– උකස් බේරන බවට බෝඩ් ගසා ඇති තැන්වලින් බොහොමයක් නිරීක්ෂණය කළ විට පෙනී යන්නේ මෙය දැවැන්ත ජාලයක් බවය
– රාජ්‍ය බැංකුවක උකස් රත්රන් තැබූ ගනුදෙනුකරු හදිසියේ මියගියහොත් එම උකස් රත්රන් නොමිලේ යැපුම්කරුවන්ට මුදාහැරීමේ ‘රීතියක්’ කලකට ඉහත විය. ඒ නීති දැන් සඟවා ඇත.
– බැංකුවකින් රු.60,000ක් දෙන්නේ නම් පෞද්ගලික උකස් කඩයකින් රුපියල් ලක්ෂය දක්වා මුදලක් ගත හැකිය.
– මේ රත්රන් උකස බේරා දීමේ සේවය මෙන් ෆිනෑන්ස් හිරවී ඇති වාහනවල ණය බේරා අයිතිකරුට අතට ගාණක් දී වාහනය ගෙනියන පිරිසක් ද ඇත
ලංකාවේ අලුත් බිස්නස් එකක් පටන් ගත් විට එය කොපි කිරීම සාමාන්‍යය සිරිතය. පාරක අලුතෙන් කොමියුනිකේෂන් එකක් දැමූ විට ඒ පාරේ හාඩ්වෙයාර් ද වසා දමා කොමියුනිකේෂන් දමයි. අන්තිමට පාරේ යන්නත් බැරි තරම් කොමියුනිකේෂන්ය. තවත් කෙනකු ‘මාතර බත් කඩයක්’ දැම්මොත් ඒ පාරේ දිගට හරහට ‘මාතර බත් කඩ‘ වැටේ. අන්තිමට කාටවත් බිස්නස් නැත.
දැන් මේ බිස්නස්වල අලුත් ගොදුර වී ඇත්තේ ‘උකස් රත්තරං බඩු බේරා ගැනීම’ ය. පසුගියදා සිදු කළේ කොලොම්පුරය සිසාරා ලයිට්කණු – ටෙලිෆෝන් කණුවල ගසා ඇති මේ දැන්වීම් කියවාගෙන යාමය.
“රන් භාණ්ඩ සින්න වෙනවාද?
බේරාගත නොහැකිද?
අප විසින් බේරාදී වැඩි මුදලට මිලදී ගනු ලැබේ“
ඊළඟ ලයිට් කණුවේම තවත් දැන්වීමකි.
“රන් භාණ්ඩ
උකසින් බේරා දී වැඩිම
මුදලක් එවලේම ඔබ අතට“
අප කොල්ලුපිටියේ සිට විහාරමහාදේවි උද්‍යානය හරහා හයිලෙවල් පාරෙ විජේරාම පිහිටි විශ්වවිද්‍යාලය තෙක් ගියෙමු. හැමතැනම ඇති බෝඩ් වර්ග ගණන 20කට වඩා වැඩිය. අපේ පුදුමයට හේතුවක් වූයේ ඇතැම් බෝඩ්වල ඇති අංකවලට කතා කළ විට ඒවා ඇමතුවේ මෙරට ප්‍රකට මූල්‍ය සමාගම් නිසාය.
කොරෝනා උවදුරෙන් පසු රට විවෘත වූ මොහොතේ වැඩිම පිරිසක් සිටියේ උකස් බඩු කඩවල පෝලිම්වලය. ජනතාව මුදල් නැතුව හිටියේ රත්රන් බඩු උකස් ගන්නා බැංකු හා පෞද්ගලික ආයතනවලය. බොහෝ විට රන් භාණ්ඩයක් උස් කරන තැනැත්තා තම අනන්‍යතාව හෙළි කිරීමට අකමැතිය.
“මේ යකා ෆුල් හොම්බෙන් ගිහින් ඉන්නේ. රත්තරං බඩු ටිකත් උකස් තියනවා!”
මෙරට සමාජය තුළ ඇත්තේ එවැනි මතවාද බව අමුතුවෙන් කිව යුතු නැත. බොහෝ රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු රන් ණය සඳහා උකසට ගෙන මුදල් දෙන්නේ යම්කිසි සීමාවක් පරාසයක් ඇතුළතය.
එහෙත් පෞද්ගලික අංශයේ උකස් බඩු ගැනීමට වෙන්වූ ආයතන එසේ නොවේ. බැංකුවකින් රු. 60,00ක් දෙන්නේ නම් පෞද්ගලික උකස් කඩයකින් රුපියල් ලක්ෂය දක්වා මුදලක් ගත හැකිය. එහෙත් ඒ මුදල දෙන්නේ මාසයක් තුළ බේරන බවට සීල් එකක් ගසාය. නැති බැරිකමට මුදල් අවශ්‍යතාව මත සිදුවන්නේ කියනා පොලියකට අසරණ ජනතාව ගිනි පොලියකට රත්රන් උකස් තැබීමය.
මේ රත්රන් උකස බේරාදීමේ සේවය රත්තරන්වලවලට පමණක් සීමා වී නැත. ෆිනෑන්ස් හිරවී ඇති වාහනවල ණය බේරා – අයිතිකරුට අතට ගාණක් දී වාහනය ගෙනියන පිරිසක් ඇත.
ප්‍රධාන වශයෙන් අඩු පොලියට රත්රන් භාණ්ඩ උකස් ගන්නේ රාජ්‍ය බැංකුවලය. එහෙත් එය කොටස් වශයෙන් පවා ගෙවා බේරා ගත හැකිය. බැංකුවල කළමනාකරුවන් ඉතා අකමැති දෙයක් නම් මේ උකස් රන් බේරා ගැනීමට එන පිරිස් බැංකුවලට ඇතුළු කර ගැනීමය.
රජයේ බැංකුවක උකස් රත්රන් තැබූ ගනුදෙනුකරු හදිසියේ මියගියහොත් එම උකස් කළ රත්‍රං නොමිලේ යැපුම්කරුවන්ට මුදාහැරීමේ ‘රීතියක්’ කලකට ඉහත විය. අද ඒ රීති සොයා ගන්නටත් නැත. ඒත් නැත්නම් ඒ නීති දැන් සඟවා ඇත.
මේ උකස් බඩු බේරන බෝඩ් ලෑලි සවිකොට ඇති ප්‍රධාන ස්ථානයක් නම් ලොතරැයි කූඩුය. බොරැල්ලේ වූ එක් ලොතරැයි කූඩුවකට කිට්ටු කොට උකස් රත්රන් බේරා මුදලක් ද අතට දෙන සිස්ටම් එක ගැන අසා සිටියෙමු.
“රත්රන් බඩු බේරන තැන අනිවාර්යයෙන්ම බිස්නස් එක කරන කෙනා ඉන්නවා. නැත්නම් එයට විශ්වාසවන්තම කෙනෙක් තමයි සල්ලි එක්ක එවන්නේ බඩු ටික බේරන්න.”
මෙරට බොහෝ බැංකු තමන්ට සින්නවූ රත්රන් බඩු වෙන්දේසියේ දැමීම සිරිතය. ඔබ කොළඹ නගරයේ හෝ ඕන තැනක රත්රන් වෙන්දේසියකට ගොස් බලන්න. මේවාට එන්නේ රත්‍රං බඩු වෙන්දේසිවලින් ගන්න සංවිධානාත්මක පිරිසක්. වෙන්දේසියට අලුතෙන් පිරිසක් පැමිණියහොත් නොවටිනා ගණන්වලට උකස් රන් භාණ්ඩ මිලදීගෙන ඔවුන්ව වෙන්දේසි පොළින් ඉවත්කර ගැනීමට තරම් ඔවුන් සූක්ෂ්මයි.
මේ රන් භාණ්ඩ උකස් ගැනීමට නම් දරාපු තැනක් ඇත්තේ. මෙතැන උකස් තියපු රන් භාණ්ඩ බේරා ගත්තොත් ඒ ඉතා අහම්බෙනි. ලංකාවේ දැන් උකස් ව්‍යාපාරය කොතරම් දියුණු වී ඇති දැයි කිවහොත් ජංගම දුරකතන, ටී.වී. රේඩියෝ, ෆ්‍රිජ් පවා උකස් ගන්නා ආයතන ඇත. එමෙන්ම පයිප්ප වැඩ, මේසන් වැඩ, ඇලුමිනියම් වැඩ කරන බාස්ලා වැඩ කරන ග්‍රයින්ඩර්, කටර් ආදී විවිධ කාර්මික උපකරණ නොහොත් Power Tools උකසට ගන්නා පිරිසක් පවා බිහිවී ඇත.
මේ කී මොරටුවේ උකස් මධ්‍යස්ථානය ටිකක් හඳුනන එකක් නිසා මේ උකස් බඩු බේරන බිස්නස් එක ගැන අසා සිටියෙමි.
“දැන් සොරකම් කරපු බඩු ගෙනල්ල රිසිට් එක්ක උකස් තියනවා. ඊට පස්සේ පොලිසියෙන් එනවා. ඒ බඩු ටික අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනෑ කියල අපි දෙන්නේ නෑ. අපි හොරා උසාවියට ඉදිරිපත් කරල අධිකරණයෙන් නියෝගයක් ගේන්න කියල රත්රන් බඩු ගෙනල්ල අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඊට වැඩිය අපි නම් රත්රන් උකස් බේරන කෙට අධිකරණයට විතරයි දෙන්නේ. තව කෙනෙක් ඇවිල්ල බඩු බේරන කෙනෙක් කියලා දැන ගත්තොත් අපි කෙළින්ම අයින් කරනවා.”
මේ ළඟම බේරන බවට ගසා ඇති අංකවලට කතා කොට එක් අංකයකින් තොරතුරු ටිකක් විමසා සිටියෙමි.
“මිස්ටර් මේක ඔය හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. අපි මේ ළඟදි උකස් තියපු බඩු වගයක් බේරුවා කොටිකාවත්තේ. දවසක් ගියේ නෑ අපිව කුරුණෑගල පොලිසියෙන් අල්ලගෙන ගියා. බැලුවාම ඒ රත්රන් බඩු සුද්දෙක්ගේ ගෙයක් කඩපුවා. උකස් බේරපු මෑන්ව අල්ලල දෙනකම් අපේ කොල්ලා ඇතුළේ හිටියේ. ඒ උකස බේරපු මෑන් ඔරිජිනල් විදිහට අයිඩෙන්ටි ඉඳන් හදල. හොඳ වෙලාවට බැංකුවේ CCTV කැමරා තිබුණා.”
මේ උකස් බේරන බවට බෝඩ් ගසා ඇති තැන්වලින් බොහොමයක් නිරීක්ෂණය කළ විට පෙනී යන්නේ මෙය දැවැන්ත ජාලයක් හෙවත් නෙට්වර්ක් එකක් බවය.
තමන් සතුව ඇත්තේ උසස් තත්ත්වයේ රත්රන් දැයි සොයා ගන්නේ කෙසේදැයි එක් අංකයකින් විමසා සිටියෙමි.
“දැන් ඔය පරණ මාළු මාකට් එකේ දැන් තියෙන්නේ ‘ගෝල්ඩ් සිටි එකක්’ එතැනට ගියා නම් ප්‍රමිතියට ජාත්‍යන්තර සීල් එකක් තියනවා. ඒකේ තියෙනවා ශ්‍රී ලංකා රන් ප්‍රමාණය නිශ්චය කිරීමේ කාර්යාංශයේ මුද්‍රාවක්, අනික රන් සඳහා ලබාදෙන ප්‍රමිති මුද්‍රාව කියලා තියෙන්නේ. දැන් ගොඩක් අය හෙට්ටිවීදියෙන් රත්රන් බඩු ගත්තාම කෙළින්ම එන්නේ එතැන්ට සීල් එක ගහගන්න. ඒක ගැහුවොත් ඕන තැනක රත්රන් බඩුවක් සුටුස් ගාලා උකස් තියන්න පුළුවන්.”
අපට මේ රත්රන් බඩු උකස් බේරා දෙන සර්විස් එක ගැන නිරීක්ෂණයේදී පැහැදිලි කරණු දෙකක් තහවුරු විය. ඉන් පළමුවැන්න මේ ක්‍රමය කළු සල්ලි සුදු කළ හැකි හොඳම ක්‍රමයක් බවය. දෙවනුව අපට පෙනී ගියේ මෙසේ ගන්නා රත්රන් උණුකර උන්ඩියල් ක්‍රමවලට ඉන්දියාවට යවන බවය. එමෙන්ම මෙම ව්‍යා පාරය කිසිම ආදායම් බදු දැලකට හසු නොවන ක්‍රමයකි. එමනිසා මෙම ක්‍රමය රජයේ හා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට අනිවාර්යයෙන් ලක්විය යුතු ව්‍යාපාරයකි.
ලංකාවේ වරක් දිගට හරහට ගුවන් මඟින් කොටු වූයේ ගුවන් තොටුපොළේදී ගුද මාර්ගයේ රත්රන් පොලු ගසා ගෙන එද්දීය. එවැනි දිනක ගුවන්විදුලියේ හඩ්සන් සමරසිංහ තම රට යන අත වැඩසටහනින් කිවුවේ දැන් සමහරුන්ට ඇත්තේ ගුද මාර්ග නොව මහාමාර්ග බවය. අප මේ රත්රන් බඩු උකස් බේරා දෙන බෝඩ්වලට කෝල් දැමූ විට මුලින්ම ඇසුවේ රත්රන් බඩුවේ මැණික් ඔබ්බවා තිබෙනවාද යන බවය.
“මිස්ටර් ලක්ෂ ගාණක මැණිකක් තිබ්බත් අපිට වටින්නේ නෑ. ඒකේ බර අඩු කරල තමයි අපි ගාන බේරන්නේ.”
“දැන් ඔය වැඩේ කොහොමද කෙරෙන්නේ?” මම අසා සිටියෙමි.
“දැන් මහත්තයා උකස් තියපු බිලයි, අයිඩී එකයි ගේන්න. සමහරු බිල නැති වුණා කියල දිවුරුම් පෙත්සම් ගේනවා. ඒවා නම් අපි ක්ලියර් කරන්නේ නෑ.”
“දැන් ලක්ෂ දෙක තුනක් වුණත් ගෙවලා බේරල දෙනවද?” මම නැවත අසා සිටියෙමි.
“දැන් මහත්තයා ලක්ෂ තුනක් ගන්න නම් ඕක බේරන්න සල්ලි නෑනේ. නිකම්ම සින්න වෙනවා. අපි මහත්තයට ලක්ෂ තුනක් බේරල අතට 50,000/=ක් දෙනවා. නැත්නම් බේරල තව තැනක අපිත් එක්ක ගිහින් ආයිත් උකස් තියන්න පුලුවන්. ඒකට අපිට සියයට දහයට පොලියක් රු. 30,000/ක් ඕන.”
“දැන් ඔය මහත්තයගේ ලක්ෂ තුනේ බඩුටික අඩුම ගානේ 450,000/=කට උකස් තියන්න පුළුවන්. කැමති විදිහක් කියන්න.”
දැන් මේ උකස් බේරන තැරැවුකරුවන් රත්රන් බඩු උකස් කරන කවුන්ටරවල සිටින නිලධාරින් හෝ නිලධාරිනියන් ද දපනේ දමාගෙන ඇත. උකස් දිනයක් ළංවන විට රන් භාණ්ඩ උකස් ගත් ආයතනයෙන් සතියකට පමණ පෙර උකස් බඩු බේරාගන්න හෝ පොලිය දමන ලෙස දැනුම් දෙයි.
“ඕක බේරල විකුණන්න පුළුවන්. නැත්නම් බේරල ආයිමත් වැඩි ගාණකට දෙන්නම්. ඔය වැඩේට අල්ලල දෙන්නම් විශ්වාසවන්ත කෙනෙක්. පොඩි ගානක් ගනියි. ඕන්නම් නම්බර් එක වට්ස් ඇප් කරන්නම්. නිකං බොරුවට මේවා සින්න වෙන්න දෙන්නේ මොනාටද?”
මේ උකස් බේරීමට මුදල් දෙන අය උකස් කවුන්ටරවල අයට කොමිස් මුදලක් දී අල්ල ගන්නේ එසේය. ඒත් නැත්නම් උකස් කඩයෙන් එළියට එන උකස් තැබූ උදවියට කෙලින්ම කතා කරන්නට තරම් ‘ගටක්’ තිබෙන බිස්නස්කරුවන් ද සිටින බව නොකියා බැරිය.
අප මේ ලයිට් කණුවල ඇති අංකවලට කතා කළ විට එයින් සමහර ඒවා අපට ප්‍රතිචාර දැක්වූයේ ‘භාවිතයේ නොමැත’ යන ප්‍රතිචාරයයි. සමහර නම්බර් වර්ග දෙකට කතා කරන්නේ එකම පුද්ගලයෙකි. මෙහිදී පැහැදිලිව දැකගත හැකි කරුණක් වූයේ බිස්නස් එක ටිකක් කළ පසු මේ රත්රන් බේරන බිස්නස් එක කරන අය අලුත් සිම් එකක් ගෙන නොම්බරය මාරු කරන්නේ මතු ආරක්ෂාවට බවය.
දැන් මේ රත්රන් උකස් බේරන බිස්නස් එක පුවත්පත් දැන්වීම්, රූපවාහිනි රේඩියෝ දැන්වීම් වලින් නොනැවතී මුහුණු පොතේ දැන්වීම් දමන තත්ත්වයට දියුණු වී ඇත. මේ කිසිම පුවරුවක ව්‍යාපාරයක හිමිකරුගේ නමක් හෝ ආයතනයක නමක් ඒත් නැත්නම් ලිපිනයක් සඳහන්ව නැත. බොහෝ බෝඩ්වල රජයේ ලියාපදිංචි ආයතනයක් ලෙස සඳහන් කොට ඇත. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ පාරිභෝගිකයින් මෙම ආයතන මහබැංකුවේ ලියාපදිංචි ගත ආයතනයක් වැනි අදහසක් ගැනුම්කරුට දෙන මානසික අල්ලසක් නොවේ.
මේ උකස් බේරගන්නා තැන්වල දුරකතන ඇමතුම් ගන්නා පුද්ගලයන් කතා කරන්නේ ඉතා වේගයෙන්. අප කතා කළ එක අංකයකවත් කාන්තාවක් උත්තර දුන්නේ නැත.
මේ බෝඩ් ගසාගෙන සිටින පුද්ගලයකුගේ අංකයකට වැඩිපුරම බිස්නස් ඇත්තේ කොයි පළාතේ”දැයි ඇසුවෙමි.
“ගොඩක්ම බිස්නස් තියෙන්නේ ‘ෆ්‍රී ට්‍රේඩ් සෝන්’ (නිදහස් වෙළෙඳ කලාපය) තමයි. ඔය කලාපේ ළමයි බඩගින්නේ හරි ඉඳල හදා ගන්නේ කහ කෑලි තමයි. (රත්රන් චේන් බ්‍රේස්ලට්) නැති බැරිකමට සිංහල අවුරුද්දට එහෙම ගමේ යන්න තියනවාමයි. ස්මාට් ෆෝන් එක නැති වුණොත් රත්තරං ටික උකස් කරල ෆෝන් එකක් ගන්නවා. ඉතිං බේරගන්න ඉන්නේ අපි තමයි.”
මේ ‘රන්බඩු බේරා වැඩි මුදලක්’ දීමට කතා කරන කිසිවකුගේ අනන්‍යතාවක් කිසිවකු දන්නේ නැත. උන්ඩියල් ක්‍රමවලට හසුවන්න එපා යයි මහ බැංකුව දැන්වීම් පළ කළත් මේ ‘ රත්රන් උකස් බේරීමේ’ ජාවාරම හරහා උන්ඩියල් ක්‍රමයට ඉන්දියාවට රත්රංන යවන බවට හෙට්ටිවීදියේ බොහෝ රත්රන් සාප්පු හිමියන් අප සමඟ පැවසීය.
කෙසේ නමුත් අපට අවසානයේ අදහාගත නොහැකි තත්ත්වයක් වූයේ පිළිගත් මූල්‍ය සමාගම් පවා තම ව්‍යාපාර නාමය පළකරමින් දැන් දැන් වෛර්ණ බෝඩ් ලෑලි දමමින් මෙම කුඩා මිනිසුන් අත තිබූ ව්‍යාපාරයට පිවිසි සිටින්නේ මෙය හොද්ද බොරවී ඇති බිස්නස් එකක් වී ඇති නිසා විය යුතුය.
ඡායාරූප – රංජිත් අසංග
වජිර ලියනගේ