Home » ජනාධිපති මාධ්‍ය අංශයෙන් කරුණු පැහැදිලි කිරීමක්

ජනාධිපති මාධ්‍ය අංශයෙන් කරුණු පැහැදිලි කිරීමක්

by Mahesh Lakehouse
June 8, 2024 12:38 am 0 comment

පසුගිය ඉරිදා (02) සිළුමිණ පුවත්පතේ ‘නීතිපතිගේ සේවා දිගුව පාස්කු පරීක්ෂණ සඳහායි‘ යන මැයෙන් පළ වූ පුවතට අදාළව ජනාධිපති මාධ්‍ය අංශය අප වෙත කරුණු පැහැදිලි කිරීමක් එවා ඇත.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළු සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කර ඇති කමිටුව සමඟ සාකච්ඡා කිරීමට දින ලබා තිබියදී එම සාකච්ඡාව රදගුරු සමුළු විසින් අවලංගු කිරීම පිළිබඳ රජය කනගාටුවට පත් වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. සිළුමිණ පුවත්පතේ පසුගිය 02 දා නීතිපතිගේ සේවා දිගුව පාස්කු පරීක්ෂණය සඳහායි යන සිරස්තලයෙන් පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිකුත් කර ඇති නිවේදනයක් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායකගේ අත්සනින් නිකුත් කර ඇති පැහැදිලි කිරීමක මේ බව සඳහන් වේ.

නීතිපතිවරයාගේ සේවා දිගුවක් දීමට තීන්දු කළේ පාස්කු ප්‍රහාර පරීක්ෂණවලට අදාළව ඉදිරි කටයුතු අගරදගුරු මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය කිරීමේ කමිටුවේ නියෝජිතයෙක් ලෙස ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන බැවින් යැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධව සිළුමිණ පුවත්පතේ 2024.06.02 වැනි දින ‘නීතිපතිගේ සේවා දිගුව පාස්කු පරික්ෂණ සඳහායි‘ යන මැයෙන් පළ වූ ප්‍රවෘත්තිය, කිසිදු මූලාශ්‍රයක් සඳහන් නොකර පළ කළ ප්‍රවෘත්තියක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම සිද්ධි දාමය සම්බන්ධව වැඩිදුර පැහැදිලි කිරිමක් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ අවධාරණය කර ඇත්තේ පිටු 46,251 කින් සමන්විත ජනක් ද සිල්වා කොමිසම් සභා වාර්තාව සහ ඇමුණුම් ජනාධිපති කාර්යාලය විසින් කතෝලික සභාව වෙත ලබා දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික සභාව සමඟ වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජාතික ආරක්ෂක උපදේශකවරයාගෙන් සමන්විත කමිටුවක් නම් කළ බවය. කණ්ඩායම් දෙක අතර රැස්වීමක් විධිමත් ලෙස සංවිධානය කිරීම සඳහා 2024 මැයි 28 වන දින ජනාධිපති ලේකම්වරයා ශ්‍රී ලංකා කතෝලික සභාවේ සභාපතිවරයාට ලිපියක් යවා තිබේ. එම ඉල්ලීම පිළිගෙන කතෝලික සභාවේ සභාපතිවරයා එම රැස්වීම , මහනුවර, අම්පිටියේ පැවති රදගුරු සමුළුව අතරතුර ජුනි 5 බදාදා හෝ ජූනි 6 වැනි බ්‍රහස්පතින්දා දින පැවැත්වීමට යෝජනා කරමින් මැයි මස 30 ජනාධිපති ලේකම්වරයාට ලිපියක් එවා තිබේ.

කෙසේ වෙතත්, ජූනි 5 වන දින කතෝලික සභාවේ සභාපතිවරයා විසින් නිශ්චිත හේතුවක් නොදන්වා යෝජිත රැස්වීම අවලංගු කරන බව ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දන්වා තිබේ. සිළුමිණ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය පිළිබඳ කිසිදු සඳහනක් එම ලිපියේ සඳහන් කර නොමැත. ඉන් පසුව ශ්‍රී ලංකා කතෝලික සභාව නිවේදනයක් නිකුත් කර ඇත. ජනක් ද සිල්වා කොමිෂන් සභා වාර්තාව පිළිබඳ සාධනීය සංවාදයෙන් කතෝලික සභාව ඉවත්වීම සම්බන්ධයෙන් රජය කනගාටුවට පත් වන බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

You may also like

Leave a Comment