Home » ඒ තමයි ආරි ගැන කතා බොහොමයි මිහිරි…

ඒ තමයි ආරි ගැන කතා බොහොමයි මිහිරි…

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment

නතුරු නිසා බැබළෙන්නෝ සුලබ වුවද තමා දරන තනතුරට ගරුත්වයක්, බැබළීමක් ලබාදිය හැකි අය දුලබය. අප කතානායකයාගේ නම සමඟ දශක තුනකට අධික කාලයක් ඈඳී තිබූ තනතුරු සංඛ්‍යාව විස්සකට ආසන්නය. ඒ සියලු තනතුරු අතරින් අදටත් බොහෝ දෙනකුගේ මතකයේ රැඳී ඇත්තේ යුද්ධය ඉතා බිහිසුණු අයුරින් රට වෙලාගත් සමයේ පත් කෙරුණු රජයේ ‘නිසි බලධාරී’ තනතුරය. කලක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් යන තනතුරු ද දැරූ ‘ආරි’ හෙවත් ආරිය රූබසිංහ නාමය මාධ්‍යවේදීන් අතර අදටත් ප්‍රකටය. ඔවුන් බොහෝ දෙනකුට ඔහු ළෙන්ගතු ‘මචං’ කෙනෙකි. විවිධ ක්ෂේත්‍රයන්හි වගකීම් සහගත තනතුරු රැසක් දැරූ ආරිය රූබසිංහයන් සතුව ඇති වෘත්තීය අත්දැකීම් ගොන්න ඉකුත් දශක කිහිපය තුළ මෙරට පැවැති දේශපාලන, සමාජ, සංස්කෘතික තත්ත්වය පිළිබඳ විවරණය කරන පැතිකඩක් බඳුය.

“මම උපන්නේ 1943 අප්‍රේල් 19 වැනිදා දකුණේ මාතර, හක්මනටත් එහා ලාල්පේ කියන බොහොම සුන්දර ගමේ. ඒ හින්දම මගේ ළමා වියත් බොහොම කෙළිදෙලෙන් ගතවුණා. මම පවුලේ තුන්වැනියා. මට සහෝදර සහෝදරියන් අට දෙනෙක්. මගේ තාත්තා දොන් කරෝලිස් ගමේ විදානාරච්චි. අම්මා ගෘහිණියක්. මම මූලික අධ්‍යාපනය ලැබුවේ කරතොට කනිෂ්ඨ විද්‍යාලයෙන්. තාත්තට වුවමනාව තිබුණා ඉංග්‍රීසි උගන්වන්න මාව මාතර ඉස්කෝලෙකට ඇතුළත් කරන්න. හැබැයි දඬුවම් මාරුවක් හින්දා ඒක ඉක්මන් වුණා. එතකොට මට වයස අවුරුදු 11යි.”

එතරම් කුඩා දරුවකුට දඬුවම් මාරුවක්? අපේ කුතුහලයට ඔහු පිළිතුරු දුන්නේ සිනාවකිනි.

“අපේ ගමේ කුඹුරු යාය අක්කර සිය ගාණකටත් වැඩිය විශාලයි. ගොයම් කපන කාලේ තමයි ළමයි විදිහට අපි කැමතිම කාලේ. ගොයම් කපන කාලේ ගොයම් කොළේ ළඟින්ම හදන පැලේ රැයක් ගෙවන්න මටත් ආස හිතුණා. මම ගෙදරට හොරෙන් ගිහින් යාළුවො එක්ක දවසක් ඒ පැලේ රෑ ගත කළා. ඒ ආරංචිය ගෙදරටත් කලින් ආරංචි වෙලා තිබුණේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවො වුණු නෑකමට මගෙ සීයා කෙනෙක් වූ පූජ්‍ය වටරැක්ගොඩ ප්‍රේමසිරි හිමියන්ට. උන්වහන්සේ තාත්තවයි මාවයි පන්සලට කැඳවලා හොඳටම දොස් කිව්වා විතරක් නෙවෙයි මාව වහාම මාතර රාහුල විද්‍යාලයට යවන්නෝනි කිව්වා. කොහොමින් හරි අපේ පළාතෙන් ඉස්සෙල්ලාම නගරයේ පාසලකට ගියේ මම තමයි. ඒ වගේම පසු කාලයේදී හක්මනින් විශ්වවිද්‍යාලයට ගිය පළමු වැනියා වුණෙත් මම. මට කොළඹ වගේම පේරාදෙණිය සරසවියෙත් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. පේරාදෙණිය සරසවියෙ ගතකළ කාලය පුදුම තරම් සුන්දරයි. ඒකට හේතුව සරසවි සිසුන් කවුරුත් කරන දේවල් මමත් කළා වගේම සමහරවිට වැඩියෙනුත් කරන්න ඇති. සරසවිය, ජීවිතේ සුන්දර කළා වගේම විභාගත් හොඳින් පාස් වුණා. 1967 මම පේරාදෙණිය සරසවියට ආයුබෝවන් කිව්වා. අදටත් කියනවා, ඒක තමයි විශ්වවිද්‍යාලෙ.”ඔහු පැවසුවේ කෙළිලොල් සිනහවක් පාමිනි. ආරි අපූරු දෛවයක් කරපින්නාගත් තරුණයෙකි. විශ්වවිද්‍යාල විභාගය අවසන් කර ඔහු නිවෙසට යන්නේ සිය පළමු රැකියාවේ පත්වීම් ලිපිය ද අතැතිවය.

“ඒකත් හරි අපූරු සිදුවීමක්. කැම්පස් එකේ ඉඳලා ගෙදර යන ගමන් අපිට භූගෝලය ඉගැන්වූ මනෝ පෙරේරා සර් බලන්න මම සර් වැඩ කළ ජලසම්පාදන මණ්ඩලයට ගියා. ගමට ගිහින් මොකද කරන්නෙ කියල ඇහුවම මම කිව්වා, ප්‍රතිඵල එනකම් හරක් දක්කන්න තමයි වෙන්නෙ කියලා. ඒ වෙලාවේ සර් කිව්වා, ගෙදර ගිහින් දවස් දෙකතුනකින් මරදන්කඩවලට එන්න කියලා. එතකොට මම මරදන්කඩවලක් අහලවත් නෑ, ඒත් හා කිව්වා. සර් එවෙලම මාව ජල සම්පත් මණ්ඩලය අනුරාධපුරේ කරගෙන යන සමීක්ෂණයක තාවකාලික සමීක්ෂකවරයෙක් විදිහට පත්කරලා ලියුමක් දුන්නා. අනුරාධපුරේට එන්න මට පළමු පන්තියේ දුම්රිය බලපත්‍රයකුත් දුන්නා. මම ගෙදර ගියේ රටක් රාජ්‍යයක් ලැබුණා වගේ සතුටකින්. ඒ කාලේ රස්සාවක් හොයාගන්න ලේසි නෑ. ඒ රැකියාවේ මගේ මුල්ම මාසික වැටුප රුපියල් 900යි. ඒකෙන් රුපියල් 200කට මාතරින් පුටු සෙටියක් අරගෙන ගෙදර ගියා. “ඒ පුරුද්ද සිය ජීවිතයට බද්ධ වූ බව ද ඔහු කීවේය.

“එතැන ඉඳලා මගේ ජීවිතේ හරි පහසුවෙන් ගලාගෙන ගියා. අභියෝග ආවත් මම ඒවා සත පහකට ගණන් ගත්තෙ නැහැ. උදව්වක් ඉල්ලගෙන මගෙ ළඟට එන කෙනෙක්ට නෑ, බෑ කියන පුරුද්දක් මට තිබුණෙ නැහැ. කොච්චර අමාරු වැඩක් වුණත් කරලා කරලා දෙනවා මිසක් කාවවත් හිස් අතින් යැව්වෙ නැහැ.” ආරිය රූබසිංහ කීවේය. ඔහුගේ අතීතාවර්ජනයේ බොහෝ තැන්වලදී අපට හමු වන්නේ ඒ ප්‍රතිපත්තිගරුක, අවංක, ඍජු මිනිසාය.

උපාධිධාරියකු ලෙස තරුණ ආරි සිය වෘත්තීය ජීවිතය අරඹන්නේ 1971දී වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයේ භූගෝල විද්‍යා ගුරුවරයා ලෙසිනි. ආකර්ෂණීය ඉගැන්වීම් රටාව නිසා අලුත් ගුරුතුමා සිසුන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වූ අතර නීරස බරසාර විෂය කරුණු සිසු මනසට කාවැද්දවීමට ඔහු සාහිත්‍යය ද යොදා ගත්තේය. ඒ නිසාම විරාගයේ අරවින්ද ජීවමාන කරමින් ඔහු පාසල් දරුවන් අතර ‘අරවින්ද සර්’ බවට පත්විය. ඔහුගේ මූලිකත්වයෙන් විද්‍යාලයේ පැවැති ක්‍රීඩා උලෙළේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වූ එවකට සිටි ධීවර අමාත්‍ය ජෝර්ජ් රාජපක්ෂ, ආරි සතු මහජන සබඳතාවේ විශිෂ්ටත්වය හඳුනා ගෙන ඔහුට මහජන සබඳතා නිලධාරි තනතුර පිරිනමන්නේ ආරි ද නොසිතූ මොහොතකය. එහෙත් එය ඔහුගේ සිත්ගත් තනතුරක් විය. මෙසේ කලක් ගතවද්දී හදිසි අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලැබීමට ඇමැතිවරයා එංගලන්තයට ගිය අතර ආරි ද ශිෂ්‍යත්වයක් ලැබ ජපානයට ගියේය.

“මම ආපහු ලංකාවට එද්දි ජෝර්ජ් රාජපක්ෂ ඇමැතිතුමා මිය ගිහින්. ආණ්ඩුවත් පැරදිලා. මාව පුත්තලමට මාරු කළා. ධීවර අධ්‍යක්ෂ ධුරයට මමම යෝජනා කළ කෙනා තමයි මට ඒ මාරුව දීලා තිබුණේ. මම ඒ ගැන කම්පා වුණේ නෑ. ඒකම තමයි මගේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. දිස්ත්‍රික් ධීවර නිලධාරි විදිහට මම බොහොම සතුටින් රස්සාව කළා. ඔය කාලේ මගෙ ප්‍රධාන ලිපිකරුගේ බලකිරීම හින්දම මම පරිපාලන සේවා විභාගයට අයැදුම් කළා. අටදාහකට වැඩි අයැදුම්කරුවන් අතරින් තෝරාගත් 75 දෙනා අතර 12 වැනියා වෙමින් මම විභාගය පාස් වුණා. ඒ කාලේ ප්‍රතිඵල පත්තරෙත් දානවා. ඒක ඒ තරම්ම මරු පිම්මක්.” ඔහු කියන්නේ සිනාසෙමිනි.

ශ්‍රී ලංකා පරිපාලන සේවා තරග විභාගයෙන් සමත් වූ ආරි පුහුණු කාලය අවසන් කිරීමෙන් පසු දෙවැනි වර පුත්තලමට යන්නේ පුත්තලම කඩවත්සතර උප දිසාපති ලෙසිනි. සිවු වසරකට පසු යළි කොළඹට පැමිණෙන ආරි, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ තනතුරට පත්විය. ආපදා කළමනාකරණය, අයාලේ යන්නන් පුනරුත්ථාපනය ආදී අලුත් අත්දැකීම් රාශියකින් සන්නද්ධ වීමට එහිදී ඔහුට හැකි විය. අධිකරණ අමාත්‍යාංශයේ සහකාර ලේකම් ලෙස ද කලක් කටයුතු කළ ආරිට සුවිශේෂී වගකීමට උර දීමට සිදු විය. ඒ වන විට සමථ මණ්ඩල පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කර තිබුණද එය ක්‍රියාත්මක කිරීමේ වගකීම ආරිට පැවරුණේ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් තනතුරට පත්කරමිනි. භාරදූර ඒ කාර්යය ද ආරි මැනවින් ඉටු කළේ උතුරු නැඟෙනහිර හැර දිවයිනේ සෙසු උප දිසාපති කොට්ඨාස 211ක සමථ මණ්ඩල පිහිටුවීම දෙවසරකින් අවසන් කරමිනි. ඒ සාර්ථකත්වය දුටු ආසියා පදනම සමථකරණ ක්‍රියාවලිය තවදුරටත් අධ්‍යයනය කිරීමට ආරිට අමෙරිකාවට ශිෂ්‍යත්වයක් ද දුන්නේය. සමථ මණ්ඩල කොමිසමෙන් පසු ආරි පා තබන්නේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) තනතුරටය. ඒ සමඟම රූපවාහිනියේ වාණිජ අංශය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ ද වැඩ බැලුවේය.

“ඒ කාලේ තිබ්බෙ එක රූපවාහිනිය නිසා දැන්වීම් එනවා කෙළවරක් නැතිව, ප්‍රවෘත්ති ටික කියාගන්නත් වෙලාවක් නැති තරම්. ඉතින් මම කොමර්ෂල් එකට යන්නේ දැන් ඇති, නවත්තපන් කියාගෙන. ඒ කාලේ වෙළෙඳ දැන්වීමකින් මේක තමයි හොඳම දේ කියලා ප්‍රචාරය කරන්න බැහැ. එහෙම නම් ඒකට පිළිගත් සහතිකයක් තියෙන්න ඕනෙ. ඒ වගේ වාරණ, තහංචි මම දැම්මා. එහෙම වුණා කියලා දැන්වීම් නැතිවුණේ නෑ. රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් විදිහට හිටිය සුනිල් සරත් පෙරේරා හොඳ නිර්මාණකරුවෙක් වීමත් මට වැඩ කරන්න පහසුවක් වුණා.

ඔය අතරෙ 1994 ජනාධිපතිවරණය තිබුණා. පහුවදා උදේ ප්‍රවෘත්ති අහද්දියි මම දැනගත්තේ මාව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ විදිහට පත් කරලා කියලා. දැලි පිහියෙන් කිරි කන්න පටන් ගත්තේ ඒ රස්සාව එක්ක. ගොඩක් අය කිව්වා මම අතුරෙ යන්න හදනවා කියලා. නියරේ, කමතේ ඇවිදපු එකෙක් විදිහට මම හිතුවා අතුරෙ යන එක අමාරු නැතිවෙයි කියලා. ඒ කාලේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තිබුණේ කොල්ලුපිටියෙ ලක්ෂ ගාණක කුලියට ගත් තැනක. අඩුගානේ කාර් එක නවත්තන්නවත් ඉඩ නැහැ. වෙන තැනකට යමු කියන අදහසේ ඉන්නකොට තමයි දෙපාර්තමේන්තුවට අයිති නාරාහේන්පිට අක්කර 4ක ඉඩමක් තියෙනවා කියල දැනගත්තෙ. මුල්ම දවසෙ එහෙට යද්දි හරක් හතර දෙනෙක් තණකොළ කකා හිටියා. ගොඩනැඟිලි දෙකක් විතරයි තිබ්බෙ.” භූමිය, ගොඩනැඟිල්ල පමණක් නොව ඔහු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවම පරිවර්තනයකට ලක් කළේ අභියෝග රැසක් ජයගනිමිනි. අවසානයේ ජනමාධ්‍ය අමාත්‍යාංශය ද එහිම ස්ථාපිත කෙරිණි. එපමණක් නොව ඔහු මාධ්‍යවේදීන්ගේ හිතවතකු වෙමින් ඔවුන් වෙනුවෙන් බොහෝ දේ කළේ එවකට මාධ්‍ය ඇමැති ධර්මසිරි සේනානායකගේ පූර්ණ ආශීර්වාදය ද ඇතිවය. මාධ්‍ය හැඳුනුම්පත, මාධ්‍යවේදීන් සඳහා බත්තරමුල්ලේ නිවාස ව්‍යාපෘතිය, මාධ්‍ය පුහුණු පාඨමාලා එයින් කිහිපයක් පමණි. අද ද ඔහු වයස් තරාතිරමකින් තොරව ඕනෑම මාධ්‍යවේදියකුට අමතන්නේ ‘මචං’ යන සුහද විලාසයෙනි. එම තනතුරේදී දැලි පිහියෙන් කිරි කෑ අවස්ථා අපමණය. එහෙත් ඒ සියල්ලටම ඔරොත්තු දීමේ ශක්තිය ඔහු තුළ විය.

“මංගල සමරවීර මාධ්‍ය ඇමැති කාලේ හැමදාම උදේට කාර්යාලයෙදි හරි ගෙදරදි හරි එයාව හමුවෙන්න ඕනෙ. මංගලගෙ තීන්දු බොහොම තදයි. එයා තීන්දු ගත්තේ ඡන්ද ඉලක්ක කරගෙන වුණත් තිබ්බ හැම මැතිවරණයම දින්නා. ඔය අතරෙ ජනාධිපතිනි චන්ද්‍රිකා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයට මාව පත් කළා. ජනාධිපතිනිය සමඟ විදෙස් ගමන් බලපත්‍ර 7ක් අවසන් වනතුරු සංචාර 35ක් යෑමට මට අවස්ථාව හිමි වුණා. මම ශිෂ්‍යත්වයකට චීනයට ගිහින් ඉද්දි ශ්‍රී ලංකා තානාපතිතුමාගෙන් හදිසි කැඳවීමක් ලැබුණා, ඊළඟ ගුවන්යානයෙන්ම ලංකාවට එන්න කියලා. පහුවදා එද්දි මහජන ආරක්ෂක පනත යටතේ විශේෂ ගැසට් එකකින් යුද පුවත් පිළිබඳ රජයේ නිසි බලධාරියා ලෙස මාව පත්කරලා. ඒ තනතුරත් එක්ක මම මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ, රූපවාහිනියේ අධ්‍යක්ෂ, විත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ, පුවත්පත් මණ්ඩලයේ තනතුරක් ඇතුළු තනතුරු 7ක් විතර එකවර දැරුවා. ඒ සේරටම හපන් මේ නිසි බලධාරියා තනතුර. මට කපන්න තිබුණේ. ඒකත් මම බොහොම හිතවත් මාධ්‍යවේදීන්, පුවත්පත් කතුවරුන් ලියන ඒවා. එක පැත්තකින් මම රජයේ නිලධාරියෙක්. රජය නියම කළ රාජකාරිය කළ යුතුයි. මම කොහොමහරි හිත හදාගෙන කැපුවා. “බලධාරියා විසින් කපාහරින ලදී” වාක්‍යය පත්තරවලට ලියන, කියවන හැමෝටම අලුත් අත්දැකීමක් වුණා. ඒ වෙනුවට “බල්ලන් සපා කන ලදී” කියල සමහරු උපහාසත් කළා. සමහර පත්තරවල මං ගැන කාටුනුත් පළ වුණා. නමුත් මාධ්‍යවේදීන් මා එක්ක තරහ වුණේ නැහැ. මගේ සමීප මිතුරා ලසන්ත වික්‍රමතුංගගේ පත්තරේට සීල් තිබ්බා. ඒත් අපි කවදාවත් අමනාප වුණේ නැහැ. ඔහොම කප කපා ඉන්න අතරේ මට මරු වැඩකුත් වුණා. “ආරිය රූබසිංහ ඒ මතක අතරේ කිමිදෙන්නේ බොහෝ සතුටින් සහ සැහැල්ලුවෙනි.

“ගල්කිස්ස හෝටලයේ තිබුණු පුවත්පත් සම්මාන උළෙලට සහභාගිවෙන්න මට ආරාධනාවක් ලැබුණා. ඒ වෙද්දි නිසි බලධාරියා ගැන මාධ්‍ය සමාජයෙත් බොහොම විවේචන තිබුණු නිසා මම හිතට ධෛර්යය අරගෙන උත්සවේට ගියා. දොරෙන් ඇතුළු වෙද්දිම ජයවේවා කිය කියා කෑගැහුවා. මම සද්ද නොකර ගිහින් වාඩි වුණා. ටික වෙලාකින් පස්සේ මාධ්‍යවේදියකුට සම්මානයක් දෙන්න මට ආරාධනා කළා මෙහෙම, “සියලු වාරණයන්ගෙන් රිංගා සිය ප්‍රවෘත්තිය තමන්ට අවශ්‍ය ලෙස ලියූ මාධ්‍යවේදියාට දෙන සම්මානය ලබා දෙන්නෙ පුවත්පත් පාලනය භාර නිසි බලධාරි ආරිය රූබසිංහ මහතා.” මම ගිහින් සම්මානය පිරිනැමුවා. පහුවදා සේරම පත්තරවල පින්තූරෙ එක්ක විස්තරේ පළවෙලා තිබුණා.”

අද ඒවා රසවත් අත්දැකීම් වුවද නිසි බලධාරී තනතුරේදී සංවේදී සිදුවීම්වලට මුහුණදෙන්නට ද ඔහුට සිදුවිය. විශේෂයෙන් යුද්ධය සම්බන්ධ පුවත් වාර්තා කිරීම ඉතා පරෙස්සමෙන් කළ යුතු විය. ඒ සියල්ලටම ඔහු මුහුණ දුන්නේ ස්ථානෝචිත ප්‍රඥාවෙනි. මැතිවරණයෙන් ජයගත් රනිල් වික්‍රමසිංහ සිය දිවුරුම් දීම පිළිබඳ කතාබහ කර ගැනීමට ජනාධිපතිනිය හමුවීමට ජනාධිපති මන්දිරයට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගෙන ඒ සඳහා අවස්ථාව සලසා දීමට කිසිදු නිලධාරියකු ඉදිරිපත් නොවූ විට ඒ සඳහා පෙරට එන්නට සිදු වූයේ ද ආරිය රූබසිංහටය. ඒ ගැන චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ආරිට හොඳටම දෙහි කැපූ බව ද ආරංචිය.

“ඡන්දෙන් පත්වුණු අගමැතිතුමා දිවුරුම් දීමට වෙලාවක් ගන්න ජනාධිපති හමුවෙන්න එන එක සම්ප්‍රදායක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවම නිලධාරීන් හැමෝම මගහෑරලා ගියා. ඒක මහ සවුත්තු වැඩක් කියලා මට හිතුණා. ඒ නිසා මම එතුමා පිළිගෙන ජනාධිපතිනිය එනකම් වාඩි කරවලා තිබ්බා. චන්ද්‍රිකා මැඩම් ආවේ විනාඩි 45ක් විතර ප්‍රමාද වෙලා.”

චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය පිළිබඳ ආරිගේ අත්දැකීම් බොහෝය.

” ප්‍රමාද වීම එතුමියගේ පුරුද්දක්. නමුත් ආවට පස්සේ එතුමිය බොහොම ආකර්ෂණීය විදිහට ඒ අවස්ථාව කළමනාකරණය කරගත්තේ එතුමිය පරක්කු වෙලා ආව ද කියල හැමෝටම අමතක වෙන විදිහට. නෙදර්ලන්ත සංචාරයේදී ජනාධිපතිනිය පිළිගන්න හමුදා සංදර්ශන පෙළපාලියක් ලෑස්ති කරලා තිබුණා. පුරුදු විදිහට එදත් ජනාධිපතිනිය ප්‍රමාද වුණා. මමත් හොඳටම කලබල වුණා. නෙදර්ලන්ත රැජින සාමාන්‍යයෙන් ප්‍රමාද වෙන තැනක ඉන්නෙ විනාඩි 15ක් විතරයි. චන්ද්‍රිකා ජනාධිපතිනිය හරියටම 14 වැනි විනාඩියේදී එතැනට ආවා. චන්ද්‍රිකා ජනාධිපතිනිය බොහොම සුහදශීලී හොඳ හදවතක් තිබුණු කාන්තාවක්. ”

වසර 33ක් රාජ්‍ය සේවයේ විවිධාකාර අත්දැකීම් ලැබූ ආරිය රූබසිංහ 2002 වසරේ ඔක්තෝබර් 8 වැනිදා විශ්‍රාම ලැබීමෙන් පසු ද මාධ්‍ය සංවර්ධන අධ්‍යක්ෂ ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සම්බන්ධයෙන් වැඩ කටයුතු රැසක නිරත විය. මාතර රාහුල විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවකු වන ආරිය රූබසිංහ, රාහුල ආදි ශිෂ්‍ය සංගමයේ අනුශාසක ලෙස කටයුතු කරන අතර, නාවල විමල විහාරයේ දායක සභාවේ සභාපති ලෙස ආගමික සහ සමාජ සේවා කටයුතුවල නිරත වීමට සිය කාලයෙන් වැඩි වේලාවක් මිඩංගු කරයි. ජෝර්ජ් රාජපක්ෂ සහ ධර්මසිරි සේනානායක හිටපු ඇමැතිවරුන් සහ බෙල්ලන්වල විමලරතන හිමි සිය ජීවිතයේදී ඇසුරු කළ සුවිශේෂී පුද්ගලයන් බව ඔහු කෘතවේදීව සිහිපත් කළේය.

ආරිගේ ජීවන සහකාරිය දයා අමරවර්ධනය. ගාල්ලේ ප්‍රභූ පවුලක දියණියක වූ ඇය පිළිබඳ පියා පළ කළ තිබූ මංගල යෝජනාවකට අනුව ඇය බලන්නට ගිය මුල් දිනයේම ආරිගේ සිත ඇය වෙත ඇදී ගියේය.

“දයා එතකොට වැඩ කළේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ. ගෙදර ගිහින් එයාව බලලා ඇවිත් දවස් දෙකක් ගියේ නැහැ, මම කෝල් කරලා ඇහුවා, “කැමතිද නැද්ද මොකද කියන්නෙ? කියලා. මට දැනෙනවා මෙයා බයේ වෙව්ලනවා. මම කිව්වා, “මම දැන් එනවා කාර් එකෙන් ලන්ච් එකට යන්න. ලන්ච් ගෙනාව නම් ඒක කාට හරි දීලා යන්න ලෑස්ති වෙලා ඉන්න කියලා. ඒ හමුවීම කෙළවර වුණේ 1973 අපේ විවාහයෙන්. ” ඒ සොඳුරු බැඳීමේ ප්‍රතිඵලය ආදරණීය දූවරු දෙදෙනෙකි. චතුරංගි සහ හසිතා නිසා මේ වන විට ආරි සහ දයා යුවළ මිනිබිරියන් දෙදෙනකුගේ සහ මුනුපුරකුගේ ද ආදරය විඳිති.

“කරපු හැම දෙයක් ගැනම මම තෘප්තිමත්. කිසිම දෙයක් ගැන පූර්ණකාලීන සැලසුම් නැහැ. දේශපාලනයට සම්බන්ධ වෙන්නත් අදහසක් නැහැ. ස්වාධීන පුද්ගලයෙක් විදිහට අද දවස ගතකරනවා. ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දි මටම හිතෙනවා ඒ මමද? මමද ඒ දේවල් කළේ කියලා” ඔහු පැවසුවේ සැහැල්ලු සිනහවකිනි. ඒ, ආරි නම් සොඳුරු මිනිසාගේ හැටිය. ජුලි 05 වැනිදා නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පස්වරු 3ට දොරට වැඩීමට නියමිත “ඒ තමයි ආරි” අපදාන කෘතියෙන් ඔහු ගැන තවත් හොඳින් කියවා ගන්නට අවස්ථාව ලැබෙනු ඇත.

ඡායාරූප – නිශ්ශංක විජේරත්න

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division