Home » දිස්ත්‍රික් සංවර්ධන කටයුතු පැහැර හැරලා: වැය කර ඇත්තේ රු. කෝටි 1200න් ලක්ෂ 1430යි

දිස්ත්‍රික් සංවර්ධන කටයුතු පැහැර හැරලා: වැය කර ඇත්තේ රු. කෝටි 1200න් ලක්ෂ 1430යි

by Mahesh Lakehouse
June 15, 2024 12:38 am 0 comment

දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සඳහා වසර ගණනාවකට පසු රජය රුපියල් බිලියන දොළහක් (රුපියල් කෝටි 1200ක්) මේ වසරේ වෙන් කර ඇති අතර වසරින් හරි අඩකට ආසන්න කාලයක් ගත වී ඇතත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් මෙතෙක් වැය කර ඇත්තේ මිලියන 143ක් (ලක්ෂ 1430ක්) පමණක් බව වාර්තා වේ.

රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ලබා දෙන විමධ්‍යගත ප්‍රතිපාදන එසේ අදාළ කටයුතු සඳහා නොයොදවා එම වැඩසටහන් කඩාකප්පල් කරන නිලධාරීන් කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති අතර හඳුනා ගන්නා නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට තීරණය කර තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් සිදුවන සංවර්ධන කටයුතු සහ කඳුකර දශකය වැඩසටහන් සඳහා එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබා දී තිබෙන මුදලින් පසුගිය මාස පහ සඳහා වැය කර ඇති මුදල ප්‍රතිශතයක් ලෙස ගතහොත් සියයට එකයි දශම එකයි හතරක් වන අතර එය ඉතාමත් අකාර්යක්ෂම තත්ත්වයක් පෙන්නුම් කරයි.

ලැබුණු ප්‍රතිපාදන මුදලින් සංවර්ධන කටයුතු සඳහා මෙතෙක් ප්‍රතිපාදන වැඩිපුරම භාවිතාකර ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයයි. එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් සියයට පහයි දශම දෙකයි එකකි. එයට අමතරව ප්‍රතිපාදන වැය කිරීමේ ප්‍රතිශතය සියයට එකක් ඉක්මවා ඇත්තේ මුලතිව්, කොළඹ, නුවරඑළිය, මඩකලපුව සහ මහනුවර යන දිස්ත්‍රික්ක පමණි.

හම්බන්තොට සහ යාපනය යන දිස්ත්‍රික්ක සඳහා මෙම වසර සඳහා වෙන් කර ඇති විමධ්‍යගත ප්‍රතිපාදනවලින් මේ වන තුරු සතයක්වත් වැය කර නොමැත.

මහජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්නා රාජ්‍ය සේවකයින් සිය සේවය කාර්යක්ෂම ලෙස ඉටු නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ නිලධාරියකු පැවසීය.

වසර දෙකක් තිස්සේ බංකොලොත්ව තිබු රට මේ වසරේ ධන ආර්ථික වර්ධනයකට ළඟා කරවීමට නම් මෙම සංවර්ධන වැඩ සටහන් සාර්ථකව නිමා කළ යුතු වුවත් සංවර්ධන කටයුතු සඳහා නිදහස් කර ඇති විමධ්‍යගත මුදල් රාජ්‍ය නිලධාරින්ගේ අකාර්යක්ෂමතාවය නිසා මෙතෙක් භාවිත කිරිමට අපොහොසත් වී ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division