ ආදායම 12%යි. සතියක් තුළ බිලියන 600 ක රාජ්‍ය ආදායමක් අහිමි වුණා. 12%ක් මදිවීමට තවත් 4%ක් එකතු වුණා. මේ සමඟම අපේ සවෛරීත්ව ශ්‍රේණිගත කිරීමේ ආයතන ලංකාව අමාරුවේ වැටෙන බව පැවැසුවා.ශ්‍රේණිවලින් පහළට දැම්මා. විදේශයකින් වාණිජ ණයක් ගත නොහැකි පරිදි ශ්‍රේණි පහළට දැම්මා. මේ නිසා අයවැය හිඟය පියවා ගැනීමට බියගම කම්හලට ඕඩර දුන්නා. මෙවැනි මුදල් අච්චු ගැසීම් අපි කිසිදා දැක තිබුණේ නැහැ. විනිමය අනුපාත වෙනස් වීමට ඉඩක් දුන්නේ නැහැ. මහ බැංකු සතු පොලී අනුපාත ඉහළ දැම්මේ නැහැ. මේවා රජයේ තීරණ. 2021 මැද රසායනික පොහොර භාවිතය පිළිබඳ සීමා තවත් හේතුවක් වුණා. කෘෂිකර්ම ආර්ථිකය කඩා වැටුණා. පාස්කු ප්‍රහාරය මෙන්ම කොවිඩ් 19 ප්‍රශ්න නිසා උද්ධමනය ඉහළම තත්ත්වයට පත්වුණා. විදේශ සංචිත 2022 අප්‍රේල් මස වන විට අඩු වුණා. 2022 සිට කාර්තු 6ක් ආර්ථිකය දිගින් දිගටම හැකිළුණා.

ආර්ථිකය හැකිළීමේදි ජීවනෝපාය කරගෙන ගිය අයගේ රැකියා අහිමි වුණා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 20%ක් වැසී ගියා. පැවැති 80%න් 50%ක් වැඩ කරන්නේ අර්ධ ධාරිතාවෙන්. අවසානයේ කිසිදා නොදැක්ක ආකාරයේ සමාජ දේශපාලන උණුසුමක් ලංකාව පුරාම ඇතිවුණා.

පළමු වතාවට අපි ණය නොගෙවන බව ලෝකයාට කිව්වා. කිසිම රටකින් ගැනීමට මුදල් නැති වුණා. ඒ නිසා භාණ්ඩ හා සේවා හිඟ වුණා. සමාජ දේශපාන වෙනස්වීමක් ඇති වුණා. IMF මුල් සාකච්ඡාවට ඔවුන් ලංකාවට පැමිණියේත් නැහැ. අවසාන සාකච්ඡාවට තමයි ලංකාවට ආවේ. අපිට ණය හිමියන් සමඟ කතා කොට ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණය වැඩසටහනට ඔවුන්ගේ එකඟතාව ගන්න කිව්වා. 2022 සැප්තැම්බර් සිට 2023 මාර්තු දක්වා අපි ණය හිමියන්ට කතා කළා. එකඟතාවකට එන්න මාස 8ක් ගියා. ඉන් පසුවයි IMF මණ්ඩලයට ගිහින් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. මෙය ඇදි ඇදී ගියා නම් මතුවිය හැකි තත්ත්වය පැහැදිලි කරීමටද නොහැකියි. අවසානයේ රට පිළිබඳ විස්වසනීයත්වයක් ඇති වුණා. මේ ප්‍රශ්නයට වෙනත් විකල්ප විසඳුමක් තිබුණේ නැහැ.

මේ කාලය තුළ රජය ප්‍රතිසංස්කරණ සිදු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය තනි ඉලක්කමකට ආවා. විදේශ විනිම සංචිත ගොඩ නැඟුණා. ආනයන සීමා ඉවත් වුණා. ප්‍රතිපත්ති පොලී අනුපාත පහළට ආවා. ණය පොලී අනුපාතයත් තනි ඉලක්කමකට එයි. රජයේ ආදායම ඉහළ ගිහින්. කවරදාකවත් නොමැති වැඩපිළිවෙළ රැසකට රජය අවතීර්ණ වෙලා. අයවැය හිඟය 12% සිට 7%ක් දක්වා අඩු වන ලකුණු පෙන්නුම් කරනවා. පළමු වතාවට භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහය කළමනාකරණය කිරීමට හැකි වුණා. අපි ආදායම් වැඩි කරගත යුතුයි

එකදිගට කාර්තු 6 ක් කඩා වැටුණු ආර්ථිකය 2023 යළි ගොඩ නැඟෙන්න පටන් ගත්තා. අපිට ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ සියයට 8-10 ආදායමක් පවත්වා ගෙන 20% ක වියදමක් දරන්නේ කෙසේද යන්න. එමනිසා ජනතාව බදු නොගෙවන්නේ නම් ආදායමට සරිලන ආකාරයෙන් වියදම් පාලනය කිරීමක් කළ යුතුයි. එසේත් නොමැති නම් ආදායම් වැඩි කරගත යුතුයි. නමුත් මේ දෙකම ක්‍රියාත්මක කිරීමට දී තිබූ කාලය අවසන්. අඩු ආදායමක් තබාගෙන වැඩි වියදම් කරමින් දශක ගණනාවක් ගියා. මේ යථාර්ථයට ඕනෑම ආණ්ඩුවක් මුහුණ දිය යුතුයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division