Home » IMF එකඟතා ගැන බන්දුල – හර්ෂ ගැටුමක්

IMF එකඟතා ගැන බන්දුල – හර්ෂ ගැටුමක්

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment

න්දීය රජයේ නිල ආරාධනාවකට අනුව ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් ඉරිදා සහ සඳුදා ගතකළේ නවදිල්ලි අගනුවරය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ඉරිදා පස්වරුවේ ඉන්දියාවේ ජනාධිපති නිල නිවෙස වන රාෂ්ට්‍රපති භවන් හිදීය.

ඔහු ඉන්දියාව බලා පිටත් වූයේ කොළඹින් උදේ 8.20ට පිටත් වන එයාර් ඉන්දියා ගුවන් යානයකිනි. එහි කාර්ය මණ්ඩලය ජනපති රනිල් හා කතා බහට එක්වූ අතර එය අවසන් වූයේ කාර්ය මණ්ඩලය ජනපති හා සෙල්ෆි ඡයාරූපයක් ද ගැනීමෙන් අනතුරුවය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමෙන් අනතුරුව උත්සවයට පැමිණ සිටි රාජ්‍ය නායකයන් සියලු දෙනා ප්‍රධාන පීඨිකාව වෙත කැඳවා ගත් ඉන්දීය අගමැති මෝදි ජනපති රනිල් ඔහුගේ වම්පසින් රඳවා ගත්තේය.

රනිල්ගේ කතාවට සීෙෂල්ස් උප ජනාධිපතිගේ ඇස් උඩ යයි

ප්‍රධාන පීඨිකාවේ සිට රාජ්‍ය නායකයන් රාෂ්ට්‍රපති භවන් මන්දිරය වෙත කැඳවාගෙන ගියේ ද අග්‍රාමාත්‍යවරයා විසිනි. ජනපති මන්දිරය තුළට ඔහු පිවිසියේ සීෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති අහමඩ් අෆිප් සමඟය. මෙහිදී ජනපති රනිල් ඔහුගෙන් විමසුවේ මෙය ඔබ රාෂ්ට්‍රපති භවන් වෙත එන පළමු අවස්ථාවද කියාය. ඔහු එසේ යැයි පිළිතුරු දෙමින් ජනපතිගෙන් එම පැනයම පෙරළා විමසුවේය.

රනිල් සමඟ ලලිත්, ගාමිණි එකට ගිය ගමන

“මම රාෂ්ට්‍රපති භවන් වෙත පළමු වරට පැමිණියේ 1984දීයි. ඒ රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා මිය ගිය අවස්ථාවේ ශෝකය පළ කිරීම උදෙසා එවක ඉන්දීය ජනාධිපති මුණ ගැසීමටයි. මම එදා තරුණ ඇමතිවරයෙක්. මාත් සමඟ අපේ රටේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් වූ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක සමඟ විදේශ ඇමති හමීඩ් මැතිතුමත් හිටියා.” ජනපති රනිල් කියාගෙන යද්දී සීෂෙල්ස් උප ජනාධිපතිවරයාගේ ඇස් උඩ ගියේ ජනපතිගේ ජ්‍යෙෂ්ඨත්වය සිහිපත් වීමෙනි.

“මේ අයගෙන් දැන් ජීවතුන් අතර ඉන්නේ මා පමණයි.” ජනපති කියද්දී සීෂෙල්ස් උප ජනාධිපතිවරයා ජනපති රනිල්ට දීර්ඝායුෂ පතමින් ඔහුගෙන් තමන්ට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇතැයි කීවේය. මෝදි අගමැතිවරයා රාජ්‍ය නායකයන් වෙන වෙනම මුණ ගැසුණු අවස්ථාවේ ජනපති රනිල් ඔහුගේ ජයග්‍රහණයට සුබ පතමින් නිල සංචාරයකට ලංකාවට පැමිණෙන්නැයි ආරාධනාවක් ද කළේය.

ජන්දය ගැන මෝදි විමසයි

භෝජන සංග්‍රහයේදීත් ජනපති රනිල් තමා අසලින්ම රඳවා ගැනීමට අගමැති මෝදි කටයුතු කර තිබිණි. භෝජන සංග්‍රහයේ බහුතරයක් ආහාර සකසා තිබුණේ ඉන්දියානු ක්‍රමයටය. මෝදි අගමැතිවරයා හා ජනපති අතර සුහද පිළිසඳරේදි “ඔබට ඉදිරියේදී ඡන්දයකට මුහුණ දෙන්න තිබෙනවා නේද? ” යැයි මෝදි අගමැතිවරයා ජනපති රනිල්ගෙන් විමසද්දී ඔහු හිස සලමින් සිනහවකින් පමණක් පිළිතුරු බැන්ඳේය.

කෙටි ආරාධනාවකින් පැමිණිම තමන්ට ශක්තියක් වූ බව කියමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනපති රනිල්ට තුති පුද කරද්දී “රජ කාලේ ඉඳන්ම ඉන්දියාව හා ලංකාව අතර මෙවැනි බැඳීමක් තිබුණා. එදා ලංකාවේ රජවරු ඉන්දීය රජ දරුවන්ගේ රාජාභිෂේකයට සම්බන්ධ වෙලා තියෙනවා.” ජනපති රනිල් කීවේ දෙරට අතර සමීප සබඳතා සිහිපත් කරමිනි.

මෝදිගෙන් රනිල්ට සුබ පැතුම්

“මැතිවරණය ජයග්‍රහණය කිරීමට මා ඔබට සුබ පතනවා. මැතිවරණයෙන් පස්සේ ඉන්දියාවට නිල සංචාරයකට එන්න.” මෝදි අග්‍රමාත්‍යවරයා රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසුව පිටතට යන ජනපති රනිල්ට සුබ පැතුවේ පිටට තට්ටුවක් ද දමමිනි. සඳුදා පෙරවරුවේ ජනපති රනිල් බංග්ලාදේශ අගමැතිනිය සමඟ මෙන්ම ඉන්දීය විදේශ ඇමතිවරයා සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡාවන්ට එක්වූයේය.

මාධ්‍යවේදීන්ට ජනපතිගෙන් අවස්ථාවක්

සිය ඉන්දීය නිල සංචාරයට මෙරටින් මාධ්‍යවේදීන් කණ්ඩායමක් රැගෙන යමු යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නට ජනපති රනිල් කීවේ ඉන්දියාවෙන් ඔහුට නිල ආරාධනාව ලැබුණු වහාය. කෙටි කාලයක් තුළ ජනාධිපති ලේකම් සමන් ඒකනායක හා සම්බන්ධ වෙමින් මාධ්‍යවේදීන් ඉන්දියාවට රැගෙන යෑමට අවශ්‍ය සියලු කටයුතු ඔහු නොපිරිහෙළා ඉටු කිරීම තුළ මාධ්‍යවේදීන්ට රාෂ්ට්‍රපති භවන් වෙත ගොස් උත්සවය ආවරණය කිරීමට ද අවස්ථාව උදා විය.

ඉන්දීය සංචාරය නිම කර සඳුදා සවස කොළඹට පැමිණි රනිල් අඟහරුවාදා පෙරවරුවේ පුරුදු පරිදි ආරක්ෂක අමාත්‍යාංශය වෙත ගොස් ආරක්ෂක කවුන්සිලයට එක්විය. සවස ඇමැති මණ්ඩල හමුව පැවැති අතර, එහිදී ඉන්දීය සංචාරයේ ප්‍රගතිය ගැන මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය හිමිවීම ගැන ද දැනුම්වත් කර තිබිණි.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැන සොයා බලා වාර්තා කිරීමට හිටපු ජනාධිපති ලේකම්වරයකු වූ උදය ආර්. සෙනවිරත්නගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේ ඉන් පසුවය. අඟහරුවාදා සවස ජනපති රනිල් වෝටර්ස් එජ් හෝටලයේදී ආංශික අධික්ෂණ කාරක සභා සඳහා සහභාගී වන තරුණයන් දැනුම්වත් කිරීමේ අවස්ථාවකට එක්විය.

ජනාධිපති හා සාක් සමුළුවේ මහලේකම් මුණ ගැසුණේ ජනාධිපති කාර්යාලයේදී බදාදා පෙරවරුවේය. සංහිදියාවේ සහ ප්‍රතිසන්ධානයේ ස්මාරකයක් ඉදිකිරීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනපතිට පිළිගැන්වුණේ ද එදිනමය.

ජනපතිගෙන් පැසසුම්

2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය ගැන ලැබුණු පූර්ව තොරතුරු අනුව ගත් ක්‍රියාමාර්ග ගැන සොයා බැලීමට ජනපති රනිල් තවත් කමිටුවක් එදිනම පත් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි වාරිකය නිදහස් කිරීමට ඔවුන් තීන්දු කර තිබුණේ බදාදා සවස පැවැති කාර්ය මණ්ඩල රැස්වීමේදීය. මේ පුවත කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක විසින් ජනපතිට දැනුම් දුන් අතර මේ කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් උර දුන් කාර්ය මණ්ඩල ප්‍රධානී සාගලට සේම ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු මුදල් අමාත්‍යාංශයේත් මහ බැංකුවේත් නිලධාරීන්ට ස්තූතිය පුද කිරීමට ද ඔහු අමතක නොකළේය.

අමාරු ගැටේ සාගල ලිහයි

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමත් ලංකාවේ කණ්ඩායමත් අතර විසඳා ගන්න අපහසු වූ කාරණා නිරවුල් කර ගැනීමට මැදිහත් වූවේ සාගල රත්නායක” යැයි එහි සිටි නිලධාරීන් කීහ. එම කතා බහෙන් පසු ජනපති රාත්‍රියේ ජනාධිපති මන්දිරය වෙත ගියේ ඇමැති මණ්ඩලය වෙනුවෙන් පිරිනමන රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වීමටය. මුලින්ම ජනපති රනිල් අවුරුදු දෙකක අමාරු කාලයක් ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යෑමට සහාය දුන් ඇමතිවරුන්ට ස්තූතිය පුද කළේය.

ජනපති රනිල්ට ඇමැතිවරුන්ගේ ප්‍රසාදය

“අමාරු තීන්දු තීරණ ගනිද්දී ඔබ තමුන්නාන්සේලා මට සහාය දුන්නා. ඔබතුමන්ලාගේ සහාය නැතිනම් මට වැල් පාලමේ මේ තරම් දුර එන්න ලැබෙන්නේ නෑ.” ජනපති රනිල් කීවේ හැඟුම්බරවය.

ඇමැතිවරුන්ගේ අත්පොලසන් නාදයෙන් පසු ඇමැති ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, කංචන විජේසේකර යන පිරිස අදහස් දක්වමින් පරිණත නායකයකු ලෙස අමාරු කාලයක, සැවොම වගකීම් අතහැර පැන යද්දී එය භාරගෙන රට මෙවැති තත්ත්වයකට කෙටි කාලයක් තුළදී ගෙන ඒම ගැන ජනපති රනිල්ට ද පෙරළා ස්තූතිය පළ කළහ.

රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර ඉදිරි මැතිවරණ කටයුතු ගැන ද ඔවුනොවුන් සාකච්ඡා කර තිබිණි. පසුදින රාජ්‍ය ඇමතිවරුන් වෙනුවෙන් ද ජනපති රනිල් භෝජන සංග්‍රහයක් පිරි නමන බව එහිදී කියැවිණි. බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති ගියේ සාක් රටවල මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුවට එක්වීමටය.

වජිරගෙන් හර්ෂට පිළිතුරු

එදින මැති ඇමතිවරු පිරිසක් ජනපති ලේකම් කාර්යාලයට පැමිණ සිටි අතර ආර්ථික පරිවර්තනීය පනත ගැන මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය ලැබීම ගැන ද කතා කළහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගත යුතු බව නිතර කියූ සජබ මන්ත්‍රී හර්ෂ ද සිල්වා දැන් ආර්ථික පරිවර්තනීය පනතට විරුද්ධ වීම ගැන ජනපති ඉදිරියේ කරුණු කීවේ ඇමති සේමසිංහය.

“එතුමා දැන් ආර්ථික පරිවර්තනීය පනතට විරුද්ධව කතා කරන්නේ කොහොමද දන්නේ නෑ. මේ අයට වෙලා තියෙන්නේ ගලේ පහරපු බළලට වෙච්ච වැඩේ.” මන්ත්‍රී වජිර ද කතාවට එක්වූවේ එලෙසිනි.

“පනතට හරි නම් මෙයාලා සහාය දෙන්න ඕනේ. කොහොම වුණත් මේ පනත පාස් වුණාට පස්සේ මෙතුමන්ලට කතා කරන්න දෙයක් නැති වේවි.” මහාචාර්ය ආශු ද කතාවට එක්වූවේ එලෙසිනි. මේ සියලු කතා අසා සිටියා මිස ජනපති රනිල් කිසිවක් කීවේ නැත.

සති අන්තයේ ජනපති රනිල් මන්නාරම බලා පිටත්ව ගියේ එහි ව්‍යාපෘති කිහිපයකට එක්වීමට මෙන්ම මන්නාරම අගරදගුරු හිමිපාණන් මුණ ගැසීම සඳහාය.

ජනපති රනිල් ඉරිදා ඉන්දියාව බලා පිටත්ව යද්දී කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක කඩුවෙල බලා ගියේ ගංවතුර උවදුර වෙනුවෙන් ස්ථිරසර විසඳුමක් උදා කර දීමටය. මෙහිදී කොළොන්නාවේ සිට කඩුවෙල දක්වා පවතින අඩුපාඩු ගැන කතා කළ අතර නිලධාරීන් මුණ ගැසී පළමුව සාකච්ඡා කරන ලෙසත් ඉන් පසුව තමන් සමඟ කතා කරන ලෙසත් සාගල රත්නායක ඔවුන්ට උපදෙස් දුන්නේය.

රංගේගේ බෝම්බ

කැස්බෑවේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කරන්න ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට අපූරු පිළිතුරක් සාගල දුන්නේ මහලේකම් රංගේව ද ළඟ තබා ගනිමිනි. “මහලේකම් තුමා ඉඳලා හිටලා බෝම්බ පත්තු කරනවා. ඒ වුණාට නියමිත වේලාවට අපි ඡන්දය තියෙනවා.” සාගල කියද්දී සැවොම කොක් හැඬලූහ.

දකුණු පළාතේ විශාල ආයෝජනයක් කිරීමට ඇඩ්‍රියන් සීකා සමාගමේ ප්‍රධානියා පැමිණ සාගල සමඟ කතා බහක නිරතවූවේ මේ අතරවාරයේය. කොළඹ සංවර්ධන වැඩසටහන ගැන මෙන්ම ත්‍රිකුණාමලයේ සංවර්ධන වැඩසටහන ගැන නිලධාරීන් හා සාකච්ඡා කරමින් ප්‍රගතිය විමසා එහි තොරතුරු ජනපතිට සම්ප්‍රේෂණය කිරීමට ද ඔහු කටයුතු කළේය.

ඇමති ප්‍රසන්නට යකා නඟී

වකුගඩු රෝගීන්, ආබාධිතයන්, අස්වැසුම හා සමෘද්ධිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන් සඳහා සහල් බෙදාදීම පසුගිය දා ගම්පහ දිස්ත්‍රික්කයේ නිල්පනාගොඩ, තම්මිට, බටපොත ඇතුළු ප්‍රදේශ කිහිපයකදී සිදු විය.

මේ සඳහා ගම්පහ දිස්ත්‍රික් නායක, ඇමති ප්‍රසන්න රණතුංගට ආරාධනා කර තිබුණද ඔහු එයට සහභාගී වන බවක් ස්ථීර වශයෙන්ම සහතික කර තිබුණේද නැත. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සහල් බෙදාදීමේ වැඩසටහන පැවැත්විණි.

බටපොත සහල් බෙදාදීමේ වැඩසටහන පැවැත්වෙන අතරදී ඇමැති ප්‍රසන්න ඒ ස්ථානයට පැමිණියේ කිසිවකුටත් නොදන්නවා. අඩුම තරමේ ඒ ස්ථානයේ සිටි ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීන්වත් ඒ පිළිබඳ දැනුම්වත්ව සිටියේ නැත.

වරින්වර සිහින් වැසි පොද වැටෙමින් තිබිණි. ඒ වැහි පොදින් බේරීමට පැමිණි පිරිස තැන් තැන්වලට යන්නට විය. ඒ බොහෝ දෙනා වයෝවෘද්ධ වැඩිහිටියන්ය. ඔවුන්ට හිඳ ගැනීමට අසුනක්වත් සහල් බෙදාදීමේ වැඩසටහන පැවති තැන තිබුණේ නැත.

වයෝවෘද්ධ වැඩිහිටියන් මුහුණ දුන් මේ අපහසුතාව දුටු ඇමති ප්‍රසන්නට අසූ හාරදාහට කේන්ති ගියේය.

“ලේකම්තුමිය, මේ ඉන්නෙ අහිංසක, අසරණ අම්මල තාත්තල. මේ මිනිස්සුන්ට අඩුම තරමේ වාඩි වෙන්න පුටුවක් තියන්න බැරිද? මේ දවස්වල වහිනවා. මෙතෙන්ට පොඩි හට් එකක් ගහන්න තිබුණේ. අපේ මන්ත්‍රීවරුන් ළඟ හට් තියෙනවා. කිව්ව නම් ඒ අය ගෙනත් ඒව හයි කරාවි.” ඇමැති ප්‍රසන්න ප්‍රාදේශීය ලේකම්වරියට කීවාය.

ඒ ප්‍රශ්නයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට දීමට උත්තර තිබුණේ නැත.

“මේ වගේ සුළු දෙක්වත් කරගන්න ඔයාලට බෑ.. මිනිස්සු නිකරුණේ රස්තියාදු කරනවා. නිලධාරීන් කරන මේ වගේ වැරදිවලටත් මිනිස්සු බණින්නේ දේශපාලනඥන්ට. නිලධාරීන් හැමදාම සුදනෝ. අපි තමයි වැරදි.” ඇමැතිවරයා දිගටම කියාගෙන ගියේය.

“හොඳ වෙලාවට මම කියන්නේ නැතිව ආවේ. නිලධාරීන් හොඳට මතක තියා ගන්න.මාව අන්දන්න බෑ. මාත් හොඳට තෙලේ තෙම්පරාදු වෙච්චි මිනිහෙක්. මම දේශපාලනය කරන්නෙ ඡන්ද කාලෙට විතරයි. මේ වගේ වැඩත් එක්ක මම දේශපාලනය කරන්නෙ නෑ”ඇමැතිවරයා යළි කීවේය.

මැච් එකට පිච් එක සකස් කිරීම

ජනාධිපතිවරණය පවත්වන බව කීවද තමන් එයට ඉදිරිපත් වන බවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවම හරියට කියා නැත. ඒ තුළ එක්සත් ජාතික පක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ද ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ මෙහෙයුම කරට ගෙන වැඩ කරති. පසුගිය ඉරිදා දිනයේ බම්බලපිටිය ප්‍රදේශයේ මැතිවරණ කාර්යාලයක් විවෘත වූයේද ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම වෙනුවෙනි. එහෙත් ඒ වනවිට ජනාධිපතිවරයා සිටියේ ඉන්දියාවේය. ඒ නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සංවිධානය කිරීම, මෙහෙය වීම සිදු වන්නේ මෙම කාර්යාලය මඟිනි. ඇමැතිවරුන් වන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, මනූෂ නානායක්කාර, මන්ත්‍රී මහින්දානන්ද, ජනාධිපති උපදේශක සාගල රත්නායක ඇතුළු පිරිසක් එයට සහභාගී වූහ. මෙහි ප්‍රධානියා ලෙස පුද්ගලික මාධ්‍ය නාලිකාවක ප්‍රධානියකු පත්කර තිබෙන අතර එම ප්‍රධානියාට පැවරී තිබෙන්නේ මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමය.

ඊට අමතරව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හා අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා ඉකුත් සතිය පුරාම තැන් තැන්වල පැවත්විණ. වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, ආගමික නායකයන්, ව්‍යාපාරිකයන්,දේශපාලන පක්ෂ නායකයන් හා නියෝජිතයන් වරින්වර එම සාකච්ඡා සඳහා එක්වූ අතර, ඇමති ප්‍රසන්න ද ඒ සාකච්ඡා බොහෝමයකට සහභාගී විය.

බන්දුල – හර්ෂ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා එහි තෙවැනි වාරිකය වශයෙන් ඩොලර් මිලියන 336ක මුදල නිදහස් කරන ලද්දේ මෙරට වේලාවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා හිමිදිරියේය.

ලෝකයේ අවසානම ණය දෙන්නා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ඇති කරගත් එකඟතාවලින් පිටස්තර වෙනත් කිසිදු විසඳුමක් නොමැති බව මෙරට ආර්ථිකය පිළිබඳ ප්‍රමුඛ විද්වතුන්ගේ ද මතයයි.

ආර්ථිකය පිළිබඳ විෂය ප්‍රාමාණිකයකු ද වන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ තත්ත්වය පසුගිය වකවානුව මුළුල්ලේම පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ඉතා පැහැදිලිව විග්‍රහ කළේය.

මෙය කෙතරම් දුරට සජබ දේශපාලනය රිදවන්නක් වී ඇත්දැයි යන්න පිළිබඳ හෙළිදරව් වූයේ මේ සතිය මැදදී රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍ය හමුවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන පිළිබඳව කළ ප්‍රකාශයක් සමඟය.

එහිදී ඔහු කියා සිටියේ මේවා වෙනස් කරන්නේ කෙසේදැයි කියා දීමට බන්දුල ගුණවර්ධන මහතා අවශ්‍ය නැති බවත් ඒ වේලාවේ චිත්‍රපටයක් හදාගෙන, පොතක් ලියාගෙන හෝ වෙනත් දෙයක් කරගෙන ඉන්නැයි බන්දුලට කියන බවය.

මේ ප්‍රකාශය නැවත IMF දෙබරයට ගල් ගැසීමක් වනු ඇතැයි පෙනෙන්නට තිබෙන්නේ ආචාර්ය හර්ෂ සමඟ නිතර හැප්පෙන බන්දුල ඇමතිවරයා අද හෙටම ඊට ප්‍රති ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි මේ වන විට කතා බහට ලක්වෙමින් තිබෙන නිසාය.

නව සන්ධානය මීළඟට වැල්ලවායට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ මංගල රැලිය පසුගිය සෙනසුරාදා පස්වරුවේ අම්බලන්තොට නගරයේදී විශාල ජනතාවකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි. මීට සති කිහිපයකට පෙර මෙම ස්ථානයේ සජබ සහ මාලිමාවේ රැස්වීම් ද පැවති අතර ඊට නොදෙවැනි සෙනඟක් එහි සිටීම කාගේත් අවධානයට යොමු විය.

මෙහි විශේෂත්වය වන්නේ පැමිණි සියලු දෙනා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව පමණක්ම වීමය. වෙනත් කිසිදු ප්‍රදේශයකින් ජනතාව මෙහි කැඳවීමට අමරවීර ඇමැතිවරයා තීරණය කර නොතිබීමද විශේෂත්වයකි.

එහිදී ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර්වලින් පවා ජනතාව පොදි පිටින් මෙහි පැමිණෙනු දැකීම කාගේත් සිත් ගත්තේය. කොළඹින් පැමිණි මැති ඇමැතිවරුන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල සඳහා ද දිවා ආහාරය අමරවීර ඇමැතිවරයාගේ අඟුණකොළපැලැස්ස නිවසේ සුදානම් වූ අතර ඇමැතිවරයාගේ බිරියගේ සංවිධානයෙන් එම අහාර සැකසීමේ කටයුතු සිදු විය.

බත්තරමුල්ලේ හෝටලයක රහසිගත හමුවක්

මේ අතර සමගි ජන බලවේගයේ ප්‍රබල මන්ත්‍රීවරුන් සිව් දෙනකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ නිමල් ලන්සා ඇතුළු නව සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර ඉතාම රහසිගත හමුවක් පසුගියදා බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයක පැවැත්විණි. මෙම හමුව සඳහා පැමිණි සජබ මන්ත්‍රීවරුන් ඔවුන්ගේ ආරක්ෂකයන් පවා ඒ සඳහා සහභාගී නොකරගෙන සාකච්ඡාව සඳහා පැමිණීමට වගබලා ගත්හ. නව සන්ධානය සමඟ ඔවුන් එක්වන්නේ කෙසේද? එසේ පැමිණෙනවා නම් එය සිදු වන්නේ කෙසේද යන්න මෙහිදී දීර්ඝ ලෙස සාකච්චා කෙරිණි. බොහෝ දුරට මෙම සජබ මන්ත්‍රීවරුන් සිව් දෙනා වැල්ලවායෙදී නව සන්ධානයේ රැලියට ගොඩවීම සඳහා දැනටමත් සියලු කටයුතු ඉතාමත් රහසිගතව සිදු වෙමින් තිබේ.

වජිර ඇගැයීමට

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ගාල්ල දිස්ත්‍රික්කයේ වෘත්තිකයන් පිරිසක් අතර විශේෂ හමුවක් පසුගිය සති අන්තයේදී ගාල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

රටේ පවතින දේශපාලන තත්ත්වයත් ආර්ථික තත්ත්වයත් පිළිබඳව මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම ඒවා සමාජගත කිරීමේ අරමුණින් මෙම වෘත්තිකයන් විසින්ම මෙම හමුව සූදානම් කර තිබීම විශේෂත්වයක් විය.

සුහද හමුවක් ආකාරයට සංවිධානය කර තිබුණු මෙම හමුවේදී වෘත්තිකයන්ට වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.

එසේම ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආර්ථික පරිවර්තන පනත පිළිබඳව පැමිණ සිටි පිරිස වජිරගෙන් විමසූ අතර ඔවුන් බලාපොරොත්තු වුණාටත් වැඩිය ඒ පිළිබඳ වජිර ඔවුන්ට අවබෝධයක් ලබාදීම නිසා වජිර ඔවුන්ගේ අගය කිරීමට ලක්විය.

“සුබ සන්ධ්‍යාවක්. කොහොමද ඉතින්?” වජිර හමුවට එක්වෙමින් පිරිසගෙන් අසා සිටියේය.

“හොඳයි ඇමැතිතුමා, අපි මේ විශේෂ සාකච්ඡාව ඔබතුමන් එක්ක දාගමු කියලා හිතුවෙම රටේ මේ දිනවල තිබෙන වාතාවරණය පිළිබඳ අපට අවබෝධයක් ලබාගන්න. අපේ දිස්ත්‍රික්කයේ නායකයා ඔබතුමා නිසාත් ජනාධිපතිතුමා සමීපයෙන්ම ඉන්න පුද්ගලයා ඔබ නිසාත් රටේ වාතාවරණය පිළිබඳ දැනගන්න හොඳම පුද්ගලයා ඔබතුමා කියලා අපි විශ්වාස කරන නිසා තමයි මේ හමුව අපි සූදානම් කළේ. “ මෙම හමුව සූදානම් කිරීමට මූලිකත්වය ගත් පුද්ගලයා එසේ ප්‍රකාශ කළේය.

මේ ආකාරයට ඔවුන්ට ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී එක් අයකු විමසුවේ,

“ජනමත විචාරණයක් තියලා ජනාධිපතිතුමන්ගේ ධුර කාලය දිගු කළ යුතුයි කියන ස්ථාවරයේ ඔබතුමත් ඉන්නවද?”කියාය.

“මම නම් එහෙම ස්ථාවරයක නැහැ. නමුත් රටේ සමාජ මතයක් තිබෙනවා, ඒ වගේම බොහෝමයක් ව්‍යාපාරිකයන් හිතනවා තව අවුරුදු තුන හතරක් මේ වැටිලා තිබෙන තත්ත්වයෙන් ගොඩ එනකන්වත් මේ යන විදිහට යමු කියන එක. අද අපි ජීවත් වෙන්නේ ආර්ථික වශයෙන් කඩා වැටිලා නැවත හුස්ම ගනිමින් පවතින රටක. ඉතින් නැවත වරක් අපට කඩා වැටෙන්න බැහැ. විශේෂයෙන්ම ව්‍යපාරිකයන්ට එය ඉතා තදින් බලපානවා. ඒ නිසා වෙන්න ඇති ඒ අය එහෙම කියන්නේ.” වජිර ඔහුගේ ප්‍රශ්නයට පිළිතුර ලබාදෙමින් පැවසීය.

සජිත් යාපනයේ

විපක්ෂ නායකතුමාගේ උතුරු පළාත් සංචාරය සියලු දෙනාගේම කතා බහට ලක්වූයේ උතුර නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයන් හමුවීමට කටයුතු කිරීම නිසාය. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු පිරිස දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේදී විපක්ෂ නායකවරයා සමඟ සාකච්ඡාවකට එක්විය.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා සහ ආනන්දි ශෂිධරන්ව ‘ෆොක්ස්‘ හෝටලයේදී මුණගැසුණු අතර උතුරේ හිටපු මහ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරම් මුණ ගැසුණේ නල්ලූර් පිහිටි නිවසේදීය.

අරගලකරුවන් නිසා සංවර්ධනය අඩාලවු බව අජිත් පෙන්වා දෙයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනහමු සහ උත්සව කිහිපයකට පසුගිය දිනවල සහභාගී වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ කියා සිටියේ අරගලකරුවන් ගාලු මුරදොර මාස ගණනක් සිදු කළ අරගලය හේතුවෙන් රටේ සංවර්ධනය අඩාල වූ බවයි.

“මේ අරගලය කරපු පිරිස් කාගේ හෝ වුවමනාවකට මේක කළා. ඒත් මේ අරගලයෙන් රටට ලැබුණු දෙයක් නැහැ. සිදු වුණු එකම දේ සිදු කරගෙන ආපු සංවර්ධන කටයුතු ආපස්සට යෑම පමණයි. සංචාරක ව්‍යාපාරය කඩාගෙන වැටුණා. ආයෝජකයන් ආවේ නැහැ. හිටපු ආයෝජකයනුත් රට හැර ගියා. කිසිදු විකල්පයක් ඉදිරිපත් නොකර සිදු කරන අරගලවලින් සිදු වුණේ රට ආපස්සට යැවීමක් පමණයි.” යනුවෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ එහිදී පැවසුවේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division