Home » ජනපති ඡන්දය සඳහා 13 වෙන්දේසි කිරීම

ජනපති ඡන්දය සඳහා 13 වෙන්දේසි කිරීම

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment

තුරු නැඟෙනහිර ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්න සහ ගැටලුවලට විසඳුම් ලබාදීම පිළිබඳව ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂවලට තම අදහස් දැක්වීම සඳහා මේ දිනවල අවස්ථාවක් සැලසී තිබේ. ඒ, එම පක්ෂවල නියෝජිතයන් යාපනය ප්‍රදේශයේ කරන සංචාර අතරතුර දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් හමුවී ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමක් සිදු කර ඇති බැවිනි. සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශ කර තිබුණේ තමා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි. ඒ අතරම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා යාපනය දෙමළ ජනතා සන්ධාන කාර්යාලයේදී එම පක්ෂ නියෝජිතයන් හමුවූ අතර එම හමුවෙන් පසු ඔහු ප්‍රකාශ කළේ පළාත් සභා ක්‍රමයට තමන් එකඟ වන බවයි.

ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන ධාරාවේ පක්ෂ තුන අතරින් දෙකකම නායකයන් මේ ආකාරයට පළාත් සභා ක්‍රමයට සහ 13 වැනි සංශෝධනයට එකඟ බව ප්‍රකාශ කිරීම තුළින් පැහැදිලි වන්නේ රටේ ජනවාර්ගික අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා වන චින්තනමය වෙනසක් රට තුළ සිදුව ඇති බවයි. එයට හේතුව රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක්ම පළාත් සභා ක්‍රමය පිළිබඳ එකඟතාවක් දක්වන තත්ත්වයක් දැන් ඇතිව තිබීමයි. 1987 වසරේදී 13 වැනි සංශෝධනය ගෙනැවිත් රටේ පළාත් සභා ස්ථාපිත කරන විට පැවති තත්ත්වය හා සැසඳීමේදී මෙය සැලකිය යුතු ප්‍රගතියක් ලෙස පෙන්වා දීමට හැකිය.

පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළේ උතුරු නැඟෙනහිර දෙපළාතේ ජීවත්වන ද්‍රවිඩ බස කථා කරන ජනතාවට ස්වයං පාලන අයිතියක් ලබාදීම සඳහාය. ඒ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන සහ ඉන්දියානු අගමැති රජිව් ගාන්ධි අතර ඇති කර ගන්නා ලද සම්මුතියක ප්‍රතිඵලයක් වශයෙනි. ජේ.ආර්. සහ රජිව් අතර ගිවිසුම අත්සන් කරන අවස්ථාවට එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි ආර්.ප්‍රේමදාස සහභාගි වූයේ නැත. ඒ මුලදී ඔහු එම ක්‍රමයට විරුද්ධ වීම නිසාය. එසේ වුවද රජය විසින් පළාත් සභා පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අගමැති ප්‍රේමදාස පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් සාධනීය ස්ථාවරත්වයක් දැරූ බව පෙනේ.

එසේ වුවද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද, ජනතා විමුක්ති පෙරමුණ ද දැරූ ආකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් එකක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පනතට විරුද්ධව ඡන්දය ලබාදුන් අතර පළාත් සභා සඳහා පැවැති ප්‍රථම මැතිවරණය වර්ජනය කරමින් එයට තරග කළේ ද නැත. ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා සම්බන්ධයෙන් දැරූ ආකල්පය ඊට වඩා බිහිසුණු එකක් විය. ප්‍රථම පළාත් සභා මැතිවරණය වර්ජනය කරන ලෙස එම පක්ෂය මහජනතාවගෙන් ඉල්ලා සිටි අතර, ඡන්දය දමන පිරිස වැළැක්වීම සඳහා ප්‍රචණ්ඩ ක්‍රියා අනුගමනය කළේය. එමෙන්ම පළාත් සභාවලට තේරී පත්වූ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඝාතනය කරනු ලැබිණි. පළාත් සභා ක්‍රමය ඉන්දියාව ශ්‍රී ලංකාව මත බලෙන් පැටවූවක් ලෙස හඳුන්වමින් එම පක්ෂය ඉන්දියානු විරෝධතාවක් ආරම්භ කරන ලද්දේ ද 13 වැනි සංශෝධනයට බලපෑ ඉන්දු-ලංකා ගිවිසුමෙන් පසුවය.

නිදහස ලබාගත් අවස්ථාවේ සිටම මෙරට ජාතීන් අතර විෂමතාවන් පවත්නා බවට සහ උතුරු නැඟෙනහිර පළාත්වල දමිළ සහ මුස්ලිම් ජනතාවට තම කටයුතු පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් තරම් බලය විමධ්‍යගත වීමක් සිදු විය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් විය. භාෂා භාවිතය සම්බන්ධයෙන් ද ගැටලු ඇතිවී තිබුණි. කෙසේ වුවද එම ඉල්ලීම් පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීමේ ප්‍රතිඵලයක් ලෙස ජනවර්ග අතර කිසියම් දුරස්ථ භාවයක් ඇති කරන ආකාරයේ තත්ත්වයක් ක්‍රමයෙන් වර්ධනය වු බව පිළිගත යුතුව ඇත. වරින් වර ඇතිවු ජාතිවාදී කෝළාහල හේතුවෙන් එම තත්ත්වය තවදුරටත් වර්ධනය විය. විවිධ රජයන් විසින් එයට විසඳුම් වශයෙන් යම් යම් එකඟතාවන් ඇති කරගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගනු ලැබූවද බොහෝවිට බලාපොරොත්තු වු ප්‍රතිඵල අත්කර ගැනීමට ඉඩ නොලැබුණු බව පෙනී යයි. තිස් අවුරුදු යුද්ධය ජනවාර්ගික ගැටලුවලට සාර්ථක විසඳුමක් ලබා දීමට නොහැකි වීමේ තවත් එක් ප්‍රතිඵලයක් ලෙස ද හැඳින්විය හැකිය.

මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය නිමකර ත්‍රස්තවාදය මැඬ පවත්වා අර්බුදයට පත්ව තිබු ප්‍රචණ්ඩ ස්වරූපයෙන් මහජනතාව මුදවාගනු ලැබීය. පශ්චාත් යුද්ධ කාලපරිච්ඡේදය තුළ එම රජය උතුරු නැඟෙනහිර සංවර්ධනය සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. එසේ වුවද විවිධ ජනකොටස් අතර දිගුකාලීන සංහිඳියාවක් ඇති කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අර්බුදය සම්බන්ධයෙන් ස්ථිර විසඳුමකට එළඹීමට නොහැකි වූ බව පෙනේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනවාර්ගික ගැටලු සාමකාමී පිළිවෙතක් ඔස්සේ විසඳීම සඳහා දිගු කලක් තිස්සේ කටයුතු කළේය. එම අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ සංහිඳියාව තුළින් බව ඔහු විශ්වාස කළ අතර, සංහිඳියාව තහවුරු කිරීම සඳහා තම දේශපාලන ජීවිතය අභියෝගයට ලක් කරමින් වුවද ඒ සඳහා කටයුතු කිරීමට ඔහු ඉදිරිපත් විය. 2001 දෙසැම්බර් 09 සිට 2004 අප්‍රේල් 06 කාලයේදී ඒ සම්බන්ධයෙන් ඔහු අනුගමනය කළ ක්‍රියාමාර්ග තුළින් එම තත්ත්වය වඩාත් පැහැදිලි වේ.

2022 ජූලි මාසයේ 21 වැනිදා අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මේ දක්වා කාලපරිච්ඡේදය තුළ ඔහු මුලින්ම අවධානය යොමු කළේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳීම පිළිබඳවය. දෙවැනුව ඔහුගේ අවධානය යොමු වූයේ ජනවාර්ගික ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබාදීම පිළිබඳව බව පෙනී යයි. ඒ සඳහා හේතු වූයේ රට මුහුණදී සිටින සමහර ප්‍රශ්න යැයි සිතමි. යුද්ධයෙන් පසු ගතවූ දශක එකහමාරක කාල පරිච්ඡේදය තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම් වැනි අවස්ථාවලදී අඛණ්ඩවම ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කරන සිදුවීම් ඇති විය. යුද්ධයේ ප්‍රතිඵලයක් වුයේ ද්‍රවිඩ පිරිස් බටහිර බොහෝ රටවල පදිංචියට යෑමය. ඒ තුළින් ගොඩනැඟුණු ද්‍රවිඩ ඩයස් පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව සංවිධානාත්මක විරෝධතා ව්‍යාපාර දියත් කරමින් සිටී. ශ්‍රී ලංකාව හා සම්බන්ධ කවර කටයුත්තකදී වුවද ඔවුන්ගෙන් විරෝධතා එල්ල වේ.

දැන් යුද්ධය අවසන් වී බොහෝ කලක් ගතවී ඇත. ද්‍රවිඩ ජන කොටස්වල පවත්නා අසම්තෘප්තිමත් බව දුරුකර සියලු ජනකොටස් අතර සමගිය වර්ධනය කර ගැනීම ආර්ථික සංවර්ධනය සඳහා ද යහපත් ප්‍රතිඵල අත්කර දෙනු ඇත. විවිධ රටවල සරණාගතයන් බවට හෝ පදිංචිකරුවන් බවට පත්ව ඇති ද්‍රවිඩ ජනතාවට උපන් බිමට පැමිණ තම මවු රටේ ජීවත් වීමේ තෘප්තිය ලබා ගැනීමට හැකි වාතාවරණයක් ඇති කළ යුතුව ඇත. රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ජනවාර්ගික ගැටලුව සඳහා තිරසර විසඳුමක් ලබාදීමට ද ඉදිරිපත් විය.

2022 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයක් නිකුත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේ එම ප්‍රශ්නයට විසඳුම් ලබා දීම සඳහා සියලු දේශපාලන පක්ෂ එකමුතුව කටයුතු කළ යුතු බවය. ඒ සඳහා සියලු පක්ෂවල සමුළුවක් කැඳවන බවත් 2023 පෙබරවාරි නිදහස් දිනයේදී ප්‍රකාශයට පත්කළ හැකි සාධනීය විසඳුමකට එළඹිය හැකි නම් එය රටේ අනාගතය සඳහා ඉතා වැදගත් වන බවත් ප්‍රකාශ කළේය. ඒ අනුව 2023 පෙබරවාරි 04 වැනිදා පැවැත්වූ 75 වැනි නිදහස් සමරු දිනයේදී ද්‍රවිඩ ජනතාව මුහුණදී සිටින මූලික ගැටලුවලට අවසන් විසඳුමක් ලබාදිය හැකි බව ද ප්‍රකාශ කළේය. එසේ වුවද එම නිදහස් දිනයට පෙර විසඳුමකට එළඹීමට අනෙකුත් දේශපාලන පක්ෂ උනන්දුවක් දැක්වුයේ නැත. 2023 ජුලි මස 26 වැනිදා නැවත වරක් සියලු දේශපාලන පක්ෂවල සමුළුවක් කැඳවා තිබුණද ඒ තුළින් වුවද ප්‍රශ්නයට ලබාගත හැකි විසඳුම පිළිබඳ අවසන් එකඟතාවක් ඇති කරගත හැකි වුයේ නැත. එයට හේතු වූයේ ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ මෙම උත්සාහය දේශපාලන වාසි තකා කරන්නක් බව ප්‍රකාශ කරමින් සමහර පක්ෂ එයට සහාය දීමෙන් වැළකී සිටීමය.

2022 වසරේ සිට 2023 වසර අවසන් වන තුරුම සියලු පක්ෂ රැස්වීම්වලදී මේ පිළිබඳව එකඟතාවක් ඇති කර ගැනීමට ජනාධිපති වික්‍රමසිංහ මහතා උත්සාහ දරුවේය. එය ඔහුගේ දේශපාලන ප්‍රෝඩාවක් ලෙස හඳුන්වමින් ජනතා විමුක්ති පෙරමුණත් සමගි ජනබලවේගයත් එයට සහයෝගය ලබා දුන්නේ නැත. දැන් ඒ සියලු දෙනාටම 13 වැනි සංශෝධනයත් පළාත් සභාත් ක්ෂණිකවම ඉතා වැදගත් කරුණු බවට පත්වී තිබේ. දැන් ඔවුන්ගේ පොරොන්දු මාලාවට 13 ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් පළාත් සභා බලගැන්වීම පිළිබඳවත් පො‍රොන්දු ඇතුළත් වනු ඇත. එයට හේතුව ඔවුන්ගේ ජනාධිපති සිහින සැබෑකර ගැනීම සඳහා රටේ ද්‍රවිඩ ජනතාවගේ ඡන්දය අත්‍යාවශ්‍ය සාධකයක් බව ජනාධිපතිවරණය ආසන්නයේදී දැනෙන නිසා විය යුතුය. ජනාධිපතිවරණ ඡන්දය සඳහා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙන්දේසි කිරීමට සහ මිලදී ගැනීමට සමහර පක්ෂ දැන් සූදානම්ය.

උතුරු නැඟෙනහිර ජනතාවගේ ගැටලුවලට අවශ්‍යයෙන්ම ස්ථිරසාර විසඳුමක් ලබාදිය යුතුය. තවත් වරක් එම දෙපළාතේ ජනතාව ක්ෂණික ඡන්ද පොරොන්දුවල බිල්ලක් විය යුතු නැත. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් අතරින් දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට තිරසර විසඳුමක් ලබාදිය යුතු යැයි තරයේ ප්‍රකාශ කළේත් ඒ සඳහා ස්ථිරසාරවම කැපවූයේත් කවරෙක් ද යන්න පිළිබඳව උතුරු නැඟෙනහිර ජනතාවට හොඳ වැටහීමක් තිබේ. උතුරු නැඟෙනහිර දෙමළ ඡන්ද බිලීබා ගැනීමට මේ අවස්ථාවේ කරන දේශපාලන රඟපෑම් සහ ඡන්ද වෙන්දේසි ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසියම් ආකාරයක හෝ බලපෑමක් ඇති කරනු ඇතැයි සිතිය නොහැක.

සුනන්ද මද්දුමබණ්ඩාර
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division