Home » ඩුබායි ලොකු පැටීගේ කෝටි තිහේ මත්කුඩු ඇල්ලූ එස්ටීඑෆ් මෙහෙයුම

ඩුබායි ලොකු පැටීගේ කෝටි තිහේ මත්කුඩු ඇල්ලූ එස්ටීඑෆ් මෙහෙයුම

by thanushika
June 15, 2024 12:30 am 0 comment
අමිල මලවිසූරිය

ඩුබායි රැඳී සිටින බවට සැල වන සංජීව පුෂ්පකුමාර ද සිල්වා හෙවත් ‘අහුංගල්ලේ ලොකු පැටි‘ මේ වන විට මහා පරිමාණ මත් ජාවාරමෙකි. ඔහු කලක් තිස්සේ මෙහෙයවන ලද පිළියන්දල, කැස්බෑව, පොල්ගස්ඕවිට, කහතුඩුව ආදි ප්‍රදේශ ආශ්‍රිතව සිදුවූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල අනාවරණය කරගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන්ට හැකි වූයේ සැකකරුවන් තිදෙනෙකු සමඟ රුපියල් කෝටි තිහකට ආසන්න හෙරොයින් කිලෝ 13යි ග්‍රෑම් 106ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 164ක් 9mm වර්ගයේ බෙල්ජියමේ නිෂ්පාදිත පිස්තෝලයක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, උණ්ඩ රහිත මැගසින් දෙකක් සහ මත්ද්‍රව්‍ය කිරා බැලීමට යොදාගන්නා තරාදියක් ද සමඟිනි. ඊට අමතරව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ කාර් රථ දෙකක් ද අත්අඩංගුවට ගැනිණි.

එම කතාව පෙළගැසෙන්නේ මෙලෙසිනි.

මීට මාස දෙක තුනකට පමණ පෙර පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් III ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එන්. ට්‍රිනිත් කුමාර්ගේ කණ්ඩායමේ නිලධාරියකුට සිය පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් තොරතුරක් ලැබිණි.

“සර්… ලොකු පැටිගේ ගෝලයෙක් කැස්බෑව… පිළියන්දල පැත්තේ බඩු දානවා… දැන් කාලයක් තිස්සේ කරන වැඩක්ලු… පොඩ්ඩක් රෙකි පාරක් දැම්මනම් පොර අල්ලගන්න පුළුවන් වේවි…“ යැයි පවසමින් එම තොරතුරුකරු එම නිලධාරියා දැනුම්වත් කළේය.

එම තොරතුරෙන් කියැවුණු ලොකු පැටි හෙවත් 35 හැවිරිදි සංජීව පුෂ්පකුමාර ද සිල්වා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හොඳහැටි දන්නා අපරාධකාරයෙකි. ලොකු පැටි, මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානතම ගෝලයෙකි. 2017 මැයි 9 වැනිදා පිළියන්දල නගරයේදී පොලිස් පරීක්ෂක රංගජීව ඉලක්කකොට වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළේ ද ලොකු පැටිය. එම වෙඩි තැබීමෙන් පොලිස් පරීක්ෂක රංගජීවට මරණාසන්න තුවාල සිදුවෙද්දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල් චමින්ද අබේවික්‍රම සහ ඒ අසල වෙළෙඳසලක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ 11 හැවිරිදි දියණියක් මරණයට පත්විය. එම අපරාධයට ලොකු පැටි, මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් පසුව ඇප මත මුදා හැරිණි. එලෙස ඇප මත සිටියදී ලොකු පැටි ඩුබායි රටට පැන ගොස් මේ වනවිට එරට සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධානතම පුද්ගලයෙකි. පොලිස් පරීක්ෂක ට්‍රිනිත් කුමාර්ගේ කණ්ඩායමේ නිලධාරියාට ලැබුණු තොරතුර පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර දැනුම්වත් කිරීමත් සමඟ ඔහුගේ උපදෙස් මත බුද්ධි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එම්.කේ. විජේසිංහගේ මඟපෙන්වීමෙන් සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකරගේ අධීක්ෂණයෙන් එම තොරතුර ගැන එස්ටීඑෆ් නිලධාරීන් විමර්ශන සිදු කරමින් සිටියේය.

ඒ අනුව අයිපී ට්‍රිනිත් කුමාර් ඇතුළු කණ්ඩායම මේ පුද්ගලයා පිළිබඳව තවත් බුද්ධි තොරතුරු රැස් කරමින් විමර්ශන සිදු කරද්දී වාහනයක අංකයක් ගැන අනාවරණය වීමත් සමඟ එම වාහනය ගැන සොයා බැලූහ. එහිදී ඉකුත් ජූනි 9 වැනිදා දහවල් එම වාහන අංකය සහිත කාරයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සූදානම් වන බවට තොරතුරක් ලැබිණි. ඒ කැස්බෑව ඩිපෝව ආසන්න මාර්ගයක සිටය. ඒ අනුව ක්‍රියාත්මක වූ අයිපී ට්‍රිනිත් කුමාර් ඇතුළු කණ්ඩායම කැස්බෑව ඩිපෝව ඉදිරිපිට කැබැල්ලගහ වත්ත පාර අසල රැකවල්ලා සිටියේය. ඒ මොහොතේ ක්ෂණයෙන් සුදු පැහැති වැගන්ආර් රථයක් පැමිණියේය. එහි සිටියේ රියැදුරු පමණි. ඊට පිටුපසින් ඒ සමඟම තවත් සුදු පැහැති කාරයක් ද පැමිණියේය.

එස්ටීඑෆ් නිලධාරීන් මුලින්ම ඉදිරියෙන් පැමිණි රථය පරික්ෂා කරද්දී එහි තිබී පාර්සලයක් සොයාගත්තේය. ඒ හෙරොයින් කිලෝග්‍රෑමයක පාර්සලයකි. පිටුපස රථය ද නවතා සිදුකළ පරීක්ෂාවේදී හෙරොයින් ග්‍රෑම් 100ක් හමු විය. ඉදිරියෙන් පැමිණි වැගන්ආර් රථයේ සිට අත්අඩංගුවට ගැනුණේ 24 හැවිරිදි කවිෂ මධුෂාන්ය. ඔහු කහතුඩුවේ පදිංචි අයෙකි. පිටුපස කාරයේ සිටියේ 27 හැවිරිදි නිශාන්ත ප්‍රදීප්ය. නිශාන්ත, තිස්සමහාරාමයේ වීරවිල පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් මධුෂාන් සන්තකයේ තිබී නිවසක කාමරයක යතුරක් ද සොයා ගැනිණි.

“මොකද්ද මේ යතුර…?“ එස්ටීඑෆ් නිලධාරීන් ප්‍රශ්න කළේය.

“අනේ සර්… මේ පාරේ මගේ යාළුවෙක් ඉන්නවා…. එයාගේ ගෙදර කාමරේක යතුරක් ඔය…“ යැයි මධුෂාන් පැවැසීය.

එස්ටීඑෆ් නිලධාරීන් වැටලීම සිදුකළ ස්ථානයේ සිට මීටර් 50ක පමණ දුරකින් යුත් එම නිවස සොයා ගියේය. ඒ වන විට නිවෙසේ පුද්ගලයෙක් සිටියේය. ඔහු මධුෂාන් කී ඔහුගේ මිතුරාය. මධුෂාන් ළඟ තිබූ යතුරට අදාළ කාමරය විවෘතකොට බැලුවේය. එහි විශාල ගමන් මල්ලක් තිබිණි.

එය විවෘත කර බැලූ එස්ටීඑෆ් නිලධාරීන් දුටුවේ ඒ තුළ පාර්සල් කිහිපයක් තිබෙන ආකාරයයි. ඒවා පරික්ෂාවේදී දුටුවේ ඒ හෙරොයින් බවය. ඊට අමතරව ඒ තුළ පිස්තෝල දෙකක් ද විය. එම ගමන් මල්ලේ තිබූ හෙරොයින් ප්‍රමාණය කිලෝ 12කි. එම නිවසේ සිටි 45 හැවිරිදි පුද්ගලයා ද අත්අඩංගුවට ගැනිණි. තිදෙනාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී අනාවරණය වන්නේ මෙවැන්නකි.

මධුෂාන් 2019 වසරේදී කේරළ ගංජා නඩුවකට බන්ධනාගාරගත වී තිබිණි. ඔහුට බන්ධනාගාරයේදී රත්මලානේ රොහාගේ පාර්ශ්වයේ අයෙක් වන රත්මලානේ ෂේන් මුණගැසිණි. 2019 වසරේම මධුෂාන් ඇප මත බන්ධනාගාරයෙන් පැමිණියේය. මධුෂාන් ෂේන් මඟින් ඒ වන විට ඩුබායි සිටි ලොකු පැටි හා සම්බන්ධයක් ඇතිකරගෙන සිටියේය. ලොකු පැටි කල් යද්දී මධුෂාන්ට කාරයක් මිලට ගෙන දී තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධ කරගනිමිනි. ඒ අතර කාලයේදී කොළඹ නගරයේ රෙස්ට්හවුසියක් පවත්වාගෙන ගිය තිස්සමහාරාමයේ සිට පැමිණි නිශාන්ත සමඟ ද මධුෂාන්ට මිත්‍රකමක් ඇතිවී තිබිණි. ඔහු ද ලොකු පැටිගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කරගත් මධුෂාන් කලක් පුරා එක්ව ලොකු පැටිගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම කර තිබුණේ පැටිගේ උපදෙස් හා මෙහෙයවීම මතය.

ඔවුහු යම් ස්ථානයක මත්ද්‍රව්‍ය තැබූ විට එම ස්ථානයේ ඡායාරූපයක් ගෙන ‘ලොකේෂන්‘ සමඟ ලොකු පැටිට වට්ස්ඇප් කර තිබිණි. ලොකු පැටි අනතුරුව එම ස්ථානයේ ලොකේෂන් විස්තර ගැනුම්කරුවන්ට යවා තිබුණේ මධුෂාන් හා ගැනුම්කරුවන් අතර කිසිම සබඳතාවක් ගොඩනඟා ගැනීමට අවස්ථාවක් නොතබමිනි.

එලෙස මහා පරිමාණයෙන් කිලෝ ගණනින් ජාවාරම සිදු කෙරෙද්දී මීට මාස තුනකට පමණ පෙරදී කිලෝ 14ක පමණ හෙරොයින් තොගයක් ලොකු පැටි විසින් මධුෂාන්ට එවා තිබුණේ පිළියන්දල ස්ථානයකටය. එම මත්ද්‍රව්‍ය ගාල්ල, මාතර, පිළියන්දල සහ ඒ අවට බෙදාහැරීමට නියමිතව තිබුණේ වැටලීමට දින තුනකට පෙර කැස්බෑව හෙරොයින් සඟවා තිබූ නිවස රුපියල් 250,000ක ‘කී මනී‘ ගෙවා රුපියල් 50,000ක මාසික කුලියට ලබා ගනිමිනි. එම නිවාස අලුතින්ම ඉදිකිරීමෙන් පසු ප්‍රථම වරට කුලියට දී තිබුණේ මේ කණ්ඩායමටය. වැටලීම සිදුකරන විට එම නිවසේ සිටි පුද්ගලයා මධුෂාන්ගේ ගජමිතුරෙකි.

අත්අඩංගුවට ගත් තිදෙනා පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර කෙරුණේ වැඩිදුර විමර්ශන සඳහාය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division