Home » පනත ගැන සාකච්ඡාවකට අපි සූදානම්

පනත ගැන සාකච්ඡාවකට අපි සූදානම්

by Mahesh Lakehouse
June 8, 2024 12:30 am 0 comment

ඉදිරියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආර්ථික පරිවර්තන පනත පිළිබඳ විපක්ෂයේ අදහස කුමක්ද?

මේ වන විට මේ පනත අධිකරණයට යොමු කර තියෙනවා. එය ව්‍යවස්ථානුකූලද නැද්ද යන්න අධිකරණය විසින් සොයා බැලීමක් සිදු කරනවා. මෙහි කොමිසමක් පිහිටුවා ආර්ථික ප්‍රතිපත්ති ගැන සොයා බැලීමට සූදානම් වුවත් එහි මුල් කොටසේ ඇත්තේ යම් ප්‍රතිශතයි. එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ගෙන ආ ගිවිසුම් ප්‍රතිශත දක්වා තියෙනවා. මගේ මතය වන්නේ මේ ප්‍රතිශත මේ පනතටම ඇතුළත් කිරීම නුසුදුසු බවයි. මන්ද මේවා කලින් කලට වෙනස් වන දේවල් නිසා. ජාතික ප්‍රතිපත්ති සහ මෙවැනි කරුණු ඉෂ්ට කර ගැනීමේදී ප්‍රතිශත දැමීම කොතරම් යෝග්‍යද?…එය අපිට ඇති එක් පැටලැවිල්ලක්. ඊට අමතරව මෙතැන කොමිසමක් පිහිටුවනවා. දැනටම මෙයට අදාළ නීති දොළහක් පවතිනවා. මේවායේ අරමුණ වන්නේ පුරවැසියන්ට ප්‍රමාණවත් ජීවන මට්ටමක් ලබා දීම, ආර්ථික අර්බුද වැළැක්වීම ආදියයි. නමුත් මේ කොමිසමේ 6 දෙනෙක් පත්කරන්නේ ජනාධිපතිවරයා විසින්. ඝන පූරණය 5යි. කොමිසමක් වුණාට එහි නියෝජනය වන්නේ ජනාධිපතිවරයාගේ මතය පමණයි. සාමාන්‍ය ප්‍රතිපත්තියක් ලෙස කොමිසමක් පත් කරනවා නම් විධායකයට පුළුවන් නාම යෝජනා කරන්න. නමුත් පුද්ගලයා සුදුසුද නැද්ද යන්න තීරණය කළ යුතු වන්නේ ස්වාධීනවයි. එවාට යම් කිසි නිර්ණායක පැවැතිය හැකියි. මෙහි අනික් කරුණ වන්නේ මණ්ඩල කිහිපයක් ඇති කිරිමයි. පරිපාලනය කළමනාකරණය කරන්නේ ඊසි බෝඩ් මඟින්. අද ආයෝජන මණ්ඩලය ගත්විට මේ කරුණු ඉටුවන ආයතනයක්. ඉන්වෙස්ට් ශ්‍රී ලංකා හදන්නේ ආයෝජන ආකර්ශනය කිරීමට. සෝන් ශ්‍රී ලංකා හදන්නේ ආයෝජන කලාප. නමුත් දැනට පවතින කලාප ගැන මෙහි පැහැදිලි කිරීමක් නැහැ. මේ නිසා අස්ථිරභාවයක් පවතිනවා. එසේම ආයෝජන මණ්ඩලය ගැන පැහැදිලිව සඳහන් වී නැහැ, එයට කුමක්ද වෙන්නේ කියා. මේවා රජයෙන් කරගෙන යනවාද? නැතිනම් පුද්ගලික අංශයෙන් සිදු කරනවාද යන්න පිළිබඳ පැහැදිලි නැහැ. මේවා ගෙනාවා කියා රටේ විදේශීය ආයෝජන වැඩි වන්නේ නැහැ. මේවා ආයතනින ප්‍රශ්නයක් පමණක් නෙමෙයි.

මේ සම්බන්ධයෙන් විපක්ෂයේ සහයෝගය ලබා දෙන්නේ කොයි ආකාරයෙන්ද?

අපි විවිධ වෙනස්කම් කිරීම් යෝජනා කරනවා. පාර්ලිමේන්තුවට ගෙනත් ඡන්ද ගැනීමට ප්‍රථම මේ ගැන සාකච්ඡා කළ යුතුයි. මන්ද අපි එසේ නොකළේ නම් ප්‍රශ්නයක් මතු වෙනවා.

ඔබ පවසන්නේ මෙහි යහපත් කරුණ් ඇති බවත් යම් ඒවා සංශෝධනයන්ට ලක්විය යුතු බවත්ද?

ඔව්;අඩුපාඩු ගොඩාක් තියෙනවා. මේවායේ ලොකු අරමුණු පවතිනවා. ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධයෙන් තානාපතිවරු පත් කිරීම් සම්බන්ධයෙන් මෙහි ඇතුළත් වෙනවා. ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් පිහිටුවීම ගැනත් කියැවෙනවා. ශ්‍රී ආර්ථික විද්‍යා හා ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධ ආයතනයක් පිහිටු වීම ගැනත් සඳහන් කර තියෙනවා. රේගු ආඥා පනත, සමාගම් පනත, දේශීය ආදායම් මෙන්ම මුදල් පනත, විදේශ විනිමය පනත, ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන පනත, ශ්‍රී ලංකා වරාය අධිකාරි පනත යන මේවාට බලපෑම් තියෙනවා. ජාතික ඵලදායි කොමිසම් සභාව ආර්ථික විද්‍යා හා ජාත්‍යන්තර වෙළෙඳ ආයතන කාටද වග කියන්නේ යන ගැටලුව මතු වෙනවා. මේ ගැන සොයා බැලිය යුතු වෙනවා. ආයෝජන මණ්ඩලයේ දැනට තිබෙන නීති අහෝසි කරනවාද යන්න පැහැදිලි විය යුතුයි.

මේ අඩුපාඩු සම්පූර්ණ කරගතහොත් විපක්ෂයේ සහාය පනතට ලබා දෙනවාද?

ඔව්; අඩුපාඩු සාකච්ඡා කළ යුතුයි. නමුත් තවමත් සාකච්ඡාවක් සිදුවී නැහැ.

සාකච්ඡාවක් සඳහා විපක්ෂය සුදානම්ද?

ඕන අවස්ථාවක අපි සූදානම්. නමුත් කමිටු මට්ටමේ සාකච්ඡා පැවැත්විය යුතුයි.

අයි. එම්. එෆ් කොන්දේසි රජයක් සමඟ ඇති කරගත් ගිවිසුම් නිසා ඒවා පක්ෂවලට ඇවැසි විදියට ආපස්සට හැරවිය හැකිද?

අයි. එම්. එෆ් කොන්දේසි දෙකක් පවතිනවා. එය බොහෝම පුළුල් ප්‍රතිපත්ති එකඟතාවක්. අපි ඒ පුළුල් ප්‍රතිපත්ති එකඟතාවයේ සිටිනවා. අයි. එම්. එෆ් අවශයයි. අයවැය පරතරය අවම කරන්න අවශ්‍යයි. ණය ප්‍රමාණය පහතට ගෙන ඒමට අවශ්‍යයයි. රජයට අයවැය පරතරය නැති කිරීමට මුදල් අච්චු ගහන්න බැහැ. මේ මූලික ප්‍රතිපත්ති ගැන අපි එකඟයි. අයි. එම්. එෆ් එකෙන් ආණ්ඩුවට ඉඩ දෙනවා, අපේ යෝජනා මොනවාද, ඒවා කරන්නේ කෙසේද යන්න පැවැසීමට. මෙතැන රජයයි අපියි අතරේ ලොකු වෙනසක් පවතිනවා. එවැනි දේවල් අනිවාර්යෙන්ම අපි බලයට පත් වුණොත් වෙනස් වෙයි.

මුදල් අච්චු ගැසීමට හෝ විදේශීය ණය ලබා ගැනීමට නොහැකි අවස්ථාවක ඔබ රජයක් යටතේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගන්නේ කෙසේද?

මේ රජය ක්‍රියාකර ඇත්තේ ආදායම මූලික කරගෙන මිසක් වියදම මූලික කරගෙන නෙමෙයි. වියදම අඩු කළ යුතුයි. වියදම අඩු කිරීමට නාස්තිය දූෂණය රාජ්‍ය සේවය අඩු කළ යුතුයි. ඒ සෑම එකකටම අපිට වැඩ පිළිවෙළක් තියෙනවා.

ඇති වී ඇති ආර්ථික අවපාතය හමුවේ කවුරු බලයට පත්වුවත් හිතු මනාපේ ආණ්ඩුවක් කරගෙන යා හැකිද?

හිතුමනාපෙට සිදු කරන්න බැහැ. එය බොරු කතාවක්. අපි පුළුල් වැඩ පිළිවෙළක හා නිසි ප්‍රතිපත්තියක ඉන්නවා. ක්‍රියාත්මක කිරීමේදී ලොකු ලොකු වෙනස් කිරීම් සිදු කරන්න පුළුවන්.

සජබ රජයක් බලයට පත්වුවහොත් ඉදිරි ණය ගෙවීම් පිළිබඳ කටයුතු සිදු කරන්නේ කොයි ආකාරයෙන්ද?

රජය මේ ණය ගෙවීම් ගැන සාකච්ඡා කරන්නේ දැන්නෙ. රජයක් ගිවිසුමකට පැමිණියහොත් ආයෙ අහක දාන්න බැහැ. අපිට ඒ ගිවිසුම තුළ සිටින්න වෙනවා. නැතිනම් කතා කර ගිවිසුම් වෙනස් කරන්න වෙනවා. එසේ නොමැතිව ගියොත් විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මේ මෝඩ කතා සමහර දේශපාලන පක්ෂ කියනවා, එවිට මේ රටට ණය ලැබෙන්නෙ නැහැ. ආයෝජනයක් ලැබෙන්නෙත් නැහැ. රට ඉදිරියට ගැනීමට නම් අපනයනය කළ යුතුයි. ඒ සඳහා ජාත්‍යන්තර විශ්වාසය තිබිය යුතුයි. ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබිය යුතුයි. නමුත් සමහර අයට මේ ගැන අවබෝධයක් නැහැ.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division