Home » කාම ලෙඩ්ඩුන්ගෙන් සල්ලි ගැරූ නුගේගොඩ සල්ලාල කම්හලේ ඇතුල් පැත්ත

කාම ලෙඩ්ඩුන්ගෙන් සල්ලි ගැරූ නුගේගොඩ සල්ලාල කම්හලේ ඇතුල් පැත්ත

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment

කොටදෙණියාව මැල්ලව ගෙදර පැත්තේ පදිංචිකාරියක් වූ ඇයට අපි අමාලි යැයි කියමු. අමාලි තිස් හතර හැවිරිදි වියේ පසුවන එක්දරු මවකි. සැමියා ඇයව අතහැර යන්නේ දරුවා සමඟ ඇයව අතරමං කරමිනි. දිරිය ගැහැනියක් වූ ඇය සිය දරුවාට පියෙක්ද වෙමින් ඇයව රැක බලා ගන්නට මහා වෙහෙසක් දැරුවාය.

අමාලිට මුහුණු පොතේ ගිණුමක්ද තිබිණි. ඇය කාන්සිය හා තනිකම මගහරවා ගත්තේ මුහුණු පොතේ සැරිසරිමිනි. ඇයට විවිධාකාර මිතුරන් එහිදී මුණගැසුනේය. ඒ හැම මිතුදමක්ම අමාලි මුහුණු පොතට පමණක් සීමා කර ගත්තේ රෑ වැටුණු වළේ දවල් වැටී අමාරුවේ නොවැටී බේරී සිටින්නටය.

නුගේගොඩ මිරිහාන පැත්තේ ඇති පොල්තෙල් ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙක් බව කියන දර්ශන ඇයට මුහුණු පොත ඔස්සේ දැන හඳුනා ගැනීමට ලැබෙන්නේ ඔය අතර තුරදීය. ඒ පොල්තෙල් ව්‍යාපාරික ස්ථානයට සේවකයින් බඳවා ගන්නා බවට මුහුණු පොත ඔස්සේ පළ කර තිබුණු දැන්වීමකට අනුවය. එම දැන්වීම මුහුණු පොතේ පළ කර තිබුණේ දර්ශනය.

දැඩි ආර්ථීක ප්‍රශ්න රැසක් හමුවේ අසරණව සිටි ඇගේ අවධානය මෙම දැන්වීම කෙරෙහි වඩාත් යොමු වන්නේ නවාතැන් පහසුකම් සහ ආහාර පාන ද සමඟ රැකියාවේ නිරත වීමට අවස්ථාවක් ලැබෙන බව එහි සඳහන්ව තිබුණු නිසාය. ඇය එම දැන්වීමේ සඳහන් දුරකථන අංකයකට ඇමතුමක් ගත් විට ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ දර්ශනය. ඇය සමඟ පෞද්ගලික තොරතුරු කතාබහ කර හැම දෙයක්ම දැනගත් දර්ශන ඇයට යෝජනා කරන්නේ මෙහි සේවයට පැමිණෙන්නේ නම් රුපියල් 60,000ක මූලික වැටුපක් ලබාදිය හැකි බවය. ඒ හැරුණු විට තවත් රුපියල් දහපහළොස් දහසක් අතිකාල ලෙස ද උපයාගත හැකි බව දර්ශන ඇයට කීවේය.පොල්තෙල් ව්‍යාපාරික ස්ථානයේ ඇයට කරන්නට තිබුණේ පොල්තෙල් අසුරන බෝතල්වලට ලේබල් අලවන්නටය. ඒ හැරුණු කොට ගේ දොර අස් පස්කරන්නටත් ඉවුම් පිහුම්වලටත් සහාය වන්නැයි දර්ශන ඇයට කීවේය.

පොල්තෙල් ව්‍යාපාරික ස්ථානයේ රැකියාවට යෑමට සූදානම් වූ අමාලිට එම අවස්ථාව මගහැරෙන්නේ කුවෙට් රටේ ගෘහ සේවිකාවක් ලෙස රැකියාව ලැබුණු නමුත් ඇයට වැඩි කාලයක් එහි රැඳෙන්නට ඉඩක් නොවීය. විවිධ කරදර හා හිරිහැර හේතුවෙන් මාස නවයකට පසු ඇය නැවත මෙරටට එන්නේ අතින් ගුවන් ටිකට්පතක් රැගෙනය. ඒ පැමිණි ඇගේ මතකයට නැඟෙන්නේ දර්ශනවය. ඇය දර්ශනට දුරකතන ඇමතුමක් දී රැකියාවක් තිබේ දැයි විපරම් කළාය. මෙවර දර්ශන ඇයට රැකියාව ලබාදෙන්නේ පොල්තෙල් ව්‍යාපාරයේ රාජකාරියට අමතරව ඔවුන්ගේ දියණියගේ වැඩ කටයුතු ද සොයා බලා කිරීමේ වගකීම පවරමිනි. ඒ රුපියල් 70,000ක වැටුපකටය. ඒ අනුව ඇය නුගේගොඩ පාගොඩ, දේවාල පාරේ පිහිටි පොල්තෙල් ව්‍යාපාරික ආයතනයේ සේවිකාවක් ලෙස එක්වන්නේ පසුගිය මැයි 18 වෙනිදාය.

මේ අතර රැකියාවක් සොයමින් මුහුණු පොතේ දැන්වීමක් පළ කර තිබුණු හාලිඇල කන්දෙකැටියේ විසිහතර හැවිරිදි නිමාලිට ද මෙම පොල්තෙල් ව්‍යාපාරික ස්ථානයේම රැකියාවක් ලැබෙන්නේ එම දැන්වීමට අනුවය. ඇය මෙහි සේවයට එන්නේ මැයි 26 වෙනිදාය.

මෙහි පොල්තෙල් ව්‍යාපාරයක් සිදුවනවා යැයි කීවාට පොල්තෙල් විශාල වශයෙන් අලෙවි වන බවක් මේ දෙදෙනාටම පෙනෙන්නට තිබුණේ නැත. ඉඳහිට අයෙක් දෙන්නෙක් පැමිණ පොල්තෙල් බෝතලයක් දෙකක් රැගෙන ගිය ද දිනකට පොල්තෙල් බෝතල් දහයක් පහළොවක්වත් මෙහි අලෙවි නොවීය. නමුත් විවිධ පුද්ගලයින් මේ නිවෙසට එන යන බව නම් ඔවුහු දුටුවෝය. ඒ අතර ඉඳහිට විදේශිකයෙක් දෙන්නෙක් ද පැමිණ පැයක් හමාරක් එහි ගතකර යනු ඔවුන්ට නිරීක්ෂණය විය.

මනාව ඇඳ පැලඳ ගත් අමුතු ආකර්ෂණිය පෙනුම ඇති තරුණ කාන්තාවන් ද මෙහි නිතර ගැවසෙනු පෙනුණි. මේ හැම දෙයක්ම අමාලි සහ නිමාලි දුටුවේ නිවෙසේ පිටුපස කොටසේ රැඳී සිටියදීය. ඒ එන යන අය ගැන කුතුහලයක් ඇති වුවද ඒ ගැන දර්ශනගෙන් හෝ දර්ශනගේ බිරියගෙන් අසන්නට තරම් හයියක් ඔවුන්ට නොවීය.

මේ දෙදෙනා මෙහි සේවයට විත් දින කිහිපයකට පසු සේවා ගිවිසුමකට අත්සන් ගනු ලබන්නේ පෙර දැනුම්දීමකින් තොරව සේවය අතහැර ගියහොත් වැටුප් පවා නොගෙවන බව කියමිනි. ඒ අතර දර්ශන හිස් කඩදාසියකට මේ දෙදෙනාගේ අත්සන් සහ ඇඟිලි සටහන් ද ගත්තේය. මුල් සති දෙකේ වැටුප් හා කිසිදු දීමනාවක් නොගෙවන බවද එහිදී දර්ශන පැවසුවේය. ජීවිත දරිද්‍රතාවේ පත්ල අතගාමින් සිටි මෙම කාන්තාවන් දෙදෙනා හිස් කඩදාසියට අත්සන් ලබා ගැනීම හෝ මුල් සති දෙකේ වැටුප් නොගෙවීම ගැන ප්‍රශ්න කරන්නට නොයන්නේ ආහාර පාන, නවාතැන් සමඟ අතට සැලකිය යුතු මුදලක් ලැබෙන රැකියාවක් තමන්ට ලැබී ඇති නිසාය.

මේ අතර දිනක් දර්ශනගේ බිරිය මල්කි මේ දෙදෙනා සමඟ වෙන වෙනම කතා කළාය. ඒ රැකියාවෙන් අතට ලැබෙන ගාන වැඩිකර ගන්නට හැකි ක්‍රමයක් ගැනය. ඒ අන්තර්ජාලය ඔස්සේ සජීවීව නිරුවත් වෙමින් කාම මානසික රෝගීන්ගේ සිත ගත සුවපත් කරන්නට ඔවුන්ට බල කරමිනි. ඊට දෙදෙනාගේම කැමැත්තක් නොවුණි. කෙසේ වෙතත් මල්කිගේ බලපෑම මත අවසානයේදී සිදු වන්නේ අකමැත්තෙන් වූවත් ඔවුන්ට එකඟ වන්නටය. එහිදී ඇය අමාලිගේ නමින් මිලදී ගෙන තිබුණු ත්‍රී රෝද රථයක හිඟ ලීසිං වාරික කිහිපයක් ගෙවීමට මුදල් ද ලබාදී තිබුණි. මේ කාන්තාවන් දෙදෙනා ටික කලක් අකමැත්තෙන් වූවත් දර්ශනගේ බිරිය කියූ ලෙස කැමරාව ඉදිරියේ නිරුවත් වූහ. ඒ වන විටත් මොවුන් සිටියේ දර්ශනගේ නිවසේ සිරකාරියන් ලෙසය. නිවසින් පැන යන්නට හැදුවහොත් රත්තරන් බඩු සොරාගෙන ගිය බවට පොලිසියට පැමිණිලි කරමින් හිරේ යවන බවට ද දර්ශනගේ බිරිය කාන්තාවන් දෙදෙනාට තර්ජනය කර තිබුණාය. ඒ නිසාම මේ අඹුසැමි යුවළ කියන කරන දේවල්වලට අවනතව සිටිනවා හැරුණු කොට වෙනත් විකල්පයක් අමාලිටත් නිමාලිටත් නොතිබිණි.

අමාලි සහ නිමාලිගෙන් දිගින් දිගටම මේ අය වැඩ ගත්තද ඒ වෙනුවෙන් ලැබිය යුතු දීමනා කිසිවක් මේ යුවළගෙන් ඔවුන්ට නොලැබිණි. මේ ගැන අමාලිත් නිමාලිත් විමසන විට ඔවුන්ගෙන් එල්ලවන්නට වූයේ තර්ජන හා ගර්ජනය. මේ නිසාම ඔවුන් දෙදෙනා තීරණය කරනු ලබන්නේ මෙතැනින් පලා යන්නටය. අමාලිට කොළඹ පාරවල් තොටවල් ගැන සුළු දැනුමක් තිබුණද නිමාලිට එසේ නොවීය. එබැවින් අමාලිගේ පස්සෙන් යනවා හැරෙන්නට නිමාලිට වෙන මඟක් නොතිබිණි. ඒ අනුව මේ දෙදෙනා මිරිහානේ නිවෙසින් පැන ගන්නේ පසුගිය 08 වෙනිදා පෙරවරුවේදීය.

මිරිහාන පොලිස් ස්ථානය ඒ ආසන්නයේ පිහිටා ඇතත් ත්‍රිරෝද රථයකට ගොඩ වුණු කාන්තාවන් දෙදෙනා මිරිහාන පොලිසියට යන්නේ නැත. අමාලි රියැදුරාට කියන්නේ පොලිස් මූලස්ථානය වෙත ඔවුන්ව රැගෙන යන ලෙසය. දහවල් 11.30 පමණ පොලිස් මූලස්ථානය ළඟින් බසින නිමාලිව කැටුව අමාලි පොලිස් මූලස්ථානයට ඇතුළුවන්නීය. ඒ තමන්ව නුගේගොඩ නිවෙසක සිරකරගෙන ලිංගික වහලියන් බවට පත්කරගනිමින් මිනිස් වෙළෙදාමක් සිදුකළ බවට පැමිණිලි කරන්නටය.

කාන්තාවන් දෙදෙනා පොලිස් මූලස්ථානයේ මහජන පැමිණිලි අංශයේ නිලධාරීන් හමුවේ තමන්ට වූ අපරාධය පැමිණිලි කළහ. එදින පොලිස් මූලස්ථානයේ කාර්ය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියා ලෙස සේවයේ නිරතව සිටින්නේ ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේගුණසේකරය. මේ කතුන් දෙදෙනාගේ පැමිණිල්ල සටහන්කර ගන්නා ලෙසට උපදෙස් ලබාදෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැමිණිල්ල සටහන් කර ගැනීමෙන් අනතුරු ඔවුන් දෙදෙනාව ආමර්වීදියේ පිහිටි ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශ මූලස්ථානය වෙත යොමු කරන්නේය.

ඒ අනුව අමාලිත් නිමාලිත් ආමර් වීදියට ගොස් පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ නිවාරණ කාර්යාංශයට යන විට නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර විසින් එම කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සූදානම් කර තිබුණාය. ඒ අමාලිවත් නිමාලිවත් සිරකරගෙන ලිංගික වහල් සේවයට යෙදවූ ස්ථානය වටලන්නටය. අමාලිගේත් නිමාලිගේත් ප්‍රකාශ නැවත පොත්වල සටහන් කර ගන්නා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් අනතුරුව නුගේගොඩ පාගොඩ දේවාල පාරේ නිවෙස වෙත යන්නේ අමාලි හා නිමාලිගේ මඟ පෙන්වීමට අනුවය. ඒ යන විට නිවෙසේ රැඳී සිටින්නේ දර්ශන සහ මල්කි නමැති අඹුසැමි යුවළ හා කුඩා දියණියක් පමණි. එම දියණිය මල්කිගේය.

දර්ශන හා මල්කි අනියම් යුවළක් බව අමාලිත් නිමාලිත් දැන ගන්නේ ද පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය. කුඩා දියණියද සමඟ ඔවුන් දෙදෙනාව සිය භාරයට ගත් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් නිවෙස මුළුමනින්ම සෝදිසි කරමින් පරීක්ෂාවට ලක් කරන්නේ අමාලිත් නිමාලිත් කී කතාවල ඇත්ත නැත්ත දැන ගන්නටය. ඒ මෙම නිවසේ කාමරයක් චිත්‍රාගාරයක් ලෙස යොදා ගනිමින් එහි සිට විවිධ ලිංගික ක්‍රියාකාරකම්වල ඔවුන්ව යොදවමින් එම දසුන් සජීවිව අන්තර්ජාලය ඔස්සේ බෙදා හරින බව කී බැවිනි.

මෙවැනි අපරාධ මෙරට සිදුවන බව ඒ වන විටත් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් පවා දැන සිටියේ නැත. සංවිධානාත්මකව හොර රහසේ අන්තර්ජාලයට විකිණීමට කාන්තාවන් ලිංගික වහල් සේවයේ යොදවන මඩමක් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය විසින් වටලනු ලබන්නේ මෙරට ඉතිහාසයේ පළමු වරටය.

වැටලීම් කළ නිලධාරීන් මෙම නිවෙසින් එදා විවිධ වර්ගයේ අඩනිරුවත් ඇඳුම් ආයිත්තම්, ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නා උපකරණ, උපත් පාලන කොපු ඇතුළු තවත් බොහෝ දේවල් සොයා ගත්තේය. මේ කටයුත්තට යොදාගත් ස්ටූඩියෝව යැයි හැඳින්වූ කාමරයේ ඇඳක් මැදිකර ආලෝකය විහිදුවන නවීන පන්නයේ උපකරණ මෙන්ම ජංගම දුරකථන කැමරා කිහිපයක්ම අටවා තිබුණේය. මේ හැම ලිංගික අපරාධයක්ම මේ යුවළ විසින් සිදු කරනු ලැබුවේ ජංගම දුරකතනයෙනි. ආලෝක උපකරණ මෙන්ම ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නා උපකරණ මෙරටට ගෙන්වාගෙන තිබුණේ ද අන්තර්ජාලය ඔස්සේ ඇණවුම්කර ය.

මෙහි පාසල් සිසුවියන්ගේ,හෙදියන්ගේ වැනි විවිධ පන්නයේ ඇඳුම් පැලඳුම් ගොන්නකි. ඒ ගැන විමසිලිමත් වීමේදී හෙළිවන්නේ පාසල් සිසුවියන්, හෙදියන් ලෙස කාන්තාවන්ට තරුණියන්ට අන්දවා මෙහි සජීවී ලිංගික ක්‍රියා සිදුකර ඒවා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කර ඇති බවය.

මෙහි සිදුව ඇත්තේ විවිධ ලිංගික ආශාවන්ගෙන් පෙළෙන අසහන කරුවන්ට ඔවුන් කැමැති චරිතයක් සමඟ මානසිකව ලිංගිකව එක්වීමට අවස්ථාව උදාකර දීමය. කැමරාව ඉදිරියේ ඒ පුද්ගලයාගේ ආශාවන් ඉටුකරමින් නිරුවත්ව තනිවම ලිංගික ක්‍රියාවල තරුණියන් නිරත වන විට එම පුද්ගලයා ද නිරුවත් වෙමින් ඇය සමඟ අන්තර්ජාලය ඔස්සේ ලිංගික ක්‍රියාවල නිරත වන්නේ දෙදෙනා එකිනෙකාගේ රූප දසුන් නරඹමිනි. මෙසේ විනාඩි 10ත් 20ත් අතර කාලයක් ආශාවන් සන්තර්පනය කර දීම වෙනුවෙන් ගෙවිය යුතු මුදල වූයේ රුපියල් 2,500 සිට ඉහළටය. එම මුදල තීරණය වන්නේ ඇගෙන් බලාපොරොත්තුවන ලිංගික ක්‍රියාකාරකම්වල ස්වරූපය අනුවය.

මෙසේ අන්තර්ජාලායේ සජීවීව ඇඟ විකුණන කතුන්ට ලැබෙන්නේ ඔවුන් උපයන මුදලින් අඩක් පමණි. සෙසු මුදල වෙන්වන්නේ ගණුදෙනුකරුවන් සම්බන්ධකරගෙන අවශ්‍ය පහසුකම් සපයා දෙන අනියම් අඹුසැමි යුවළටය. අමාලිට හා නිමාලිට ඔවුන් ගෙවා තිබුණේ ද ඒ ආකාරයටය. අමාලිත් නිමාලිත් අකමැත්තෙන් වූවත් මෙහි රැඳී සිටිමින් දින කිහිපයක් තිස්සේ සිය සිරුර කැමරාව ඉදිරියේ නිරුවත්කර විවිධ ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වූහ. ඒ කැමරාව ඉදිරියේ සිරුරු නිරාවරණය වූවත් මුහුණ නිරාවරණය නොවූ බැවිනි. හැම දෙයක්ම සිදුවන්නේ වෙස් මුහුණකින් මුහුණ ආවරණය කරගෙන ය.

කතුන්ගේ සිරුර අන්තර්ජාලයෙන් ලිංගික අසහනකාරයන්ට විකුණු අනියම් අඹුසැමි යුවළ අත්අඩංගුවට ගත් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් මෙම ජාවාරම ගැන දීර්ඝ ලෙස විමර්ශනයක නිරත වූයේ අනියම් අඹුසැමි යුවළගේ පැටිකිරියද සොයා බලමිනි. විසිනම හැවිරිදි වියේ පසුවන මල්කි ගාල්ල පැත්තේ ගම්මානයක ජීවත්වූ අහිංසක කාන්තාවක් බව අනාවරණය වන්නේ එවිටය. ඇගේ දියණිය ඒ වන විට කොළඹ ප්‍රධාන බාලිකා පාසලක අධ්‍යාපනය ලබමින් සිටියාය. ඇගේ දරුවාගේ පියා වන විවාහක සැමියා ද ගාල්ලේය. ඔහු වෘත්තියෙන් ත්‍රීරෝද රථ රියැදුරෙකි.

සැමියා සල්ලාලයෙක් වූ බැවින් හරි හම්බකරන මුදල් බොහෝමයක් වැයකර තිබුණේ කතුන්ගේ මන දොල සපුරන්නටය. එබැවින් පවුලේ ආර්ථික ප්‍රශ්න උඩුදුවන විට මල්කිට සිදු වන්නේ ඇගලුම් කම්හලක සේවයට යන්නටය. ඔය අතර තුර සැමියා මල්කිගේ අත දුරකථන අංකයක් තබා පවසන්නේ හමුදාවෙන් විශ්‍රාම ගොස් සිටින සෙබළෙක්වන එම දුරකතන අංකය ඇති පුද්ගලයා සමඟ කැමැති නම් එකට සිටින ලෙසය. කිසිසේත් තමා බලාපොරොත්තු නොවූ ආකාරයේ යෝජනාවක් සැමියාගෙන් ආ පසු ඇය එදා දවසම සිටියේ හැඩූ කඳුලිනි. සැමියාගේ බලපෑම් හමුවේ අසරණ වන ඇය එම පුද්ගලයාට දුරකතන ඇමතුමක් ගෙන සැමියාගේ බලකිරීම මත ඇමතුම දුන් බව කියා දුරකතනය විසන්ධි කරන්නේ තමාට කරදර නොකරන ලෙස ඔහුට බැගෑපත් වෙමිනි. සැමියා ඇයව අතහැර වෙනත් කාන්තාවක් සමඟ දීග යන්නේ ඊට දින කිහිපයකට පසුවය. වෙනත් පුරුෂයකුට තමාව පටලවන්න සැමියා සූදානම් වූයේ ඇයි දැයි ඇයට වැටහෙන්නේ එවිටය.

සැමියා අතහැර ගිය පසු මල්කි සිය කුඩා දියණිය සමඟ පදිංචිව සිටින්නේ ඇගේ මහ ගෙදරය. වැඩිකල් එම නිවෙසේ රැකවරණය ඔවුන්ට අහිමිවන්නේ මවගෙන් සහ සහෝදරයාගෙන් එල්ලවන්නට වූ විවිධාකාර ගැරහුම් හේතුවෙනි. ඇය රැකියාවක් සොයා කොළඹ යන්නට තීරණය කරන්නීය. ඒ කොළඹ ලොකු රැකියාවක නිරතව සිටින ඇය දන්නා කියන ගමේ හිතවතියකගේ පිහිට පතාය. එම හිතවතියගේ රැකියාව වූයේ නුගේගොඩ පැත්තේ සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක් ලෙස කටයුතු කිරීමය. කුමාරි අක්කා නම් වූ ඇයට මල්කිට දෙන්නට තරම් රැකියාවක් නොවීය. තමා නවාතැන් ගෙන සිටින බෝඩිමේම මල්කිට දියණිය සමඟ සිටීමට ඉඩක් ලබා දෙන ඇය මල්කි වද ඇය සේවය කළ සම්බාහන මධ්‍යස්ථානයේම තෙරපිවරියක් ලෙස සේවයට එක්කර ගන්නේ මල්කිගේ පෙරැත්ත නිසාය.

මල්කි ට එතැන වැඩ ඇල්ලුවේ නැත. සම්බාහනය යැයි කීවාට එහි සිදුවූයේ කතුන්ගේ ඇඟ විකිණීමකි. මත්වී පැමිණෙන ඇතැම් අසහනකාරී ගණුදෙනුකරුවන් සමඟ ඔට්ටු වන්නට මල්කිට හයියක් නොවීය. ඇය ඒ දේවල් පිළිකුල් කළාය. ඇය ඒ ගැන කුමාරිට පවසා සම්බාහන මධ්‍යස්ථානයට සමුදී බෝඩිමේ සිට සජීවීව අසහනකාරීන්ට අන්තර්ජාලය ඔස්සේ ඇඟ විකුණන්නට ගත්තේ කුමාරි අක්කාගේ මඟපෙන්වීම මතය. ඒ කුමාරි අක්කා ද සම්බාහන මධ්‍යස්ථානයේ කරන රැකියාවට අමතරව එසේ සිය නිරුවත කැමරාව ඉදිරියේ පෙන්වා කීයක් හෝ සොයා ගැනීමට පෙලඹී සිටි බැවිනි. ඇය මේ කටයුත්තට මුල පුරන්නේ සිය ජංගම දුරකතනයෙනි.

ලොකු පහසුකම් නොමැති දුරකතනයක් වූවත් ඇය එම දුරකථනයේ කැමරාවෙන් හොඳටෝම වැඩ ගත්තාය. ඇයට ඒ සඳහා ගණුදෙනුකරුවන් මුණ ගැසෙන්නට වූයේ සමාජ මාධ්‍ය ජාල සමූහයක් ඔස්සේය. හත් දහසක සාමාජිකයන් පිරිසකගෙන් සැදුම් ලත් එහි ඉන්නේම විවිධ ලිංගික අසහනකාරයන්ය. සජීවීව කැමරාව ඉදිරියේ නිරුවත් වෙමින් ඒ අය කරන විවිධ ලිංගික ක්‍රියාකාරකම් රස විඳීමේ අසහනයෙන් පෙළෙන්නන් බහුතරයක්ම ඒ අතරය. මල්කි කැමරාව ඉදිරියේ නිරුවත් වූයේ ඒ අයගෙන් මුදල් ලබා ගෙනය. ගණුදෙනු සිදු වූයේ බැංකු ගිණුම් හරහාය.

දිනක් ඇය මෙසේ කැමරාව ඉදිරියේ නිරුවත් වන විට නිදා සිටි දියණිය ඇහැරී හඬන්නට ගත්තාය. ඇය ඒ සැණින් දුරකතනය ක්‍රියා විරහිත කර දියණිය අසලට දිවගියාය. සුළු මොහොතකට පසු ඇයට දුරකථන ඇමතුමක් ලැබෙන්නේ ඒ වන විටත් ඇයට මුදල් ගෙවා කාලය වෙන්කරගෙන ඇගේ නිරුවත රස විඳීමට සූදානමින් සිටි පුද්ගලයෙකි. ඇය දුරකතනය විසන්ධි කර දියණිය අසලට දිව යන්නේ එම පුද්ගලයා සමඟ වීඩියෝ ඇමතුමක නිරුවත් වෙමින් සිටියදීය. මේ පුද්ගලයා දෙමළ ජාතිකයෙකි. උණුවෙන හදවතක් තිබූ තැනැත්තෙකි.

“ඔයා මේ වැඩ කරන්නේ දරුව ළඟ තියාගෙනද“ යැයි ඔහු ඇගෙන් විමසුවේය. එහිදී ඇය හඬමින් තමා මේ තැනට පත්වූ ආකාරය ගැන කීවාය. “ඔයා ඔතැන ඉන්න එපා. වෙන තැනකට යන්න. ගිහින් දරුවව හොඳට හදාගෙන ඉන්න“ යැයි කී ඒ පුද්ගලයා ඇගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ දෙකක මුදලක්ද බැර කර තිබුණේය.

නුගේගොඩ, පාගොඩ, දේවාලය පාරේ නිවෙස රුපියල් 60,000ක මාසික කුලියකට ගෙන එහි පදිංචියට ඇය එන්නේ එම මුදල වැය කරමිනි. ඒ අතර ඇයට ලොකු තනිකමක් දනුණේය. ඇගේ මතකයට එකවර නැඟෙන්නේ සිය සැමියා ඇයට සොයා දුන් හමුදාවෙන් විශ්‍රාම ගොස් සිටි සෙබළා ය. ඔහු දර්ශනය. හතළිස් හය හැවිරිදි වියේ පසුවූ දර්ශනට ඇය දුරකතන ඇමතුමක් දුන්නේය. තනිකඩ ජීවිතයක් ගත කරමින් සිටි දර්ශන ඒ වන විට සිටින්නේ කොළඹ රැකියාවක නිරතවය. මල්කිගෙන් දුරකතන ඇමතුම ලද සැණින් ඔහු ඇය සොයාගෙන ආවේය. කැමරාව ඉදිරියේ සජීවීව නිරුවත් වෙමින් ලිංගික අසහනකාරීන්ගේ මන දොල සැපිරීමේ ව්‍යාපාරය මල්කි විසින් දියුණු කර ගන්නේ දර්ශනගේ සහාය ඇතිවය. ඇගේ ගනුදෙනුකරුවන් අතර වැඩිමනක් සිටියේ පිටරට රැකියා සඳහා ගොස් සේවය කළ තරුණයින්ය. ඔවුන් සිය ලිංගික අවශ්‍යතා ඉටුකරගත්තේ මල්කි හරහාය. ඒ හැරුණුකොට මල්කිගේ ගනුදෙනුකරුවන් අතර බන්ධනාගාරගතව සිටින සිරකරුවෝ ද සිටියහ. තමන්ට මුදල් ලැබෙන විදිහට මල්කි ඒ හැමෝම සතුටු කළාය.

කුමාරි අක්කා ඇතුළු සම්බාහන මධ්‍යස්ථානවල සේවයේ නිරතව සිටින කතුන්ට පවා ඇය මේ තැන විවෘත කරනු ලබන්නේ ඒ අයටද අමතර ආදායමක් උපයා ගන්නට ඉඩ සලසමිනි. ඒ වෙනුවට ඇයට ලැබෙන්නේ එම කතුන් උපයන මුදලින් කොටසකි. ඒ අතර ඉතා විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් වෙනුවෙන් මේ නිවෙස ගණිකා සේවය සපයන තැනක් බවටද පත්ව තිබිණි. එහි තිබී සොයා ගත් උපත් පාලන කොපු ඊට සාක්ෂි ගෙන දුන්නේය.

ඒ අතර අමාලි සහ නිමාලි වැනි කතුන්ද ඇය සිය අනියම් සැමියා සමඟ එක්ව මෙහි ගෙන්වාගෙන කැමරාව ඉදිරියේ නිරුවත් වන ගණිකාවන්ගේ තත්ත්වයට පත් කළාය. මෙහි සිදුවන හැම මුදල් ගනුදෙනුවක්ම සිදු වූයේ ඇයට අයත් රාජ්‍ය බැංකුවක ගිණුමක් හරහාය. එම ගිණුමට විශාල වශයෙන් මුදල් ලැබෙන්නට ගැනීමත් සමඟ ඒ ගැන සැකකළ අදාළ බැංකු ශාඛාවේ කළමනාකාරිත්වය ගිණුම අත්හිටුවනු ලබන්නේ එම මුදල් ලැබෙන නීත්‍යානුකූල මගක් ගැන කියන්නට මල්කි අසමත්වන බැවිනි.

පොල්තෙල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරමින් මේ තැන පොල්තෙල් බෝතල්කරන ව්‍යාපාරික ස්ථානයක් බවට පත් කරනු ලබන්නේ කිසිදු සැකයකට ලක් නොවීමටය. ඇය වෙනත් බැංකු දෙකක ගිණුම් විවෘත කරනු ලබන්නේද පොල්තෙල් ව්‍යාපාරය ඉදිරියට දමාය. අමාලිත් නිමාලිත් මෙතැනින් පැන පොලිස් මූලස්ථානයට නොඑන්නට සිව් වසරක් තිස්සේ නීතියේ ඇසටද වැලි ගසමින් කරගෙන ගිය මෙම ජාවාරම අදටත් පවතින්නේ රහසක් ලෙසිණි.

මෙහෙයුමට සම්බන්ධ වූ පොලිස් කණ්ඩායම

මෙහෙයුමට සම්බන්ධ වූ පොලිස් කණ්ඩායම

 

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division