Home » හෝමාගම ධර්ම රශ්මි පොසොන් කූඩු තරගයට ලක්ෂ 40ක මුදල් තෑගි

හෝමාගම ධර්ම රශ්මි පොසොන් කූඩු තරගයට ලක්ෂ 40ක මුදල් තෑගි

by Mahesh Lakehouse
June 15, 2024 12:37 am 0 comment

පොසොන් පුන් පොහෝ දිනය නිමිත්තෙන් දියගම, පිටිපන, දාම්පේ, මීගොඩ, ගොඩගම, පනාගොඩ, හෝමාගම ආවරණ කරමින් කිලෝමීටර් 13ක් පුරා පැතිරෙන ධර්ම රශ්මි හෝමාගම පොසොන් කලාපය මෙවරත් ජූනි මස 21, 22, 23 සහ 24 දිනවලදී පැවැත්වේ.

ලේක්හවුස් මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන වැඩිහිටි සහ පාසල් – දහම් පාසල් සිසු සිසුවියන් සඳහා වූ පහන් කූඩු තරගවල ජයග්‍රාහකයන් සඳහා රුපියල් ලක්ෂ 40ක මුදල් තෑගි පිරිනැමෙන අතර ධර්ම රශ්මි පොසොන් කලාපය සංවිධාන කරන්නේ හෝමාගම ශාසනාරක්ෂක බලමණ්ඩලය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම ප්‍රාදේශීය සභාව, හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධවය. පොසොන් කලාපය සඳහා විද්යුත් මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ස්වාධීන රූපවාහිනිය සහ ජාතික රූපවාහිනියයි.

වැඩිහිටියන් සඳහා වන පහන් කූඩු තරගයේ ප්‍රථම ස්ථානයට රුපියල් ලක්ෂ 10ක්, දෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂ 5ක්, තෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂ 2ක් වශයෙන් මුදල් ත්‍යාග පිරිනැමෙන අතර, 4 වැනි ස්ථානයේ සිට 14 වැනි ස්ථානය දක්වා රුපියල් 50,000 ක් බැගින්ද 15 වැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය දක්වා රුපියල් 25,000 ක් බැගින් ද හිමි වේ. ශිෂ්‍ය පහන් කූඩු තරගයේ ප්‍රථම ස්ථානයට ලක්ෂ 5ක්, දෙවැනි ස්ථානයට ලක්ෂ 2 ක් හා තෙවැනි ස්ථානයට ලක්ෂයක් බැගින් හිමි වන අතර 4 වැනි ස්ථානයේ සිට 14 වැනි ස්ථානය දක්වා රුපියල් 30,000ක් හිමි වේ. 15 වැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය දක්වා රුපියල් 20,000 ක් හිමි වේ.

පොසොන් කලාපය නැරඹීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් පිටිපන දැනුම කේන්ද්‍රීය නගරයේදී බත් දන්සලක් පැවැත්වෙන අතර හරිත සරසවි භූමියේදී සෑම දිනකම රාත්‍රී 7 සිට භක්ති ගීත ප්‍රසංගයක් පැවැත්වෙයි. ජාතික රූපවාහිනිය හා ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්සේ මෙම ප්‍රසංගය දෛනිකව විකාශය කෙරේ.

ලේක්හවුස් පුවත්පත්වල පළ වන කූපනය පුරවා එවීමෙන් ධර්ම රශ්මි පොසොන් පහන් කූඩු තරගය සඳහා ඉදිරිපත් විය හැකි අතර වැඩි විස්තර 077-5448485- දර්ශ හෝ 0777207371 – ජයමහ ඇමතීමෙන් ලබාගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division