Home » හයේ පහරවලින්ම උත්තර දුන් නාලන්දාවේ ක්‍රිකට් කප්පිත්තා
ශිෂ්‍යත්වයට ඕ ලෙවල්වලට ඒ ලෙවල්වලට

හයේ පහරවලින්ම උත්තර දුන් නාලන්දාවේ ක්‍රිකට් කප්පිත්තා

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

– පස්වැන්නේ ශිෂ්‍යත්වයෙන් ලකුණු 186
– සාමාන්‍ය පෙළට A නවයයි
– උසස් පෙළට A තුනයි

“නාලන්දෙ ක්‍රිකට් කැප්ටන් වෙලා ඒ ලෙවල්වලිනුත් හොඳ ප්‍රතිඵලයක් ගන්න එක පොඩි කාලේ ඉඳන්ම තිබුණු හීනයක්. අම්මා, තාත්තා නිතරම කිව්වෙත් ක්‍රිකට් ගහලා විතරක් මදි, ඉගෙන ගන්නත් ඕනේ කියලා. ඒ දෙකම හිතේ තියාගෙන මහන්සි වෙච්ච නිසා මට මගේ හීනේ හැබෑ කරගන්න පුළුවන් වුණා”අප හමුවේ සිටින යෞවනයාගේ වදන්වල ඇති සතුට ඔහුගේ ප්‍රියමනාප මුහුණෙන් ද දෝර ගලා යයි. යෞවනය වඩාත් සොඳුරු වන්නේ තිර අදිටනින් අරමුණු හඹා ගොස් සැබෑ කරගන්නා සිහිනවලින් බව මේ උපන් හපන් යෞවනයා සනාථ කර ඇත.

ඔහු, සජිත සන්දීප ලක්ෂාන් විතානගේ ය. ඉකුත් දා නිකුත් වූ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් ඒ සාමාර්ථ 3ක් ලබාගත් විශිෂ්ටයකු වන ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ක්‍රිකට් නායකයා ද විය. 94 වැනි ආනන්ද- නාලන්දා සුලෝහිත සංග්‍රාමයේදී ඔහු සිය ක්‍රිකට් දිවිය වර්ණවත් කරගත්තේ සුලෝහිත සංග්‍රාමයේදී වසර 9කට පසු නායකයකු ලබාගත් ශතකය වාර්තා කරමිනි. එහිදී සජිත පන්දු 178කදී නොදැවී ලකුණු 100ක් ලබාගත්තේය. ක්‍රීඩාවත් අධ්‍යාපනයත් සමබර කරගනිමින් එහි රන් අස්වනු නෙළාගැනීම පිළිබඳ රස රහස් විමසන්නට අප කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි සජිතගේ නිවෙස වෙත යද්දී නිවැසියන් සිටියේ ද සජිතගේ ජයග්‍රහණයේ සතුට විඳිමිනි.

“මේක අපේ පවුලේම ජයග්‍රහණයක්. ඒ සතුට කියන්න බැරිතරම්.”සජිතගේ මව ප්‍රියංගනී විතානගේ (46) කීවේ පුතු පිළිබඳ සෙනෙහසත් සතුටත් කැටිකරගෙනය.

සජිතගේ පියා ජීවක විතාතගේ (53) ව්‍යාපාරිකයකු වන අතර ජීවක- ප්‍රියංගනී යුවළගේ කැදැල්ලේ කුලුඳුල් දරුවා ලෙස සජිත උපත ලබන්නේ 2004 ඔක්තෝබර් 13 වැනිදාය. සජිතගේ එකම සහෝදරයා කසුන් හර්ෂණ ලක්ෂාන් (12) නාලන්දා විදුහලේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. ඔහු ද වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකි. සිය සොහොයුරා මෙන්ම ක්‍රීඩාවේ දස්කම් පාන කසුන් ද ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 173ක් ලබමින් අධ්‍යාපනයේ ද දස්කම් දක්වා ඇත. සජිතගේ කුඩා වියේ සොඳුරු මතක ගැන අප ඔහුගේ මව ප්‍රියංගනීගෙන් විමසුවෙමු.

“චූටිම කාලේ පුතා හරිම දඟයි. ඒ වුණාට කිසිම කරදරයක් නැති දරුවෙක්. චූටි කාලේ එයා හරියට නිදියනවා. දවල් දෙකට විතර නිදාගත්තම ඇහැරෙන්නෙ පහුවදා උදේට. ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවම ගේ වටේම රවුම් දෙක තුනක් දුවලා තමයි ගේ ඇතුළට එන්නෙ. පුතා චූටි කාලේ අපි එයාව ඇහැළියගොඩ මගේ ගමට එක්කගෙන යනවා, එයාට නිදහසේ සෙල්ලම් කරන්න, ගහකොළ එක්ක ඉන්න නිදහස් පරිසරයක් ඕනෙ නිසා. අපි පුතා දාන්න හෙව්වෙත් අකුරු කියල දෙන්නෙ නැති පෙර පාසලක්.” ඊට හේතුව කුමක් දැයි යන අපේ පැනයට පිළිතුරු දුන්නේ සජිතගේ පියා ය.

“අපි කුඩා කාලයේ සිට අපේ පවුල තුළ අධ්‍යාපනයට විශේෂ තැනක් හිමිවුණා. මගේ තාත්තා පාලිත විතානගේ විදුහල්පතිවරයෙක්. අම්මා චන්ද්‍රා යාපා ගුරුවරියක්. කොත්මලේ ඉඳලා අපි කොළඹ පදිංචියට ආවේ මගේ අයියලා දෙන්නා ජනක සහ සේනක ඒ වෙද්දි කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත් නිසා. මමත් නාලන්දා විද්‍යාලයට ඇතුළත් වුණා. හවස 6 ඉඳලා 8 වෙනකම් ගෙදර පාඩම් වැඩ කළ යුතුයි. ඒ ආභාසය පොඩි කාලේ ඉඳල සජිත පුතාටත් ලැබුණා. අපේ අම්මා ඒ කාලේ හෝඩියේ පන්තියේ ‘යාපා ටීචර්’ කියලා මේ පැත්තෙ ප්‍රසිද්ධ වෙලා හිටියා. අම්මා නිතරම කියනවා, පෙර පාසලේදී අකුරු පුරුදු වෙලා එන ළමයින්ගෙ වැරදි හදන්න අමාරුයි කියලා. ඒකයි අපි පුතාට අකුරු උගන්වන්නෙ නැති පෙර පාසලක් හෙව්වෙ. හොයලා හොයලා අන්තිමට හම්බ වුණු ඇහැලියගොඩ ධර්මපාල පෙර පාසල අපි හොයපු විදිහේ පෙර පාසලක්.”

සජිතගේ ළමා වියේ සුන්දර අත්දැකීම් අතරට ක්‍රිකට් එක් වන්නේ ඉන්පසුවය.

 සජිත සිය මිත්ත­නිය සමඟ කුඩා වියේදී

සජිත සිය මිත්ත­නිය සමඟ කුඩා වියේදී

“පුතා අවුරුදු දෙක තුන කාලේ ඉඳලම බෝල ගහනවා. පුතා ක්‍රිකට්වලට දක්වපු කැමැත්තට අපි විරුද්ධ වුණේ නැහැ. පුතා පොඩි කාලේ අපි හැම සිකුරාදම ඇහැළියගොඩ යද්දී හංවැල්ලෙ ලිලාජ් ප්‍රියංකර සර්ගේ ක්‍රිකට් ඇකඩමියට පුතා භාර දීලා යනවා. හවසට ආපහු එක්ක එනවා. ඒ වෙද්දි පුතාට අවුරුදු 8ක් විතර ඇති. සර් තමයි මුලින්ම පුතාගේ දක්ෂතා හඳුනගත්තෙ. විශේෂයෙන් පුතා ලෙෆ්ට් ආමර් කෙනෙක් කියලා හඳුන ගත්තේ ලිලාජ් සර්. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 186ක් අරගෙන පුතා සමත් වුණා. ඒ වෙද්දිත් පුතා ක්‍රිකට් ගහනවා. නමුත් අපි විභාගෙට පුතා වැඩිය මහන්සි කළේ නැහැ. විභාගෙට මාස 3ක් විතර තියෙද්දි ප්‍රශ්න පත්‍ර කෙරෙව්වා. 5 වසරෙන් පස්සේ පුතා නාලන්දාවේ ක්‍රිකට් ඇකඩමියට සිලෙක්ට් වුණා. ඊළඟට පිළිවෙළින් 13න්, 15න් සහ 17න් පහළ සේරගෙම කැප්ටන් වුණා. එක සැරයක් පළාත් තරගවලදි හොඳම පිතිකරුවා වුණා. පොඩි කාලේ ඉඳලම එයා ඉගෙනීමයි ක්‍රීඩාවයි බැලන්ස් කර ගත්තා. චූටි කාලේ ප්‍රැක්ටිස් ගිහින් ආවම වොෂ් දාලා කාලා පාඩම් වැඩවලට යොමු කරපු පුරුද්ද එයා දිගටම කරගෙන ආවා. වාර විභාගයක් ළංවෙද්දි ලකුණු ගත්තෙ නැත්නම් ක්‍රිකට්වලින් අයින් කරගන්නවා කියලා අපි බොරුවට තර්ජන කරනවා. ලකුණු අඩු කරගන්න කැමැති නැති හින්දා එයත් උනන්දුවෙන් වැඩ කළා. පාසල් කාලෙ පුරාම පන්තියේ මුල් ස්ථාන 10 අතර පුතා හිටියා. ඒ නිසාම පුතා සාමාන්‍ය පෙළ විභාගයත් ඒ සාමාර්ථ 9ක් අරගෙන ඉහළින්ම සමත් වුණා. ඉගෙන ගන්න වගේම පුතා ගහකොළ එක්ක ඉන්න ගොඩක් කැමැතියි. මේ වත්තෙ තියෙන ගොඩක් මල් ගස් පුතා හිටවපුවා. එයා චිත්‍ර අඳින්නත් දක්ෂයි.”

පැළයක් සරුවට වැඩෙන්නට පොහොර, ජලය සහ හිරු එළිය ද නිසි ලෙස අවැසි වනවා සේම දරුවකු ගුණ නුවණින් වැඩෙන්නට අවැසි බොහෝ කරුණු කාරණා සජිතට සිය පවුල් පරිසරය තුළදීම ලැබී ඇති බව මවුපියන් සමඟ කතාබහේදී වැටහිණි.

“ඒ ලෙවල් විභාගෙ තිබුණෙත් 19න් පහළ තරඟ වාරෙ කාලෙමයි. පුතාට පාඩම් කරන්න විශේෂ වෙලාවක් තිබුණෙ නැහැ. අන්තිම මාසේ ඉස්කෝලෙන් මැචස් කිහිපයක්ම නවත්වලා පුතාට විභාගෙ වෙනුවෙන්ම කැපවෙන්න අවස්ථාව දුන්නා. ඒක පාසලෙන් ලැබුණු විශාල සහායෝගයක්. ඒ වෙනුවෙන් වත්මන් නාලන්දා විදුහල්පති ඉරාජ් චම්පික සර්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. නාලන්දා හිටපු විදුහල්පති තිලක් වත්තුහේවා සර් පුතාට ගොඩක් උදවු කළා ඉගෙනීමයි ක්‍රීඩාවයි සමබරව කරගෙන යන්න. අපි පුතා පිට පුහුණුකරුවන් ළඟට යැව්වෙ නැහැ. ඒ ඒ කාලවලදී පාසලේ පුහුණුකරුවන් විදිහට කටයුතු කළ සියලුම ගුරුවරුන්ගෙන් විශාල සහායෝගයක් ලැබුණා. සමාජය එක්ක ගැටෙනකොට ඒක පුතාගේ අධ්‍යාපන කටයුතුවලට වගේම විනයටත් ප්‍රශ්නයක් වෙයි කියලා හිතුව නිසා ඒ වගේම අපි පුතා කවදාවත් ක්ලබ් සෙල්ලම් කරන්න යැව්වෙ නැහැ.

පුතා 15න් පහළ සෙල්ලම් කරද්දි ෆස්ට් ඉලවන් තේරිලා, ෆස්ට් ඉලවන් මුල්ම මැච් එකේදිම විකට් 10ක් ගත්තා. පළමු ඉණිමේදි විකට් 4ක් එක්ක හැ6ට්‍රික් එකක් ගත්තා. දෙවැනි ඉණිමේදි විකට් 6ක් ගත්තා. ඊටපස්සෙ ඉස්කෝලෙන් ඉල්ලුවා පුතා දිගටම පළමු පෙළ ගස්සවන්න. ඒත් මම ඒකට එකඟ වුණේ නැහැ. එහෙම වුණා නම් පුතාට 19න් පහළ ළමයි එක්ක ආශ්‍රය කරන්න වෙන්නෙ. එහෙම වුණා නම් අද පුතාට මේ ප්‍රතිඵලය ගන්න බැරි වෙනවා කියලා මට හිතෙනවා. මම පුතා සෙල්ලම් කරපු හැම මැච් එකක්ම බලනවා. මුල් කාලේ නම් මැචස් බලනවටත් වැඩිය මම ගියේ එයාව බලාගන්න. පුතා 19න් පහළ සෙල්ලම් කරපු අන්තිම අවුරුදු දෙක හැර මුල් අවුරුදු තුනේ ලංකාවේ කොහේ මැචස් තිබුණත් මම එයා එක්ක ගියා. කවදාවත් මම පුතා කණ්ඩායම එක්ක යැව්වෙ නෑ. ඒ හැමදේටම ඉස්කෝලෙන් පුදුමාකාර සහායෝගයක් ලැබුණා. ටීම් එකේ කැප්ටන් වුණාට පස්සේ පුතාට ඒලෙවල් හරියට කරගන්න බැරිවෙයි කියලා මගෙ හිතේ බයක් තිබුණා. මම ඉස්කෝලෙන් ඇහුවා පුතාට අවුරුද්දක් පහුවෙලා ඒ ලෙවල් කරන්න දෙනවද කියලා. ඒ වෙලාවේ පුතාගේ ක්ලාස් ටීචර් දුලානි මැඩම් ඇතුළු ගුරු මණ්ඩලය විශ්වාසයෙන් කිව්වා පුතාට දෙකම කරගන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය නිසා මගෙ බය නැති වුණා.”

ගුරු මවුපියෝ සජිතට දෙවැනි මවුපියන් වෙද්දී සජිතගේ මවුපියෝ ද සිය පුතුගේ අධ්‍යාපනය වෙනුවෙන් අපමණ කැපකිරීම් කළහ.

“පුතාට විභාගය වෙනුවෙන් මුළුමනින්ම වැඩ කරන්න තිබුණේ මාසයයි. එයා ඒ කාලයෙන් මොහොතක්වත් නාස්ති කළේ නෑ. අපි රෑට නිදාගද්දිත් පුතා පාඩම් කරනවා. අපි උදේ නැඟිටිද්දිත් පුතා පාඩම් කරනවා. එයාගේ කැපකිරීමට අපිත් උපරිමයෙන් සහාය දුන්නා. ගෙදර නිස්ලංක පරිසරය වගේම මානසික සුවයත් එයාට හොඳින්ම ලබා දුන්නා. පුතාට අවුරුදු එකහමාර විතර ඉඳන් මම ටෙලිනාට්‍ය බැලීම සම්පූර්ණයෙන්ම අතෑරියේ පුතා ටීවී බලන්න පුරුදු වෙන එක නවත්තන්නයි. පුතා බුද්ධාගමටත් ගොඩක් ලැදියි. ඕ ලෙවල් දක්වා පුතා කෝට්ටෙ සුනේත්‍රාරාම දහම් පාසලට ගියා. එහි උප ප්‍රධාන ශිෂ්‍ය නායක විදිහටත් කටයුතු කළා. ජීවිතේ හැම විශේෂ අවස්ථාවකදීම අපි පන්සල් යනවා. නමුත් දෙවියන්ට භාරහාර වෙන ඒවා නැකැත්වලට වැඩ කරන ඒවා නම් කරන්නේ නැහැ.” සිය පුතු ලැබූ විශිෂ්ට ජයග්‍රහණයට හේතු වූවා යැයි ජීවක විතානගේ විශ්වාස කරන කරුණු රැසක්ම ඔහු අප සමඟ කීවේය.

“ඒ ලෙවල්වලට විෂයන් තෝර ගත්තෙ පුතා අපි එක්ක කතාබහ කරලා. හැමවෙලාවෙම ගුරුවරුන්ගෙන් උපදෙස් ලබා ගත්තා. මගෙ අයියා සේනකගේ දුවලා දෙන්නත් ඒ වෙද්දි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන නිසා එයාලගෙනුත් අදහස් විමසුවා. පුතා මුල ඉඳලම කිව්වෙ කවදාවත් ඩොක්ටර් කෙනෙක් නම් වෙන්නෙ නැහැ කියලා. ඒ නිසා ක්‍රිකට් එක්ක පහසුවෙන් කරන්න පුළුවන් විෂයයන් තෝරගත්තා. Chemistry වගේ අමාරු විෂයක් එක්ක Physics කළොත් තවත් අමාරු වෙන නිසා තමයි Agriculture තෝරගත්තෙ. පුතාට ස්මාට් ෆෝන් එකක් අරන් දුන්නෙ ඒලෙවල්ස්වලට මාස හයක් තියෙද්දි. ඒක අරන් දුන්නෙත් කැප්ටන් නිසා ක්‍රිකට් වැඩවලට පහසු වෙන්නයි. ඒ වෙනකම් එයා පාවිච්චි කළේ පරණ බට්න් ෆෝන් එකක්. පුතාට ඉගෙනීමයි ක්‍රීඩාවයි හොඳින් කරගන්න එයාට ප්‍රේම සම්බන්ධයක් නැතිවීමත් ලොකු හේතුවක්. පුතා අම්මා එක්ක ඕනම දෙයක් කතා කරනවා. අම්මා එක්ක කතා කරන්න බැරි දේවල් මාත් එක්ක කතා කරනවා. ඒ සමීප බව නිසා පුතාගේ මනස අනවශ්‍ය සම්බන්ධකම්වලට ගියේ නෑ. ඒ වගේම ව්‍යාපාර කටයුතු කළත් මම හැම වෙලාවෙම පුතා වෙනුවෙන් හිටියා. ඒ මානසික නිදහස මට ලැබුණේ මගේ කාර්ය මණ්ඩලය නිසයි. පුතාගේ ඉලක්කය ජයගන්න අපි මෙතෙක් කල් එයා පස්සෙන් හිටියා. දැන් එයාට නිදහස තියෙනවා ඉදිරි සැලසුම් ගැන හිතන්න.”

ජීවක එසේ කීවේ පුතුගේ සාර්ථකත්වය පිළිබඳ උපන් අභිමානයෙනි. ඒ අහිමානය ගෙන දුන් පුතු සජිත විභාගය වෙනුවෙන් කළ කැපවීම ගැන අප ඔහුගෙන් විමසුවෙමු.

“ක්‍රිකට් නැතිව මට අධ්‍යාපන කටයුතු කරන්න තිබුණේ මාසයක වගේ පොඩි කාලයක්. ඒ කාලය මම හොඳින්ම කලමනාකරණය කළා. නමුත් ඊට කලින් ඉඳලම ප්‍රැක්ටිස්, මැචස්වලට අමතරව ලැබුණු හැම වෙලාවෙම මම විභාගය වෙනුවෙන් මහන්සි වුණා. ඕනම ලොකු ඉලක්කයක් සාර්ථක කරගන්න ලේසි වෙන්නෙ ඒක පොඩි පොඩි ටාගට්වලට කඩාගත්තමයි. ක්‍රිකට් එක්ක මට දවසින් දවස ප්ලෑන් කරනෙක අමාරු නිසා මම සතියෙන් සතිය ප්ලෑන් කරලා වැඩ ටික සම්පූර්ණ කරගත්තා. මම පන්ති ගියේ කෙමිස්ට්‍රිවලට විතරයි. ජීව විද්‍යාව හා කෘෂිකර්මය දෙකම කරගත්තේ ඉස්කෝලෙ ගුරුවරුන්ගෙන්මයි. පාඩම් කරන්න මට විශේෂ කාලසටහනක් තිබුණේ නැහැ. දවසේ පුළුවන් තරම් වෙලාවක් පාඩම් කළා. සමහර දවස්වලට පාන්දර 4 විතර වෙනකම් පාඩම් කළා. ඒ වගේම කායික මානසික සුවතාවට නින්ද වැදගත් නිසා පැය හයක් හතක් කොහොමහරි නිදාගත්තා. ක්‍රිකට් සහ ඒලෙවල්ස් දෙකම එකට කරද්දි ආතතිය වුණේ නැත්තෙම නැහැ. ඒ වගේ වෙලාවට සින්දුවක් අහලා ආතතිය නැතිකර ගත්තා.”

“ඒ ලෙවල් සඳහා මට උදවු කළ පන්තිභාර දුලානි මැඩම්, කමල් සර්, කුමාරි මැඩම්, හපුආරච්චි සර් ඇතුළු සියලුම ගුරුවරු වගේම මුල සිටම මට ඉගැන්වූ සියලුම ගුරුවරුන් ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මගේ මුල්ම ක්‍රිකට් පුහුණුකරු ලිලාජ් සර්ගේ සිට මේ දක්වා මගේ සියලුම ක්‍රිකට් පුහුණු ගුරුවරුන් සහ නාලන්දා හිටපු විදුහල්පති වත්තුහේවා සර් සහ වත්මන් විදුහල්පති ඉරාජ් සර්ට විශේෂ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මට රසායන විද්‍යාව ඉගැන්වූ වාසුකි අක්කා, මට උදවු කළ චින්තක අයියාවත් මතක් කරනවා. මගේ අම්මා තාත්තා මම වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. මම වැටුණු හැමවෙලාවෙම මගෙ ළඟින් හිටියා. ඒ වෙනුවෙන් මම ණයගැතියි.” සිය ජයග්‍රහණයට සහාය වූවන් පිළිබඳ සජිත සිහි කළේ ගෞරවයෙනි. සජිත අමතර පන්තියකට සහභාගි වූ එකම විෂයය වන රසායන විද්‍යාව ඉගැන්වූ ගුරුවරිය වූයේ වාසුකි අරුමතන්ත්‍රි (27) ය. කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි සිසුවියක වන ඇය මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුවියකි. තමා සජිත සමඟ එවර විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 9 දෙනකුට පන්ති පැවැත්වූ බවත්, ඒ එක් සිසුවකුවත් විභාගය අසමත් නොවූ බවත් වාසුකි පැවසුවේ අහිංසක ආඩම්බරයකිනි.

“අවුරුදු දෙකහමාරකට කලින් සජිත මල්ලිට කෙමිස්ට්‍රි අමාරුයි කියලා එයාගේ යාළුවගේ මාර්ගෙන් තමයි මගෙ ක්ලාස් එකට ආවේ. ක්‍රිකට් ප්‍රැක්ටිස් නිසා එයාට උගන්වන්න වෙලාවක් හොයාගන්න එක තමයි ලොකුම ප්‍රශ්නෙ වුණේ. ගොඩක් වෙලාවට රෑ 9-10ට ක්ලාස් කළේ. සමහර දවස්වලට මම කැම්පස් යන්න කලින් පාන්දර 4ට ක්ලාස් කරපු වෙලාවලුත් තිබුණා. ඒ සේරම ඔන්ලයින් කළේ. අන්තිම දවස්වල ගෙදරට ගිහිල්ලා පේපර්ස් කළා. බිසී වුණත් සජිත මල්ලි ප්ලෑන් එකකට වැඩ කළ නිසා මටත් ලේසි වුණා. විභාගෙට මාස 4කට කලින් එයා හොඳටම සූදානම් වෙලා හිටියෙ. සමහර දවස්වලට මැචස් සහ ප්‍රැක්ටිස් නිසා සතියම ක්ලාස්වලට එන්න බැරි අවස්ථා තිබුණත් පේපර් එකක් දුන්නොත් පාන්දර දෙකට හරි කරලා ඉවර කරන්න තරම් ලොකු කැපකිරීමක් තිබුණා. සජිතගෙ මවුපියන්ගෙන් ලොකු සහායෝගයක් ලැබුණා. මාව විශ්වාස කරලා ඒ වගකීම භාර දුන්න එක මටත් ලොකු හයියක් වුණා. මමත් පාසල් ක්‍රිකට් කරලා තිබුණු නිසා සජිතට ක්‍රිකට් සහ අධ්‍යාපනය බැලැන්ස් කරගන්න මඟ පෙන්වන්න මට පුළුවන් වුණා. ඒ නිසාම මේ ජයග්‍රහණය ගැන මටත් ගොඩක් සතුටුයි.” ඇයට පමණක් නොව සජිතගේ ජයග්‍රහණයට දායක වූ සියලු දෙනාටම එය ඔවුන්ගේ ජයග්‍රහණයක් තරම් සමීපය. නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ප්‍රසන්න දහනායක ද පැවසුවේ සජිත යනු කුඩා වියේ සිටම ක්‍රීඩාවට සහ අධ්‍යාපනයෙන් සම දක්ෂතා පෙන්වූ සිසුවකු බවය. එමෙන්ම යහගුණයෙන් පිරි නිහතමානී සිසුවකු වන ඔහුගේ ජයග්‍රහණය පාසලට ද කීර්තියක් බවය.

කෘෂිකර්ම ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑම අරමුණ කරගත් සජිතගේ හදවතේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වීමේ සිහිනයක් ද නැතිවා නොවේ. දක්ෂ යෞවනයාගේ සියලු සොඳුරු පැතුම් ඉටුවන්නට සිළුමිණ වෙතින් ද සුබපැතුම්!

සජිත සිය පියා ජීවක, මව ප්‍රියං­ගනී සහ මල්ලී කසුන් සමඟ

සජිත සිය පියා ජීවක, මව ප්‍රියං­ගනී සහ මල්ලී කසුන් සමඟ

 

ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division