Home » සිසු සැරියට තවත් බස් 500ක්

සිසු සැරියට තවත් බස් 500ක්

by Mahesh Lakehouse
June 8, 2024 12:42 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

පාසල් සිසුන්, කාර්මික විද්‍යාල සිසුන් සහ විශ්විවිද්‍යාල සිසුන් සඳහා 2005 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන සිසු සැරිය රජයේ සහනාධාර බස් රථ සේවය සඳහා නව බස් රථ 500ක් යෙදවීමට ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් දී ඇත.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 811ක්, පෞද්ගලික බස් රථ 726ක් ඇතුළුව බස් රථ 1,537ක් මේ වන විට සිසු සැරිය වෙනුවෙන් යොදවා ඇති අතර රජය විසින් ඒ වෙනුවෙන් 2024 වසර සඳහා රුපියල් මිලියන 2,000ක සහනාධාරයක් ලබා දෙයි.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනයන් විසින් ජාතික ගමනාගමන කොමිසන් සභාවේ ආදායම් යොදා ගනිමින් නව බස් රථ 500ක් සිසුසැරිය වෙනුවෙන් යෙදවීමට උපදෙස් ලබා දී ඇත්තේ ප්‍රවාහන ගාස්තු ඉහළ යෑමෙන් පසු දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම සිසු සැරිය බස් රථ ඉල්ලුම් කිරීම හේතුවෙනි. ඒ අනුව එක් එක් පළාතේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයා විසින් ජාතික ගමනාගමන කොමිසමට යෝජනා කර එවීමෙන් පසු ඒ ඒ ප්‍රදේශවලට සිසු සැරිය බස් රථ යෙදවීමට නියමිතය. මෙහිදී දිවයිනම ආවරණය වන පරිදි විශේෂයෙන් එක් බස් රථයකින් වැඩිම පාසල් සංඛ්‍යාවක් ආවරණය වන පරිදි මාර්ග හඳුනා ගනිමින් නව බස් රථ යොදවන ලෙස ද අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව ජාතික ගමනාගමන කොමිසම් සභාව පැවසීය. ඒ අනුව එක් බස් රථයකින් පාසල් 3ක් පමණ ආවරණය වන පරිදි එනම් දළ වශයෙන් නව බස් රථ 500න් පාසල් 1,500ක් පමණ ආවරණය වන අතර, සිසුන් විශාල පිරිසකට එමඟින් පහසුකම් සැලසෙනු ඇත. සිසු සැරිය ව්‍යාපෘතියේ අරමුණ වන්නේ පාසල් සිසුන්ට කායික හා මානසික හිරිහැරයකින් තොරව තම පාසල අසලටම ආරක්ෂිතව සහ සුවපහසුව ගමන් කිරීමෙන් වඩාත් ඵලදායී අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථාව ලබාදීමය. එමෙන්ම මෙම සේවාව සහනදායී ගාස්තුවක් යටතේ ක්‍රියාත්මක වන බැවින් දරුවන් පාසල් යැවීමට මව්පියන් දිරිගන්වන අතර පවුල්වලට ආර්ථික සහනයක් ද ලබා දෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division