මෙම ජූනි 15 වන දින මධ්‍යම රාත්‍රී 12.27ට සූර්යයා මිථුන රාශියට පිවිසීමත් සමග රවි මිතුන කෝණ මාසය ආරම්භ විය. ජූලි මස 16 වන දින පෙරවරු 11.18 දක්වා රවි මිතුන රාශියේ රැඳී සිටින අතර, මෙම කාලය නිවාස කටයුතු සඳහා සුදුසු නොවේ. කෝණ මාස යනුවෙන් අදහස් කරන්නේ පෘථිවියේ චුම්බක ශක්තිය බලවත් වන කාලයකි.
එබැවින් කෝණ මාසවල මුල්ගල් තැබීමෙන් අත්තිවාරම ගිලා බැසීම, ඉරි තැලීම, පිපිරීම ආදියට ලක් විය හැකිය. වහලයට දැව තැබීමෙන් නිවසට උරා ගන්නා විශ්ව ශක්තිය දුර්වල විය හැකිය.එවිට වහලයේ ශක්තිය දුර්වල වේ. පදිංචි වීමෙන් නිවැසියන්ගේ කායික මානසික ශක්තිය දුර්වල වේ. මේ අනුව නිවාස කටයුතු කෝණ මාසවලදී ආරම්භ නොකළ යුතු බව ජ්‍යොතිෂ නියමයයි. එම නිසා නිවාස කටයුත්තක් වෙනුවෙන් කෝණ මාස තුළ නැකැත් ඉල්ලීමෙන් ඔබ වැළකිය යුතුය.
නිවසක් ඉදිකිරීම සඳහා සුබ නැකැතක් පිළියෙල කිරීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහි දී සළකා බැලිය යුතු කරුණු රාශියක් ඇති අතර ඒ සඳහා ජෝතිර්වේදියාට සෑහෙන කාලයක්ද අවශ්‍ය වේ. එමෙන්ම ඉතා ප්රශස්ත නිවාස නැකැතක් ලබාගැනීමට පළමුව නිවැසියන් සියලු දෙනාගේම ජන්ම පත්‍ර ජ්‍යෝතිර්වේදියා වෙත ලබා දිය යුතුය. තමාගේම කියා නිවසක් සාදා ගැනීමේ වාසනාව ඇත්තේ ජන්ම පත්‍රයේ 4 වැන්නත් 4 වැන්න හා 9 වැන්න අධිපතියාත් බලවත් අයට පමණි. එම නිසා එබඳු අයෙකුගේ ජන්ම පත්‍රයක් නිවස ඉදිකිරීමේ නැකැත්වලදී ප්රමුඛ කර ගත යුතුය. නැකැත් සාදන ජෝතිර්වේදියා ගේ ජන්ම පත්‍රයේ 4 වැන්න බලවත් වීමද නිවස ඉක්මනින් ඉදිකර ගැනීමට බලපාන හේතුවකි.
නිවසක් තැනීමේදී ගෙපල කැපීම,නූල් ගැසීම, අත්තිවාරම් කැපීම, මුල්ගල තැබීම බිත්ති බැඳීම, උලුවහු තැබීම, වහලයට ලී තැබීම, ලිප ගිනි දැල්වීම ආදී සියල්ලම සුබ නැකැත්වලට සිදු කළ යුතු අතර මුල් ගල තැබීම මෙහිදී ඉතාම වැදගත් වේ. කේන්ද්‍ර හිමියා සහ නිවැසියන්ට මෙන්ම ගෘහයේ නැකැතටද මෙම නැකැත සුබ විය යුතුය. කේන්ද්‍ර හිමියාගේ විසි දෙවන දෙර්කාණාධිපති හිමි ග්‍රහයාට අයත් නැකැත්, හෝරා ආදිය නොගත යුතුය.පංචම හෝරාව විසි දෙවන දෙර්කාණාධිපතියාගේ හෝ 6, 8 12 අධිපතියන්ගේ වීම සුබ නැත. මර පක්ෂි මොහොත ද සුබ නැත. සෑම නිවාස කටයුත්තක්ම ආරම්භ කළ යුත්තේ සඳු බලවත්ව සිටින කාලවලදීය. නිවාස නැකැත සඳහා පාපයින් සහිත කටක, වෘශ්චික, මකර ලග්න උදාව පැවතුණහොත් නිවස කඩින් කඩ සෑදීමට සිදුවෙයි. පාපයන් සහිතව තුලා, ධනු ලග්න පැවතුණහොත් නිවස සාදා නිම කිරීමට නොහැකි වේ. නිවාස කටයුතුවලට තුලා ලග්නය ඉතා අසුබ වුවත් ලග්නයේ සුබ ග්‍රහයින් බලවත් නම් සුබ වේ. පාපයින් සහිත මිථුන, කන්‍යා, තුලා, මකර ලග්නයක් වුවහොත් නිවස කඩා වැටිය හැක. සුබ ග්‍රහයින් බලවත්ව වෘෂභ, සිංහ, කුම්භ ලග්නයක් වී නම් නිවස සිරියාවෙන් බැබළෙයි. ධන ලාභ ලැබෙය. වෘෂභ හෝ කටක ලග්නය පුර සඳු බලවත් නම් කටයුතු සපල කර දෙයි.
එමෙන්ම ජන්ම පත්‍රයේ 4 වැන්න තත්කාල ලග්නය ලෙස යොදා ගත හැකි නම් එය ඉතා ප්‍රශස්තය. යොදාගනු ලබන තත්කාල කේන්ද්‍රයේ 4 වැන්නාධිපති 6, 8 12 රාශියක සිටීම ද, ලග්නාධිපති අසුබ රාශියක සිටීම ද, 4 වැන්නේ පාපීන් සිටීම ද සුදුසු නැත. විශේෂයෙන් මුල් ගල තැබීමේ නැකතේදී කුජ, රාහු ආදීන් 8 වැන්නට නොතැබිය යුතුය. ගෘහ මූලිකයාගේ 8 වැනි ලග්නයද තත්කාල ලග්නය ලෙස යොදා නොගත යුතුය. 4 වැන්නාධිපති 6 සිටීම සුබ නැත. මුල්ගල තබන මොහොතට 10 වැන්නාධිපති 12 වැයස්ථානයේ සිටීම ද සුබ නැත.
නිවසක් ඉදිකිරීමට යොදා ගන්නා සුබ මුහුර්ත අවස්ථාවේ පවතින තත්කාල කේන්ද්‍රය ඉතා වැදගත්ය.එහි 1, 4 ,7 ,8 ,10 , යන භාවවල පාප ග්‍රහයින් නොසිටිය යුතු අතර පාප ග්‍රහයින් 3, 6, 11 භාවවල සිටිය යුතුය.
8 වැන්නේ කිසිම ග්රහයෙකු සිටීම ද , 8 වැන්නට පාප ග්‍රහයකුගේ සප්තම දෘෂ්ටි වැටීම ද අසුබය එක හතර හත 1, 4 ,7, 9, 10 භාවයක ගුරු, සිකුරු සිටිය යුතුය.
නිවාස නැකැත්වලදී එය ජන්මියාගේ උපන් නැකතට සම්පත් නම් නිවස සෑදුණු විට ධන ලාභ හිමි වේ. විපත් නැකැතක් නම් මහ දුක් විපත් ඇති වේ. ක්ෂේම නැකතක් නම් සතුට සැනසීම උදා වේ. ප්රත්යාරි නැකතක් නම් සතුරු පීඩා භංග වෙයි. සාධක නැකතක් නම් දියුණුවද, වද නැකතක් නම් හිංසා පීඩා ද, මෛත්‍රී නැකතක් නම් මිත්‍ර උපකාරද, ලැබෙන අතර පරම මෛත්‍රී නැකතක් වීම ඉතාම සුබදායකය.